සාමසර කන්ද නාය ගිහින් වසරයි අපි තාමත් පිට්ටනියේ

2017-05-15 11:57:00       586
feature-top
උපන්දා සිට නිතර දෙවේලේ දකින සාමසර කන්ද ගැන එදා කිසිවෙක් සැක නොකළහ. තම ජීවිතවල දුක සතුට දෙස නිසොල්මනේ බලා හිඳින සාමසර කන්ද තමන්ට සදාකාලික දුකක් දී තම ගම්-බිම් යට කරමින්, දූදරු ඥාති හිතෛෂින් සඟවා ගනිමින් නාය යෑම ගැන ඔවුහු තවමත් පුදුම වන්නාහ. මෙයින් වසරකට පෙර රටම හැඬවූ ඛේදවාචකයෙන් පසු තවමත් දුක් සුසුම් වියැකී නැති ඒ මිනිසුන් සොයා ඉකුත් දිනෙක අපි එහි ගියෙමු. අරණායකට යන ගමනේදී මුලින්ම හමු වූයේ අරණායක අස්ගිරිය ක්‍රීඩාංගණයය. වසරක් තිස්සේ එහි සහන කඳවුරුවල තවමත් පවුල් ගණනාවක් ජීවත් වන්නාහ.

“අපිට ගෙවල් ලැබෙනවා කියලා තියෙනවා. කොටසක් නම් ගෙවල් ලැබිලා ගියා. අට්ටාපිටිය රුවන්දෙනිය පැත්තේ තට්ටු ගෙවල් ඉදිවෙනවා.

අපි ඒ ගෙවල්වලට යන්න කැමැත්ත දුන්නේ මානා පඳුරු පිරුණු හිස් ඉඩම විතරක් දැකලා. මුලින් කිව්වේ සීයකට ගෙවල් දෙනවා කියලා. නමුත් දැන් අපට දැනගන්න ලැබිලා තියෙනවා එකසිය හැට දෙකක් පොරොත්තු ලේඛනයේ ඉන්නවා කියලා. අපි කියන්නේ මුලින්ම ඒ ලේඛනයේ හිටපු අයට ගෙවල් ලබාදීලා ඉන්න කියලයි.”

අස්ගිරිය ක්‍රීඩාංගණයේ ජීවත්වන පවුල්වල සාමාජිකයෝ පවසන්නට වූහ. දැඩි අව්රශ්මියෙන් මෙන්ම වැසි සමයට ද ඔවුහු පීඩා විඳින්නාහ. හොඳින් ගෙවල් දොරවල් තිබු ඔවුන් අද ගෙවන මෙම අසීරු ජීවිතය පිළිබඳ කතා කරන්නේ හැඬු කඳුළෙනි.

වසරක් තිස්සේ සුසුම්ළන කඳුළු සලන මේ මිනිසුන්ගේ අද තත්ත්වය එදාට වඩා හාත්පසින්ම වෙනස්ය. පවුල්වල සාමාජිකයන් මියගිය ද ඇතැමෙක් ඒ දුක් සන්තාප මධ්‍යයේ තම ජීවිත ගෙන යෑමට උත්සුක වෙති. නායයෑමෙන් සියල්ල අහිමි වූ ජයරත්න ද එවැන්නෙකි. ඔහු අතීතය සිහි කරන්නේ දෑස් කඳුළින් පුරවාගෙනය.

“මම ආප්ප බාස් කෙනෙක්. මේ සිද්ධිය වෙන දවසේ මම ගෙදර හිටියෙ නෑ. කන්ද නාය ගියේ මගෙ බිරිය, එකම දුව, දුවගේ පුතා, නැන්දම්මා පොළොවට යටකරගෙන. මම පසුගිය කාලේ ජීවත්වුණේ පිස්සෙක් වගේ. මගෙ යාළුවෙක් තමයි මට මෙයා කතා කළේ. අලුත් විවාහයක් කරගත්තට හිතේ තියෙන දුක නැති කරගන්න බැහැ.”

ජයරත්න ඇතුළු පූර්ණ ආපදාවට පත්වූ පවුල් ගණනාවකටම දැන් වසන්තගම අංග සම්පූර්ණ නිවෙස් හිමි වී ඇත්තේය.

අපි එහි ගිය මොහොතේ සිය නව නිවෙස ඉදිරිපිට වාඩි වී ධම්මිකා බීඩි ඔතමින් සිටියාය. ඇගේ සැමියා තාවකාලික නිවෙසෙහි යම් කාර්යයක නියැළී සිටියේය.

“මම එළඟපිටියේ තිබුණු ඉඩම් අක්කර හතරක තේ වවලා තිබුණා. කරාබුනැටි ගම්මිරිස් එහෙමත් තිබුණා. ඉඩම් නාය ගිය පසු රජය මැදිහත් වෙලා තමයි අපට මේ පර්චස් දහයේ ඉඩම ලැබුණේ. පෞද්ගලික අංශයෙන් නිවෙස් හදලා දුන්නා. හැමදේම නැති වුණු අපට ගේ කෑල්ල ලැබුණු එක සතුටක්. අපට ආදායම් මාර්ගයක් නැහැ. බිරිය බීඩි ඔතලා කීයක් හරි හොයා ගන්නවා. මට ඉන්නේ දුවක්. එයා දැන් ගාමන්ට් එකක වැඩට යනවා.” ගුණසේන පවසන්නේ හිතේ විස්සෝපයෙනි.

විපතට පත්වූවෝ වසන්තගම මෙන්ම කළුගල ද පදිංචිව සිටිති. සාමසර කන්ද නායගිය පසු ඉඩම් ලැබුණු වසන්තගමේ පදිංචි අයගේ කතාවට වඩා කළුගල ගමේ කතාව වෙනස්ය.

“අපි හිටියේ දැඩි අවදානම් කලාපයේ. අපට පර්චස් විස්ස ගානේ ලැබුණා. නැතිකමට ආවා මෙහෙට. හරියට බස් එකක් නැහැ. පාරවල් අබලන්. නායට අහුවෙලා දුවගෙ ළමයි, පුංචි අම්මලා, බාප්පලා, නෑයෝ ඔක්කෝම තිහක් විතර මැරුණා. තාවකාලික ගෙවල් හදලා දුන්නම අපි ආවා. ඊට පස්සේ තමයි අලුත් ගෙවල් හැදුණේ. තවමත් ඒ ගෙවල්වල පදිංචි වුණේ නැහැ. බෝ ගහයි, බුදු පිළිමයයි විතරක් බේරුණු ගමේ පන්සල වෙනුවට දැන් මේ ගමේ පන්සලක් හදලා තියෙනවා. අපිට වතුරත් නැහැ.” බොහෝ දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන හැට දෙහැවිරිදි පියරත්න මාමා කතා කරන්නේ කනගාටුවෙනි.

ඉඩමෙන් ඉඩමේ අලුත් නිවාස තනා ඇත්තේය. ඒවාට විදුලිය ලබා දී තිබේ. ගැමියන් දැන් තමන් මුහුණ දුන් ව්‍යසනය අමතක කර දමා ජීවිත අලුතින් පටන් ගැනීමට සිතාගෙන ඇති සේය.

අලුත් ගම්මානයේ ඇත්තන් කඩපිලට ඒමට බොහෝ දුර පා ගමනින් ආ යුතුය. එයට විසඳුමක් ලෙස සුනේත්‍රා උදේ හවස කළුගලට යමින් එමින් සිල්ලර කඩයක් කරගෙන යන්නීය. තම දෛනික දිවි පෙවෙත ගැන සුනේත්‍රා මෙසේ පැවැසුවාය.

“ජයරත්න මාමා තමයි කිව්වේ එයාගේ ඉඩමේ පැත්තක කඩේ කරගෙන යන්න කියලා. මම එහා ගමේ ඉඳලා එන්නේ. ගෙදරින් එනකොට වතුර බූලි දෙකක් අරගෙන එනවා. මෙහෙ හොඳ වතුර නැහැ. අපිට ත්‍රීවිල් එකක් තියෙන නිසා හොඳයි. නැත්නම් අලවල හන්දියට යන්න රුපියල් 200ක් ගන්නවා. දෙබත්ගම හන්දියට රුපියල් තුන්සීයක් ගන්නවා. මේ ගමේ ඉන්න අයගේ දරුවෝ පාසල් යවන්න සෑහෙන මුදලක් මාසිකව යනවා.”

එළඟපිටිය, කෙසෙල්වත්ත, ගංතුන, කළුගල උඩ කොටස පදිංචිව සිටි ජනතාව දැන් කළුගල අලුත් නිවාසවල වාසය කරති.

“අර පේන කන්දේ එහා පැත්ත තමයි නාය ගියේ. අපි ඉන්නේ මේ පැත්තේ. ඒත් ඒ කන්දේ පාමුල ඉන්න අය ඉවත් කරලා තියෙන්නේ. අවුරුදු ගානක් වත්තපිටිය වවාගෙන අපි හරි ලස්සනට ජීවත්වුණා.

මේ ගෙවල් ලැබුණ එක සතුටක්. ඒත් අපිට තිබුණ දේවල්වල හැටියට මේවා මොනව ද? පහළ තියෙන ළි‍ඳෙන් වතුර ගන්නේ බට දාලා බැරල්වලට පුරවනවා. පේනවනේ වතුරවල පාට (ඇය පයිප්පය හැරියාය. එයින් එන්නේ බොර පැහැ වතුරය.) අපිට වතුර ටික හොඳට ලැබෙනවානම් එකක්.

ගමට බස් එකක් දාලා ජල යෝජනා ක්‍රමයක් ලැබුණොත් හොඳටම ඇති. කන්ද නාය යනකොට දරුවොත් අරගෙන දුවපු නිසා බේරුණා. නැත්නම් ඉතිං අපිත් ඉවරයි.” ලතා පවසන්නේ බලාපොරොත්තු සහගතවය.

වළ ගොඩැලි සහිත දුෂ්කර මඟ ගෙවා අපි යළිත් අරණායක සාමසර කන්ද පාමුලට පැමිණියෙමු. කන්ද නාය ගිය දා ද ඉන් දෙමසකට පසුව ඒ බිම තිබු පාළු මූසල බව වසාගෙන දැන් එහි තණකොළ මාන පඳුරු වැවෙමින් ඇත්තේය. තවමත් ඉඳහිට කෙනෙක් පැමිණ කන්ද විසින් යට කර දැමු ඥාතින් හා ගේදොර සිහිපත් කර දුක් සුසුම් හෙළන්නේය.

උදේ හවහා කන්ද දකිමින් ජීවත්වන බේබිගේ දෑසේ කඳුළක් නැති මොහොතක් නැති තරම්ය.

“ගෙවල් තිබුණේ ආන් අර ඉසව්වේ. අක්කර දෙකක ගම්මිරිස් වවලා තිබුණේ. ඊයේ පෙරේදා දවසක මම ගියා. වත්තේ ගම්මිරිස් ටික හොරු කඩලා. මම කිලෝ පහක් කඩාගෙන ආවා. මිනිස්සු ඒ වතුවල තියෙන දේවල් හොරා ගන්නවා. වේලගත්ත ගම්මිරිස් ටික කඩේට දීලා රුපියල් පන්දාහක් ගත්තා. මම මේ ඉන්නේ දුවගෙ ගෙදර. පුතාලා මට බලන්නේ නැහැ.” බේබි අම්මාගේ හඬ අපැහැදිලිය. ඇය නැවී චීත්ත පොටේ මුහුණ සඟවා ගත්තීය.

විමලාවතීත් ලීලාවතීත් වෙනත් ගමනක් යන අතරේ නාය ගිය කන්ද අසලින් පන්සලට යෑමට පැමිණියහ. විමලාවතී අම්මාගේ දෑසේ ද කඳුළුය.

“කන්ද නාය යන දවසේ මම හිටියේ පුතාගේ ගෙදර. මගේ ගේ දොර යට වුණා. ඒත් පුතාගේ ගෙදර හිටපු නිසා මට කූඩාරමක් ලැබුණෙත් නැහැ. අපි ගොවිතැන් කරලා ජීවත් වුණ අය. මේක සංසාරේ කරපු පවක් වෙන්නැති.” ඔවුන් කන්ද දෙසට යන අතරේ අප නගරයට ඒමට පිටත් වුණෙමු.

“තවමත් මිනිස්සු එනවා කන්ද බලන්න. විශ්ව විද්‍යාලවල ළමයිනුත් එනවා. ඒත් දැන් ඉස්සර වගේ පෙරහරේ එන්නේ නැහැ. ඒ කාලේ කී දෙනෙක් කියලා ආධාර අරගෙන ආව ද? ඒකට දැන් කාටවත්ම මේ මිනිස්සු මතක නැහැ වගේ.” ගැමියෙක් අප දැක පැවැසීය. නාය යෑමෙන් අවතැන් වූ ඔවුහු දැන් මොන දුකක් විඳගෙන හෝ ජීවිතය ගොඩනඟා ගැනීමට කටයුතු කරන්නාහ.

අරණායක සාමසර කන්ද නායගිය දා රාත්‍රියේ, බුලත්කොහුපිටිය, කළුපහන වත්තේ ලැයිම් පේළියක් ද නාය ගියේය. අරණායක මියගිය පිරිස තවමත් අවිනිශ්චිතය. නමුදු කළුපහන වත්තේ මියගිය පිරිස දාසය දෙනෙකි. එදිනම අවදානම් කලාපවල සිටි ජනතාව ද කඳවුරුවලට ආහ. දැන් කළුපහන වත්තේ නිවාස අහිමි වූවන්ට නව නිවාස ඉදිකර ඇත්තේය. එය සිදු කැරෙන්නේ වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය හරහාය. තවමත් වැඩ නිමවී නැති ඒ නිවාස ඉදිරිපිට කඳවුරු ඇත්තේය. තේ වතු මැද්දෙන් වැහි අඳුර සමඟ එහි ගිය අපට දැකගැනීමට ලැබුණේ කූඩාරම්වල සිටි කිහිප දෙනෙකුම බැණ වදිමින් කූඩාරම් ඇතුළත කොට්ට-මෙට්ට පැදුරු ඇද ඇද අස් කරන අයුරුය.

“හප්පා මේ ඔක්කෝම ඌරු මීයෝ කාලා, උන් අල්ල ගන්න බැහැ. මේ රෙදි අස්සෙන් උන් කූඩාරම ඇතුළට රිංගනවා.”

කෙනෙක් මීයන් විසින් තැන තැන කපා දා ඇති සින්තටික් පැදුරක් පෙන්වමින් පැවැසීය. ඔවුහු දුක සේ සිටිය ද තමන්ට අලුතෙන් ලැබෙන්නට යන නිවෙස පිළිබඳ සතුටු වෙති.

“තවම වැඩ ඉවර නැහැ. ඒත් මේවා හොඳටම හදලා නැහැ. අපි අවුරුද්දක් තිස්සේ දුක් විඳිනවා. ඒ නිසා මේ ගෙවල් අපිට වටිනවා.” වල්ලි අම්මා පවසන්නීය.

මෝහන් කුමාර හා නිලන්තිත් ඔවුන්ගේ දරුවෝ පස්දෙනාත් අලුතෙන් ලැබෙන්නට යන නිවෙස ගැන සතුටෙන් සිටින්නාහ.

නිලන්ති හා දැරියන් පාළුවට ගිය මිදුලේ අප යන විට බුත්සරණ ආදි මල් සිටුවමින් සිටියහ.

“අපි හිටියේ නායගිය ලැයිම් පේළියේ කෙළවර. මගෙ පවුල තමයි වත්තේ වැඩ කරන්නේ. මම කුලී වැඩවලට යනවා. අපි ගෙවල් හදාගන්න ඉඩම් දුන්නේ වත්තෙන්. ගෙයක් ලැබුණ එක සතුටුයි.” මෝහන් කුමාර පවසන්නේ සතුටිනි.

ඇතැමෙක් වත්තේ වැඩට ගොස් ඇති බැවින් ඒ කලාපය පාළුවට ගොස්ය. ඒ සැන්දෑ වැහි අඳුරේම. අපි යළිත් බුලත්කොහුපිටියට එන්නට පල්ලම් බසින්නට වීමු. කඳු නායගිය දා මහ හඬ නඟමින් බැස ගිය ඔය දැන් නිහඬය. එය සිඳී ගොසිනි. එදවස හැම කන්දකින්ම ගලා හැළුණු දියඇලි සිඳී ගොසින්ය. ඇතැම් දියඇල්ලක දැකිය හැක්කේ දියසීරාවක් පමණි.

බුලත්කොහුපිටිය නගරය පසුකර එන ගමනේදී වසරක් තිස්සේ සහන කඳවුරුවල වෙසෙන යක්ඇල්ල ශිලානන්ද විදුහල් ක්‍රීඩාංගණයේ සිටින ජනතාව දැකීමට ද අපි ගියෙමු. ඒ වන විටත් විදුලි අකුණු කොටමින් මහ වැස්ස ඇද හැළෙමින් තිබිණි. වෙනදාට සෙවණට මිනිසුන් රැ‍ඳෙන හෙවණ ගහ හෙවත් බටදොඹගහ යට පාළුවට ගොසිනි. වැස්සෙන් මුවා වීමට තැනක් නැති තැන අපි කූඩාරමක් තුළට වීමු.

ඒ මල්කාන්තිගේ කූඩාරමයි. එහි සිටියේ ඇයත් දියණියත් පමණි. ගත වූයේ මොහොතකි. අනෙක් කූඩාරම්වල සිටිය ඇත්තෝ ද එහි පැමිණ අප වට කරගත්හ.

“පේනවනේ අවුරුද්දක් වෙන්න එනවා. අපි ආතක් පාතක් නැති ගානට ඉන්නවා. වහිනකොට ඉන්න අමාරුයි. ඔක්කෝටම වඩා අව්වට ඉන්නම බැහැ. අපිට ඉඩම් දෙනවා කියලා කියනවා. දෙන්නම් කියපු ඉඩම් තාමත් නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කියන්නේ ඒවා තාම නිරවුල් නැහැ කියලා. ළමයි කිලෝමීටර් අටක් දුර යන්න ඕනෑ ඉස්කෝලෙට. වතුර ටික නම් තියෙනවා. ඒ දවස්වල මෙඩිකල් කෑම්ප් තිබුණා. දැන් ආශාවට වෛද්‍යවරයෙක් එන්නේ නැහැ. ආධාර අරගෙන හරියට ආවා. නමුත් එක මැති ඇමැති කෙනෙක් එන්නේ නැහැ අපිට මොකද වුණේ කියලා බලන්න. අනේ අපිට ජනාධිපතිතුමා හමුවෙලා අපේ දුක කියන්න මාර්ගයක් හදලා දෙන්න.” මල්කාන්තිගේ කූඩාරම තුළට පැමිණ සිටි ආනන්ද, සුනිල්, සුදේශිකා, රුවනි, සීලවතී ආදි සියලු දෙනාම කියන්නට වූයේ එක හඬිනි. කූඩාරම් ජිවිතයට හුරුව සිටින පොඩිත්තෝ ඒ මොහොතේත් ඔවුන්ගේ නිදහස විඳිමින් සිටියහ.

දැන් ආපදාවන් ගෙන් මිදී තැන් තැන්වල ජීවත්වන මොවුන්ගේ හෙට දවස කුමක් වේද කියා විමසා බැලීමට අපි බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් ජේ. එම්. රම්‍යා ජයසුන්දර මහත්මිය හමු වූයෙමු.

මේ වන විට නාය යාමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ඉඩම්, නිවාස ලබාදීම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. අපි එක් කොටසකට තමන් කැමැති ඉඩමක් ලබා ගැනීමට රුපියල් ලක්ෂ හතරකුත් නිවෙස හදා ගැනීමට ලක්ෂ දොළහක මුදලකුත් ලබා දෙනවා. ඇතැම් අය මේ වන විට නිවෙස් සාදා ගනිමින් සිටිනවා. තවත් පිරිසකට ඉඩම ලබාදීලා නිවෙස සාදා ගැනීමට රුපියල් ලක්ෂ දොළහක් දෙනවා. මේ වන විට අප එකසිය එකොළොස් දෙනෙකුට ඉඩම් ලබා දී තියෙනවා. කඳවුරු කිහිපයක තවමත් අවතැන් වූ අය ඉන්නවා. ඔවුන් සඳහා රුපියල් ලක්ෂ දොළහ අනුමත වී ආවේ නැහැ. ඒ වගේම තවත් පිරිසකට නිවෙසටයි ඉඩමටයි රුපියල් ලක්ෂ 16 ලබාදීමේ යෝජනාවක් තිබෙනවා. මෙය තාමත් කැබිනට් එකෙන් අනුමත වී නැහැ. ඇතැම් ඉඩම්වල තවමත් මැණුම් කටයුතු නිම වී නැහැ. මේ සියලු කටයුතු අවසානයේ අප මේ හැම කෙනෙකුටම ඉඩම් ලබා දෙනවා. අධි අවදානම් කලාපවල ජීවත්වූ අය වෙනුවෙන් ලබාදීමට ඉඩම් හඳුනාගෙන තිබෙනවා. මේවා පිළිවෙළක් වූ වහාම අපි ඒවා අදාළ අයට බෙදා දෙනවා. කඳවුරුවල සිටින බොහෝ අයට මේ වන විට නිවාස ඉඩම් ලබා දී තිබෙනවා” ප්‍රාදේශීය ලේකම්තුමිය පවසන්නීය.

විපතට පත්වූවන් පිළිබඳ සොයා ගිය ගමනේදී දැනගන්නට ලැබුණු තවත් දෙයක් වූයේ ඇතැමකු ඉඩම් ලබා දී නිවෙස් ඉදිකර ගැනීමට මුදල් දීමට කටයුතු කළ ද ඊට අකමැති වීමය. ආපදාවන්ට ලක්වූවන්ගෙන් ඇතැමෙකු කඳවුරු හැර නොයෑමට තීරණය කර සිටීම ‍ඊට හේතුවයි. කොහොම වුවත් කාලය විසින් ඔවුන්ගේ දුක දැන් යම් පමණකට තුනී කර ඇත්තේය. දැන් රජයේ මෙන්ම රාජය නොවන ආයතනවල ද උපකාර ඔවුන්ට අවශ්‍යය. ඒ ඔවුන්ට යළිත් ආර්ථික හා සාමාජයීය වශයෙන් ගොඩනැඟීමටය.


Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »