අපි නිදාගන්නෙත් මුර මාරු ක්‍රමයටයි
සුන්දර පාසිකුඩාවෙන් ඇසෙන අසුන්දර කතාවක්

2017-04-09 10:38:00       585
feature-top
වෙරළට සෙමෙන් ඇදී එන රළ පෙළ සුන්දර පාසිකුඩා වෙරළ සිපගනිමින් යළිත් සෙමෙන් සෙමෙන් මුහුද කරා ඇදෙන්නේ පාසිකුඩා වෙරළ තීරයේ සිරිය විඳගන්නා බොහෝ දෙනා සතුටු කරමිනි. වෙරළේ හැපී සිඳී බිඳී ආපසු යන රළ පෙළ සේ පාසිකුඩා වෙරළේ සිරි නැරඹීමට පැමිණෙන සංචාරකයන්ද ඒ පයින්ම ආපසු හැරී යති. පාසිකුඩා වෙරළ තීරයේදී දිය නෑමත් දිය කෙළියත් හැරුණු විට එතැනින් ඔබ්බට සොයා බලන කිසිවෙක් හෝ නැත. පාසිකුඩා, කල්කුඩා, වැල්ලවාඩිය... මේ ධීවර ගම්මාන සියල්ලම එක පෙළට මෙන් නැඟෙනහිර වෙරළ තීරයේ අප නෙත ගැටෙනා ගම්මානයි.

එහෙත් ඒ ගම්මානවල දිවි ගෙවන ජනතාවගේ යථා ජීවිතය ගැන නම් මේ සංචාරකයන් කිසිවකු හෝ නොදන්නා සේම කිසිවකු හෝ ඒ ගැන සොයා බලන්නේද නැත.

වැල්ලවාඩිය ගම්මානයත්, කල්කුඩා ගම්මානයත් මීට වසර 25කට 30කට පෙර සම්පූර්ණයෙන්ම සිංහල ධීවර ගම්මාන විය. එහි ධීවර කර්මාන්තයේ නියුතු පවුල් 300කට අධික සංඛ්‍යාවක් වූහ. මේ වන විට එම පවුල් 300කට අධික සංඛ්‍යාවකින් විශාල පිරිසක් එම ප්‍රදේශය හැර ගොසිනි. ඔවුන්ට උන් හිටි තැන් අහිමිව ඇත. ත්‍රස්තවාදී ප්‍රහාරයන් හේතුවෙන් තම වාසස්ථාන අහිමි වූ පසු මේ ජනතාව තම තමන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ගේ නිවාසවල ලැගුම් ගත්හ.

ත්‍රස්තවාදී තර්ජන නිම වීමෙන් පසු ඔවුන් යළි ගම්මානවලට ආවේ දහස් බලාපොරොත්තු සහිතව වුවත්, මේ වන විට එය සිහිනයක්ම වීම නිසා ඔවුන් දැඩි අපහසුතාවලට පත්ව ඇති බව පෙනේ. ඒ බොහෝ පොරොන්දු වචනවලට සහ කඩදාසිවලට සීවා වී ඇති බවක්ද පෙනේ.

එකල කල්කුඩා සිංහල විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරමින් සිටි බොහෝ දූදරුවන් මේ වන විට විවාහ වී, ඔවුන්ගේ දූදරුවෝද විවාහ වන වයසේ පසු වෙති. කල්කුඩා සිංහල විද්‍යාලය මෙන්ම මඩකලපුවේ බොහෝ සිංහල පාසල් එකල ජාතීන් අතර මිත්‍රත්වය තහවුරු කරන්නට කටයුතු කළේය. එයින් එක් පාසලන් වූයේ සිසිලියා බාලිකා විද්‍යාලයයි. ඇනා බියට්‍රිස් සිල්වා කුඩා කල සිටම අධ්‍යාපනය ලැබුවේ මේ පාසලෙනි. සිංහල මාධ්‍ය පාසලක් වූ සිසිලියා බාලිකා විදුහලේ සිංහල සිසුන් මෙන්ම දෙමළ හා මුස්ලිම් සිසුන්ද ඉගෙනුම ලැබූහ.

'සමඟිය බලය වේ' යන්න ඔවුන්ගේ ආදර්ශ පාඨය විය. එහෙත් ත්‍රස්තවාදී තර්ජන පැමිණීමත් සමඟ මේ ප්‍රදේශයේ ජීවත් වීම දැඩි අවදානම් සහිත විය. 1990 වසරේදී කල්කුඩා හා වැල්ලවාඩිය ගම්මානවලට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල විය. එයින් සිංහල ධීවරයෝ රැසක්ම මිය ගියහ. මේ නිසා තවත් පිරිසක් ප්‍රදේශය හැර දමා දකුණට ආහ. තම සහෝදර සහේදරියන් එසේ මිය ගියත් තමන් උපන් බිම දමා යන්නට මැළි වූ පිරිස් තමන්ට හැකි පරිදි ජීවනෝපාය කරගන්නට කටයුතු කළහ. බ්‍රියටිස් විවාහ වූයේ වැලිමඩ අඔගස්දෝවේ තරුණයකු හා සමඟය. ඔවුහු තම සේසතම වියදම් කොට වැල්ලවැඩියේ නිවෙසක් තැනූහ. 1996 දී එහි පදිංචි වූ ඔවුහු දරු සුරතල් බැලීමට සූදානම් වූහ. එහෙත් අවාසනාවක මහත 1997 වසරේදී ත්‍රස්තවාදීහු මේ මුළු ගම්මානයම සුනුවිසුනු කරමින් ප්‍රහාර එල්ල කළහ. ආරක්ෂාව පතා සියලු පිරිස් ගම්මානය අත්හැර ගියහ. ඔවුන් යළි ගම්මානයට ආවේ වසර 11කට පසුව - එනම්: 2008 වසරේදීය. ඒ වන විට නිවාස මුළුමනින්ම විනාශ වී ගොසිනි. නිවාසයන්හි වහල ඉක්මවා ගිය රූස්ස ගස් වැවී තිබිණි.

ඒ එන විට පවුල් 3ක් 4ක් පමණක් වෙරළ තීරුවේ එදිනෙදා දිවිය සපුරා ගැන්මට කටයුතු කරමින් සිටියහ. ගම්මානය ත්‍රස්තවාදීන් විනාශ කළා මදිවාට සුනාමියද ගමේ තවත් කොටසක් විනාශ කර දමා තිබිණි.

"1990ට කලින් මේ ගම්මානයේ පුවල් 300කට වඩා හිටියා මේ යුද්දෙ නිසා ඒ අය සී සී කඩ ගියා. අපට හරි ම දුකයි මේ ගම්මානයට වෙච්ච දේ ගැන. ටිකෙන් ටික සෙනග එන්න පටන් ගත්තේ 2015 අවුරුද්දේ ඉඳල තමයි. මොකද ඒ අයට ඇවිත් ඉන්න තැනක් තිබුණේ නැහැ.

"මුලදී පවුල් 11ක් ඇවිත් කොහොම හරි පදිංචි වුණා. පස්සෙ තවත් පවුල් 4ක් ඇවිත්, පවුල් 15ක් වුණා. අපි ගස් යට ඉඳගෙන පොල් සම්බෝලයි බතුයි කාල හරි ජීවත් වෙනවා කියලා හිතාගත්තා. දිඹුලාගල හාමුදුරුවන්ට පින් සිද්ද වෙන්න කොහොම හරි වේල් තුනම පිරිමහගන්න අපිට පුළුවන් වුණා. සර්වෝදය ආයතනයෙන් වගේම තවත් මුස්ලිම් සංවිධානයකිනුත් අපට උදවු කළා.

"දැන් මේ ගමේ පුවල් 54ක් ඉන්නවා. එයාලට ඉන්න තැනක් නෑ. මේ ගෙදර මමයි මහත්තයයි ඉන්නේ. ඇත්තටම මේක ගෙදරක් නෙමෙයිනේ; ටකරං කීපයක් වට කරපු පොඩි වාඩියක්. ගෙවල් නැති අයටත් අපි පුළුවන් විදිහට උදවු කරනවා; ගෙවල් හදාගන්න කල් ඉන්න දෙනවා. මමයි මහත්තයයි මුලින්ම රෑට පැය 4ක් එක නිදාගන්නවා. ඉතිරි පැය 4 අපි ඇහැරිලා තවත් කට්ටියකට නිදාගන්න දෙනවා. අපි නිදාගන්නෙත් මුර මාරු ක්‍රමයටයි.

"දැන් පවුල් 150ක් විතර මේ ගම්මානයට එනවා. ඒත් එයාලට ඉන්න තැනක් නැති නිසා ඇවිත් ආපහු කෝච්චියේම කොළඹ යනවා.

"අපේ මේ දුක්ඛිත තත්ත්වය ගැන ආණ්ඩුකාරතුමාට කිව්වා. නිවාස ඇමැතිතුමාටත් කිව්වා. දැන් අවුරුදු ගානකට පස්සේ ලෙවල් 65ක් හදන්න අනුමැතිය දීල තියෙනවා කිව්වා. එයින් 1 අදියර යටතේ ගෙවල් 27ක් හැදෙනවා. ඉතිරි ටිකත් ඉක්මනට හැදෙනවා නම් ඒක ලොකු දෙයක්. ඒත් මේ ගෙවල්වලට ලබාදීල තියෙන්නේ හත් ලක්ෂ අසූපන් දාහක මුදලක් විතරයි. ඒ ගානට ගෙවල් හදන්න බැහැ. දැන් අපි ගෙවල් බාගෙට හදාගෙන ඉන්නවා. ජනෙල් දොරවල් දාගන්න විදිහක් නැහැ.

තෙරේසා සිල්වාද මේ ගම්මානයේ උපතේ සිටම දිවි ගෙවන්නියකි. ඇයද ධීවර කර්මාන්තයේ නියැළී සිටින්නියකි.

"ඉන්න හිටින්න තැනක් අපට තවම නැහැ. යුද්දෙ ඉවර වෙලා දැන් අවුරුදු කීයක් ගෙවුණද? ත්‍රස්තවාදීන් ගම එක පැත්තකින් විනාශ කළා. අනෙක් පැත්තෙන් සුනාමිය විනාශ කළා. අද මේ ගම දෙකඩ වෙලා තියෙන්නේ. ගමේ අනෙක් පැත්තට යන්න ලොකු රවුමක් එන්න වෙනවා. නැත් නම් බෝට්ටුවෙන් එන්න වෙනවා. ගමේ පවුල්වල අයගේ දරුවන්ට යන්න පාසලක් නැහැ. ඒ නිසා ඒ දරුවො වෙන පළාත්වල නෑදෑයන්ගේ ගෙවල්වල නවත්වලා තියෙන්නෙ. කල්කුඩා සිංහල ඉස්කෝලෙ අද නැත්තටම නැති වෙලා ගිහින්. හමුදාවෙ මහත්තවරු නම් ඒ ඉස්කෝලෙ හදන්න ලොකු උත්සාහයක් ගන්නවා. ගමේ පදිංචියට එන අයට රුපියල් 25000කුත්, මාස 6කට වියළි සලාකත් දෙනවා කිව්වා. ඒත් අපට නම් මේ මුකුත් ලැබුණේ නැහැ."

කිත්සිරි ප්‍රනාන්දුද කල්කුඩා ධීවර ගම්මානයේම උපත ලබා දෙමවුපියන් සමඟ පිට පළාතක ජීවත් වී යුද්ධයෙන් පසු යළිත් පදිංදියට ආ අයෙකි.

"ගම්මානයේ වැන්දඹු වෙච්ච අම්මලා ගොඩක් ඉන්නවා. සමහරුන්ගේ පවුලම මේ යුද්ධය නිසා නැති වෙලා. ඒ අයට ස්වයං රැකියාවක් කර ගන්නවත් ආධාරයක් උපකාරයක් කරනවා නම් ඒකත් ලොකු දෙයක්. බොන්න වතුර ගන්න කියලා නළ ළිං කීපයක් ගැහුවත් ඒව තරමක් බොන්න අමාරුයි. අපි සල්ලි ගෙවල් ෆිල්ටර් කරපු වතුරයි බොන්නෙ. ගමේ ළමයි නැහැ. ඉස්කෝලෙ නිවාඩු කාලෙට තමයි ළමයි එන්නේ. කල්කුඩා සිංහල ඉස්කෝලේ හැටි පේනවනේ? අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිම ඕනෑකමක් නැහැ ඒ පාසල ගැන හොයල බලන්න. ජාතික පාසලක් නෙමෙයිනේ. එයාලා ඇඟ බේරගන්නව."

1989 වසරේදී තම ස්වාමියා ත්‍රස්තවාදීන් පැහැර ගෙන යෑමෙන් අසරණ වූ මියුරින් ප්‍රනාන්දුගේ පුත්‍රයාද ඒ වසරේදීම මේ යුද්ධය නිසා මිය ගියේය. ඇය එදා සිටම කඳුළු සලන්නේ පටාචාරාවක මෙනි.

"උපන්දා ඉඳල මේ ගමේ ඉන්න අපේ ඇඳිවත විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපේ දැල් ආම්පන්න මුකුත් නැහැ. අපිට රැකියාවක් කර ගන්න විදිහක් නැහැ. අනෙක් අයගේ දැන් අදින්න තමයි අපට වෙලා තියෙන්නේ. ඒත් සමහර දැට දැලේ පාසි විතරයි, මාළු නැහැ. එහෙම වුණොත් දැල් ඇදපු අයට රුපියල් 50 ගානෙ දීො යන්න කියනවා. රුපියල් 50න් පාන් බාගයක් අරගෙන ඉතිරි ටිකෙන් සිනි ටිකක් ගන්නත් බැහැ! ඕක තමයි අපේ ජීවිතේ. දැල් ඇදලා මාළු නැති වුණොත් කාගෙන් හරි මාළුවෙක් දෙන්නෙක් ණයට ඉල්ලගෙන එනවා බතට උයාගන්න."

වාලච්චේන ශ්‍රී ජයන්ති විහාරවාසී අතුල ධම්මාලංකාර හිමියන් පවසන්නේද වැල්ලවාඩිය ගමේ ප්‍රශ්න ගැන කියන්නට හෝ අසන්නට කිසිදු නිලධාරියකු නැති බවයි.

"අඩුම ගානෙ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හරි තමන්ගේ පාසලක තත්ත්වය ගැන සොයල බලන්න ඕනෑ නේද? කල්කුඩා සිංහල පාසල නැති වීමෙන් මේ සියලු පවුල්වල දරුවන් පිටතැන්වල නවත්වන්න වෙලා. පාසිකුඩා යන එන කිසිම කෙනෙක් මේ ගැන සොයල බලන්නෙ නැහැ. මේ පන්සලත් බොහොම අමාරුවෙන් ගොඩනඟාගත්තේ. බෝධි ප්‍රාකාරය වගේම හුඟක් ගොඩනැඟිලි යුද හමුදාවේ දායකත්වයෙන් යළි ගොඩනඟාගත්තා."

උපන් බිමේ උරුමය රැකගන්න නොවිඳිනා දුක් විඳින මේ පිරිස් ගැන අවධානය යොමු වන්නේ කවදාද? තම උරුමය රැකගෙන ගම්මානය ආරක්ෂා කරගැන්මට දරන මේ වෙහෙස බලධාරීන්ට නොපෙනෙන්නේ ඇයි? සුනාමිය විනාශ කළ ගම්මාන දෙක යා කරන පාලම හෝ ඉදි රීමට නොහැකි වී ඇත්තේ ඇයි?

මහ මුහුදත් සමඟ පොර බදමින් තම ජීවන සටන ජය ගැන්මට මේ පිරිස් දරන වෙහෙස අගය කිරීමට කිසිවකු හෝ නැති වීම ජාතියේ අභාග්‍යයකි.

Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »