අපේ වැව කිඹු­ලන්ට ගිහින්
කිඹු­ලන්ට බියෙන් ගම්වා­සීන් වැවට යන්නෙ නෑ

2017-05-08 10:34:00       582
feature-top
මෙච්චර කිඹුල්ලු වැවට ආවේ කොහොමද?
මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි කටයුතු කරනවා - ගල්නෑව නියෝජ්‍ය පොලිස්ථානාධිපති
කිඹුලන් ඉවත් කිරීම ගැන හරියටම දෙයක් කියන්න බෑ - ගල්නෑව ප්‍රාදේශීය ලේකම්
කිඹුලන් අල්ලනවාද නැද්ද යන්න ගැන තවම තීරණයක් නෑ - මීගලෑව වනජීවී කාර්යාලය

අප රටේ මෑත වකවානුවේ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් සිටින සත්ව කොට්ඨාස කීපයක් හඳුනා ගනු ලැබ තිබේ. මොනරා, වල් උරා, ඉත්තෑවා, දඬු ලේනා සහ කිඹුලා ඒ අතරින් ප්‍රධාන වේ. මින් කිඹුලන් හැරුණුවිට අනෙක් සියලුම සතුන් බහුල වශයෙන් මිනිසුන්ට පාඩු සිදු කරනුයේ ප්‍රධාන වශයෙන්ම වගාවනට හානි කිරීමෙනි. එහෙත් කිඹුල්ගහනය වර්ධනය මිනිසුන්ට වඩාත් බලපා ඇත්තේ උන්ගෙන් සිදුවන මිනිස් ජීවිත හානි නිසාවෙනි. කිඹුලන්ට ගොදුරුව ජීවිත හානි වූ සහ අතපය අහිමි වූ සිද්ධි බොහොමයක් මින් මාස කීපයක සිට රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. කතරගම මැණික් ග‍ඟේ මෑත කාලයේදී කිඹුල්ගහනය වර්ධනය වීම නිසා පසුගිය සතියේ කිඹුලන් ඇල්ලීමේ ව්‍යාපෘතියක් පසුගිය සතියේ ආරම්භ කෙරුණ ද මේ වෙද්දී එම ව්‍යාපෘතිය අත්හිටුවා ඇතැයි දැන ගන්නට ලැබිණ.

පරිසර සමතුලිතභාවය රැකීමට කිඹුලා ද අවශ්‍යමුත් කිඹුල්ගහනය වර්ධනය ව්‍යසනයක් බවට පත්ව ඇති වග ඉතා මෑතදී ගල්නෑව ප්‍රදේශයේ බුලන්නටුව වැවේ දිය නෑමට ගිය 13 හැවිරිදි දැරියක කිඹුලකුට ගොදුරුවීමෙන් පැහැදිලි වේ. එම සිද්ධියෙන් පසු එම පළාතේ පමණක් නොව සමස්තයක් වශයෙන් වැව් ආශ්‍රිතව දිවි ගෙවන ජනයා ඉමහත් භීතියෙන් කල් යවති. එසේම මේ සිද්ධියෙන් පසු එම වැවේ සිටි කිඹුලන් විශාල සංඛ්‍යාවක් මරා දමා ඇති බවට ද තොරතුරු ලැබුණ ද එය සනාථ කර ගත නොහැකි විය.

කෙසේ වුව කුඩා දැරිය කිඹුල් ප්‍රහාරයකට ලක්ව මිය ගිය බුලන්නටුව වැවේ තවත් කිඹුලන් 17 ක් පමණ සිටින බව ප්‍රදේශවාසීහූ පවසති. ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 469 ලෝලුගස්වැව ග්‍රාම නිලධාරී වසමට අයත් බුලන්නටුව වැව තරමක් විශාල වැවකි. ඉකුත් දා සිදු වූ සිදුවීමත් සමග ප්‍රදේශවාසීන් දැන් පසුවන්නේ දැඩි බියකිනි. විවිධ ප්‍රමාණයේ කිඹුලන් 17 ක් දෙනෙකු පමණ තව දුරටත් මෙම වැවේ සිටින බවත් දැරිය බිලිගත් කිඹුලා තරම්ම විශාල වූ තවත් කිඹුලකුද ඒ අතර සිටින බවත් අප කළ සොයා බැලීමකදී ගම්වාසීහූ සඳහන් කළහ. එම කිඹුලා දිගින් අඩි 12 ක් පමණ හා වට ප්‍රමාණයෙන් අඩි 3 ක් පමණ වෙතැයි ද පැවසේ. මෙම වැවෙහි කිඹුල් උමගක් යැයි සැක කෙරෙන ස්ථානයක්ද ගම්වාසීන් එක්ව හැරූ අතර එහි කිඹුල් පැටවුන් 4 ක්ද සිටිනු දක්නට ලැබිණි. කෙසේ වෙතත් ලෝලුගස්වැව හා ඒ ආසන්නයේ ගම්මාන රැසක ජනතාව මෙම වැවෙන් ජල අවශ්‍යතා සම්පූර්ණ කරගත් අතර මේවන විට වැවට පැමිණෙන ජනතාව අඩු බවත් ඔවුන් බියෙන් සිටින බවත් ගම්වාසීහූ සඳහන් කරති.

එසේම මෙම කිඹුලන් ගමේ නිවෙස්වල ඇති කරන සුනඛයන් දඩයම් කර ආහාරයට ගැනීමට පුරුදුව ඇති බවත් මින් පෙර අවස්ථාවක එවැනි ආකාරයෙන් සුනඛයන් දෙදෙනෙකු හා කුඩා වසු පැටවුන් දෙදෙනෙකු කිඹුලන්ට ගොදුරු වූ බවත් ගම්වාසීහූ පැවසූහ. වසර 15 ක පමණ කාලයක සිට මෙම වැවෙහි කිඹුලන් සිටි බවත් එසේ වුවත් මින් පෙර කිඹුලන් සිටියදී වුවද මිනිසුන් වැවෙන් දිය නාමින් ජල අවශ්‍යතා ඉටු කර ගත් බවත් ගම්මු පවසති. එහෙත් මෑත කාලයේදී නොසෑහෙන ලෙස කිඹුල්ගහනය වර්ධනය වී මිනිසුන් අතර කිඹුල් භීතිකාවක් ඇතිවීමත් සමඟ මේ වැවෙන් කිඹුලන් ඉවත් කර දෙන ලෙස ගම්වාසීහූ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. කෙසේ වෙතත් ගමට ඇතිවී ඇති මෙම කිඹුල් භීතිකාවත් සමග අදාළ ගැටලුව නිරාකරණය කිරීම සදහා දෙපාර්තුමේන්තු කිහිපයක්ද එක්ම කටයුතු කරන බවක් වාර්තා විය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මීගලෑව වනජීවී කාර්යාලයේ ප්‍රධානී නිමල් බණ්ඩාර රත්නායක මහතා පැවැසූයේ මෙවැන්නකි.

“මේ වැවේ තවත් විශාල කිඹුලන් 10 ක් 15 ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. නමුත් එම සතුන් එම වැවෙන් ඉවත් කරනවාද නැද්ද යන්න තවමත් තීරණය කරලා නෑ. ගම්වාසීන් එක්ක අපි කමිටු රැස්වීමක් තියලා මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ කිඹුලන් මේ වැව්වලට ආවේ මොන ආකාරයෙන්ද කියලා අපිට හරියටම කියන්න බෑ. ජල මාර්ගත් එක්ක ආහාර සොයාගෙන ඇවිත් ඒ සතුන් එයාලට සුදුසු තැන තෝරගන්නවා.”

මේ පිළිබඳ මීළඟට අප විමසුවේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් ඊ. එම්. ස්වර්ණා එදිරිසිංහ මහත්මියගෙනි.

“අදාළ සිදුවීමත් එක්ක මේ ප්‍රදේශයේ ජනතාව බියට පත්වෙලා ඉන්නවා. ඒ වගේම තමා මෙම දැරිය කිඹුල් ප්‍රහාරයට ලක්වුණු වැවේ හා කලංකුට්ටිය ඇළ ආශ්‍රිතව තවත් විශාල හා විවිධ ප්‍රමාණයේ කිඹුලන් ගැවසෙන බව ප්‍රදේශවාසීන් දැකලා තියනවා. මේ හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපිටත් වගකීමක් තියනවා. ඒ නිසා ඒ ගැන සාකච්ඡා කරලා ඒ කිඹුලන් එම තැනින් ඉවත් කරනවාද නැද්ද කියන කාරණව සම්බන්ධයෙන් අපි තීරණය කරනවා. මේ වැවේ මිනිසුන් නාන ස්ථාන ආරක්ෂිත වැටකින් වට කරලා ඔවුන්ගේ ඒ ආරක්ෂාව සලසා දීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු අපි සිදු කරනවා.”

ගල්නෑව පොලිස්ථානයේ වැඩ බලන ස්ථානාධිති එම්. එම්. ආර්. සී. මුණසිංහ මහතා ද වැවේ කිඹුල් ප්‍රශ්නය සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නකි.

“මේ සිදුවීමත් එක්ක ප්‍රදේශය පුරා විශාල බියක් පැතිරිලා තියනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ පැත්තෙන් මොනවද කරන්න පුළුවන් කියලා මේ වෙද්දී අපි සාක්ච්ඡා කරගෙන යනවා. ඒ අනුව ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ කටයුතු සදහා අපි සහයෝගය ලබා දෙනවා. ”

තම ගමට බලපාන කිඹුල් කරදරය ගැන ගම්මු ද අප හා අදහස් පළ කළෝය.

“කිඹුලාට බිලි වුණේ මගේ අයියගේ දුව. මේ අපේ පළාතෙන්ම දරුවෙක් කිඹුලෙකුට බිලි වුණු පළවෙනි අවස්ථාවයි ‍මේ. අපි ඒ නිසා මේ කිඹුලන් මේ වැවෙන් ඉවත් කරලා දීලා ආරක්ෂාව සලසන හැටියට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලනවා.” යැයි ලෝලුගස්වැව පදිංචි පී. ශ්‍යාමලී ප්‍රේමලතා මහත්මිය පැවසුවාය.

එම ගම්මානයේම පදිංචි ජයන්ත සෝමතිලක මහතා පැවසුවේ මෙවැන්නකි. “මම මේ වැව ගැන අවුරුදු 30 ක පමණ කාලයක සිට දන්නවා. ඉස්සර මේ තරම් කිඹුල්ලු ප්‍රමාණයක් මේ වැවේ හිටියෙ නෑ. මේ භීතිකාවත් එක්ක මිනිස්සු මේ වැව පාවිච්චි කරන්න විශාල බයක් දක්වනවා.” ගමේ 304/ඩී2/ටී26 ධාතුසේන ගොවි සංවිධානයේ ලේකම් ඩී. එම්. අසංක ප්‍රදීප් මහතා, “ගොවි සංවිධානය වශයෙන් අපි මේ වෙද්දි තවත් ජීවිතයක් බිලි ගන්න කලින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න කියලා මහවැලි කාර්යාලයට දැනුම් දීලා තියනවා.” ගල්නෑව සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති එච්. එම්. ලයනල් ජයසිංහ මහතාද අදහස් දැක්වීය.


Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »