මිනිස්‌සුන්ගේ වියවුල් නිසාමයි
මේ තරම් කිඹුල් අවුල්....

2017-04-25 10:40:00       586
feature-top
මැණික්‌ ගඟ අවීචිනරකාදියක්‌...
කිඹුල්ලුන්ට ගැළපෙන නවාතැන්පළක්‌...
කතරගම කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම සාර්ථක වෙයිද?

අලි මිනිස්‌ ගැටුම මෙන්ම කිඹුල් මිනිස්‌ ගැටුම ද ඉහළ ගොස්‌ තිබේ. අලි මරා දමන්නෙත් කිඹුලා කන්නෙත් අසරණ මිනිසුන්වමය. එහෙත් කිඹුලා හෝ වල් අලියා තමන් විසින් මෙබඳු විපත් පමුණුවනු ලබන්නේ අසරණ මිනිසුන්ට බව ඒ සත්තු නොදනිති. කුඹුරක්‌ කොටා, හේනක්‌ අස්‌වද්දාගෙන වේල පිරිමසා ගන්නා අහිංසකයන්ගේ වගා බිම් පාලු කරමින්ද, ගේදොර බිඳලමින්ද, සැහැසිව හැසිරෙන කිසිදු වල් අලියකුට ඒ කෙබඳු බිහිසුණු ක්‍රියාවක්‌දැයි නොවැටහෙන බව සැබෑය. එහෙත් තමන්ට මිනිසුන් සමඟ බේරාගැනීමට ගනුදෙනුවක්‌ තිබෙන බව වල් අලියා දනී. මිනිසුන් විසින් අයුක්‌ති සහගත ලෙස තම ගම්බිම් උදුරා ගන්නා ලද බවත්, ඒවායේ ගෙවල් දොරවල් තනා ගන්නා ලද බවත් වල් අලියා දනී. ඒ අසාධාරණ මිනිසා නෙත ගැටෙන සෑම විටකම වල් අලියා සිය සාහසික ගනුදෙනුව බේරා ගනී.

කිඹුලන්ට මිනිසුන් සමඟ බේරා ගැනීමට ගනුදෙනුවක්‌ නැත. එහෙත් කිඹුල්ලු මිනිස්‌සු සමඟ ගැටෙති. මිනිසුන්ව ගොදුරු කර ගනිති. නිල්වලා ගඟේ මිනී කන කිඹුලන් විසින් කරන ලද විපත් ඕනෑ තරම් අපි අසා සිටිමු. එහෙත් මෑතක සිට අපට නිරන්තරයෙන් ඇසෙනුයේ කතරගම පූජා භූමිය සමීපයේ මැණික්‌ ගඟේ කිඹුල් මිනිස්‌ ගැටුම ගැනය. වාර්තා වන අන්දමට මේ වන විට මැණික්‌ ගඟ කිඹුල් බලකොටුවක්‌ බවට පත් වී හමාරය. ගඟේ ඈත, මෑත ඇස ගැටෙනුයේ විශාල කිඹුලන්ය. උන්ව දකින විට මැණික්‌ ගඟේ දිය නෑමට නොව, ගඟ අද්දරටවත් යැමට බිය සිතේ. කිඹුලන්ගේ පෙනුම ඒ තරමටම රෞද්‍රය.

2015 වසරේ යාපනයේa සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක්‌ මැණික්‌ ගඟේ දිය නාමින් සිටියදී එක්‌ තරුණයකුව කිඹුලෙක්‌ ඇදගෙන ගොස්‌ හපා මරා දමා තිබිණි. එම තරුණයා එසේ කිඹුලාට ගොදුරු වී තිබුණේ දෙවියන්ට පැන් ගන්නා තොටුපළේදීය. ඊට පසු දිනක කතරගම වන්දනාවේ පැමිණි තරුණයන් සය දෙනකු මැණික්‌ ගඟේ දිය නාමින් සිටියදී කිඹුලන්ගේ ග්‍රහණයට හසු වී ජීවිත බේරාගෙන තිබුණේ පූරුවේ පිනකටය. කඩවත සිට පැමිණි බැතිමතුන් පිරිසක්‌ ගංගාරාම විශ්‍රාම ශාලාව අසලින් මැණික්‌ ගඟේ දිය නාමින් සිටියදී එක්‌ තරුණයකුව කිඹුලකුට හසු වී තිබේ. තරුණයාගේ කෑගැසීම නිසා ඔහු සමඟ සිටි පිරිස මහත් පරිශ්‍රමයක්‌ දරමින් කිඹුලා ඇදගෙන යමින් සිටි තරුණයාව බේරාගෙන තිබිණි. එහෙත් තරුණයාගේ දකුණු කකුල කිඹුලා විසින් කඩාගෙන ගොස්‌ තිබිණි. අවසානයේ දෙපයින් වන්දනාවේ ගිය තරුණයාට නැවත නිවසට යැමට සිදු වූයේ අබ්බගාතයකු ලෙසය. 2016 වර්ෂයේ සිට මේ දක්‌වා කාලය තුළ පුද්ගලයන් දහයකට ආසන්න පිරිසක්‌ කිඹුලන් ඩැහැගැනීමට තැත් කර තිබේ. ඒ අතරින් හයදෙනකු බරපතළ තුවාල ලබා සිය ශරීර අවයව පවා අහිමි කරගෙන සිටිති. ඊට අමතරව මැණික්‌ ගඟට දිය බීමට එන ගවයින්, මුවන් ඇතුළු විවිධ සතුන් කිඹුලන් ගොදුරු කර ගත් අවස්‌ථා බොහෝය.

මැණික්‌ ගඟේ කිඹුල් තර්ජන දරුණු වන විට පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට කිඹුලන් ඇල්ලීමට වනජීවී නිලධාරීහු විශේෂ මෙහෙයුමක්‌ ආරම්භ කළහ. කිඹුලන් ගැවසෙන ස්‌ථානවල යකඩ කූඩු තබා ඒ තුළට කුකුළු මස්‌ දමා කිඹුල්ලු කොටු කරගැනීම සිදුකළහ. එසේ කොටු කරගත් කිඹුලන් දහදෙනකු පමණ උඩවලව වනඋද්‍යානයට මුදාහැර ඇති බව ද දැනගැනීමට ලැබේ. එහෙත් උගුල්වලට දැමීමට කුකුළු මස්‌ මිලදී ගැනීමට ප්‍රතිපාදන නොමැතිකම නිසා වනජීවී නිලධාරීන්ගේ කිඹුල් මෙහෙයුම අතරමග නතර විය. නැවතත් මැණික්‌ ගඟේ දිය නෑමට යන බැතිමතුන්ට කිඹුල් තර්ජන වැඩි වන විට පසුගිය දිනක වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් කිඹුලන් ඇල්ලීමට නියෝග නිකුත් කෙරිණි. ඒ අනුව මේ දිනවල වනජීවී නිලධාරීන් කිඹුල් මෙහෙයුම ආරම්භ කර තිබේ. පසුගිය 15 වැනිදා වනජීවී නිලධාරීනA දිය කැපුම් වැල්ලේදී කිඹුලකු අල්ලාගෙන උඩවලව වනඋද්‍යානයට මුදාහැරීමට ක්‍රියාකර තිබිණි. වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාගේ උපදෙස්‌ මත ඉදිරියටත් කිඹුල් මෙහෙයුම ක්‍රියාත්මක කරන බව වනජීවී සහකාර අධ්‍යක්‍ෂ එම්. එච්. චිත්‍රසේන මහතා අප සමඟ පැවසීය. එමෙන්ම කිඹුලන් ගැවසෙන ස්‌ථාන හඳුනාගැනීමට ප්‍රදේශවාසීන්ගේ උදව් උපකාර බලාපොරොත්තු වන බවද අප සමඟ පැවසුවේය.

එහෙත් මැණික්‌ ගඟ අපවිත්‍ර වී තිබෙන තාක්‌ කිඹුලන්ගේ බෝවීම නතර කළ නොහැකිය. මේ වන විට මැණික්‌ ගඟ කොළඹ කුණු ඇළක්‌ වැනිය. මැණික්‌ ගඟ ආසන්නයේ සෙල්ල කතරගම සිට කතරගම නාගහවීදීය ගම දක්‌වා ගඟ අද්දර දිගට හෝටල් සහ නවාතැන්පළවල කැළි කසළ මුදාහරිනු ලබන්නේ මැණික්‌ ගඟටය. එමපණක්‌ නොව ඇතැම් නවාතැන්පළවල වැසිකිළි බට හරවා ඇත්තේ ද මැණික්‌ ගඟටය. අසූචි, කුණු කසළ මිශ්‍ර ජලය දකින විට බඩ දඟලන තරම්ය. එයින් වහනය වන දුගඳට ඉහ මොළ ද කකියවන්නේය. මැණික්‌ ගඟ පැන් ගැනීමට තියා දිය නෑමටවත් නුසුදුසු තැනක්‌ බවට දැන් පරිවර්තනය වෙමින් තිබේ.

මැණික්‌ ගඟ යනු අවීචි මහා නරකාදියක්‌ විය යුතු තැනක්‌ නොවේ, මෙරට ගංගා අතරින් විශේෂිත ශුද්ධ වූ ගංගාවකි. නමුණුකුල කන්දේදී ඉපිද කතරගම ප්‍රදේශය හරහා ගලා බසින මැණික්‌ ගඟ දෙවියන්ගේ පැන් පහසුව සපුරාලමින්, අෂ්ඨඵල බෝධියේ නානමුරයට පැන් ලබාදෙමින් කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ පව් කුණු සෝදා හැරීමට දිය ලබා දෙන ගංගාවකි. එමෙන්ම කතරගම සහ අවට ගම්මාන රැසක ජනතාවගේ දිය පිපාසය නිවාලන ගංගාවකි. ඉන්දියාවේ ගංගා නම් ගඟ මෙන් කතරගම මැණික්‌ ගඟ ද බැතිමතුන්ගේ පූජනීය වස්‌තුවකි. එමෙන්ම මැණික්‌ ගඟ කතරගම ඉතිහාසයේ කැඩපතකි. ඉන්දියාවේ සිට මෙරටට පැමිණි විජය කුමාරයා ඇතුළු පිරිසෙන් කොටසක්‌ රුහුණේ කප්පකන්දර නදිය අසබඩ ජනාවාස පිහිටුවාගෙන ජීවත් වූ බව ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම එළාර රජු සමඟ යුද්ධයට ගිය දුටුගැමුණු රජතුමාට කපුකන්දරඔය ලෙස හැඳින් වූ මැණික්‌ ගඟ අසලදී කතරගම දෙවියන් හමු වී ඇති බව ද ජනප්‍රවාදයේ කියෑවේ. යුද්ධයෙන් ජයගෙන පැමිණි දුටුගැමුණු රජතුමා කතරගම දෙවියන්ට වූ භාරය ඔප්පු කිරීම පිණිස කතරගම මහා දේවාලය පිහිටුවා ඉර හඳ පවතිනතුරු පුද පූජා පවත්වන ලෙස රාජ අණක්‌ ද ක්‍රියාත්මක කළ බව දේවාල ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම කතරගම දේවාලයේ සිදුකරන චාරිත්‍ර රැසකට මැණික්‌ ගඟ දායක වේ. කපු කනු රැගෙනවිත් නානමුර පූජාව සිදු කරනුයේ මැණික්‌ ගඟ තුළය. ඇසළ මංගල්‍ය අවසාන කර දිය කැපීමද සිදු කරනුයේද මැණික්‌ ගඟේ ජවමාලි තොටුපළේදීය. අතීතයේ කතරගම වන්දනාවේ පැමිණි බැතිමතුන් ආහාර පිළියෙළ කර ගත්තේ මැණික්‌ ගඟේ වැල්ලේ හිඳගෙනය. පඬුරු පිරිසිදු කර ගත්තේ ද, දෙහි ගා දෝවනය වූයේ ද මැණික්‌ ගඟේ දියෙනි. ඒ බව අප කියනවාට වඩා කතරගම ප්‍රදේශවාසීහු කියන කතාව හරිම අපූරුය.

"ඉස්‌සර කාවඩි මඩු තිබුණේ මැණික්‌ ගඟේ වැලි තලාව මත. ගඟ දිගට සුදු වැලි තලාව. සමහර මිනිස්‌සු සනීපෙට වැල්ලේ නිදා ගත්තා. ඒ කාලේ මැණික්‌ ගඟ හරිම ලස්‌සනයි. කතරගම දෙවියන්ට වෙච්ච බාර ඔප්පු කරන්න කොණ්‌ඩ කැපුවේ මැණික්‌ ගඟේ සුදු වැල්ලේ ඉඳගෙන. 2012 අවුරුද්දේ දී ගඟ පිරිසිදු කරන්න කියලා අංක 02 පාලම අසල තිබුණු පැති බැම්බ කැඩුවා. ඒ බැම්බ කඩපු නිසා ගඟේ වැලි වේගයෙන් පහළට ගලාගෙන ගියා. ගං ඉවුරේ ආරක්‍ෂාවට තිබුණු බැම්ම ගඟට කඩා වැටුණා. ඒ කැඩුණු බැම්ම ඇතුළේ කිඹුල්ලු ලගින්න පටන් ගත්තා. කැඩුණු බැමි තවමත් හදලා නෑ. අදටත් කිඹුල්ලු ඉන්නේ ඒ බැමි ඇතුළේ..." කතරගම ප්‍රදේශවාසීන්ගේ අදහස්‌ දැක්‌වීමෙන් අනතුරුව අපි රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්‌ත්‍රපති කපුගම සරණතිස්‌ස හිමියන් හමුවට ගියෙමු. මැණික්‌ ගඟේ විනාශය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කියන කතාවට නොදැවෙනි කතාවක්‌ උන්වහන්සේ අප සමඟ පැවසූහ.

"මැණික්‌ ගඟේ කිඹුල්ලු වැඩි වෙලා තියෙන්නෙ මිනිස්‌සු කරන වැරැදි නිසා. ගඟ රක්‍ෂිත විනාශ කරලා ඉදිකිරීම් කරනවා. ගං ඉවුරු සෝදගෙන ගිහිල්ලා වළවල් හැදිලා. ගඟ උඩහා, පහළ වැලිගොඩ දාන නිසා ගඟ හෑරෙනවා. වැලි තට්‌ටු පහළට ගලා බහිනවා. ඒ නිසා ගඟ පතුලේ කබොක්‌ ගල් පෑදිලා කිඹුල්ලුන්ට වාසස්‌ථාන හැදෙනවා. ප්‍රදේශයේ වැව් අමුණු ගොඩවෙලා ඒවායේ හිටපු කිඹුලන්ට ඉන්න තැනක්‌ නැති වෙනකොට ඒ සත්තු ගඟට පනිනවා. මේ මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා තමයි කිඹුල්ලු වැඩි වෙලා තියෙන්නේ. පහුගිය කාලේ මැණික්‌ ගඟේ අංක 02 පාලම අසල තිබූ බැම්ම කඩා දාලා තිබුණු නිසා වැලි පහළට ගලාගෙන ගියා. පස්‌සෙ මම වාරි මාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහත්තයාට කියලා කැඩුණු බැම්ම හැදෙව්වා. දැන් ටික, ටික වැලි තට්‌ටු හැදෙනවා. තව ටික කාලයක්‌ යනකොට තිබුණු විදිහට ගඟේ වැලි තට්‌ටු හැදෙයි කියලා මම විශ්වාස කරනවා. ඒත් මිනිස්‌සු ජරාව දාන එක නතර කළේ නැති නම් ගඟට වෙන විනාශය නතර කරන්න බෑ..."

අතීතයේ කතරගම මැණික්‌ ගඟ වසරකට කීප වතාවක්‌ම පිටාර ගලා යමින් ගඟේ කැළිකසල සෝදාගෙන ගොස්‌ ගඟ පිරිසිදු විය. එහෙත් වෙහෙරගල ජලාශය ඉදිවීමත් සමඟ කොතරම් වැස්‌සද මැණික්‌ ගඟේ ජලය පිටාර ගැලීමක්‌ සිදු නොවන බව කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය දරන සොමිපාල ටී. රත්නායක මහතා අප සමඟ පැවසුවේය. අද මැණික්‌ ගඟට සිදුව ඇති ඉරණම හමුවේ රටේ වගකිවයුතු නිලධාරීන් නිහඬව සිටින බැවින් දිනෙන් දින මැණික්‌ ගඟ විනාශයට ලක්‌වෙමින් තිබෙන බවද ඒ මහතා අපට කීවේය.

විපතක්‌ වන තෙක්‌ පාඩමක්‌ ඉගෙන නොගැනීම අපේ රටේ දුර්වලකමය. ඒ දුර්වලකමට ප්‍රධාන හේතුව දේශපාලන හා නිල බල අධිකාරිවල නොසැළකිලිමත්කමය. වල් අලි ප්‍රහාරයකින් කිසිවෙක්‌ මියගිය විට විදුලි වැටවල් මතක්‌ කරන දේශපාලනඥයෝ ආයෙත් ඒ පැත්ත පළාතකට නොඑති. කිඹුලෙක්‌ මිනිහෙක්‌ව ඩැහැ ගත් විට කිඹුල්ලු අල්ලන්න නියෝග නිකුත් කරන දේශපාලනඥයන් ඒ ගැන පසු විපරමක්‌ නොකරයි. අසරණ ජනතාවට මොන විපත් සිදු වුවත් දේශපාලනඥයන්ට කම්පාවක්‌ නැත. එවැනි පසුබිමක මැණික්‌ ගඟේ කිඹුලන් ඇල්ලීමට වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු කිරීම ගැන රටේ ජනතාව විදිහට අප අගේ කළ යුතුය. සිදු විය යුත්තේ මේ කිඹුල් මෙහෙයුම දිගට කරගෙන යැමය. එසේ නොවෙන්න එළඹෙන කතරගම පෙරහැර මංගල්‍ය සමයේදී කිඹුලන්ට ගොදුරු වන ප්‍රමාණය කිවනොහැකි තරම් වේ.

එමෙන්ම මැණික්‌ ගඟ පිරිසිදුව තබාගැනීම රටේ වගකීමකි. කතරගම දෙවියන්ට කරන පූජාවකි. උණ හෙම්බිරිස්‌සාවක්‌ වැළඳුණත් පූජා වට්‌ටි හිස මත තබාගෙන කතරගම දෙවියන් ඉදිරියේ පේවී සිටින මැති ඇමැතිවරු මැණික්‌ ගඟට වන විනාශය ගැන සොයාබැලිය යුතුය. එසේ නොවෙන්න මැණික්‌ ගඟ විනාශ කරන අපතයන්ට දේවියන් දඬුවම් කළ යුතුයි.
 

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »