රජුට රන් රිදී තැනූ ගම අස­රණයි අද බොහොම

2017-04-05 10:14:00       588
feature-top
දවසින් දවස වෙනස්වන සමාජයේ අතීත උරුමයන් රැකගෙන අතීතයේ වටිනාකම් සමඟ ඉදිරියට යෑම බොහෝ විට දුෂ්කරය. දුෂ්කර වුව ද ඇතැම්හු තම උරුමය රැක ගැනීමක් ගැන නොතකති. පරම්පරා ගණනාවක් තිස්සේ තම වර්ගයාගේ ජීවිතය රැක දුන් කර්මාන්තය ආර්ථික, සමාජයීය හා දේශපාලනික රටාව තුළ විවිධ හැල හැප්පීම්වලට ලක්වෙමින් වියැකී යනු ඔවුන් බලා සිටින්නේ සුසුම්ලමිනි. එසේ වුව ද ඔවුන්ගෙන් ඇතැමෙක් තවමත් ඒ මත්තේ ම ජීවිතය කැප කර ඇත්තේ ය. එවන් වූ මිනිසුන් පිරිසක් සොයා අපි ඉකුත් දිනෙක තලාතුඔය ප්‍රදේශයට ගියෙමු.

අතීතයේදී එනම් කන්ද උඩරට රාජධානියක් වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සමයෙන් පසුව නිල්ගල නමින් ද වර්තමානයේ නිල්වල නමින් ද ප්‍රකට පාරම්පරික රන් රිදී වැඩකරුවන් සිටින ගම්මානය පිහිටා ඇත්තේ තලාතුඔය ප්‍රදේශයේ ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට මාලිගයේ ප්‍රභූ කාන්තාවනට රන්වැඩ කළ රන්කරුවන් පදිංචිව සිටියේ නිල්වල ගමේ ය. මේ ගමේ ඉතිහාසය පිළිබඳ තොරතුරු කියන ‘ශ්‍රී දන්තධාතු මකරද්වජ අසරණ සරණ මුදලි දවුන්ඩ පටසවුත්සාරි රත්නවල්ලි නවරත්න ආභරණ පොල්වත්තේ ගෙදර විජේනාරායන මහතා අතීතය ගැන පවසන්නේ රස කරමිනි.

‘ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ පට්ටල් හතරක් තිබිලා තියෙනවා. ඒ පට්ටල් හතර තමයි ආභරණ පට්ටලය, ඔටුනු පට්ටලය, සිංහාසන පට්ටලය හා රන්කඩු පට්ටලය. ඇල්දෙනියේ රජකරුණාගෙදර කිරිංග අප්පු තමයි රජුගේ ආභරණ පට්ටලයේ වැඩ කළ රන්කරුවා. ඔහු පදිංචිව හිටියේ ගන්නෝරුවේ.

රජතුමා මාලිගය අතහැර හඟුරන්කෙතට ගිය වෙලාවේ මේ රන්කරුවොත් එහි ගිහින් තිබෙනවා. ගන්නොරුවේ පදිංචිව සිටි කිරිංග අප්පුගේ නිවෙස ඉදිරිපිට තිබූ සල් ගසක දවසක් අමුතු එළියක් විහිදිලා තිබෙනවා. මෙය දුටු කිරිංග අප්පු සල්මල දෙස බලද්දී දන්තධාතූන් වහන්සේ සල්මලට වැඩ තිබෙන බව දැකලා‍.

ඔහු එවලේ ම රන් තහඩුවකින් පලාපෙත්තක් හදලා සඳුන් කිරෙන් හෝදලා සුවඳ දුම් අල්ලලා එම කරඬුවට වඩින්න කියලා දන්තධාතූන් වහන්සේට වැඳ නමස්කාර කර ආරාධනය කරලා. ඉන් පසුව ඔහු රජවාසලට පණිවුඩයක් යවලා. රජු ඇතා පිටෙන් පෙරහරින් තමයි දන්ත ධාතූන් වහන්සේ හා රන්කරුවා මාලිගයට ගෙනැවිත් තිබෙන්නේ.

කිරිංග අප්පු නම් රන් කරුවාට රජු දුන්න නම්බු නාමය තමයි අදත් අපේ පරම්පරාවේ අයගේ වාසගම හැටියට තිබෙන්නේ. මං මුලින් ම සඳහන් කළ මගේ වාසගම තමයි ඒ. කොහොම හරි සතුරාගෙන් බේරෙන්න හඟුරන්කෙත රාජමාලිගාව තනාගත් රජ්ජුරුවෝ ඒ ඒ සේනාව රැදවූ තැන් මෙන් ම රජ වාසලට යම් යම් කාර්ය කළ අය සිටි තැන් ඒ ඒ නමින් හැඳින්වෙනවා.

හැටක් වූ සේනාව රැඳවූ තැන පහත හේවාහැට නමින් ද, අනෙක් පැත්ත උඩහේවාහැට නමින් ද හේවායෝ 20 හිටපු තැන හේවාවිස්ස යන නමින් අදත් මේ ගම් හැඳින්වෙනවා. අපි පදිංචි අපේ නිලවල ගමට ඒ නම ලැබුණේ කිරිංග අප්පුගේ රන් කර්මාන්තයේ දක්ෂතා නිසා.” විජේනාරායන මහතා පවසන්නේ ආඩම්බරයෙනි.

රාජසිංහ රජු වෙස්වලාගෙන ගමින් ගම යෑම තොරතුරු සෙවීමට හ‍පනෙකි. දිනක් රජු අසු පිටින් ගමින් ගම ගියේ ය. නමුත් රජුගේ අසු කහඹිලියා ගස්වලින් ගහන ප්‍රදේශයකදී ඇද වැටී මිය ගියේ ය. පසුව අශ්වයා එහිම වැළලුයේ ය.

අද ඒ ප්‍රදේශය අස්වැල්ලාපිටිය නමින් හැඳින්වේ. අසු මිය ගිය පසුව රාත්‍රියේ තනිවූ රජු නවාතැනක් සොයාගෙන ගොස් ඇත්තේ කිරිංග අප්පුගේ නිවෙසට ය. කෙසේ හෝ කිරිංග අප්පුගේ නිවෙසේ රජ්ජුරුවන්ට රාත්‍රි නවාතැන් ලැබී ඇත්තේ ය. රජ්ජුරුවන්ගේ කඩුවෙන් මේ පැමිණ සිටින්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බව දැනගත් රන්කරුවා රාත්‍රියේ ම නිල් ගලක් ඔබ්බවා රන්වලින් ආභරණයක් සාදා එය රජුගේ දකුණු පාදයේ මහපට ඇඟිල්ලේ නියපොත්තට වැද්දුවේ ය.

උදෑසන අවදි වූ රජු පාදයේ රන් ආභරණය දැක නිහඬව රජවාසලට ගොස් ඇත්තේ ය. පසුව රජු රන්කරුවා මාලිගයට ගෙන්වා ඔහුගේ ප්‍රශ්න කළේ ඊයේ රාත්‍රියේ තමන්ගේ නිවෙසේ ලැඟුම් ගත් අමුත්තා කවුද කියා ය. කිරිංග අප්පු එවිට පවසා ඇත්තේ රජතුමා සිය නිවෙසේ නවාතැන් ගත් බවත් තමා කඩු කොපුවෙන් ඒ රජු බවට හඳුනා ගත් බවත් ය. රජු රන්කරුගේ හැකියාව ගැන පැහැදී ඔහු පදිංචි ගම නිල­්ගල ගම නමින් ගම්වරයකින් පිරිනමා ඇත්තේ ය. මේ නිල්ගල පසුව නීලවල වූ අතර තිරිංග අප්පුට සිටි දරුවන් තිදෙනාගේ පදිංචිය අනුව උඩගෙදර, පහළගෙදර හා පොල්වත්තේගෙදර නමින් පරම්පරා සැදී ඇත්තේ ය.

“අපි අයිති පොල්වත්තේ ගෙදර පරම්පරාවට. අපේ ගමේ ඒ අතීතයේ ඉඳලා රන් රිදී කර්මාන්තය තමයි කැ‍රගෙන ආවේ. අදත් ගමේ පවුල් 45 ක් විතර මේ කර්මාන්තය කරනවා. නමුත් දැන් නම් ඊටත් වඩා අඩුයි. ඉස්සර කාලේ ගෙවල්වල හදලා කඩ සාප්පුවලට දානවා. ඈත අතීතයේ නම් ගම්වලට ගිහිල්ලා විකුණලා තියෙනවා. නමුත් අද වනවිට මේ හැම දෙයක් ම අභාවයට ගිහිල්ලා.” විජේනාරායන මහතා පවසන්නේ කනගාටුවෙනි.

නුවර සිට හඟුරන්කෙත මාර්ගයේ ගොස් කන්ද හන්දිය පසුකොට ගිය අපි නිල්වල ගමට පිවිසියෙමු. දැන් මේ ප්‍රදේශය ද දැඩි පෑවිල්ලට හසුව ඇත්තේ ය. ගම්මානයත් ඊට පෙර නිල්වල පාරම්පරික හස්ත කර්මාන්ත ගම්මානයේ ප්‍රදර්ශනාගාරයක් අද ඇත්තේ වැසී යන මට්ටමේ ය. අප ඒ බව වඩාත් පැහැදිලි කරගත්තේ ගැමියන් පවසන තොරතුරු වලිනි.

“මං දන්න විදිහට අපි තමයි මේ පරම්පරාවේ පස්වැනි පුරුක. ඉස්සර මේ මුළු ගමේ ම අය රන් රිදී කර්මාන්තය කළේ. ඒ වුණත් 2002 අවුරුද්දේ ඉඳලා තමයි අපිව කඩා වැටෙන්න ගත්තේ. ඒ කාලේ අපට හොඳ අලෙවියක් තිබුණා. විවිධ මෝස්තරවලින් රන් රිදී ආභරණ හැදුවා. අපේ පරම්පරාවලටම උරුම වුණු මෝස්තර තිබුණා. මේ කිසිම ආභරණ මෝස්තරයත් පොතක පතක ඇඳලා අරන් තියලා නැහැ. හැම මෝස්තරයක්ම තියෙන්නේ හිතේ. අපි අපේ බඩු හදලා ලක්සලට දුන්නා. ඒත් අපිට සැලකිය යුතු ආදායමක් නැහැ. මේ කර්මාන්තයම විතරක් කරලා ජීවත්වෙන්න අමාරුයි. අපේ තාත්තලා නම් සතියක් ගානේ ලක්සලට බඩු දැම්මා. ඔවුන්ට ඒ කාලේ අපිට වගේ ප්‍රශ්න නැහැ.” මල්ලිකා පවසන්නේ කනගාටුවෙනි.

ඇගේ සැමියා සංජය රන් කර්මාන්තය කරගෙන ගිය ද දැන් ඔහු නුවර රන්බඩු වෙළෙඳ සලක රැකියාවකට යන්නේ ය. ඊට අමතරව නිවෙසේ දී සුළු සුළු දේ නිර්මාණය කරන්නේ ය. ආර්ථික ප්‍රශ්න බොහෝ ඇති මල්ලිකා තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇඳුම් මැසීම ද කරගෙන යන්නීය.

1979 දී මෙම ගම්මානයට එවකට පැවැති රජයෙන් විශේෂ අනුග්‍රහයෙන් ලැබිණි. ඉන් පසුව ද විටින් විට පැවැති රජයන්ගෙන් ආධාර ලැබී තිබිණි. වත්මන් රජයෙන්, ඔවුන්ට තමන්ගේ ම ඉඩමේ වැඩ පට්ටලයක් දැමීම සඳහා එම ඉඩ සාදා ගැනීමට වැලි සිමෙන්ති ආදිය ලබාදී ඇත්තේ ය.

“අපි ලක්සලට බඩු දැම්මා. නමුත් ඒ බඩුවල මුදල් ගන්න මාස ගණන් අවුරුදු ගණන් බලාගෙන ඉන්න ඕනෑ. සමහර අයට ඒ ආයතනයට දාපු බඩුවල මුදල් ලැබුණේ අවුරුදු පහ හය ගිහිල්ලා. මගෙ දරුවෝ ඉගෙන ගන්නවා. අපි අපේ අප්පච්චිලාගෙන් මේ ශාස්තරේ ඉ‍ගෙන ගත්තේ ඕගොල්ලෝ කරනවා බලාගෙන ඉඳලා. ඒත් අපි අපේ දරුවන්ට මේ කර්මාන්තය කරන්න දෙන්නේ නැහැ. නමුත් පුතාට අපි කිව්වා විනෝදයක් හැටියට ඉගෙන ගන්න කියලා. පරම්පරා ගාණක් පැරණි රස්සාව අපෙන් පස්සේ කරන්න කෙනෙක් නැති එක ගැන දුකයි. ඒත් ඉතිං අපිට මෙහෙම නම් දරුවන්ට‍ කොහොම වේවිද ?” කුසුමා ප්‍රේමරත්න පවසන්නේ සිය සැමියා වන ජයවිරට අත්උදව්දෙමිනි.

ඔවුන් තම නිවෙස්වල ආභාරණ සාදන්නේ අනෙක් කටයුතුවල ද නියැළෙන අතරේම ය. නමුදු ඇඟිලිතුඩුවලින් කම්බි, අඬු භාවිතා කර ඇසට නොපෙනෙන රිදී කම්බි සාදාගෙන ඔවුහු සියුම් මෝස්තර කරන්නා හ. ඇතැම් රිදී කරාබුවක, මාලයක, වළල්ලක, අත් පලඳනාවක ඇත්තේ ලූනු මල් මෝස්තරය. ඒ සා සියුම් අලංකාර මෝස්තර සහිත ආභරණයක් මිලෙන් ඉඳල වුව ද එහි වටිනාකම කෙසේ කියා නිම කරන්නද?

“නීලවල පාරම්පරික ගම්මානයේ අතීතය දන්නා අය දැන් හිඟය. ගමේ ගෙයින් ගෙට ගිය අපට අවසානයේ ‘රන්එතනා’ අම්මා හමු විය. ඇය දැන් අසූහය හැවිරිදි ය. තොරතුරු ඇසීමේදී ඇය තම පෙට්ටගමක තිබූ කරමාලයක් අපට ගෙන පෙන්වූවා ය.

“මේක හැදුවේ මගේ මහත්තයා. එයා මාව කසාද බඳින දවසේ මේ රිදී මාලේ මට දුන්නේ. මට අවුරුදු පහළොවයි මාතලේ ඉඳලා එයත් එක්ක විවාහ වෙලා මේ ගමට එද්දී. අපේ ගෙදරට කිව්වේ කපුකොටුගෙ ගෙදර කියලා. මගෙ මහත්තයා ඒ කාලේ රන් රිදී බඩු හදලා නුවර ෆ්‍රැන්සිස් සාප්පුවට ගෙනියනවා. මට දරුවෝ අට දෙනයි. ඒ ගොල්ලොත් මේ කර්මාන්තෙ දන්නවා. නමුත් මුනුපුරු මිනිබිරියෝ නම් මේවා දන්නේ නැහැ.

මට මුනුපුරු මිනිබිරියෝ පහළොවක් ඉන්නවා. ඉස්සර මේ ගම දැන් වාගේ දියුණු නැහැ. වාහන නැහැ. ඒ කාලේ මහත්තයා ආභරණ හදනවා. මම එළවළු හිටවනවා. දරුවොත් බලාගෙන ගෙවල් දොරවලුත් හදාගත්තා. දරුවෝ ලොකු වුණාම මේ දේවල්වලට උදව් කළා. ඒ කාලේ හිටපු අය එහෙන් මෙහෙන් වයර් කනේ ගහගෙන, හෑන්ඩ්ෆෝන් අරගෙන වැඩක් පලක් නොකර කකුල් වන වනා හිටියේ නැහැ. ජිනරතන පුතා දැන් පිත්තල බඩු හදන්නේ. එයා කාර්මික විද්‍යාලයට ඇතුළත් වෙලා තමයි ඒ කර්මාන්තේ ඉගෙන ගත්තේ. ඒ කාලේ නුවර වගේ නෙමෙයි දැන් නුවර හරි වෙනස්”

රන් එතනා අත්තම්මා පවසන්නේ හිනැහෙමිනි.

එදා රන්රිදී වැඩ කරුවන් ඕනෑ තරම් ගමේ සිටියද අද එසේ නැත. රන්රිදී වැඩ දන්නා අය සිටිය ද ඔවුන් දැන් කර්මාන්තයේ නියැළෙන්නේ නැත. එළවළු වගා කිරීමත්, නයි මිරිස් (කොච්චි මිරිස්) වගා කිරීමත් පැෂන් පෘට් වගා කිරීමත් දැන් ඔවුන්ගේ ආදායම් මාර්ගය වී ඇත්තේ ය. අතරමඟදී අපට හමුවූ ආර්. පී. චන්ද්‍රලතා පාරම්පරික රස්සාව අතහැර දමා ගොවිතැනට යොමු වී ඇත්තී ය.

“අවුරුදු 4 ක් වෙනවා මහත්තයා නැති වෙලා. එයා මැරුණේ පිළිකාවක් හැදිලා. ම‍ගෙ දරුවෝ තුන් දෙනාම දුවලා. ලොකු දුව උසස් පෙළ හොඳින් සමත් වුණා. ඒත් එයාට වැඩිදුර ඉගෙන ගන්න විදියක් නැහැ. මට දරුවෝ තුන් දෙනාටම වියදම් කරන්න තරම් ආර්ථිකයක් නැහැ. දෙවැනි දුවගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවේ පසුගියදා.

එයා සම්මාන හතක් සහිතව විභාගය පාස්. ඒත් දැන් දුව දුකෙන් ඉන්නේ එයාට ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ කියලා. මහත්තයා නැති වුණාට පස්සෙත් මම රිදී වැඩ කළා. ඒත් අපි හිතන තරම් ආදායමක් නැහැ. ඒ නිසා තමයි මම වැල්දොඩම් වවන්න පටන් ගත්තේ. නමුත් මේ පාර ඉඩෝරයට අහුවුණා. තවමත් පලදාව නැහැ. දැන් වැල්දොඩම් කිලෝ එක රුපියල් 250. මගෙ බාලම දුව 9 ශ්‍රේණියේ ඉගෙන ගන්නෙ. කවුරු හරි මගෙ දුවලට ඉගෙන ගන්න උදව් කරනවා නම් ලොකු පිනක්.”

චන්ද්‍රලතා පවසන්නේ දෑසේ නැඟි කඳුළු බිදුවක් පිසදමමිනි. ඇගේ වැඩිමහල් දියණිය චන්ද්‍රලතාගේ පැෂන් වගාවේ යටි වගාව ලෙස කොච්චි මිරිස් වගා කර ඇත්තේ ය. එයින් ලැබෙන ආදායම ඔවුන් යොදා ගන්නේ සිය අධ්‍යාපන කටයුතු සඳහා ය. නමුත් මේ ආදායම ඔවුන්ගේ ජීවිතවල හෙට දවස සඳහා ප්‍රමාණවත් නැත. (ඉදින් සිත්මල්යායේ පාඨක ඔබේ පරිත්‍යාගශීලිභාවය ඇවැසි වන්නේ මෙවැනි දිරි දරුවන් සඳහා ය)

“ඉන්දියාවෙන් එක එක අරුමෝසම් දේවල් ගෙනැල්ලා අඩු මුදලට විකුණන්න ගත්තට පස්සේ තමයි අපිට කන කොකා ඇඬුවේ. ඉස්සර වගේ නෙමෙයි. දැන් මේ කර්මාන්තයේ ජීවත්වෙන්න අමාරුයි. අපට වෙළෙඳපොළක් නැහැ. පරම්පරාවෙන් ආව කර්මාන්තය අතහරින්නත් දුකයි. අපිට ඕන මේ කර්මාන්තය රැක ගන්න. විදිමත් විදිහකට අපට ලක්සලෙන් ගෙවනවා නම් අපි අද වුණත් සූදානම් ආයෙත් මේ රස්සාව පටන් ගන්න” සංජය නවරත්න පවසන්නේ පරම්පරාවෙන් ආ කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට ඇති කැමැත්තෙනි.

හඟුරන්කෙත, රාජසිංහ රජුගේ රාජධානිය පිහිටි සමයේ හැදුණු ගම් බිම් තවමත් හැඳින්වෙන්නේ ඒ නම්වලිනි. නිලවල සිට නුවරට එන අතරතුරදී නීලවල ගම්මානයට නුදුරෙන් ඇති දෙහල්කඩ හන්දියේදී දෙගල්කඩ අම්බලම හමුවේ ඉපැරැණි අම්බලම අද ඇත්තේ ජරා ජීර්ණ වීය. එය පිළිසකර කරන්නේ නම් එය ඉතිහාසයට තවත් සාක්ෂියක් වනු ඇත.

දෙහල්කඩ හන්දියෙන් මදක් උඩහට ගිය විට ඇත්තේ මුරපොළ ඇළය. දෙල්තොට සිට දෙල්තොට වැවෙන් ගෙනෙන වතුර මුරපොළ ඇළ දිගේ විත් කඳු දෙකක් අතර හුවමාරු වන්නේ එකල පැවති වාරි තාක්ෂණයේ ඉහළ තාක්ෂණය ගැන සාක්ෂි දරමිනි. ගොවි ගම්මාන පෝෂණය වන්නේ මේ ඇළ දිගේ ගලන ජලයෙනි.

හැන්දෑ අඳුර පරිසරය වසා ගනිද්දී පස්ගම කන්ද බවුලාන කන්ද මෙන් ම තවත් නම නොදන්නා කඳු අතරේ සැඟවී යන නීලවල පාරම්පරික ගම්මානයට එහි තම උරුමය රැක ගැනීමට වෙහෙසෙන අතළොස්සක් වූ ගැමියන්ට සමුදී අපි පිටවූයෙමු. ඔවුන් නැඟි සිටිය යුතු ය තවත් කාලාන්තරයක් මේ ශිල්පය රැකේවා යන්න අප පැතුම වේ.

Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »