අපේ ලකුණ ලොවට ගෙන යන වෙසක් තොරණ

2017-05-12 11:07:00       583
feature-top
 තොරණ අපූරු කලා අංගයකි. වෙසක් සමයේ රට පුරා තොරණ විස්සක් විසිපහක් පමණ ඉදි වේ. ඉන් බොහෝමයක් ගොඩනැ‍ඟෙන්නේ කොළඹ ආසන්නයේය. මේ වෙසක්ද සමයේ තොරණ බඳින්නෝ ලහිලහියේ සූදානම් වෙමින් සිටිති.

බුදුදහම හා කලාව අතර ඇත්තේ අවියෝජනීය බැඳීමකි. බුදු රජාණන් වහන්සේගේ බොහෝ දේශනා ඇත්තේ කාව්‍යමය බසකිනි. බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය, සිතුවම් හා කැටයම් කලාව නිරතුරුව එකට බැඳී තිබිණ. පැරණි ඉතිහාසයෙහි ගෙඩි තොරණ, මල් තොරණ, රඹ තොරණ, මකර තොරණ ආදිය අසා තිබුණද සිතුවමින් කළ තොරණ කර්මාන්තය පිළිබඳ අවධානය යොමු වූයේ 1960 දශකයේ අගභාගයේ පමණය. මෙය විහාර චිත්‍ර කර්මාන්තය බුද්ධාලම්බන ප්‍රීතිය හා විනෝදය උදෙසා එක්කොට නිමැවුණු අලුත් කලාංගයක් විය.

තොරණක චිත්‍ර ශිල්පියා මෙන්ම විදුලි ආලෝක ශිල්පියාද කලාකරුවෙකි. ඔහු විදුලි බුබුළු උපයෝගි කරගනිමින් සිතුවම් වර්ණවත් කරයි. ජාතක කතාකරුවාගේ කතාව ප්‍රතිනිර්මාණය කරන පිටපත් රචකයාද විරිදු කවි ගායනා කරන්නෝද තොරණට සම්බන්ධ කලා ශිල්පියෝ වෙති.

මේ එක් එක් කලාංගය රසවිඳින්නෝ පැමිණ තොරන රස විඳිති. එහෙත් වර්තමානයේ තොරණක තේමාව බලා පිටපත හෝ කවි රස විඳින්නෝ අඩුය. බොහෝ දෙනා පැමිණ ස්වල්ප වේලාවකින් එහි චමත්කාරය විඳ නික්ම යති. එහෙත් තොරණ භාවනාවකි. එහි දහම් රසයද, දැනුමද, චමත්කාරයද නොඅඩුව තිබේ.

වර්තමානයේ ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන් සමඟ චිත්‍ර ශිල්පියාට ඇති ඉල්ලුම පහළ ගියේය. ඒ සමගම චිත්‍ර ශිල්පියා වෙනත් ජීවනෝපායන් වෙත යොමු විය. විහාර චිත්‍රකලාව හා බැඳුණු තොරණ කර්මාන්තයටද මෙය බලපෑම් කර තිබෙන බව තොරණ නිර්මාණයේ යෙදෙන පුෂ්පානන්ද දෙණිපිටිය මහතා පවසයි. වසර හතළිහක් තිස්සේ ලංකාවේ තොරණ දෙසීයක් පමණ නිර්මාණය කර ඇති දෙණිපිටිය මහතා මෙවර කොළඹ ආසන්නයේ තොරණ හයක් සිතුවම් කර තිබේ. සෑම තොරණක්ම අඩි පනහක් පළලින් යුතු වන අතර, උසින් අඩි පණහ ඉක්මවයි.

සෑම වසරකම අලුත් නිර්මාණ ඉදිරිපත් කරන පුෂපානන්ද මහතා මෙවර කිරිබත්ගොඩ තොරණ දස පාරමිතා මුල් කොටගෙන නිර්මාණය කර ඇත. නවලෝක තොරණ සිගාලෝවාද සූත්‍රය ඇසුරෙන්ද, ග්‍රෑන්ඩ්පාස් තොරණ ලිච්ඡවි රජුන් පිළිබඳවද, ගංගාරාමය තොරණ මගින් මහෝෂධ චරිතය පිළිබඳවද කොට්ටාව තොරණ මණිචෝර ජාතකය ඇසුරෙන්ද, ගොඩගම තොරණ බෝධිරාජකුමාර චරිතය ඇසුරෙන්ද නිමවා තිබේ. තොරණ නිර්මාණය සඳහා ජාතක කතා, චරිත කතා, සූත්‍ර දේශනා ආදිය උපයෝගී කරගනු ලබයි.

පිය උරුමයෙන් චිත්‍රකලාවටද තොරණ කර්මාන්තයටද පිවිසි පුෂ්පානන්ද දෙණිපිටිය මහත්මාගේ ගුරුවරයා වී ඇත්තේ ඔහුගේ පියා වන දයානන්ද දෙණිපිටිය මහත්මාය. ඔහු තම ගුරුවරයකු ලෙස දයා ජී. සේපාල මහතා සිහි කරයි. ඔහු මුලින්ම දායක වී ඇත්තේ තොටළඟ තොරණටය. ධවලසිංහාරාමයේ සහාය ශිල්පියකු ලෙස බිතුසිතුවම් නිර්මාණයට දායක වෙමින් සිටියදී තොටළඟ තොරණට සම්බන්ධ වීමට ඉඩ ලැබී තිබේ.

තොරණ කරමාන්තය ප්‍රබල ගැටලු රැසකට මුහුණ දී ඇති බව පවසන දෙණිපිටිය මහතා කියා සිටින්නේ අමුද්‍රව්‍ය හා තීන්ත මිල ඉහළ ගියද තොරණ සඳහා චිත්‍ර නිර්මාණයට ලැබෙන මුදල වැඩි වී නැති බැවින් ජීවනෝපායක් ලෙස මේ කර්මාන්තය තවදුරටත් කරගෙන යෑමේ අපහසුතා පවත්නා බවයි.

තරුණ පිරිස් ඩිජිටල් තාක්ෂණයට යොමු වීම හේතුවෙන් මනා අධ්‍යයනයකින් යුතු වර්ණ සංයෝජනයේ හා වර්ණ සංකලනයේ දක්ෂ චිත්‍ර ශිල්පීන්ගේ හිඟයක් ඇති වීමද තොරණ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යෑමේ ගැටලු මතු කරයි. විහාර චිත්‍ර කර්මාන්තයට අත හුරු කරගත් නිර්මාණශීලි නිර්මාණකරුවන් ක්ෂේත්‍රයට එක් නොවුණ හොත් අනාගතයේ තොරණ කලාව ඩිජිටල් තාක්ෂණයට යොමු වීම වළක්වාගත නොහැකි වනු ඇත.

මේ තත්ත්වය මඟහරවාගැනීම සඳහා චිත්‍ර කලාවේ දක්ෂතා ඇති තොරණ නිර්මාණ කලාව ප්‍රගුණ කිරීමට කැමැති තරුණයන්ට සිතුවම් කලාව ඉගැන්වීමට පුෂ්පානන්ද මහතා කැමැත්තෙන් සිටී.

නිල්-කහ-රතු මූලික වර්ණ භාවිත කරමින් කළු-සුදු වර්ණ භාවිතයෙන් අඳුර එළිය දක්වමින් කැන්වසය මත සිතුවම් මතු කරනා පුෂ්පානන්ද මහතා තොරන සඳහා වර්ණ භාවිතයේදී විවිධ වර්ණ සංකලනයන් කෙරෙහි කැමැත්ත දක්වයි.

නිදහස් රැකියාවකට තිබූ කැමැත්ත හේතුවෙන් තොරණ නිර්මාණය තම ජීවිකාව කරගත් පුෂ්පානන්ද මහතා පියාගේ කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යෑමට කැමැත්තෙන් සිටී. ඕනෑම කෙනකු තමන්ට තෘප්තියක් ලැබෙන රැකියාවක් කළ යුතු බවද තමන් තෘප්තිමත් නිරමාණකරුවකු බවද හෙතෙම පවසයි.

ඔහුගේ නිර්මාණ කාර්යයන් සඳහා බිරිය චින්තා කල්‍යාණිගෙන් ලැබෙන සහාය සිතට සතුටක් මෙන්ම ධෛර්යයද ළඟා කරදෙන බව හෙතෙම කියා සිටියි. මෙවර තොරණ නිර්මාණයේදී නිශාන්ත ගමඇතිගේ, චතුර මධශංඛ, ජයරත්න වැදිසිංහ හා ආනන්ද දෙණිපිටිය යන මහත්වරුන්ගෙන් ලද සහාය ඔහු සිහිපත් කරයි.

වෙසක් කූඩුවකටත් රාජ්‍ය සම්මාන ගෞරව පිරිනමන රටේ සාමූහික ප්‍රයත්නයක් වන තොරණ කෙරෙහි මෙතෙක් රාජ්‍ය අවධානය යොමු වී නැත.

අතීතයේ තොරණක් යනු මහා පරිමාණයේ පරිසර විනාශයකි. පුවක් ගස් රැසක්, පොල් ගස් කිහිපයක් එක් තොරණක් වෙනුවෙන් කපා දැමූ අවධියක් විය. තවමත් ඇතැම් ප්‍රදේශයන්හි පුවක්ගස් තොරණ ඉදි කිරීමේදී භාවිත කරනු ලැබේ. මේ හේතුවෙන් පරිසරයට හා ජාතික ආර්ථිකයට වන පාඩුව විමසා බලා විකල්ප ක්‍රමවේදයක් වන යකඩ බට කෙරෙහි වඩවඩාත් යොමු වීම වැදගත්ය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »