සකපෝරුව කුණු මුල්ලටද ?
මොළ­ගොඩ වළං කර්මා­න්තය අන­තුරේ!

2017-05-31 10:40:00       593
feature-top
මැටි ගේන්න බැහැ පොලීසියෙන් අල්ලනවා. බෙලිඅත්ත, මාතර, වැලිගම පැතිවලින් මේ ගමට මිනිස්සු එනවා බඩු ගෙනියන්න. අපේ ගෙදරත් ආවා. ඒත් ආව ලොරි ආයෙත් ගියේ හිස් අතින් මැටි නැතිව කොහොමද බඩු හදන්නෙ.”

ඒ කතාව අමරපාල මාමාගේය. එක්දහස් නවසිය අසූ ගණන්වල කාටවත් අත නොපා සිය කර්මාන්තයෙන් දියුණුවට පත්වූ මොළගොඩ මැටි කාර්මිකයන්ගේ අද දවස එසේය. ඔවුන් දැන් කැඩි බිඳී, පිලිස්සි අබලන්ව ගිය මැටි වළං බඳුය.”

මිනිස්සු දර ළිපේ කෑම පිසීම අත්හැර ගෑස් ළිප්වලට කෑම පිසීමට හුරු වූයේ ක්‍රමයෙනි. නමුත් අද වන විට ඈත ගම්බද වුවද දර ළිප් භාවිත කරන්නෙකු සිටින්නේ ඉඳහිටය. ගෑස් මිල කොතරම් ඉහළ ගිය ද ගෘහිණියෝ අද ගෑස් උඳුන් භාවිතය අත්නොහරින තරමට එහි පහසුව හා ලෙහෙසියට හුරුවී ඇත්තාහ. බොහෝ විට ඉස්සරනම් ගෑස් ළිප්වල තබනු ලැබුවේ ඇලුමිනියම් භාජනය. නමුත් දැන් විවිධ රෝග මෙන්ම ඇලුමිනියම් භාජනවල ආහාර පිසීම අහිතකර යැයි යන මතය තහවුරු වීමත් සමඟ ගෘහිණියෝ ගෑස් වළංවලට හුරු වෙමින් සිටිති. මේ කතා කරන්නට යන්නෙ ගෑස් උඳුන් ගැන නොව ගෑස් වළං ගැනය.

කොළඹ සිට නුවර පාරේ පස්යාල, වේවැල්දෙනිය, කජුගම පසුකර ඉදිරියට යන විට නෙළුම්දෙණිය පසුවෙද්දී මඟ දෙපස එක දිගට පිහිටි වළං වෙළෙඳසල් බොහොමයකි. පොල් ගෙඩි අකුරෙන් “ගෑස් වළං” යැයි ලියා තැබු තැනෙක අපි නතර වූයෙමු. ගෑස් වළං මෙන්ම එහි දර උඳුන්වල ඉවුම්පිහුම් කළ හැකි වළං ගුරුලේත්තු ආදිය ද තිබිණි. විසි අවුරුද්දක් තිස්සේ එම ප්‍රදේශයේ වළං අලෙවිසලක් පවත්වාගෙන යන එස්. බී. ස්වර්ණා සමඟ අපි කතාබහ කළෙමු.

“මුල් කාලේ මම ඉදල් පාපිසි ආදිය තමයි විකුණුවේ. පස්සේ මැටි බඩු විකුණන්න ගත්තා. දැන් ටික කාලෙක ඉඳලා වැඩිපුරම විකිණෙන්නේ ගෑස් වළං. පුංචිම ඇතිලියක් රුපියල් අසූවක් වෙනවා. නුවර පෙරහර කාලෙට, අවුරුදු කාලෙට වගේම වෙසක් කාලයටත් අපට වැඩිපුර ආදායම තියෙනවා. ඒ වගේම තමයි පායන කාලෙට මැටි ගුරුලේත්තුවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. පහුගිය කාලේ තිබුණු දැඩි පෑවිල්ලට ගුරුලේත්තුවලට ඉල්ලුමක් තිබුණා...”

ස්වර්ණලතා අපට බොහෝ තොරතුරු පැවසුවාය.

මොළගොඩ මැටි කර්මාන්ත ගම්මානය ඇත්තේ ද ඒ ආසන්නයේමය. අප ඇගෙන් තොරතුරු අසාගෙන මැටි ගම්මානයේ කවුරුත් දන්නා අමරපාල මාමාගේ නිවෙස සොයා ගියෙමු. පාර පෙන්වීමට ඉදිරිපත් වූයේ පොඩ්ඩෙකි.

“අමරපාල මාමාගේ ගේ තියෙන්නේ උඩ පාරේ” පොඩ්ඩා අපට ඉස්සර විය. අප එහි යන විට ඔහු සිටියේ සාදා තබන ලද ගුරුලේත්තුවලට වතුර දමා බලමිනි.

“මේ මගේ මුනුපුරා. මෙයාගේ අම්මත් අපිත් එක්ක මැටි බඩු හදනවා.”

අමරපාල මාමා කීවේය. ඔහුගේ බිරිය ඒ. බී. ඇසිලින් සිය ලේලිය කුමාරි විසින් මැෂිමේ හදන මැටි ‍ගුරුලේත්තු එකින් එක කරින් ගෙන ගොස් වියළෙන්නට තබයි. බලා සිටින කෙනෙකුට මැෂිමේ ගුරුලේත්තු සෑදීම සුළු දෙයක් ලෙස සිතෙන්නට පුළුවන. නමුදු පාදයත්, දෑතත් එක සිරුරට වැඩ කරන විට එය කොතරම් වෙහෙසකරදැයි දැනෙන්නේ එහි නිරත කෙනා පමණි. මොළගොඩ අමරේ මාමාගේ ගේ මිදුලේ තැන තැන මැටි තලිය. තව තැනෙක පෝරණුය. තවත් තැනෙක ගරා වැටුණු රාක්ක පේළියකි. තවත් මඩුවක අරණායක සිට පැමිණි විමලරත්න මැටි බඩු සාදන්නේය.

ඔහු දිනපතා අරණායක සිට මොළගොඩ එන්නේය.

“මං පාන්දරම එනවා. මමත් පරම්පරාවෙන්ම මැටි බඩු හැදුවේ. නමුත් අපට එහෙම පටන් අරගෙන කරන්න අමාරුයි. වියදම වැඩියි. ඊට ලාබයි මෙහෙම ඇවිත් වැඩ කරන එක. දවසට රුපියල් 1500ක් විතර ලැබෙනවානේ.” විමලරත්න පවසන්නේය. එනමුදු ඇසිල් හා අමරපාල යුවළ කර්මාන්තය පිළිබඳව කතාබහ කරන්නෙ කනගාටුවෙනි.

“දිවංගත ජනාධිපති ප්‍රේමදාස මහත්තයගේ කාලේ තමයි අපිට හොඳ සැලකිල්ලක් තිබුණේ. මේ ගම්මානය ආරම්භ කෙරුණේ වැඩිදියුණු වුණේ ඒ කාලේ. ඉන් පස්සේ පත්වුණු හැම රජයකටම වගේ අපිට තියෙන ප්‍රශ්න කිව්වා. ඒත් ඵලක් වුණේ නැහැ. ගුරුලේත්තු තමයි දැන් අපේ එකම ආදායම. මැටි ගේන්නේ කඩුවෙලින්. ගුරුලේත්තුවලට හරියන මැට්ට තියෙන්නෙ එහෙ. නමුත් දැන් අපිට ඒකටත් ප්‍රශ්න. පොලීසියෙන් අල්ලනවා. දැන් මැටි හරි මිලයි. පොලීසියෙන් කියන්නේ මැටි ගෙනිහිල්ලා අපි වැලි කරනවා කියලා. ප්‍රේමදාස මහත්තයගේ කාලේ අපි හැම ගම්උදාවකටම වගේ යනවා. හොඳට මැටි බඩුවලට ඉල්ලුමක් තිබුණා. අපි බොහොම තරුණ කාලේ මේ රස්සාව පටන්ගත්තේ. පාරම්පරික රස්සාව අතහරින්න ලේසියි. ඒත් මේ වගේ පාඩු ලබ ලබා කරගෙන යන්න බැහැ. පෝරණුවට දාන්න ගන්න ලී කුඩු, පොල්ලෙලි හැමදේම මිලයි.” අමරපාල මාමා පවසන්නේ කනගාටුවෙනි.

ඒ අතර ඇසිලින් නැන්දා සකපෝරුවේ විසිතුරු මැටි බඳුනක් සාදන්නට වූවාය.

“පහුගිය කාලේ කරපු මහින්දාගමනය චිත්‍රපටයට අපෙන් තමයි මැටි බඩු හදවා ගත්තේ. ඒ අය දුන්න දුන්න මෝස්තරවලින් අපි බඩු හැදුවා. අපි බොහෝම සාධාරණ මිලක් ගත්තේ. නමුත් අතරමැදියා තමයි වැඩිපුරම වාසි ගත්තේ. හුඟක් තැන්වල වෙන්නේ ඒකයි. විශ්වවිද්‍යාලවල ළමයි, විදේශිකයෝ මෙහෙ එනවා. මගෙ ලේලිලා දෙන්නම මා එක්ක වැඩ කරනවා. නමුත් පුතාලා දැන් මේ රස්සාව අතහැරලා තියෙන්නේ. ඒගොල්ලෝ අපෙන් අහන්නේ මේ ලැබෙන ආදායම මොනවා කරන්න ද කියලා. දැන් මේ ගමේ පවුල් දෙක තුනයි කර්මාන්තය කරන්නෙ. හුඟක් අය කරන්නේ විසිතුරු බඩු. අපිත් කරන්නේ විසිතුරු බඩු. කුරුලු ගෙවල්වලටත් ඉල්ලුමක් තියෙනවා.”

ඇසිලින් නැන්දා මැටි බඳුන සාදන අතරේම කතා කරන්නීය.

“අපෙන් පස්සේ අපේ දරුවෝ මේ කර්මාන්තය ඉදිරියට ගෙනියන්නෙ නැහැ. ඒ ගැන මතක් වෙනකොට දුකේ බැහැ.”

පිටත්ව එන්නට සූදානම් වූ මොහොතේ අමරපාල මාමා පැවැසුවේ සුසුමක් හෙළමිනි. මොළගොඩ ප්‍රදේශයේ මැටි භාණ්ඩ අලෙවිසල් දෙපසම ඇති කඩවල තොග ගණන් ඇති ගෑස් වළං නිෂ්පාදනය කැරෙන්නේ එහිමදැයි සොයා බැලීම අපේ මීළඟ අරමුණ වූයේය. අපි එහි නිවෙස් කිහිපයකටම ගියෙමු. ඒ සෑම තැනෙකම වාගේ කිංකිණි වැල් ආදි වූ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයට පමණක් සීමා වී ඇත්තේය. ඒ අතර මාලිනිගේ නිවෙසේ හට්ටිමුට්ටි රැසක් ගොඩ ගසා තිබෙනු දැක අපි එහි ගියෙමු. හයක් හතරක් නොදන්නා සදිෂ් පුතු වළං ගොඩේ සෙල්ලම් කරමින් සිටියේය.

“එයා වළංවලට මුකුත් කරන්නේ නැහැ. පොඩි වළං අතට අරගෙන ආයෙම එතැනින්ම තියෙනවා.” මාලිනි සිය මුනුබුරා ගැන කියන්නට වූවාය. ඇගේ නිවෙසේ ගෑස් වළං මෙන්ම දර ළිපේ තබන වළං ද වූයේය.

“දැන් කවුරුවත් වළං හදන්නේ නැහැ. අපි පඬුවස්නුවරින් තමයි වළං ගේන්නේ. ගෑස් වළං හදන්නේ අච්චුවේ. දර ළිපේ තියෙන වළං හදන්නේ සකපෝරුවේ. ගෑස් වළංවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. අපි තොග ගානට ගෙනැල්ලා කඩවලට දානවා. වළංවල ගාන හැදෙන්නේ මෙහෙමයි. ලොකුම වළංවලින් එකක් රුපියල් තුන්සියයි. දෙවැනි ප්‍රමාණයේ වළංවලින් දෙකක් තුන්සීයයි. තුන්වැනි ප්‍රමාණයේ වළංවලින් හතරක් තුන්සීයයි. හතරවැනි ප්‍රමාණයේ වළංවලින් අටක් රුපියල් තුන්සීයයි. අවුරුදු කාලෙට දෙසැම්බර් කාලෙට නම් හොඳට ඉල්ලුමක් තියෙනවා. අනිත් කාලවලට වේලෙනවා. ගමේ හුඟක් අය රස්සාව අතහැරලා.” මොළගොඩ මාලනි පවසයි.

කලකට පෙර වළං සැදූ මොළගොඩ ගැමියෝ දැන් පිට ගම්මානවලින් වළං ගෙනැවිත් විකුණති. කර්මාන්තය අත්හැර දැමු ඇතැම් නිවෙසක පෝරණු කඩා බිඳ දමා මැටි බඩු තැන තැන විසිර දමා කුලී වැඩට යන්නාහ. ඔවුන් දැන් ඒ ගැන කතා කිරීමට ද අකමැතිය.

කෑගල්ල නෙළුම්දෙනිය අතර වෙළෙඳපළවල තබා ඇති වළංවල, මැටි විසිතුරු භාණ්ඩ තරම් සුන්දර නැති මොළගොඩ වළං කර්මාන්තකරුවන්ගේ ජීවිතවලට යළිත් ප්‍රාණය දිය යුතු කාලය දැන් එළැඹ ඇත. දේශීය කර්මාන්තකරුවාට යළිත් නැඟී සිටීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නේනම් වැනසී යන මෙම කර්මාන්තය යළිත් ගොඩනැඟිය හැකිය.



Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »