අන්තර්ජාලයෙන් බිස්නස් කරන රත්නපුරේ අලුත් මැණික්කාරයෝ

2017-03-31 11:56:00       662
feature-top
එය හරිම අපූරු ආරංචියකි.
එයින් කියැවෙන හැටියට නම්, අපූරු තරුණ පිරිස සිටින්නේ 'දෙමුවාවත පාර' නමැති, රත්නපුරයේ සුප්‍රකට මැණික් වෙළෙඳ වීදිය ආශ්‍රිතවය.
ඔවුහු තමන් හමුවට ගෙන එන මැණික් ගල් ඉතා හොඳින් පරීක්ෂා කරති. ඉන්පසුව ඒවායෙහි ඡායාරූප ගනිති. ගලෙහි බර, වර්ණ සංකලනය (කලර් කෝඩ් එක), වර්තනය ආදී 'රත්න විද්‍යාත්මක විස්තර' ද සොයා බලති. මැණික් ගල ගැන අලංකාර 'වීඩියෝ ඩොකියුමන්ට්‍රියක්' ද සකසති. ඉක්බිති ඒ සියල්ල අන්තර්ජාලයට මුසු කරති. තමන් හමුවට ගෙන එන මැණික් ගල් සඳහා, අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගැනුම්කරුවකු සොයා ගන්නට උත්සාහ කිරීම, ඔවුන්ගේ පරමාර්ථයයි හැබැයි මේ කටයුත්තට තවම එතරම් ප්‍රසිද්ධියක් නැත
රත්නපුරයේ තරුණ මැණික්කාරයන් අතරින් යම් පිරිසක් දැන් අන්තර්ජාලය ඔස්සේද සිය වෙළෙඳාම් මෙහෙයවා ගන්නට පෙළඹී සිටින බව ඉන් පෙනී යයි. කළු ගඟ ඉහළ නිම්නයේ මැණික් කර්මාන්ත හා වෙළෙඳ ලෝකයට, එය අලුත් ප්‍රවණතාවකි. දෙමුවාවත පාරේ සිටින තරුණ මැණික්කාරයන් පිරිස, 'අන්තර්ජාල මැණික් හුවමාරුකරුවන්' යැයි හඳුන්වා දෙන්නටද පිළිවන්
දැන් ඉතින් ඉන්ටර්නෙට් එකයි, ඊමේල් ඇඩ්‍රස් එකයි නැතුවම බෑ. නව පරම්පරාවට අයත් රත්නපුරයේ මැණික් වෙළෙන්දන් පවසන්නේ සිනාමුසුවය.
මෙය අලුත් ප්‍රවණතාවකි. එයින් පෙනී යන්නේ, මතෛක් රත්නපුරයේ පැවැති 'සාම්ප්‍රදායික මැණික් වෙළෙන්දාගේ භූමිකාව' දැන් වෙනස් වෙමින් යන බවය
කළු ගඟ ඉහළ නිම්නයේ පිහිටි 'රත්නපුරය', අනාදිමත් කාලයක් මුළුල්‍ලේ ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් නගරයකි. එය ප්‍රකට වූයේ රත්නපුරයේ මහ ‍පොළොවෙන් 'නිල් කැට', 'රතු කැට', 'වෛරෝඩි', 'ආර්නූල්' සහ 'පුෂ්පරාග' ආදී වටිනා මැණික් මතුවන නිසාය. කළු ගඟ ඉහළ නිම්නය කවදත් මැණික් සම්පත සම්බන්ධයෙන් බොහොම ප්‍රසිද්ධය. එය ලංකා භූමියේ යශෝ කීර්තිය සමගද බැඳී පවතින්නකි.
කෙසේ වෙතත් වර්තමාන රත්නපුරය උග්‍ර මැණික් හිඟයකින් පෙළෙන නගරයකි. පතල් කැපීම සඳහා මැණික් ඉල්ලම් සහිත ඉඩම් සීමිත වීම, දරන්නට වන අධික වියදම සහ පතල් කැපීම සඳහා දැඩි නීති රීති පැනවී තිබිම ආදී කාරණා නිසා දැන් මැණික් ලැබෙන්නේ අඩුවෙනි. එබැවින් අද කළු ගඟ ඉහළ නිම්නයේ වෙළෙඳ‍පොළට එන 'මැණික් ගල් සංඛ්‍යාව' පහත වැටී තිබේ. 'බිස්නස් අඩුයි' යන්න අද රත්නපුරයේ මැසිවිල්ලයි.
මැණික් ගල් හිඟ තත්ත්වයක් පැවැතියද, මැණික් වෙළෙඳ ක්ෂේත්‍රයට එන තරුණ පිරිස් 'අන්තර්ජාලය' ඔස්සේ වෙළෙඳාම් කරන්නට පෙළඹීම අපූර්ව කාරණයකි මැණික් මතුවන අවධියේ ජන වහරට අනුව, මැණික් ගල් හඳුන්වන්නේ 'සන්නම් ‍පොඩ්ඩ', 'ගල', 'ගල් කෑල්ල' හෝ 'ගල් ලොට් එක' යනුවෙනි. මේ වචන පවා අද 'අන්තර්ජාලය' සමග ගැලැපී ඇති අයුරු පෙනෙන්නේය.
සමහර විට මගේ ළඟ තියෙන ගල් කෑල්ල ගන්න කැමති කෙනෙක් ලෝකේ කොහේ හරි ඉන්න පුළුවන්.
රත්නපුර, දෙමුවාවත පාරේ 'අන්තර්ජාල මැණික් හුවමාරුකරුවන්' මුණ ගැසීමට යන පතල්කරුවකු හෝ වීදි මැණික් වෙළෙන්දකු, මහත් බලා‍පොරොත්තු සහගතව එසේ කියන්නටද ඉඩ තිබේ
ලංකාවේ මැණික් ගල් මිලදී ගන්නට කැමැති උදවිය ලොව කොතැනත් සිටින්නට පුළුවන. ඔවුන්ට 'හරි යන' ගල් අපේ ළඟ තිබෙන්නටද පුළුවන. එහෙත් ගැටලුව වන්නේ, ලොව කොතැනක හෝ සිටින ඒ 'ගැනුම්කරුවා' සොයා ගැනීමයි. දැන් දෙමුවාවත පාරේදී කෙරෙන්නේ ඔහු සොයා ගැනීමේ අන්තර්ජාල සම්බන්ධීකරණයයි.
රත්නපුරයේ 'දෙමුවාවත' පාර යනු 'සීවලී ක්‍රීඩාංගණය' අසලින්, කළු ගඟ පැත්තට දිවෙන කුඩා මාර්ගයකි. එහි කෙළවර ඇති කම්බි පාලමෙන්-ගඟෙන් එගොඩ වූ විට 'මුද්දුව' දෙසට යා හැකිය. දශක කිහිපයකට ඉහත නම් දෙමුවාවත පාර අරක් ගෙන සිටියේ 'කටර්ස්ලා' හෙවත් 'මැණික් සැට්ටර ශිල්පීන්' ය. අද මෙන් නවීන යන්ත්‍ර නොතිබුණු ඒ කාලයේ, ඔවුන් මැණික් කැපුවේ සාම්ප්‍රදායික 'ගණ‍පෝරු පට්ටලයෙනි.' ඔවුන්ගේ වහරින් මැණික් කැපීම විස්තර කෙරුණේ 'ගල් වැඩ කරනවා' යනුවෙනි. පසුකාලීනව දෙමුවාවත පාර, 'මැණික් වෙළෙඳ වීදියක්' බවට රූපාන්තරණය විය.
'දෙමුවාවත පාර' කළු ගඟ ඉහළ නිම්නයට අයත් මැණික් වෙළෙඳ ලෝකයේ බොහොම ප්‍රසිද්ධය. රත්නපුර විවෘත මැණික් වීදියේදී 'හොඳ මිලක්' නොවැටුණු ගලක් ගැන අසන ඇතැම් මැණික්කාරයකු, ඇයි දෙමුවාවත පාරට දැම්මේ නැද්ද? කියා විමසන්නේ පුරුද්දට මෙනි.
ඒ විමසීමෙන්ම එහි වර්තමාන 'මැණික්කාරකම' මෙන්ම, 'ඉහළ මිලක් සඳහා' වන යශෝකීර්තියද පිළිබිඹු වේ දැන් එහි 'මැණික් කඩ' ඕනෑ තරම්ය. ඒ මදිවාට, 'අන්තර්ජාලයේ මහා මැණික් වෙළෙඳ වීදියට' තරුණ 'ඇක්සස් එකකුත්' (ප්‍රවේශ මාර්ගයක්) දෙමුවාවත පාර ඔස්සේ වැටී තිබෙන්නේය
එක් අතකින් බලන විට, දෙමුවාවත පාර ඔස්සේ අන්තර්ජාලයේ මහා මැණික් වෙළෙඳ වීදියට 'ඇක්සස් එකක්' විවෘත වීම අමුත්තක්ද නොවේ. රත්නපුරය ශත වර්ෂ ගණනක් මුළුල්‍ලේම 'ජාත්‍යන්තර මැණික් වෙළෙඳ ලෝකය' සමග ගනුදෙනු පවත්වා තිබිම ඊට හේතුවයි. 'රත්නද්වීප' යන නාමය මෙන්ම 'රත්නපුරය' යන නාමයද බිහිවූයේ එයිනි.
'අන්තර්ජාලයේ මහා මැණික් වෙළෙඳ වීදියට' වැටුණු තරුණ 'ඇක්සස් එක' දෙමුවාවත පාර ඔස්සේ විවෘතව ඇති බව කලින් සඳහන් කළෙමු. එසේ වුවද පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලන සමයේදී 'රත්නපුරය' ලෝකයට ගැට ගැසූ 'ඇක්සස් එක' වැටී තිබුණේ කළු ගඟ ඔස්සේය. එකල කළුතර, කොළඹ හෝ සමීප මුහුදුබඩ නගර දක්වා ප්‍රවාහන කටයුතු සිදු වූයේ 'පාරු', 'හම්බන්' සහ 'ඔරු අගුල්' ආදී ජල යාත්‍රාවලිනි. රත්නපුරයේ පැරණි 'පාරු තොටු‍පොළ' තිබි ඇත්තේ, වර්තමාන 'ජෝති සිනමාහල' ආශ්‍රිතව කළු ගඟ ඉවුරේය. එකල රත්නපුරය ඔස්සේ පිටතට ගමන් කළ උදවිය එයින් නැගී ගියහ. එකල එය නිසැකවම 'මැණික් තොටු‍පොළක්' වන්නට ඇත දැන් නම් එතැන පැරණි 'පාරු තොටු‍පොළක' සලකුණක් හෝ දැක ගන්නට නැත්තේය.
යටත් විජිත පාලන සමයේ ලෝක මට්ටමේ මහාර්ඝ මැණික් ගනුදෙනුද රාජකීයයන්, ප්‍රභූවරුන්, සිටුවරුන් සහ මහේශාක්‍ය විදේශිකයන්ගේ ගමන් බිමන්ද සම්බන්ධීකරණය වන්නට ඇත්තේ රත්නපුර 'පාරු තොටු‍පොළෙනි'. වර්තමානයේ රත්නපුරයට අධිගෘහිත පාලකකාරකාදීන් එබඳු තොටු‍පොළක් ගැන දන්නා බවක් පෙනෙන්නටද නැත. එතැන කදිම 'සංචාරක තිප්‍පොළක්' බවට පත් කළ හැකි බවත් ඔවුන් කවදා වටහා ගනු ඇතැයිද සිතන්නටවත් නුපුළුවන කොයිහැටි වෙතත් පැරණි පාරු තොටු‍පොළෙන් නික්මුණු තරුණ (‍පොෂ්) පහේ කොල්ලෙක්, අතීත සියවස් කිහිපයක් අතරින් හුදෙකලාව ඇවිද, බණ්ඩාරනායක මාවත ඔස්සේ දුවමින්, සීවලී පිට්ටනිය තරණය කර, දෙමුවාවත පාර ඔස්සේ 'අන්තර්ජාල මැණික් වීදියට' ගොඩ වන වර්තමාන දර්ශනය නම් බෙහෙවින් ආස්වාදජනකය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »