පුතුගේ නිරෝගී සුවය පතා තම නිරෝගී සුවය දන්දුන් අම්මා

2017-06-01 11:02:00       661
feature-top
කිසාගෝතමිය මියැදුණ දරුවාට ජීවිතය ගන්නට කිසිවකුත් නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගියා සේ නෝනා රහිම් කාසිම් ද මියෙන්නට හදන පුතුගේ ජීවිතය රැක ගන්නට නෑදෑ පාර්ශ්වයන්ගෙන් වකුගඩුවක් සොයා ගෙන් ගෙට ගියාය. කිසාගෝතමියගේ දරුවා මියගොස් තිබූ බැවින් යළි පණ දෙන්නට බැරි බව ඈ අවබෝධ කර ගත්තාය. වකුගඩුවක් ලදොත් පුතු ජීවත් කරගන්නට හැකි බව නෝනා රහීම් ද තේරුම් ගෙන සිටියාය. එහෙත් නෝනා රහීම්ට පුතු ජීවත් කරවන්නට පුළුවන්කම තියෙද්දිත් දරුවාට බද්ධ කරන්නට වකුගඩුක්  ලැබුණේ නැත. අවසානයේ ඇය ඇයට කළ හැකි එකම දෙය වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය. ඒ සිය වකුගඩුවක් පුතාට බද්ධ කරන ලෙසය. ඒ ඇගේ ජීවිතේ අවදානම්කාරී බවක් ඇති බව ද නොදැනය.

මේ වසර කීපයක් පැරණි කතාවකි. ඒ කතාව එළියට ආවේ පුතුගේ රෝගය වෙනුවෙන් වසර පහළොවක් තිස්සේ කැපකිරීම් කළ නෝනා රහීම් කාසිම්ගේ හිසට සෙවණක් වෙසක් මාසයේ පින්වන්තයකු පරිත්‍යාග කිරීමත් සමගය.

ඇයට නිවසක් ලබන්නට තරම් අසරණ වන්නට වූයේ පුතුගේ රෝගය වෙනුවෙන් වසර පහළොවක් තිස්සේ   අමාරුවෙන් හම්බ කළ මුදලුත් සිය නිරෝගීකමත් දන්දුන් නිසාය. නෝනා රහීම්ගේ මේ කතාව පැරණි වුවත් ඇයට හිසට සෙවණක් ලැබුණත් ඇගේ කතාව තවදුරටත් කවුරුත් දැනගත යුතු කතාවකි. ඒ අම්මා යන්නේ නියම අරුත නොදැන, උපන් ගෙයිම සිය දරුවන් මරා දමන තැන තැන විසි කරන අම්මලා ද අප අතර සිටින නිසාත් තවදුරටත් ඇය අසරණ තත්ත්වයෙන් පසුවන නිසාත්ය.

නෝනා රහීම් කාසිම් විවාහ වූයේ ජේ.ඒ. ලලිත් කුමාර සමගය. කුලී වැඩ කරමින් එදිනෙදා ජීවිතය ගෙවමින් මොරගහහේනේ ජීවත් වූ නෝනා රහීම්ටත් ලලිත්ටත් උපන් පුතු රොහාන් කුමාරය. 1993 වසරේ උපන් රොහාන් පුතුට කිසියම් රෝගී තත්ත්වයක් ඇති බවට අම්මා වූ නෝනා රහීම්ට වැටහෙන්නට විය.

“එතකොට පුතාට අවුරුද්දක් ඇති. මට දැනුණා පුතාට මූත්‍රා සම්බන්ධ ලෙඩක් තියෙනවා කියලා. ඒත් නෝනා වාට්ටුවට ගෙනිච්චාම කිසිම ලෙඩක් නෑ කිව්වා. එච්චරක් ‍නෙවෙයි මට දොසුත් කිව්වා.

දරුවාට අවුරුදු එකහමාරේ දී උණ අරන් අසනීප වුණා. හොරණ ඉස්පිරිතාලෙට පෙන්නුවා. සතියක් තියාගෙන හිටියම කිව්වේ මගේ පුතා ජීවත් කරවන්න බෑ කියලා. මං රණ්ඩු වෙලා දරුවත් අරගෙන ආයෙම නෝනා වාට්ටුවට ගියා. මේ 1995 වගේ කාලෙ. එදා ඉඳලා දරුවාට ප්‍රතිකාර කරන ගමන් නෝනා වාට්ටුවෙන් ලෙඩේ හොයන්න පරීක්ෂණ කරන්න පටන් ගත්තා. දරුවා අරගෙන මට කුලී වැඩකට යන්න බැරි වුණා. ඒත් බෑ කියලා බැරි හින්දා අරන් ගිහින් මං වැඩකරන තැන පුංචියට වළක් කපලා ඒ වළේ පුතාව තියලා මං වැඩ කළා. සෑහෙන මුදල් ප්‍රශ්න තිබුණා.

දරුවන්ගේ තාත්තා ඒ වෙනකොට බිමට වැටිලා. ඒ අතරේ දොස්තර මහත්තුරු කිව්වා බැරි වෙලාවත් මේ දරුවා නැති වුණොත් කවුරුත් නැති හින්දා තව දරුවෙක් හදාගන්න කියලා. අවුරුදු නවයකට පස්සේ 2002 දී දිනේෂ් කුමාර පුතා උපදින්නේ ඒ හින්දයි.

දරුවො දෙන්නෙක් එක්ක අපි පුදුමාකාර දුකක් වින්දේ ජීවත් වෙන්න. ඒත් පුතාගේ ප්‍රතිකාර මං හරියට කළා. මොන දුකක් විඳලා හරි දරුවා ජීවත්කර ගන්නයි මට ඕනෑ වුණේ. ටිකක් හරි හයියට හිටපු දරුවන්ගේ තාත්තා ඒ වෙනකොට බිමත්කමින් නැතිවෙලා හිටියේ. අපි ජීවත් වුණ ගේදොර පවා නැති කළා. 2005 එයා සියදිවි හානිකර ගන්න කොට චූටි පුතාට වයස අවුරුදු තුනයි. මගේ අසරණකම දැකලා දරුවන්ගේ තාත්තාගේ මල්ලි සුදත් කුමාර චූටි පුතාව හදන්න භාරගත්තා.

අවුරුදු ගාණක් ඔය විදිහට මම කුලී වැඩ කර කර හිටියා. ඉන්න තැනක් නැතුව පුතාට ප්‍රතිකාර කළා. දරුවා අසනීප වුණාට ලස්සනට හැදුණා. එයාට අවුරුදු 15ක් වෙද්දී 2007 දී ලෙඩේ හොයා ගත්තා. එයාගේ වකුගඩු දෙකම නරක්වෙලා කිව්වා. දරුවා ජීවත් කරවන්න නම් වකුගඩුවක් බද්ධ කරන්න ඕනෑ කිව්වා. ඒ වෙනකොට මගේ තත්ත්වෙ නෝනා වාට්ටුවේ දොස්තර මහත්තුරු දන්නවා.

හැමදේම කරන්න සල්ලි ඕනෑ කියලා මට තේරුණා. එතකොට පුතා ටිකක් ලොකුයි. මං පුතාව ඉස්පිරිතාලෙටයි අක්කලාටයි භාර දීලා මැදපෙරදිග ගියා. ඒ කොහොම හරි සල්ලි ටිකක් හොයාගෙන ඇවිත් පුතාට වකුගඩුවක් බද්ධ කරන්න. මම එහෙ වැඩ කරන අතරේ පුතා විටින් විට රෝහල්ගත වුණා කිව්වා. අක්කලා බලලා තිබුණා.

මට වැඩට හම්බ වුණේ හොඳ ගෙදරක්. මගේ දරුවගේ අසනීප ගැන කිව්වාම මට එයාලත් හුඟක් උදව් කළා. මේ අයගේ වැඩ වෙලාවෙන් පස්සේ එළියේ වැඩ කරන්නත් දුන්නා. අවුරුද්දක් ඒ රටේ දුක් විඳලා ලක්ෂ 5ක් විතර හොයාගෙන ලංකාවට ආවා. ඒ 2008. මං ඉස්සරලම කළේ ඉන්න තැනක් පිළියෙලකර ගන්න එක.

මොරගහහේනේ දැන් ඉන්න ඉඩම් කෑල්ල මං ගත්තේ එහෙමයි. ඊට පස්සේ එතැන කටුමැටි ‍පොඩි ගෙදරක් හදා ගත්තා. මේ ටික කරගෙන මං ආයෙත් විවාහ වුණා. ඒ මේ කරදරවලට මට තනියම මුහුණ දෙන්න බැරි නිසා. චූටි පුතා හදන්න ගත්ත මහත්තයාගේ මල්ලි සුදත් එක්ක තමයි මං ආයෙ විවාහ වුණේ. එයාටත් ස්ථිර රස්සාවක් නෑ. කුලී වැඩ කළේ. ඒත් මට මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න එයා ශක්තියක් වුණා.

දොස්තර මහත්තුරු පුතාට වකුගඩුවක් හොයාගන්න කිව්වා. වඩාත්ම ගැළපෙන්නේ තාත්තාගේ ඥාතියෙක්ගේ වකුගඩුවක් කිව්වා. සහෝදර සහෝදරියන්ගේ වකුගඩුවක් හරියටම හරියයි කිව්වා. සුදත් වකුගඩුවක් පුතාට දුන්නොත් එයාට කුලී වැඩක්වත් මහන්සි වෙලා කරන්න බැරි වෙනවා. මං අක්කලාට කිව්වා. එයාලා කිව්වා වකුගඩුවක් දෙන්නම් අපි මේ ඉන්න ඉඩම් කෑල්ලයි තව සල්ලියි ඕනෑ කියලා. මම ඒවා දුන්නොත් ආයෙත් දරුවො එක්ක පාරට වැටෙන නිසා එහෙම කළේ නෑ. ඔය කා‍ලේ වෙනකොට පුතාට හොඳටම අමාරුයි. මම පේරාදෙණිය ඉස්පිරිතාලෙ නවත්තගෙන හිටියේ. ළමාවංශ දොස්තර මහත්තයා කිව්වා ‘අම්මේ දරුවට අන්තිමයි. ඉක්මනට වකුගඩුවක් බද්ධ කරන්න ඕනෑ’ කියලා. මගේ ගන්න බෑ කියලා මුලින්ම කිව්වා. මාව දුර්වල වෙයි, දරුවන් වෙනුවෙන් වෙහෙසෙන්න බැරිවෙයි කියලා. ඒත් මට මගේ පුතාගේ ජීවිතේ නැති වෙනවා බලාගෙන ඉන්න බැරි වුණා. දොස්තර මහත්තයාට කිව්වා මගේ වකුගඩුවක් දරුවට බද්ධ කරන්න මං කැමැතියි කියලා. ඒකට කැමැති වුණේම නෑ. මං කිව්වා මගේ වකුගඩුව දාලා මට මගේ දරුවා ජීවත් කරවලා දෙන්න කියලා. මගේ කරදරේට අන්තිමට කැමැති වුණා. පරීක්ෂණ 15ක් කළා. මගේ වකුගඩුව ගැළපුණා. ඊට පස්සේ 2009 පුතාට මගේ වකුගඩුව බද්ධ කළා, පේරාදෙණිය ඉස්පිරිතාලෙදි. සති කීපයකට පස්සේ අපි හොඳවෙලා ගෙදර ආවා. ඒ ඇවිත් ගෙදර හිටියා. ඒ ඔක්කොම ඉවර වුණාට පස්සේ තමයි දන්නේ මම වකුගඩුව දෙනකොටත් මට දරුවෙක් ලැබෙන්න ඉඳලා කියලා. එතකොට මාස තුනක් වගේ වුණත් ඒක මට දැනුණෙත් නෑ. අහු වුණෙත් නෑ. පුතාගෙ ඔපරේෂන් එකෙන් මාස හයකට පස්සේ චූටි පුතා උපන්නා 2010 දී. මම ලෙඩ වුණේ නැති වුණාට දුර්වල වුණා. වකුගඩුව දුන්න නිසයි පුතා ලැබුණ නිසයි කුලී වැඩකටවත් යන්න බැරි වුණා. සුදත් තමයි දුක්විඳලා අපිව ජීවත් කළේ.

ඔපරේෂන් එකෙන් අවුරුද්දක් විතර යද්දී ආයෙත් හදිස්සියේ පුතා අසනීප වුණා උණ ඇවිත්. හුස්ම ගන්නත් අමාරු වුණා. පුතාව මහ ඉස්පිරිතාලෙට ඇතුළත් කළා. ඉස්පිරිතාලෙන් කිව්වේ බද්ධ කරපු වකුගඩුව නරක් වෙලා කියලා. තව වකුගඩුවක් බද්ධ කළොත් දරුවා ජීවත් කරන්න පුළුවන් කිව්වා. ඒත් දෙයියනේ ඒ වෙනකොට තව වකුගඩුවක් බද්ධ කරන්න කිසිම වත්කමක් තිබ්බෙ නෑ. අඩුම තරමේ වකුගඩුවක්වත් හොයාගන්න බැරි වුණා. දරුවා ඇඬුවා වකුගඩුවක් හොයලා බද්ධ කරලා එයාව බේරාගන්න කියලා. ඒ වෙනකොට අවුරුදු 16ත් ඉවරයි. 17ට ලබලා හිටියේ. හොඳට තේරෙනවා එතකොට චූටි පුතාගේ වයස අවුරුදු හතක් අටක්. එයා හැම වෙ‍ලේම ඇඬුවා එයාගේ වකුගඩුව දීලා අයියා සනීප කරලා දෙන්න කියලා. මේ සහෝදරයෝ දෙන්නා හරි බැඳීමකින් හිටියේ. ඒත් දොස්තර මහත්තුරු කිව්වා මල්ලි පුංචියි කියලා. අපිට මොකුත්ම කරගන්න බැරි වුණා. මාස හයකට විතර පස්සේ පුතා නැති වුණා. එතකොට ලස්සන කොලු පැටියා. මට වාවන්නෑ අදටත් මතක් වෙද්දී. එයා ජීවිතේ ඉල්ලද්දී මට ඒ ජීවිතේ ඒ පාර දෙන්න බැරි වුණා. ඒ වතාවේ හරි මහත්තයාගේ සහෝදරියක්වත් වකුගඩුවක් දුන්නා නම් සමහර විට පුතා අදටත් අපිත් එක්ක ඉන්නවා. අපි එතකොටත් වැටෙන්න ඕනෑ අන්තිම තැන හිටියේ. කටුමැටි ගෙදරත් අබලන් වුණා.

මට රස්සාවකට යන්න බෑ. මහන්සියි. කොන්ද අමාරුව පයින් යන්න බෑ. පඩි නගින්න බෑ. වකුගඩුව දුන්නට පස්සේ ඩෙංගුත් හැදුණා. වාසනාවට මං බේරුණා. හරියට ‍පෝෂණයක් ඇඟට ඕනෑ කියලා දොස්තර මහත්තුරු කිව්වා. ඒත් එදාට තියෙන විදිහට කෑවා මිසක් එහෙම කන්න බොන්න අපිට හිතන්නවත් බෑ. මට ඕන මගේ පුතාලා දෙන්නට හොඳට උගන්නන්න. එයාලා ඉගෙන ගන්න දක්ෂයි. පුතාලා දෙන්නම මාදුළුවාව මහා විද්‍යාලයේ ඉගෙන ගන්නවා.

සමහර වෙලාවට ‍පොඩි පුතා තාත්තා එක්ක කුලී වැඩට යනවා. එපා කිව්වට අහන්නෑ. තාත්තා දුක් විඳිනවා කියලා තමයි එයා එහෙම කරන්නේ. අතට හම්බවෙන කීය හරි මට ගෙනත් දෙනවා. වැඩට යනවා කියලා ඉස්කෝලෙ ගුරුවරු දැනගත්තම බණිනවා. ඒ ඉගෙනීම කැඩෙයි කියලා. දරුවන්ට ඉගෙන ගන්න පුළුවන් කියලා තමයි ඉස්කෝලෙන් කියන්නේ. ඒත් ඇත්තම කිව්වොත් දරුවො ඉල්ලන කොට ‍පොතක්, පෑනක් අරන් දෙන්නත් වත්කමක් නෑ. දරුවන්ට ඉගෙන ගන්න කවුරු හරි උදව් කරනවා නම් අපිට කරන ලොකු උදව්වක්.

පහුගිය කාලෙම මම ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලෙ නයනි මිස්ටයි ග්‍රාමසේවක මහත්තයාටයි කිව්වා ගෙයක් හදාගන්න උදව් කරන්න කියලා. නයනි මිස්ට කලින් හිටපු මංගලා මිස්ටත් කිව්වා.

“බලමු, වාසනාවක් තිබ්බොත් කැරකෙයි.” කියලා තමයි ඒ අය කිව්වේ. අන්තිමට ගෙයක් ලබන්න තරම් මං වාසනාවන්ත නම් වුණා.”

නුගේගොඩ සිටින ව්‍යාපාරිකයකුගේ මැදිහත්වීමකින් විදේශයක සිටි දානපතියකුගේ පරිත්‍යාගයෙන් ඇගේ ගරාවැටුණු කටුමැටි ගෙදර ළඟින් ලස්සන පුංචි නිවහනක් ඉදි වුණේය. ඒත් දැනට ඇත්තේ ඒ අලුත් නිවහනේ වහලයත් බිත්ති හතරත් පමණි. ඒ ගෙදර හිස්ය. දුක් අතරින් හෝ දරුවන් දෙදෙනාට ඉගැන්වීම නෝනා රහීම් කාසිම්ගේ එකම බලා‍පොරොත්තුවයි. ඒ සඳහා ඇය කාරුණික හදවත් ඇත්තන්ගේ පරිත්‍යාගශීලී දෑත්වල උදව් ඉල්ලා සිටින්නීය. ඒ සඳහා 077 6423963 අංකයෙන් කාරුණික හදවත් ඇති ඔබට නෝනා රහීම් කාසිම් අමතන්නටත් පුළුවන.

Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »