චිත්‍ර විනාශයි... බිත්ති බලන්න දඹුල්ලට එන්න

2017-05-30 09:28:00       583
feature-top
හැම තැනම මී ගුල් නිලධාරීන් කියන්නේ
මී කතුරු තියනවා කියලා

ලෙන් විහාර ආරම්භය වසර දහස්‌ ගණනක්‌ එපිට යන්නේය. සිරිලක අපසතු ලෙන් විහාරයන්හි වටිනාකම නූතන පාලකයන්ට හෝ නූතන පරපුරට නොදැනෙන්නේ, විවෘත ආර්ථිකය සමග බද්ධ වූ මූල්‍ය ගනුදෙනු සහ සෑම සියලු කටයුත්තකටම මුදල ඉස්‌සර වන නිසාය. ඉපැරණි උරුමයන් සියල්ල මුදලට විකිණෙන ගාණට වැටී ඇත්තේ ද එබැවිනි.

වලගම්බා රජු විසින් කරවන ලද බවට විශ්වාස කෙරෙන රංගිරි දඹුලු රජ මහ විහාරය වියන් චිත්‍ර සහිත ලොව විශාලතම ලෙන් විහාරය වීමත් එහි ඇති ඓතිහාසික වටිනාකමින් යුත් විශ්මිත චිත්‍ර හා පිළිරූ හේතුවෙනුත් ලෝක උරුමයක්‌ ලෙස යුනෙස්‌කෝව විසින් නම් කළේ 1991 වසරේදීය. දෙස්‌ විදෙස්‌ ජනතාවගේ නොමඳ ආකර්ෂණයට ලක්‌වූ පිළිම හා සිතුවම් සහිත ලෙන් පහක්‌ දඹුලු රජමහ විහාර සීමාව තුළි පිහිටා තිබේ. බුදු පිළිම 153 ක්‌ද දේවතා පිළිම 04 ක්‌ද වළගම්බා හා නිශ්ශංක මල්ල රජුන්ගේ බවට අනුමාන කෙරෙන පිළිරූ 02 ක්‌ද සමඟ වර්ග අඩි 2100 ක පමණ සීමාවක්‌ පුරා පැතිර ගිය සිතුවම්ද මෙම ස්‌ථානයේ ඓතිහාසික බව සුරකින්නාවූ නිමැවුම්ය.

මෙම පුණ්‍ය භූමිය ඓතිහාසික වටිනාකමක්‌ සහිත ස්‌ථානයක්‌ බව තහවුරු කෙරෙන තවත් සාක්‌ෂි රැසකි. ඒ අතරින් විහාර සීමාවට නුදුරු ඉබ්බන්කටුව ආශ්‍රිතව වසර 2700 ක්‌ පමණ පැරණි මානව ඇට සැකිළි සහිත සුසාන භූමියක්‌ හමුවීම ප්‍රධානය. බුදු දහම මෙරටට පැමිණීමට පෙර සිටම මෙම ලෙන් ආශ්‍රිතව ජනාවාස පැවත ඇති බවට මෙමඟින් අනුමාන කළ හැකිය. විදේශ ආක්‍රමණ හේතුවෙන් වළගම්බා රජු දඹුලු ලෙන් ආශ්‍රිත ප්‍රදේශයේ සැඟවී සිට යළි බලය තහවුරු කර ගැනීමෙන් පසු ලෙන් සමූහය විහාරයක්‌ බවට පත්කර තිබෙන බවට විශ්වාසයක්‌ පවතී. පසුකාලීනව මෙරට රාජ්‍යත්වයට පත්වූ නිශ්ශංක මල්ල රජු ඇතුළු රජවරු ගණනාවක්‌ මෙම ලෙන් ආරක්‌ෂා කරගන්නා අතුරතුර ඒවාහි සුන්දරත්වය ඔප්නැන්වීම පිණිස නොයෙක්‌ අංග එක්‌කර තිබෙන අතර ඒ ඔස්‌සේ නව පිළිරූ එක්‌වීම මෙන්ම සිතුවම් වර්ණ ගැන්වීම ද මනරම් අයුරින් සිදුව තිබේ.

මේ ආකාරයෙන් වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ සුරැකිව තිබූ ලෝක උරුම රංගිරි දඹුලු රජමහා විහාරය කෙරෙහි කලක පටන් බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීමේ ප්‍රතිපලයක්‌ ලෙස අද ලෝක උරුමයෙන්ද ඉවත්ව යැමේ අවදානමකට ද ලක්‌ව තිබේ. මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ නිලධාරීන්ගේ අවිධිමත් හා නොසැලකිලිමත් සංවර්ධන කටයුතු මෙම ලෝක උරුමයේ විනාශයට පාර කපා ඇති බව පෙනෙන්නට තිබේ. එපමණක්‌ නොව දඹුලු ලෙන් විහාරය නැරඹීම සඳහා පැමිණෙන විදේශිකයන්ගෙන් මුදල් අය කිරීමට හෙවත් ටිකට්‌පත් අලෙවි කොට මුදල් ඉපැයීමට වත්මන් පාලන අධිකාරිය කටයුතු කිරීම හේතුවෙන් විහාර සංස්‌කෘතිය මුදලට විකිණෙන තත්ත්වයකට පත්ව ඇති බව පෙනේ. එපමණකදු නොව පසුගියදා අමාත්‍යංශ මට්‌ටමෙන් පවත්වා ඇති රැස්‌වීම්වලදී ද සාකච්ඡා කොට ඇත්තේ දඹුලු විහාරය නරඹන්නට පැමිණෙන විදේශික වැඩිහිටියකුගෙන් රුපියල් දහසක්‌ සහ කුඩා දරුවකුගෙන් රුපියල් පන්සියයක්‌ අය කර ගත යුතු බවය. ඒ සඳහා අවශ්‍ය ටිකට්‌ පත් මුද්‍රණය කොට ඇති බව ද එම කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක නොකරන නිලධාරීන් හට මාරුවීම් ලබා දෙන බවට ද දැනුම් දීමක්‌ කර ඇති බවද දැන ගන්නට ඇත්තේය. මේ අපේ උරුමයන් ආරක්‌ෂා කර ගන්නා අයුරුය.

ඉපැරණි සිතුවම් ආරක්‌ෂා කරනු වස්‌ , මෑත මෙරට පැමිණි ඉතාලි චිත්‍ර ශිල්පියකු පවසා ඇත්තේ, සිතුවම් සංරක්‌ෂණය කරන්නට නම්, පැමිණෙන බැතිමතුන් සීමා කළ යුතු බවය. එය එසේ කළ හැකිද? ලෙනෙහි සිතුවම් අඳින ලද්දේ, විදේශිකයන්ගේ උපදෙස්‌ උවමනා අනුවද? යන පැනය නිරතුරුවම සිතෙහි නැගිණි. තවත් අතෙකින් බලන කල මෙම චිත්‍ර අඳින ලද පරම්පරාව ගෙන්වා මෙම චිත්‍ර ආරක්‌ෂා කර ගැනුමට නම් කළ යුත්තේ කුමක්‌ද යන්න නොවිමසන්නේ ඇයි? ඔවුහු එදා මෙදා තුර මෙම චිත්‍ර රැකගැනුම උදෙසා කළ යුතු දෑ නොදන්නවා විය නොහැක.

එහෙත් දඹුල්ලේ විවිධ ගැටලු විවිධ පැතිකඩ ඔස්‌සේ ඔඩු දුවන බව දැණිනි. මේ වනවිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අධික්‌ෂණය යටතේ සංරක්‌ෂණය වන්නේය. සංරක්‌ෂණ කටයුතු සදහා වෙන්කොට ඇති මුදල රුපියල් කෝටි විස්‌සකි. ඒ යටතේ වන රුපියල් මිලියන විසිපහක මුදලක්‌ ද දැන් වන විට නිදහස්‌ කොට ඇත්තේය. ජනපතිතුමන් විසින් සක්‍රිය දායකත්වයක්‌ ලබා දී තිබුණද දඹුල්ල සංරක්‌ෂණයේත් පවත්වා ගෙන යාමේ ක්‍රම වේදයේත් කිසියම ගැටලුකාරි බවක්‌ ඇති බැව් දැනෙන්නේය. විහාරාධිකාරි නායක හිමිවරුන් විසින් විහාරයේ භාරකාරිත්වය ඉසුළුවද , එහි වෙනත් කිසියම් බලවේගයක්‌ බලය පතුරවා ඇති බවක්‌ද දැනෙන්නෙය. මේ හේතුව නිසා දඹුල්ල රජමහා විහාරයේ සියලු කටයුතු අවුල් වියවුල් නොහොද නෝක්‌කාඩු ස්‌වරූපයක්‌ ගෙන ඇති බවක්‌ දැනෙන්නේය.

ඓතිහාසික රංගිරි දඹුලු විහාරයේ අයිතිය ඇත්තේ අස්‌ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක පදවියට යටත්වය. ඒ අනුව එහි භාරකාරත්වය සඳහා මහනායක පදවියට පත්වන ස්‌වාමින්ද්‍රයන් වහන්සේ විසින් හිමිනමක පත්කිරීම කලක පටන් පැවති චාරිත්‍රයයි. අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක පදවිය පුරා වසර 15 ක්‌ හෙබවූ අපවත් වී වදාළ උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත මහනාහිමියන් මෙහි භාරකාරත්වය ඉනාමළුවේ සුමංගල හිමියන්ට පැවරීමෙන් පසු උන්වහන්සේ දශක දෙකකට ආසන්න කාලයක්‌ විහාරයේ වැඩකටයුතු සිදුකර තිබේ. බුද්ධරක්‌ත මහනාහිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව ගලගම ශ්‍රී අත්ථදස්‌සී නාහිමියන් අස්‌ගිරි මහනායක පදවියට පත්වූ අතර ඉන් අනතුරුව රංගිරි දඹුලු රජමහ විහාරයේ භාරකාරත්වය පිළිබඳ යම් යම් ගැටලු මතුවිය. පසුව අභිනවයෙන් අස්‌ගිරි මහනායක පදවියට පත් වරකාගොඩ ඤාණරතන නාහිමියෝ දඹුල්ල රජමහ විහාරය වෙත කාරක සංඝ සභාවේ අනුමැතිය ඇතිව ප්‍රථම වරට භාරකාරත්වය වෙනුවට විහාරාධිපති ස්‌වාමින්ද්‍රයන් වහන්සේ නමක්‌ පත්කරනු ලැබූහ. එසේ පත්වූ අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ගොඩගම මංගල හිමියෝ විහාරය අද පත්ව ඇති තත්ත්වය පිළිබඳව අදහස්‌ දක්‌වන්නේ සංස්‌කෘතික ත්‍රිකෝණයට දැඩි චෝදනා එල්ල කරමිනි.


ලෙන් විහාරය තුළවූ පෞරාණික බුදු පිළිම හතරක වර්ණය සම්පූර්ණයෙන්ම වෙනස්‌ව ගොස්‌ ඒවා සුදු පැහැයට හැරී තිබේ. මෙය සංස්‌කෘතික අරමුදලේ නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූවක්‌ බව විහාරාධිපති හිමියෝ පවසති. මේ ආකාරයේ තවත් විනාශයන් රැසක්‌ මේවා රකින්නට සිටින අය අතින්ම සිදුව තිබෙන අයුරු එහි යන කාටත් දැකගත හැකිය. පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ස්‌ථානයක ඇති වස්‌තුවකට සුළු හෝ හානියක්‌ කළහොත් නීතිය හමුවට ගෙන ගොස්‌ සාමාන්‍ය ජනතාවට දඬුවම් ලබා දීමට උනන්දු වන නිලධාරීන් අතින් මෙම වටිනා වස්‌තූන්ට සිදුවන හානි සම්බන්ධව කටයුතු කිරීමට කිසිවකුත් නොමැති වීම මොන තරම් අභාග්‍යයක්‌ද යන්න පැහැදිලි වන්නේ ඇතැම් නිලධාරීන් අවබෝධයකින් තොරව සිදුකර තිබෙන සංරක්‌ෂණ කටයුතු තුළිනි.

සංස්‌කෘතික ත්‍රිකෝණයේ නිලධාරීන් මෙම විහාරයේ පිළිම හා චිත්‍ර සංරක්‌ෂණය හරියට කරලා නැහැ. මේ අය කරපු ප්‍රතිසංස්‌කරණ නිසා විහාරයේ පෞරාණික පිළිම වහන්සේලා සිව් නමකගේ වර්ණය වෙනස්‌ වෙලා. විහාරයේ තේවා මණ්‌ඩපය පවා මේ අය වෙනස්‌ කරලා. අද දඹුල්ල රජමහ විහාරයේ ඓතිහාසික වටිනාකම වගේම පූජනීය පරිසරය ද අද දකින්න නැහැ. දෙව් රජ විහාරයේ පොළව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ටයිල් අල්ලලා. ඒකට උඩින් වැක්‌ස්‌ එකක්‌ ගාලා.ගල් ලෙන් තුළට ස්‌වභාවිකව වාතය ලැබෙන වාකවුළු ලෑලි ගහලා වහලා. දහවල් කාලයට ගල් පර්වතය රත් වෙනකොට රස්‌නේ පිටවෙන්නේ මේ කවුළුවලින්. ත්‍රිකෝණයේ නිලධාරීන් මේවා වහලා. මට පුරාවිද්‍යාව පිළිබඳව දැනුමක්‌ නැතත් මේ රස්‌නය පිට වෙන්න තැනක්‌ නැති වුණාම ලෙන ඇතුළ රත්වෙලා චිත්‍රවලට හානි වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. විහාර භූමියේ පශ්චිම විහාර ගොඩනැගිල්ලේ වහලේ තිබූ උළු ඉවත් කරලා ඒවට තහඩු දාලා. තහඩු රත්වෙන කොට පහළට රස්‌නේ එන එක වළක්‌වන්න තහඩුවට යටින් තාර ෂීට්‌ දාලා.අව්වට ඒවා උණු වෙලා තාර පහලට වැක්‌කෙරෙනවා. ප්‍රදේශයේ කාලගුණික හා දේශගුණික තත්ත්වය ගැන මෙලොව අවබෝධයක්‌ නැතිව තමයි නිලධාරීන් පහුගිය කාලයේ වැඩ කරලා තිබෙන්නේ. පුරාවිද්‍යා එකත් මේවා ගැන නිහඬයි. අද සංස්‌කෘතික ත්‍රිකෝණයේ ඇතැමුන් විහාරයේ පරිහානිය මෑතක සිදුවූවක්‌ බවට ප්‍රචාරයක්‌ ගෙන යන්න උත්සහ කරනවා. අද දඹුල්ල විහාරයට සිදුව තිබෙන හානිය සම්බන්ධයෙන් සංස්‌කෘතික ත්‍රිකෝණය වගකියන්න ඕන. අවුරුදු 25 කට වැඩි කාලයක්‌ සංස්‌කෘතික ත්‍රිකෝණය හා පුරා විද්‍යාව විහාරයේ අධීක්‌ෂණ කටයුතු සිදුකර තිබෙනවා. තමන් අතින් වූ වැරදි අනුන්පිට පටවන්න කාටවත් බැහැ. බුද්ධ ප්‍රතිමාවන්ගේ සිරස්‌ පත විහාරයේ තැනින් තැන දාලා තිබෙනවා. මේවා පුරා විද්‍යාත්මක වටිනාකමක්‌ ඇති දේවල්. සාමාන්‍ය මනුෂ්‍යයෙක්‌ බිත්තියක ඉරක්‌ ඇන්දත් අල්ලන් ගිහින් නඩු දානවා. හැබැයි මේවා රකින්න ඉන්න උදවිය කරන විනාශය ගැන කවුරුත් හොයන්නේ නැහැ. දැන් පුරා විද්‍යා නිලධාරීන් දෙදෙනෙක්‌ ඇවිත් උදේට පොත අත්සන් කරලා හවසට යනවා. ඔවුන් ලැඟුම් ගෙන සිටින කාමරයේ බිත්තිය සම්පූර්ණයෙන් දුර්වර්ණ වෙලා. මේක පුරාවිද්‍යාව හෝ සංස්‌කෘතික ත්‍රිකෝණය මැදිහත්ව සංරක්‌ෂණය කළ යුතුයි. මේ චිත්‍ර ඇන්ද පරම්පරා ගෙන්නලා ඒ අයව අගය කරලා අදටත් සේවය ලබා ගන්න කටයුතු කරන්න ඕනෑ. අපේකම රකිනවා කියන්නේ අන්න ඒ වගේ කාරණාවලට. අපේ උරුමයට මහා සේවයක්‌ කළ ඒ මිනිස්‌සු රැකගන්න කටයුතු කරන්න අපි මැදිහත් වෙන්න ඕනෑ. සංස්‌කෘතිය රකිනවා කියන්නේ එතකොටයි. මංගල හිමියෝ පවසති...

විහාරයේ පිළිමවලට සිදුවූ හානියක්‌ දැක එකල භාරකාරත්වය දැරූ සුමංගල හිමියෝ 2002 වසරේදී සංස්‌කෘතික ත්‍රිකෝණයේ නිලධාරීන්ව පන්නාගෙන තිබෙනවා. පුරා විද්‍යා පනත බලවත් නිසා මේ නිලධාරීන් හිතාගෙන ඉන්නේ ඒ අය සර්වතෝ භද්‍ර කියලා. මේ නිසා භික්‌ෂූන් වහන්සේ නමක්‌ දැක්‌කම ගරු කරන්නවත් සමහර නිලධාරීන් උනන්දු නැහැ. ඒ අය කරන දේට විරුද්ධ වුණොත් අපිට ආයෙත් වැඩක්‌ කරන්න දෙන්නෙම නැහැ. මේ අය මතවාදීව හෝ පරාජය බාර ගන්න කැමැති නැහැ. දිනන්නමයි හදන්නේ. තමන්ගේ මතය වැරදි බව වැටහුණොත් වැඩේ කරන්න බැරිවෙන විදිහට ක්‍රියාකරනවා. මේක ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්‌. ලෙන් ඇතුලේ හැම තැනම මී ගුල්. මොකද කරන්නේ කිව්වම නිලධාරීන් කියන්නේ මී කතුරු තියනවා කියලා. මේ අයගේ විසඳුම් ඔක්‌කොම මේ වගේ. කාලයක්‌ මධ්‍යම සංස්‌කෘතික අරමුදල මගින් විහාරය නැරඹීමට එන අයගෙන් මුදල් අය කළා. කොළඹින් තමයි විදේශිකයන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කළේ. සුමංගල හිමියෝ ඒක නතර කළා. මොකද විහාරයෙන් හොයන සල්ලිවලින් කිසිම දෙයක්‌ ඒ අය විහාරයට කළේ නැහැ. පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්තුමාව මම දැනුවත් කළා. එතුමා යමක්‌ විහාරය ආරක්‌ෂා කරන්න කරයි කියන විශ්වාසය මට තිබෙනවා....උන්වහන්සේ කීහ.

සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‌ෂ ජනරාල් මහචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා - දඹුල්ල රජමහ විහාරයේ සංරක්‌ෂණ කටයුතු සඳහා අපි 1982 පමණ සිට දායකත්වය ලබාදුන්නා. මේ විහාරයේ පරිපාලනය එහි භාරකාර ස්‌වාමින් වහන්සේ විසින් 2002 වර්ෂයේදී පමණ අත්පත් කර ගත්තා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරුව ඊට සම්බන්ධ වූ නිසා අපි සංරක්‌ෂණ කටයුතුවලින් ඉවත් වූණා. විහාරස්‌ථානයේ ප්‍රතිසංස්‌කරණ කටයුතුවලදී සංස්‌කෘතික ත්‍රිකෝණයේ නිලධාරීන් අතින් වැරදි සිදුවී ඇති බවට කරන චෝදනා සම්බන්ධයෙන් විධිමත් ප්‍රකාශයක්‌ කරන්න පුළුවන්. ඒ ගැන පුළුල් සොයාබැලීමක්‌ කිරීමෙන් පසුයි. කොහොම වුණත් මුලින් භාරකාරත්වය දැරූ හිමිනම ත්‍රිකෝණයේ නිලධාරීන් විහාරස්‌ථානයෙන් ඉවත් කරලා තිබෙන්නේ නොයෙක්‌ චෝදනා කරලයි. කොහොම වුණත් අද වන විට මෙම විහාරයේ චිත්‍ර සම්බන්ධව විශාල ගැටලු මතුව තිබෙනවා. මෙහි සිතුවම් විශාල අවදානමකට ලක්‌ව තිබෙන බවට යුනෙස්‌කෝව 2010 වසරේදී වාර්තාවක්‌ ඉදිරිපත් සකස්‌ කළා. භූ දර්ශනය වෙනස්‌ වෙලා. පෞරාණික බව වෙනස්‌ වෙලා. චිත්‍ර සංරක්‌ෂණය සඳහා විධිමත් වැඩපිළිවෙළක්‌ නැහැ කියන කරුණු මෙහිදී බරපතළ ලෙස මතුකර තිබුණා. අදටත් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සංරක්‌ෂණ කටයුතු සිදුකර ගෙන යනවා.සීගීරි චිත්‍ර සංරක්‌ෂණය කිරීම සඳහා වර්නර් ස්‌මිත් නමැති ශිල්පියකු මෑතක මෙරටට ආවා. පුරාවිද්‍යාව හා අපි මැදිහත් වෙලා දඹුල්ලේ ලෙන් චිත්‍ර එතුමාට පෙන්නුවා.ඒ අදහස්‌ අනුව මේ ඓතිහාසික උරුමය සුරැකීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද කියලා වාර්තාවක්‌ සකස්‌ කරමින් සිටිනවා. දඹුල්ලේ ගොඩක්‌ අඩුපාඩු තිබෙනවා. ඒකට නිසි කළමණාකරණ සිතියමක්‌ අවශ්‍යයි. පසුගිය කාලයේ විහාරයේ ගොඩක්‌ නවීකරණ සිදුව තිබෙනවා. භාරකාර හාමුදුරුවෝ අපිට විහාරස්‌ථානයට ඇතුළු නොවෙන්න වාරණයක්‌ පැනවූවා. එහෙම අවස්‌ථාවක බලහත්කාරයෙන් අපිට ඇතුළු වෙන්න නීතීමය බලයක්‌ නැහැ. පුරාවිද්‍යා එකට තමයි ඒ බලය තිබෙන්නේ.අපි වැඩ කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බල අවසරය මතයි.

පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා, දඹුල්ල සමස්‌ත පූජා භූමිය සඳහා නියමු සැලස්‌මක්‌ මේ වන විට අධ්‍යක්‌ෂවරියකගේ මූලිකත්වයෙන් සකස්‌ කර තිබෙනවා. මෙච්චර කාලයක්‌ දඹුල්ලට නියමු සැලැස්‌මක්‌ තිබුණේ නැහැ. මේ ප්‍රධාන නියමු සැලැස්‌ම යටතේ ලෙන් විහාරවල චිත්‍ර හා කලා නිර්මාණ සංරක්‌ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. විහාර අභ්‍යන්තරයට හානි සිදුවීමට ප්‍රධාන හේතු හතරක්‌ තිබෙන බව අප හඳුනා ගත්තා. කෘමින්ගෙන්, බැක්‌ටීරීයාවක්‌ වර්ධනය වීමෙන් ජල කාන්දුවකින් හා දූවීලි මගින් චිත්‍ර හා මූර්තිවලටත් හානි සිදුව තිබෙනවා. කලින් කළේ යම් උවදුරක්‌ ආවාම ඒකට තාවකාලිකව පිළියම් යොදන එකයි. උදාහරණයක්‌ විදිහට කුඹල් ගෙවල් විහාරය ඇතුළේ හැදුවම පිළියම විදිහට කළේ ඒවා කඩලා දාන එකයි. ඒත් දැන් අපි කෘමීන් ඇතුළුවීමට වැළැක්‌වීමට පියවර ගත්තා. මේ වන විට දඹුල්ල විහාරයේ කෘමි උවදුර 100 % කින් පාලනය කරලයි තිබෙන්නේ. පිළිම හා චිත්‍රවල දූවිලි බැඳිලා. හඳුනාගත් ප්‍රධාන ප්‍රශ්න 04 ට ස්‌ථිර විසඳුම් නියමු ව්‍යාපෘතිය මගින් ලබාදෙනවා. මේ වන විට රුපියල් ලක්‌ෂ 35 ක පමණ මුදලක්‌ වැය කරලා නවීන උපකරණ ගෙනත් විහාරය ඇතුළේ හයි කරලා උෂ්ණත්වය, ආර්ද්‍රතාවය පිළිබඳව පැය විසි හතර පුරාම දත්ත රැස්‌ කරනවා. අපිට අවශ්‍යයි මේ ඓතිහාසික උරුමය රැකගෙන මතු පරපුරට මේ ආකාරයෙන්ම දකින්න සලස්‌වන්න. පසුගිය කාලයේ දඹුල්ල විහාරයේ සිදුව තිබෙන දේවල් ගැන විධිමත් පරීක්‌ෂණයක්‌ නොකර ස්‌ථිර යමක්‌ කියන්න බැහැ. මම දන්න තරමට විහාරයේ පැරණි දත්ත වාර්තා නැහැ. පිළිමවල යම් විනාශයක්‌ වෙලා තිබෙනවා නම් එය තහවුරු කරන්න පුළුවන් පෙර හා පසු දත්ත පදනම් කරගෙන සන්සන්දනාත්මකවයි. කොහොම වුණත් පසුගිය කාලයේ වැරදි සංරක්‌ෂණයන් මෙහි සිදුව තිබෙනවා. වහලකට තාර ෂීට්‌ දැමීම එවැනි එක්‌ අවස්‌ථාවක්‌. මේකෙන් චිත්‍රවලට බලපෑමක්‌ වෙලා නැති වුණත් එය අවිධිමක්‌ සංරක්‌ෂණයක්‌. ඒ සියල්ල නියමු වැඩපිළිවෙළ යටතේ නිවැරදි කරනවා.

රංගිරි දඹුලු රජමහ විහාරය යුනෙස්‌කෝව මගින් ලෝක උරුමයක්‌ ලෙස නම්කර මේවන විට වසර 25 කට ආසන්න කාලයක්‌ ගතව තිබේ. පසුගිය කාලය තුළ විහාරස්‌ථානයේ ඓතිහාසිකත්වයට තර්ජනයක්‌ වන අයුරින් අත්තනෝමතික ලෙස සිදු කළ වෙනස්‌ කම් නිසාවෙන් අද වන විට මෙම ලෙන් විහාරය ලෝක උරුම ලැයිස්‌තුවෙන් හැලී යැමේ අවදානමක්‌ මතුව ඇත. පුරා විද්‍යා අණපනත් උල්ලංඝනය කරමින් සිදුව තිබෙන මෙම අවිධිමත් ක්‍රියාවන්ට ඒවා රකින්නට බැඳී සිටින අයගේ සහය ද හිමිව තිබෙන බව පැහැදිලිය. වරෙක පිළිමවල රන් ආලේපනයක්‌ පවා සිදුව තිබේ. යුනෙස්‌කෝව මගින් රටක යම් වස්‌තුවක්‌ ලෝක උරුමයක්‌ ලෙස ප්‍රකාශ කරන්නේ එහි ඇති වටිනාකම් දහයක්‌ සැලකිල්ලට ගනිමිනි. ඒවා නම් විශ්වීය භාවිතාවක්‌ සහිත වීම (ලෝකයේ ඕනෑම අයෙකුට බේදයකින් තොරව පැමිණ වින්දනය කළහැකි නිර්මාණයක්‌ වීම), පුරාවිද්‍යාත්මක හා සංස්‌කෘතිකමය වටිනාකම, නිර්මලත්වය, සුවිශේෂි භාවය, නිර්මාණාත්මක අගය, මානව නිර්මාණයක්‌ වීම. (ස්‌වභාවික ලෝක උරුමවලට මෙය බල නොපායි). ද්‍රව්‍යයම වටිනාකම භාවිත කර තිබෙන තාක්‌ෂණය, උපයෝගිතා අගය, වාස්‌තු විද්‍යාත්මක වටිනාකම යන්නය.

ඒ අතරින් එකක්‌ හෝ කඩ වුවහොත් එය ලෝක උරුමයෙන් හැලී යැමට හේතුවක්‌ වනු ඇත. දඹුල්ල ලෙන් විහාරය දෙස බැලීමේදී පසුගිය කාලය තුළ ලෝක උරුමයෙන් ඉවත්ව යැමට පමණටත් වඩා එහි කරුණු කාරණ සිදුව තිබෙන බව පෙනී යයි. ලෝක උරුමයක්‌ යනු සහසුද්දෙන් කියතහොත් ලෝක ජනතාවට අයිති වස්‌තුවක්‌ යන්නය. පසුගිය කාලය තුල දඹුල්ල විහාරය තුළ සිදුව ඇති දේ සලකා බලන විට මෙය ලෝකයට පමණක්‌ නොව රටට ද අයිති නැති වස්‌තුවක්‌ ලෙස කාටත් හැඟී යනු නොඅනුමානය.

නමුත් විය යුත්තේ එය නොවේ. ලෝක උරුමයක්‌ වන්නට මත්තෙන් මෙය බෞද්ධ උරුමයක්‌ව තිබිණි. බෞද්ධ උරුමය අනාගතය වෙත ගෙන යැම කාගේත් වගකීම විය යුත්තේය. මන්ද අපේ රට මුතුඇටයක්‌ ව සලකා ලෝක පූජිත වන්නේ ඉතිහාස උරුමය මේ තාක්‌ රැකගෙන ආ නිසාය. අතීතය අමතක කොට අනාගතයට යා නොහැකිය.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »