මහනුවර සිරිමල්වත්තේ පංති කාමරයක වහලය කඩාවැටීමේ සිද්ධිය

2017-04-03 11:30:00       583
feature-top
අධ්‍යාපන ලොක්‌කන්ගේ ඔළුවට කඩා වැටිය යුතු
වහලය වැටුණේ දරුවන්ගේ ඇඟටයි
පළාත් බලධාරීන් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන
ආපසු හරවලත් ඇරලා

කඩා වැටුණු පාසල් වහළ

වාසනාවට දරුවෝ කාටවත් මාරාන්තික තුවාල නැහැ... එහෙම වුණා නම්, ඒ මහා දුකත් අපිටම තමයි... මේ අය මොනවා හරි කියලා බේරෙයි...

අපි දැන් අවුරුදු ගාණක්‌ කියනවා මේ ගොඩනැඟිල්ල අබලන් කියලා. ඒත් ඇහුවේ නැහැ..

අනේ උදේ ගෙදරින් ආවේ විභාගේ ලියන්න ලැහැස්‌ති වෙලා. මේ ළමයින්ගේ මානසික මට්‌ටම කොයිතරම් වෙනස්‌ වෙනවාද දැන්..

ළමයින්ට ටැබ් දිදී ඉඳලා හරියන්නෙ නැහැ. මේ වගේ ඉස්‌කෝලවල තියෙන අඩුපාඩු බලලා ළමයින්ගේ ආරක්‌ෂාව තහවුරු කරන්න මේ රජය වැඩකරන්න ඕනෑ.. මේ පුංචි දරුවන්ට මීට වඩා දෙයක්‌ වුණා නම්, ආයේ කොහෙන්ද අපිට දරුවෝ අඬලා අඬලා හිත හදාගන්න තමයි වෙන්නේ....

තීරණයක්‌ ගන්න හයිය තියෙන එක ගුරුවරයෙක්‌ ඉඳලා නැහැනේ මේ ළමයි වෙන පන්තියකට මාරු කරන්න. කවදා ඉඳන් ද මේ පන්ති කාමරවල නඩත්තුවක්‌ නැති බව පෙනෙන්නේ. .

දැන් ඉතින් අපේ දරුවෝ ඉස්‌පිරිතාලේ.., දුක්‌ විඳිනවා. තමන්ගේ දරුවාට වුණා නම් ඔය කොයිකාටත් දැනෙයි දුක වේදනාව. දැන් දැනෙන්නේ නෑ...

මේ ඇසෙන්නේ සිරිමල්වත්ත පාසලේ පහ වසර සිසු සිසුවියන්ගේ මවු පියවරුන්ගේ අඳෝනාවය. උහුලාගත නොහී වේදනාවය..

මහනුවර වත්තේගම කලාපයට අයත් සිරිමල්වත්ත ගුන්නෑපාන මහ විදුහලේ පැරණි ගොඩනැඟිල්ලක වහලයේ කොටසක්‌ කඩා වැටීමෙන් ගුරුවරයකු සහ දරුවන් තුවාල වී යක්‌ගහපිටිය මහනුවර මහ රෝහලට ඇතුළත් කොට තිබිණි. ඇතැම් දරුවන් සිද්ධිය සිදුවූ අවස්‌ථාවේ කම්පනයට පත්ව සිටියහ. සීරීම් තැලීම් ඇතුළු තුවාල සිදුව තිබූ අතර පරාල ලී මේසවල මුළු පුටු ආදිය දරුවන්ගේ සිරුරේ කොතැනක වැදුණා ද යන්න දන්නේ දරුවන්ම පමණි. බරපතළ තුවාල පිටතට නොපෙනුනද දරුවන් බරපතළ ලෙස පීඩාවට පත්ව සිටියහ. හිසට බෙල්ලට වූ තෙරපුම් ගැන තවම නම් හාංකවිසියක්‌වත් නැත. මේ පන්ති කාමරයේ ඉගෙනුම ලබමින් සිටියේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමට නියමිත දරු දැරියන්ය. ඔවුන් වයස අවුරුදු දහයක්‌ තරම් වූ මල් කැකුලුය. පුංචි දරුවන්ගේ ජීවිත බේරුණේ පෙර පිනකටය. මේ බව කීමට වගකිවයුත්තෝ කැමති නැත. හේතුව එහි ආදීනව Rන ප්‍රතිඵල එකතුවන්නේ ඔවුන්ගේ ගිණුමට බැවිනි.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් බලධාරීන් දැක්‌වූ අදහස්‌ ගෙන එන්නේ මෙය කියවන කාට වුවද දැනගැනීම පිණිසය. යම් සිදුවීමක්‌ සිදුවූ විට නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අයුරු සේම මේ බලධාරීන් සහ නිලධාරීන් දරුවන්ගේ අනාගතය යහපත් කිරීම පිණිස කොතරම් නම් කැපවන්නේ ද යන්න ඒ ඔස්‌සේ අවබෝධ කර ගැනීමටය. දරුවන්ගේ ආරක්‌ෂාව වෙනුවෙන් සේම පාසල් දියුණු කොට, .ළඟම පාසල හොඳම පාසල යන තේමාව ජන ගත කිරීම සහ මධ්‍යම පළාත් සිසු දරු දැරියන් උදෙසා වන දැක්‌ම වන.දරුවා කාගේ ද නොව කාගේ වුවද දරුවෙකි යන වෙනුවෙන් වෙහෙස මහන්සි වන අන්දම අවබෝධ කර ගත හැකිය.

මධ්‍යම පළාත් ආණ්‌ඩුකාරවර නිලුකා ඒකනායක මහත්මිය - යහපාලන රජය විසින් සමස්‌ත අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා රුපියල් මිලියන හයදහස්‌ හයසිය පහක්‌ ලබාදී තිබෙනවා. හැම පාසලකම විදුහල්පතිවරුන් කරන ඉල්ලීම් සලකා බලා ඒ ඒ පාසල්වල අඩුපාඩුකම් සපුරන්න හැම නිලධාරීයෙක්‌ම බලධාරියෙක්‌ම කටයුතු කරනවා නම්, පාසල්වල අඩුපාඩුකම් තියෙන්න විදිහක්‌ නැහැ. නමුත් දැන් දැන් මේ සමාජයේ කොතැනක හෝ වරදක්‌ සිදුවෙලා තියෙනවා. අධ්‍යාපනයට නොහිතන විදිහට දේශපාලන බලපෑම් ඇති වෙලා තියෙනවා. මුදල් වෙන් කිරීම් සම්බන්ධයෙන් සහ ඒවා යෙදවීම් සම්බන්ධයෙන් ගැටලු ඇති වී තිබෙනවා. මේ නිසා අධ්‍යාපනය අපි හිතන මට්‌ටමට දියුණු වෙන්නේ නැහැ. උදාහරණයක්‌ විදිහට යම් පාසලක විදුහල්පතිවරයෙක්‌ වරදක්‌ කළොත් එයාට දඬුවම් විදිහට හිටපු පාසලට වඩා තව හොඳ පාසලක්‌ ලබා දෙනවා. කිසියම් විනය පරීක්‌ෂණයක්‌ ආරම්භ කළොත්, එය අදූරදර්ශී ලෙස සිදුවන පරීක්‌ෂණයක්‌ වෙනවා. එක්‌කෝ පරීක්‌ෂණයට වුණ දෙයක්‌ නැහැ.

මේ වගේ කාරණා මම මේ මොහොතේ කියා සිටින්නේ, මේ දිනවල මධ්‍යම පළාතේ පාසල් අතරේ සිද්ධ වෙන විවිධ සිදුවීම් නිසයි. දැන් බලන්න සිරිමල්වත්ත පාසල වසර සියගණනක්‌ පැරණියි. ගොඩනැඟිලිත් කිහිපයක්‌ම තියෙනනවා. අවාසනාවකට හෝ අහඹුවක්‌ මත වහලය කඩාවැටීමේ සිදුවීමක්‌, වී තිබෙනවා. මෙවැනි සිදුවීම් අහඹු සිද්ධීන් වෙන්න බෑ. ඉංජිනේරුවරුන් මේවා කලින් හඳුනා ගන්න ඕනෑ. අන්න ඒ නිසයි මම කියන්නේ මේවා නිසි ක්‍රමවේදයකට සිද්ධ වෙන්නේ නැහැ කියලා. එහෙම කියලා අපට නිහඬ වෙන්න බැහැ. මොකද අපි පුංචි දරුවන්ගේ ජීවිත එක්‌ක කරන සටනක්‌ මේ. මම මේ ගැන ස්‌වාධීන කොමිසමක්‌ හරහා පරීක්‌ෂණයක්‌ පවත්වනවා.....

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය සරත් ඒකනායක මහතා. මම මධ්‍යම පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවන්න කළ යුතු සියලුම කටයුතු සිදුකරනවා. අපේ අරමුණ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරීම. සිරිමල්වත්ත විදුහලේ වහලය කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් විදිහට අපි වගකීම භාර ගත යුතුයි. ඉන් බැහැර වෙලා යන්න අපට බැහැ...

පළාත් අධ්‍යාපන ලේකම් ටී.බී. විඡේරත්න මහතා - අපි ඒ ඒ විදුහල්වල අඩුපාඩු වෙනුවෙන් ඉල්ලා ඇති මුදල් ලබාදී තිබෙනවා වගේම තවදුරටත් අමාත්‍යංශයෙන් මුදල් ඉල්ලා තිබෙනවා. නමුත් අපිට සෑම වසරකම ලැබෙන්නේ, ඉල්ලන මුදලට වඩා අඩු මුදලක්‌. රුපියල් මිලියන නවසියයක්‌ අවිච්ඡේදනය වෙලා කියලා කියන්නේ අපි ඉල්ලපු මුදල් තවදුරටත් අපට නොගෙවා ඉතිරිවෙලා තියෙනවා.ඒවා අපට ලැබෙන්නේ ඊළඟ වසරේදී. ඒ කියන්නේ 2016 වසරේ ඉල්ලා සිටි මුදල් වලින් කොටසක්‌ 2017 වසරට ලැබෙනවා. වාර්ෂික ප්‍රතිපාදන වෙන්කිරීම්වලදී වෙන්කරන මුදලයි ලැබෙන මුදලයි අතරේ ලොකු වෙනසක්‌ තියෙනවා ඒ වෙනස තමයි මේ.

පළාත් අධ්‍යාපන අධ්‍යක්‌ෂ තිලක්‌ ඒකනායක මහතා - සිරිමල්වත්ත පාසලේ ගොඩනැඟිල්ලේ අබලන් බවක්‌ බැලූ බැල්මට පෙනෙන්නේ නැහැ. පාසල්වල ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීම අපි දිගුකාලීනව සිදු කරගෙන යනවා. දැනට ක්‍රියාත්මක වෙනවා සේµaටි ඔඩිඩ් නමින් වැඩසටහනක්‌. ළඟම පාසල හොඳම පාසල සංකල්පය යටතේ, අපි ක්‍රමවත්ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය නිසා ගොඩනැඟිලිවලට විවිධ බලපෑම් ඇති වෙලා. මෙතන සිද්ධ වුණේ වහලය කඩා වැටීම නෙවෙයි. වහලය රැඳිලා තිබුණ කුලුනක්‌ කඩාවැටීම. අපි දරුවන්ගේ ආරක්‌ෂාව වෙනුවෙන් බැඳිලා ඉන්නවා. පැරණි ගොඩනැඟිල්ලක්‌ වෙනුවෙන් අලුත් ගොඩනැඟිල්ලක්‌ ලබා දීම සාමාන්‍යයෙන් සිදුකෙරෙන ක්‍රමවේදයක්‌.. .

සිරිමල්වත්ත විදුහලේ විදුහල්පතිනිය. - .මේ සිද්ධිය ගැන මට මුකුත් කියන්න බැහැ. මාධ්‍යයට මොනවා හරි කියන්න නම් මට ලේකම්තුමාගේ අවසරයක්‌ තියෙන්න ඕනෑ....

හැට හැත්තෑව අසූව දශකයේ ගුරුවරයාගේත් නව සහශ්‍රයේ ගුරුවරයාගේත් වෙනස එයය. එදා දරුවකු එක දිගට පාසලට නොපැමිණියහොත් නිවසට ගොස්‌ දරුවා ගැන සොයා බලන්නටත්, දහවල නොකෑ දරුවකුට තම බත්පත දෙන්නටත් තරම් ගුරුවරයා දේවතාගුණයෙන් පිරිපුන්ව සිටියේය. අද ද එවැනි දෙවිවරුවන් ගුරුවරු අතළොස්‌සක්‌ හෝ නැතුවා නොවේ. දරුවන්ගේ අධ්‍යාපනය ආරක්‌ෂාව ලබා දෙන දෙවැනි මව වන්නේ ගුරුවරුය.

ලංකාවේ පාසල් දසදහස්‌ එකසිය හැටඑකෙන් පළාත් සභා පාසල් ඇත්තේ, නවදහස්‌ අටසිය නවයකි. ඉන් මධ්‍යම පළාතේ පමණක්‌ පළාත් සභා පාසල් එක්‌දහස්‌ පන්සිය තිස්‌ එකකි. ඒ වෙනුවෙන් කැපවන ගුරු මණ්‌ඩලය පන්දහස්‌ පනහක්‌ද, අමාත්‍යාංශ දෙපාර්තමේන්තු කලාප බලධාරීන් සහ නිලධාරීන් පන්දහස ඉක්‌ම වූ පිරිසක්‌ද වෙති. මධ්‍යම පළාතේ ජාතික පාසල් පනස්‌හතරකි. ඒ වෙනුවෙන් වෙන්වූ තවත් ගුරු මණ්‌ඩලයක්‌ සහ බලධාරී නිලධාරී පිරිසක්‌ ද වෙති. එහෙත් ආණ්‌ඩුකාර වරිය කියන්නා සේ හරිහැටි වැඩක්‌ වන්නේ කීයෙන් කීදෙනකු අතින්ද,?

පාසලක නඩත්තු කටයුතු ගොඩනැඟිලි ඉදිකිරීම් ඇතුළු පාසල් සංවර්ධනය උදෙසා තව තවත් පාසල් තුළ විවිධ ක්‍රමවේද ක්‍රියාත්මක වෙයි. දෙමව්පියන්ගෙන්ද මුදල්

රැස්‌කරයි. එයට ද කම් නැත දරුවන්ගේ ආරක්‌ෂාව වෙනුවෙන් යහපත් යමක්‌ වන්නේ නම්,

තමන්ගේ දරුවාගේ ආරක්‌ෂාව හා වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් මවුවරු පියවරු නොකරන දෙයක්‌ අද නැත. උදෑසන නිවසින් යන දරුවාගේ ආරක්‌ෂාව පාසලක්‌ තුළ හිතනවාටත් වඩා ඇති බව ඔවුහු විශ්වාස කරති. ඒ හැටිය. නමුත් අද තමන්ගේ පාසලේ අඩුපාඩුවත් හරිහැටි නොදන්නා පාලකයන් මුනිවත රකිමින් සිටින්නේ තමන්ගේ රැකියාව

රැකගනු පිණිසය. එදා ගුරුවරයා කළේ සේවයකි. අද සේවයට එහා ගිය වෘත්තියකි. කම් නැත සමාජ ය හැඩගැසි අන්දම අනුව අප එය අරුමයක්‌ සේ නොදකිමු. එහෙත් බසයකට ගොඩවන මගියා තමන්ගේ ගමනාන්තය තෙක්‌ ජීවිත ආරක්‌ෂාව පතන්නේ රියෑදුරාගෙන් සේම, දරුවකුගේ ජීවන ගමන් මඟෙහිම ආරක්‌ෂාව රැකවරණය අපේක්‌ෂාව ප්‍රාර්ථනා කරන්නේ ගුරුවරයා ගෙන් විදුහල්පතිවරයාගෙන් බව ගෞරවනීය අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ සියල්ලෝම අවබෝධ කර ගත යුතුය.

එසේ නොමැතිව යමක්‌ සිදු වූ පසුව පැලැස්‌තර අලවා සැලසුම් සැකසීම යුතු නොවේ.

මේ ලංකාවේ හැටිය. පුරුදු වී තියෙන්නේම අශ්වයා පැනගිය පසු ඉස්‌තාලය වසා දමන්නටය......

Wmqgd .ekSu kj,sh mqj;a m; weiqfrks

More News »