මරණය අබියස සිටින සිංහරාජයේ අලි

2017-05-26 11:40:00       593
feature-top
මාර ගැහිල්ලක්නේ ගහල තියෙන්නේ.’ මුහුණු ‍පොතේ පළවී තිබූ අලුත්ම සුඛෝපභෝගී කැබ් රථයක ඡායාරූප දෙස බැලූ මගේ මිතුරෙක් කීවේය. එම අලුත්ම සුඛෝපභෝගී කැබ් රථයේ ඉදිරිපස කොටස හා ඉදිරිපස වීදුරුව සම්පූර්ණයෙන්ම පාහේ තැළී ‍පොඩිවී තිබිණි.

“අලියෙක් ගහලා.” අයෙක් කීය.
“යාලද විල්පත්තුද?” තව අයෙක් විමසීය.

“නෑ සිංහරාජේ.” ඒ පිළිතුරත් සමග බොහෝ දෙනා වික්ෂිප්ත වූහ. ඇතැම් අය සිතා සිටින්නේ සිංහරාජයේ අලි නැතැයි කියාය.

“මේ කැබ් එක කාගෙද?” ඒ පැනය තවත් අයකුගෙනි.
“පෙනුම අනුව නම් වනජීවී වගේ.”

“වනජීවී කැබ් එකකට මෙහෙම ගැහුව නම් මෙලහට අලියා කනත්තේ.” ඒ තවත් කෙනෙකුගේ අදහසය.

“නෑ. සිංහරාජේ වනජීවී ඇත්තන් ඒ වගේ නෑ. ඔවුන් වාහනය කුඩු වුණත් අලියගේ ජීවිතේ බේරගත්තා.”

“ඇත්තටම අපි ඔවුන්ට හිස නමන්න ඕනෙ.”
“ඒක ඇත්ත. අපි ඔවුන්ට හිස නමන්න ඕන. ඒ වුණත් තවත් දෙයක් කියන්න තියෙනවා. ඉස්සර වනජීවී එකේ හිටපු අන්දිරිස්, අරුලානන්දන්, පියදාස, කුමාර බණ්ඩා වගේ අය ඔයිට වඩා සැර අලි  කුඩා ලී පතුරක්වත් නැතුව නවත්ත ගන්නවා.

දැනටත් ජීවතුන් අතර සිටින හෙන්දිරික්, ඩබ්ලිව්.එල්.ඒ. ප්‍රේමරත්න වැනි අයට මේ වගේ අලි නතර කරන එක කජු කනවා වගේ. දැනටත් වනජීවී එකේ සේවය කරන සුජීවලටත් මේ වගේ අලි නතර කරන්න ගතවෙන්නේ විනාඩියක් දෙකක්.” ඒ මේ සංවාදය පිළිබඳව අදහස් දැක්වූ තවත් අයෙකි.

මේ පින්තූර සම්බන්ධයෙන් මුහුණු ‍පොත තුළ ගොඩනැගී තිබුණේ  එවැනි කතාබහකි.
වනජීවී කැබ් රථයට පහරදුන් අලියා හදිසියේම ඉලුඹකන්ද, ‍පොතුපිටිය හා පිටකැ‍ලේ ආශ්‍රිතව වාර්තා වන බව කලවාන වනජිවී දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැනගන්නට ලැබුණේ පසුගිය 12 වැනිදාය. 12 වැනි දා රාත්‍රිය වන විට අලියා වැවගමට ළංව සිටින බව ද ඔවුන්ට වාර්තා විය. ඒ වන විට රාත්‍රී අඳුර පතිතව තිබුණ ද වනජීවී නිලධාරීහු  අලියා සොයා වැවගමට ගියහ. රාත්‍රියේ අලියා පිළිබඳ තොරතුරු සොයා බැලුවද  නිශ්චිත වශයෙන් අලියා සිටින ඉසව්ව හඳුනා ගැනීම ඔවුනට පහසු වූයේ නැත. අලුයම හතර පමණ වන විට අලියා වැද්දාගල ප්‍රදේශයට ගමන්ගත් බව ඔවුහු දැනගත්හ. ඒ අනුව වනජීවී පිරිස වැද්දාගල ආශ්‍රිතව අලියා සෙවීමට උත්සුක වූහ.

උදෑසන 6.15 පමණ වන විට වනජීවී කැබ් රථයට අලියා නොසිතූ මොහොතක මුහුණට මුහුණ මුලිච්චි විය. කැබ් රථය දුටු විගස අලියා පැමිණියේ පහරදීමටය. එහෙත් එහි සිටි වනජීවී නිලධාරීහු අලියා එළවා දැමීමට කෑමොර දුන්හ. ඉන් බියට පත් වූ අලියා පලාගියේය.

ඉන් පැය ගණනකට පසු නැවතත් අලියා වනජීවී වාහනයට මුහුණට මුහුණ හමු විය. ඒ කොකාවිට ආසන්නයේදීය. එවර ද අලියා පහරදීමට වේගයෙන් පැමිණියේය.

එහෙත් වනජීවී නිලධාරීහු එවර ද අලියා පන්නා ගැනීමට සමත් වූහ. වනයට වැදුනු අලියා රාත්‍රී 8.30 පමණ වන විට කුඩව මාර්ගය ඔස්සේ සිංහරාජ පිවිසුමට ගමන් ගනිමින් සිටින බව වනජීවී නිලධාරීන්ට දැනගත හැකිවිය. ඔවුහු නැවතත් අලියාට නොපෙනෙන දුරකින් ගමන් ගත්හ. වනයට ඇතුළු වීමට අලියාට තිබුණේ තවත් මීටර් 500ක පමණ දුරකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි ආදිය පසු කරමින් ඉදිරියට ඇදුණු අලියා එක්විටම බිරාන්ත විය. ඒ ඉදිරියෙන් පැමිණි බස් රථයක විදුලි ආලෝක දහරා හේතුවෙනි. ඉන් බියට පත් වූ අලියා ක්ෂණිකව ආපසු පසුපසට  දිවයන්නට විය. පසුපස වනජීවී කැබ් රථය තිබිණි. එවර අලියා පැමිණියේ දැඩි කෝපයකින් යුතුවය. වනජිවී නිලධාරීන් කෑමොර දුන්න ද අලියා නතර වූයේ නැත. ටොන් තුනක් පමණ බරින් යුතු ඒ දැවැන්ත අලියා ක්ෂණිකව හිස පහත්කොට කැබ් රථයට පහරක් දුන්නේය. කැබ් රථය දෙදරා ගියේය. එම පහරදීමෙන් පසු අලියා නැවතත් වනයට වැදිණි.

වනජීවී කැබ් රථයට පහරදුන් අලියා ඉන් නොනැවතී මේ වන විට අහිංසක ගම්වැසියන් දෙදෙනකු මරාදමා තිබේ. ඒ සයිප්‍රස්වත්ත ආසන්නයේය. සාමාන්‍යයෙන් දැන් එළැඹ ඇත්තේ අලියා මරා දමන ජවනිකාවයි.

ගොඩබිම වෙසෙන විශාලතම සත්ත්වයා ලෙස සැලකෙන අලි ඇතුන් ඉතා විශාල ගහනයක් සුරැකී තිබෙන අරුම පුදුම දිවයින බවට ලෝකය පුරා අද වන විට ලංකාව ප්‍රසිද්ධියට පත්ව ඇත. සැබැවින්ම එය විස්මිත සත්‍යයකි. ලංකාවේ වියළි කලාපයේ සහ අර්ධ ශුෂ්ක කලාපයේ විශාල අලි ගහනයක් දැකගත හැකිය. එහෙත් ලංකාවේ තෙත් කලාපය නිජබිම කොටගත් අලි ඇතුන් දැකගැනීම කළුනික සොයනවාටත් වඩා  අසීරු කරුණකි.

අතීතයේ එක් ස්වර්ණමය යුගයක අලි ඇතුන් වැඩිපුර වාසය කළේ තෙත් කලාපයේ බව ඉපැරණි සාක්කි විමර්ශනයේ දී පෙනී යයි. එහෙත් සුදු ජාතිකයන්ගේ දඩයම් කෙළිය හා මධ්‍යම කඳුකරයේ සිදු කළ විශාල වන භූමි හායනය හේතුවෙන් එම ප්‍රදේශවල විසූ දස දහස් ගණනක් වූ අලි ඇතුන් වඳවී ගිය බව පෙනෙන්නට ඇත. සුදු ජාතික විලියම් රොජර්ස් අලි ඇතුන් 1400කට වඩා මරා දමා තිබෙන බව ඔහුගේ අප්‍රකට දින‍පොත්වල සටහන්ව ඇත. මධ්‍යම කඳුකරය හා වෙනත් කඳුකර සානුවල සිදු කළ කෝපි, තේ හා අල වගාව හේතුවෙන් අලි ඇතුන්ගේ උපන් නිජභූමි අහිමිව මේ විනාශය සිදු වූ බව දන්නෝ දනිති. එලෙස තෙත් කලාපයෙන් වියුක්ත වූ අලින්ගේ අවසන් කිහිප දෙනා අදටත් ලංකාවේ තෙත් සදාහරිත වන පද්ධති දෙකක පමණක් දැකගත හැක. (අප සතු දැනුමට අනුව) ඒ ශ්‍රීපාද රක්ෂිතය හා සිංහරාජ ලෝක උරුම රක්ෂිතයි. මෙයට අමතරව රත්තොට හා දුම්බර කඳු වළල්ල ආශ්‍රිතව තෙත් සදාහරිත වනපෙත් තුළ එක් කාලයකට පමණක් අලි ඇතුන් දක්නට ලැබුණ ද එම අලි රංචුව එම ප්‍රදේශයේ නිත්‍ය අලි රංචුවක් බවට විද්‍යාත්මක සාක්කි නැත.

ශ්‍රීපාද අඩවිය හා සිංහරාජයේ වෙසෙන අලි ඇතුන් මේ වන විට ඔවුන්ගේ තාර්කික අවසානයට ගමන් කරමින් සිටින බව පෙනෙන්නට ඇත. ශ්‍රීපාද අඩවිය තුළ තරමක විසල් අලි ගහනයක් තවමත් ඇතත් සිංහරාජයේ වෙසෙන්නේ අවසන් අලි කිහිපදෙනකු පමණි. ඇතැම් අය පවසන්නේ එම සංඛ්‍යාව තුන්දෙනකු පමණක් බවය.

එම අලි තුන්දෙනා මවක සහ පැටවුන් දෙදෙනකු බව ද එම පිරිස් කියති. එහෙත්  කලකට පෙර එම මව අතුරුදන් වූ අතර පැටවු දෙදෙනා වැඩිහිටි අලි බවට පත්ව එහෙ මෙහේ වෙන් වෙන්ව  සැරිසරන බව ද ඔවුහු කියති. මව මියගියා ද නැද්ද යන්න පිළිබඳව මේ වන විට පිළිගත් සාක්කි ලැබි නොමැත. එසේ එක් පිරිසක් පැවසුව ද සිංහරාජයේ වසර 35ක 40ක පමණ සිට මෙවැනි අලි ගැන විවිධ ප්‍රදේශවලින් සිදුවන වාර්තා අනුව පෙනී යන්නේ අප නොදන්නා අලි ගහනයක් මේ වනපෙත තුළ සිටින බව ද? ඒ පිළිබඳව සොයා බැලීමට නම් ස්ථිර වශයෙන්ම ඔවුන් පිළිබඳව නිවැරදි විද්‍යාත්මක විධිමත් අධ්‍යයනයක් කළ යුතුය. සිංහරාජයේ අලි කී දෙනෙක් සිටිනවාද යන්න පිළිබඳව හා ඔවුන්ගේ ගමන් මාර්ග පිළිබඳව යම් නිශ්චිත තොරතුරු ලැබෙන්නේ එවැනි ක්‍රමවේදයක් මත පමණි.

මෙම අලි පිළිබඳව නැවත කතිකාව ආරම්භ වී ඇත්තේ වනජීවී කැබ් රථයට ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගය. එම ප්‍රහාරය එල්ලවීමෙන් අනතුරුව ඉන් එක් අලියෙක්  ආසන්න ගමක දෙදෙනෙක් මරා දමා තිබෙන බව ඉහතින් ද අපි සඳහන් කළෙමු.
එම තත්ත්වය ඇතිවීමත් සමග මෙම අලි වෙනත් ප්‍රදේශයකට රැගෙන යා යුතු බවට මේ වන විට විවිධ මත පළවෙමින් තිබේ. සැබැවින්ම අලි යනු තම නිජබිම තුළ මැරෙනකන්ම ජීවත් වන සත්ත්ව ප්‍රභේදයක් බව මේ වන විට සොයාගෙන ඇත.

ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශවල ජීවත්වන දඩබ්බර හැසිරීම් පෙන්වන ලද අලි ඇත්තු ගණනාවක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අල්ලා විවිධ ප්‍රදේශවලට ගෙනගොස් දමනු ලැබූහ. එලෙස ගෙනගොස් දැමූ සියලුම අලි ඇතුන් තම උපන් භූමිය සොයා නැවත පැමිණි බව ඔවුන්ට පැලඳූ රේඩියෝ කරපටි මගින් අනාවරණය විය. ඇතැම් අලි අවස්ථා කීපයකදීම තම භූමිය සොයා පැමිණි බව එම දත්ත පරිශීලනයේ දී පෙනී යයි. ඇතැම් අවස්ථාවල දී එම අලි ඇතුන්ට නැවතත් තම භූමියට පැමිණීමට හැකි වුවත් ඇතැම් අවස්ථාවල දී එම අලි අදාළ ගමන අතරවාරයේ දී ජීවිතවලින් වන්දි ගෙව්වෝය. එලෙසම එම අලින්ට හමු වූ අහිංසක මිනිසුන් සේම දේපළ ද විනාශ වූ බව රහසක් නොවේ. මෙම දත්ත හරහා අලි ඇතුන්ගේ නිජභූමි අයිතිය වෙනුවෙන් කෙරෙන මාරාන්තික නොනවතින අරගලය පිළිබඳව විද්‍යාත්මක න්‍යායක් ඔප්පු විය. එය අද වන විට ලෝකය ද පිළිගෙන තිබෙන සත්‍යයකි. ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එය පිළි නොගෙන බැරිවිය. ඔවුහු න්‍යායිකව එය පිළිගත්හ. එහෙත් එය ක්‍රියාවට නැංවූ බවක් පෙනෙන්නට නැත. ඉන් පසුව ඔවුන්  කළේ එවැනි දඩබ්බර අලින්ට කරපටි පැලඳවීම නතර කිරීමය. කෙතරම් අපූරු වනජීවී දෙපාර්තමේන්තුවක් අපට සිටීද යන්න මින් ගම්‍ය වේ.

සිංහරාජයේ වෙසෙන අවසාන අලි කිහිප දෙනාගේ හෙට දවස පිළිබඳව මේ වන විට ගොඩනැගී ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. ඉහත න්‍යායට අනුව සිංහරාජයේ අලින් ද ගෙනගොස් කුමන ස්ථානයකට දැමුවද ඔවුන් නැවත බාධක මැද ඒවා පරදමින් දිවි පරදුවට තබා සිංහරාජයම සොයාගෙන පැමිණෙන බව රහසක් නොවේ. ඒ ගමන අතරමග දී මේ අලින්ගෙන් මිනිස් ජීවිතවලට සේම දේපළවලට ද හානි වීමේ ජු අවදානමක් පවතී. එය මෙහි එක් පැත්තකි.

අනෙක් කාරණය වන්නේ තෙත් කලාපීය පරිසර පද්ධතියක වෙසෙන මෙවැනි අලි ගෙනගොස් දැමිය හැකි එවැනි තෙත් කලාපීය පරිසර පද්ධතියක් අපට නොමැති වීමය. මේ කරුණු දෙකම සැලකීමේ දී මේ අලින්ට කළ යුත්ත කුමක්ද යන්න ගැටලුවකි. අනෙක් අතට සැලකීමේ දී කිව යුතු කරුණු වන්නේ මේ අලින්ගේ ජීවන ගමන් මග අවසන් වීමෙන් පසු සිංහරාජයේ තවදුරටත් අලි දැකගත නොහැකි වීමය.

මෙහි දී කළ යුතු කාරණා කිහිපයක් තිබෙන බව පෙනෙන්නට ඇත. ඉන් පළමුවැන්න වන්නේ මෙම දකින අලි සඳහා වහාම රේඩියෝ කරපටි සවිකිරීමය. එලෙස රේඩියෝ කරපටියක් සවිකළහොත් එම අලි ගමන්ගන්නා මාර්ග (ඇතැම් විට මේ අලි අප නොදන්නා තැනක සිට එක් කලකට පමණක් පැමිණෙනවා ද විය හැක.) හා ඔවුන්ගේ කණ්ඩායමේ සෙසු කුලක පිළිබඳව කරුණු අවබෝධ කර ගැනීම පහසු වේ. මෙම අලින්ට කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීමට එම දත්ත අත්‍යවශ්‍ය බව අපගේ අදහසය. අපගේ පමණක් නොව මෙරට සිටින මේ පිළිබඳ පෘථුල බුද්ධියක් තිබෙන සැමගේම අදහස එය බව පැහැදිලිය.

දෙවැනි කාරණය වන්නේ වනාන්තරය ආශ්‍රිතව තිබෙන ගම්මාන ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමය. එය විදුලි වැට හෝ මුර සංචාර  වැනි කාරණා මත පදනම්ව සිදුවිය යුත්තකි. අලින්ගේ පැමිණීමේ සම්භාවිතාව මත එම යාන්ත්‍රණය සකස් කරගත හැකිය.

තෙවැන්න වන්නේ කලවානේ පිහිටා තිබෙන වනජීවී කාර්යාලයට අමතරව රඹුක හා මේ අලියා හෝ අලි නිතර ගැවසෙන ප්‍රදේශවලට යාබදව වහාම වනජීවී කාර්යාලයන් ස්ථාපිත කිරීමය. එය ප්‍රමාද කිරීම මේ ප්‍රශ්න උග්‍ර කිරීමට බලපෑ බව කිව යුතුය.

සිංහරාජයේ වෙසෙන මේ අලි පිළිබඳව විධිමත් විද්‍යාත්මක පර්යේෂණ වාර්තා නොමැති තරම්ය. නැගෙනහිර සිංහරාජය ආශ්‍රිතව දෙමළ ජනයා වෙසෙන වතු ලයින් කාමර අසලට ද මේ අලි පැමිණෙති. ඔවුන් පැමිණෙන කාලයට එම ප්‍රදේශවල වැසියෝ පුද පූජා පවා පවත්වති. එලෙසම මේ අලින්ගේ රෞද්‍ර හැසිරීමක් එම ප්‍රදේශවල දී වාර්තා වී නොමැති තරම්ය. නැගෙනහිර සිංහරාජයේ වැඩි කලක් වෙසෙන මේ අලි පිළිබඳව බොහෝ කරුණු නිරීක්ෂණය කළ දුලාන් රංග විදානපතිරණ මහතා අපට පැවසුවේ මෙවැනි අදහසකි.

“මේ අලි වසර ගණනාවක ඉඳන් මම නැගෙනහිර සිංහරාජය ආසන්නයේ එන්සාල්වත්ත සමීපයේ දී නිරීක්ෂණය කර තිබෙනවා. විශේෂයෙන්ම පණු දළ දෙකක් සහිත පිරිමි සතා ඉතාම සුහදශීලී හැසිරීම් රටාවක් තමයි පෙන්වන්නේ. එම අලියා ආසන්නයටම ගොස් මම අවස්ථා ගණනාවක්ම නිරීක්ෂණය කර තිබෙනවා. කිසිදු කලබලකාරී හැසිරීමක් එම අලියාගෙන් මා දැක නෑ. විශේෂයෙන්ම මෙම අලි සමග  සුහදව කටයුතු කරනවා නම් කලබල බවක් ඇති නොවන බව විශ්වාසයි. විදුලි කොටද්දී මේ අලි වනාන්තරය තුළට ගිහිල්ලා සැඟවෙනවා. මෙයා විදුලි කොටනවට විශාල බයක් දක්වනවා. ඒ වගේම මම නිරීක්ෂණය කරලා තියෙනවා කුඩා දියපාරවල්වල මෙයා වාඩිවී ඇඟ තෙමාගන්නා අවස්ථා. ඇත්තටම තෙත් සදාහරිත වනපෙතක මෙවැනි සොඳුරු දසුන් දැකගන්න තිබිමත් විශාල භාග්‍යයක්. එය මිල කළ නොහැකි අත්දැකීමක්.  අපට එවැනි අත්දැකීම් ගන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නේ. එකක්  සිංහරාජය. අනෙක ශ්‍රීපාදය. කෙසේ වුවත් සිංහරාජයේ අලි ඉවත් කිරීමෙන් එය එක් ස්ථානයකට පමණක් ගොනුවෙන බව කිව යුතුයි.”

දුලාන් රංග මහතා එසේ පැවසුව ද මේ අලි අද සිංහරාජයෙන් වියුක්ත වුව ද නොවූව ද තවත් දශකයක් දෙකක් ඇතුළත සදහටම සමුගන්නා බව නොවෙනස් වන සත්‍යයකි. අප කළ යුත්තේ ඒ නොවෙනස් වන සත්‍යය වෙනස් කිරීම මිස මේ සතුන් මේ භූමියෙන් කුදලාගෙන ගොස් ඔවුන්ගේ ඉරණම අඳුරු කිරීම නොවේ.



Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »