තේ කර්මාන්තයේ නොපෙනෙන අර්බුදය...

2017-03-27 11:24:00       594
feature-top
අනේ සුද්දා අදත් හිටියා නම්...
සුද්දගේ කාලේ වගේම
ජ. න. ව. ස. ම. කාලයෙත්
පාලකයෝ වැඩේ හරියට කළා
කඩන දලු හොරකම් කිරීමේ මාෆියාව
වතු කම්කරු වැටුප තවමත් පහළ මට්‌ටමේ

'කොස්‌ කොළ, ක්‍රෝටන් කොළ, කෝප්ප කොළ හා තේ කොළ ගැන මේ දිනවල රටේ ඇත්තේ මින් පෙර නොවූ විරූ අපූරු කතිකාවකි. වෙනදා කවුරුත් ගණන් ගන්නේ නැතිව ඔහේ ඉදී, වියළී වැටී ගිය හෝ මල්වැටිවල කැලෑ වෙමින් තිබූ කොළ වර්ගවලටත් දේශපාලන වේදිකාවේ මුල් තැනක්‌ ලැබුණේ අපේ රටේ කලක්‌ තිස්‌සේ පැළපදියම් වී ඇති ජරාජීර්ණ අවස්‌ථාවාදී දේශපාලනයට පිං සිදු වන්නටය. පාර්ලිමේන්තුවේදී එක පතේ කා වේදිකාවේදී එකිනෙකාගේ පතුරු අරින මොඩලයේ බොහෝ දෙනාට අද කොස්‌ කොළ, ක්‍රෝටන් කොළ, කෝප්ප කොළ මෙන්ම තේ කොළද ඉතා හො`ද මාතෘකා බවට පත්ව ඇත.

එහෙත් මේ කතාව ඒ ඉහ`ද ගැසූ දේශපාලනය ගැන හෝ කොස්‌ කොළ - ක්‍රෝටන් කොළ ගැන නොවේ. ඒ අතරේ කියවෙන තේ කොළ ගැනය. කෙලින්ම කීවොත් දිව පිනවූ සුමිහිරි පානයක්‌ ලෙසින් දීර්ඝ කාලයක්‌ අපට හුරුවූ තේ කොළ නිපදවන ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට වැටී ඇති ෙ€දජනක තත්ත්වය ගැනය.'

තේ, පොල්, රබර් යනු අප රටේ ප්‍රධාන ආර්ථීක බෝගයන් යෑයි පාසලේ පන්තියේදී පවා මහත් උජාරුවෙන් කියූ කාලයක්‌ තිබුණු බව අපට මතකය. එහෙත් අද වන විට අප රටේ සිටි හා සිටින පාලකයන් ඇතුළු වගකිවයුත්තන් විසින් මේ රටේ තේ වතු ආර්ථීකය ඇද දමා ඇති දුක්‌ත තත්ත්වය දකින විට තේ වගාව ගැන කතා කිරීමත් එක්‌තරා ආකාරයක ෙ€දවාචකයක්‌ව ඇත. මේ ගැන කතා කරන විට අද බොහෝ දෙනා කියන කතාව නම් 'සුද්දා අපට කොතරම් හතුරුකම් කළත් සුද්දා අදත් සිටියා නම් අප රටේ තේ වගාවට මේ විපත වෙන්නේ නෑ.' යන්නයි.

සුද්දාගෙන් පසුව වුව දිගු කලක්‌ විශේෂයෙන් උඩරට ක`දුකරය වසා හරිත පැහැයෙන් බැලූතෙක්‌ මානයේ පැතිරුණු තේ වගාව වතු කම්කරු ප්‍රජාවගේ දිවි රකිමින් පරිසරයද සුරකිමින් ශ්‍රී ලංකාවට මහත් අභිමානයක්‌ හා සුන්දරත්වයක්‌ද එක්‌කළ අතර වැවිලි ක්‍ෂේත්‍රය පිළිබ`දව මනා දැනුමක්‌ - අවබෝධයක්‌ හා ඇල්මක්‌ තිබූ එම ක්‍ෂේත්‍රයේ පරිපාලන තලය විසින් එම වගාවන් මෙන්ම සිය සේවක ප්‍රජාවට අවශ්‍ය යටිතල පහසුකම්ද මනාව නඩත්තු කරමින් සේවක සුබසාධනයද නිසි ලෙස පවත්වාගෙන යමින් රටට විශාල විදේශ විනිමයක්‌ද උපයා දෙමින් මෙම සම්පත් රැකගත් අයුරු කලක්‌ අපට දක්‌නට හැකිවිය.

එහෙත් අද වන විට අසන්නට - දකින්නට ලැබෙන්නේ ඒ අභිමානය හා සුන්දරත්වයද යටිතල පහසුකම් හා සේවක සුබසාධනය ද රටට ලැබුණු ආදායමද වැවිලි ප්‍රජාවට ආවේණික වූ නිස්‌කලංක ජන ජීවිතය ද කාබාසිනියා කොට තේ වතු ආර්ථීකය ඉතා පහත් තත්ත්වයකට ඇද දමා දිගින් දිගටම පාඩු ලබමින් හැමදාමත් උග්‍ර මතභේද හා ප්‍රශ්න මැද අසීරුවෙන් ඇදගෙන යන, තේ ගස සිය දිවිය මෙන් රැකි වතු කම්කරු ප්‍රජාවට පවා එපා වූ වැවිලි ක්‍ෂේත්‍රයක්‌ ගැනය.

මේ ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා ගනු ලබන යම් යම් ක්‍රියාමාර්ගයන් ගැන හා පර්යේෂණ මට්‌ටමේ ඇතැම් කරුණු ගැන ඉ`දහිට අසන්නට දකින්නට ලැබුණද සමස්‌තයක්‌ ලෙස බහුතරයක්‌ වතු මේ වන විට පත්ව ඇති ෙ€දනීය තත්ත්වය ගැන අද වතු කම්කරුවන් ඇතුළු තේ වගා ක්‍ෂේත්‍රයේ අත්දැකීම් ඇති බොහෝ දෙනා කෙටියෙන්ම පවසන්නේ 'කොම්පැණිකාරයෝ වතු ටික කෑවා' කියාය.

මේ චෝදනාව එල්ල කළ නොහැකි වතු ගැනද ඉ`දහිට අසන්නට ලැබුණත් මේ අය ඒ කියමන සාධාරණීකරණය කරන්නේ මෙවන් චෝදනා ගොන්නක්‌ද සම`ගය.

ඉස්‌සර වතු හො`දට නඩත්තු වුණා. වත්ත හරියට නඩත්තු කරන්නේ නෑ. - තේවතු කැලෑ වෙලා.- වගාවට පොහොර දාන්නේ නෑ. - බෙහෙත් ගහන්නේ නෑ. - වල් ගලවන්නේ නෑ. - ඉස්‌සර වගේ වගාව තුළ කාණු කපන්නේ නෑ. - පාළු හිටුවන්නේ නෑ. - වතු පාරවල් නඩත්තු කරන්නේ නෑ. - වතු කම්කරු නිවාස නඩත්තු කරන්නේ නෑ. - වතු රෝහල්වල පහසුකම් නෑ. - සමහර වතු රෝහල් වහලා. - හරියට වැඩ දෙන්නේ නෑ. - හරියට පඩි දෙන්නේ නෑ. - ඊ. පී. එෆ්.- ඊ. ටී. එෆ්. වෙලාවට යවන්නේ නෑ. - වත්තේ තිබුණු ගස්‌ ටිකත් කපාගෙන විකුණනවා. අලුතෙන් පැළයක්‌ හිටුවන්නේ නෑ. - වැඩ කරන්න ආවුධ ටිකවත් හරියට ගන්නේ නෑ. උන්ට ඕන දලු විතරයි. ඒ මදිවාට කඩන දලු ටිකටත් හොර කරනවා..... තව තවත් ඕන තරම් චෝදනා.

මේ සියල්ලෙන් ඔවුන් කියන්නේ වත්මන් තේවතු පාලකයන් බොහෝ දෙනා වතු නඩත්තුව, වතු ආරක්‍ෂා කිරීම, කම්කරු අයිතීන් හා සේවක සුබසාධනය ආදී සියල්ල පසෙකලා, තිබෙන තේ ගසෙන් ලැබෙන ආදායම පමණක්‌ රැගෙන තේ වතු ක්‍ෂේත්‍රය විනාශ වී යැමට ඉඩහැර බකන්නිලා සිටින බවයි. මේ ක්‍ෂේත්‍රය රැකගැනීමට හෝ මේ විනාශයෙන් බේරාගැනීමට රජය දක්‌වන උනන්දුව හෝ මැදිහත් වීම පිළිබ`දවද මෑත කාලය තුළ කිසිවෙකුගේ ප්‍රසාදයක්‌ අසන්නට ලැබී නැත.

තේ වතු අනූනව අවුරුදු බද්දට දීම තුළින් 'වත්ත බද්දට දී ඇස්‌සට දත නියවනවා' හැරෙන්නට රජයකට ස්‌වාධීනව මේ ක්‍ෂේත්‍රය රැකගෙන රටේ ආදායම වැඩිකර ගැනීම උදෙසා යමක්‌ කළ නොහැක දැයි සමහරු ප්‍රශ්න කරන්නේ එහෙයිනි. මේ ක්‍ෂේත්‍රය තුළ ඉතා සීමිත පිරිසක්‌ ගොඩනඟාගෙන ඇති ඒකාධිකාරියට අභියෝග කරන්නට රජයකටවත් නොහැකි යෑයි බොහෝ දෙනා සිතන්නේ වසර ගණනාවක්‌ ගියත් මේ ප්‍රශ්න දිගින් දිගටම වැඩිවීමක්‌ මිස අඩුවීමක්‌ නොවන බැවිනි.

''සුද්දගෙ කාලෙ වගේම ජ.න.ව.ස.ම. කාලෙත් බොහෝ වතු පාලකයෝ වත්තට ආදරේ කළා. '' මේ ප්‍රශ්නය ගැන අදහස්‌ දැක්‌වූ වතු කම්කරුවෙක්‌ පැවසුවේ මෙවන් දෙයක්‌. '' ඒ අය වත්ත හො`දට නඩත්තු කළා. වෙලාවට බෙහෙත් - පොහොර දැම්මා. වෙලාවට කප්පාදු කළා. වගාවේ පස බුරුල්a කළා. වගාව අතර කාණු කැපුවා. ඒ නිසා දාන බෙහෙත්, පොහොර හෝ සරුපස සෝදාගෙන ගියේ නෑ. සේදුණු ටිකත් කාණුවල තැන්පත් වුණා. කාණුව ගොඩ දැම්මම වගාවට අලුත් සරු පසක්‌ ලැබුණා. කම්කරුවන්ට පහසුකම් දුන්නා. හැම මාසෙම 10 වැනිදා හරියට පඩි දුන්නා. එදා පඩිපොළ කියන්නේ වත්තේ අයට නත්තල් වගේ. පඩිපොළ ළ`ගට දුරබැහැර වෙළෙන්දෝ පවා වෛවාරන්න බඩුමුට්‌ටු අරන් එන්නේ එදාට කම්කරුවගේ අතමිට සරු බව දන්නා නිසයි. දැන් එහෙම අතමිට සරු කම්කරුවො අපේ වතුවල නෑ. ඒ විතරක්‌ නොවේ. එදා වතු පාලකයෝ පාන්පිටි, හාල්, භූමිතෙල් වගේ වතු කම්කරුවන්ට අත්‍යවශ්‍ය දේවල් පහසු මිලට වත්තටම ගෙනත් කම්කරුවන්ට ලබාදුන්නා. වතු සමුපකාරත් හො`දට තිබුණා. වතු පාරවල් ඉතාම හො`දට නඩත්තු කළා. දැන් මේ කිසි දෙයක්‌ කෙරෙන්නේ නෑ. දලු ටික කඩාගන්නවා විතරයි.''

''කඩන දලු ටිකටත් හොර කරනවා '' යනුවෙන් කී තවත් වතු කම්කරුවෙක්‌ ඒ පිළිබ`දව අපූරු විග්‍රහයක්‌ කළේ මෙසේය.

''දවසට තුන් පාරක්‌ වත්තේ දලු කිරනවා. මේ කිරනකොට තට්‌ටු බර හෝ ගෝනි බර කියා කිලෝ 2 - 3 ක්‌ බැගින් අඩු කරනවා. මේ විදිහට ඒ කොටසේ කම්කරුවන් 60 දෙනෙක්‌ වැඩ කළොත් එක වරකට කිලෝ 120 බැගින් දවසට කිලෝ 360 ක්‌ අඩුවෙනවා. දැන් බොහෝ තැන්වල දලු කිරන්නේ පොහොර උරවල දාලා. ඒකෙ බර කිලෝ 2 - 3 ක්‌ වෙන්නේ නෑ. ඒ අනුව දලු කිලෝ 360 ක මුදල් හොර පාරෙන් පාලකයන්ගේ සාක්‌කුවලට යනවා. කම්කරුවෙක්‌ දවසේ නමට කිලෝ 20 ක්‌වත් කඩන්න ඕන. එහෙම බැලුවාම මේ මුදල කම්කරුවන් 18 දෙනෙකුගේ දවසේ වැටුපට සමානයි. ඒ විදිහට කම්කරුවන් සිය ගාණකින් මාසෙකට කොතරම් මුදලක්‌ මේ විදිහට ගන්නවාද? ඒ වගේම කඩන දලු කිලෝ ගාණට අමතරව ග්‍රෑම් 500 ක්‌ 750 ක්‌ තිබුණත් දාන්නේ ආසන්න කිලෝ ප්‍රමාණය විතරයි. ඒ විදිහට කම්කරුවන් සිය ගාණක්‌ වැඩ කළාම තවත් දලු කිලෝ විශාල ප්‍රමාණයක මුදල් ඒ අය ගන්නවා. ඊටත් අමතරව සමහරුන් දලු කිරන්න හොර තරාදි පාවිච්චි කරලත් කම්කරුවාගේ දලු කොල්ලකනවා. ''

වැවිලි ක්‍ෂේත්‍රයේ නිලධාරියකු මට්‌ටමේ දීර්ඝ කාලයක්‌ සේවය කළ අයෙක්‌ හෙළිකළ තවත් අපූරු පුවතකි මේ.

''බොහෝ වතු කොම්පැණි කම්කරුවන්ගෙන් මාස්‌පතා කපාගන්නා ඊ.පී.එෆ්. - ඊ.ටී.එෆ්.- වෘත්තීය සමිති මුදල් ආදිය අදාළ තැන්වලට යවන්නේ මාස ගණන් පහුකරලා. සමහර නිලධාරීන් හෝ පාලකයන් ඒ කාලය තුළ ඒ මුදල් තම පුද්ගලික ගිණුම්වල හෝ ව්‍යාපාරවලට යොදවනවා. ඒ වගේම සමහරුන් වත්තේ වැඩකර යම් ප්‍රශ්නයක්‌ මත ඉවත්වන කම්කරුවන්ගේ නම ලේඛනවලින් ඉවත් නොකර ඒ නමට පඩි හදා ඒ මුදල ගන්නවා. වත්තේ කෙනෙක්‌ මියගියාම රුපියල් දෙදාහක්‌ ඒ අය වෙනුවෙන් ගෙවනවා. සමහර වතු මහත්තුරු ඒ මුදල වත්තේ චෙක්‌පතකින් නොදී තමන්ගේ අතින් දී මියගිය අයගේ නම ලේඛනවලින් ඉවත් නොකර තියාගන්නවා. මැරුණු අයටත් පඩි හදා ඒ මුදලත් ගන්නවා. විදෙස්‌ගත අයගේ නම් දමා පඩි ගන්නවා. ඇතැම් පාලකයන් හා නිලධාරීන් එකතුවෙලයි මේවා කරන්නේ. හැමෝම නැතත් එහෙම කරන අයත් මේ ක්‍ෂේත්‍රයේ ඉන්නවා.''

මෑතකදී වතු කම්කරු දෛනික වැටුප රුපියල් 730.00 ක්‌ දක්‌වා වැඩිකිරීමද අහිංසක වතු කම්කරුවන්ට පෙන්වූ ගණිතමය විඡ්ජාවක්‌ පමණක්‌ බවද ඔවුන් බහුතරයකගේ දෛනික වැටුප තවමත් රුපියල් 530.00 වන බවද ලංකාවේ ප්‍රබල වතු වෘත්තීය සමිතියක ප්‍රධානියෙක්‌ පෙන්වා දුන්නේ මෙලෙසයි.

'' මේ වැටුප් වැඩිවීමට කලින් වතු කම්කරු මූලික දෛනික වැටුප රුපියල් 450.00 යි. පැමිණීමේ දීමනාවක්‌ ලෙස රුපියල් 30.00 ක්‌ දුන්නා. මාසයේ දින ගණනින් 75% ක්‌ වැඩකළොත් පමණක්‌ තවත් රුපියල් 140.00 ලැබුණා. ඒ අනුව මාසයේ 75% ක්‌ වැඩකළ අයට පමණක්‌ දෛනික වැටුප රුපියල් 620.00 ක්‌ ලැබුණා.

ඒත් පහුගිය වැටුප් වැඩි කිරීමෙන් මූලික දෛනික වැටුප රුපියල් 500.00 ක්‌ කළා. පැමිණීමේ දීමනාවක්‌ ලෙස රුපියල් 30.00 එලෙසමයි. මාසයේ 75% ක්‌ වැඩකළ අයට දුන් රුපියල් 140.00 රුපියල් 60.00 දක්‌වා අඩුකර දවසේ නියම කරන වැඩ කොටස අවසන් කරන අයට පමණක්‌ රුපියල් 140.00 ක්‌ දුන්නා. ඒ අනුවයි දෛනික වැටුප රුපියල් 730.00 ක්‌ වුණේ.

ඒත් අද වතු බොහෝමයක වල් නෙළීම, කාණු කැපීම, රසායනික බෙහෙත් - පොහොර යෙදීම්, වතු පාරවල් නඩත්තු කිරීම්, සෙවණ ශාක හැදීම, කම්කරු නිවාස නඩත්තුව වැනි කටයුතු රැසක්‌ කෙරෙන්නේ නෑ. කොහොමද හැමෝටම මාසයේ 75% ක්‌ වැඩ දෙන්නේ? අනික දවසේ නියම කරන දලු ප්‍රමාණයක්‌ කඩන්න හැකි වන්නේ දලු තිබුණොත් පමණයි. ගස්‌වලට සාත්තු නොකර පොහොර නොදා, වගාව නිසිලෙස නඩත්තු නොකර කොහොමද නියම කරන දලු ප්‍රමාණය කඩන්නේ? මේ වැටුප් වැඩිකිරීම කම්කරුවන් රවටන ගණිතමය ප්‍රොaඩාවක්‌ විතරයි.''

ඒ අතර බොහෝ ආයතනවල මේ වන තුරුත් නිසි ලෙස ක්‍රියාත්මක නොවන, 2015 - අයවැයෙන් පුද්ගලික අංශ සේවකයන්ට ලබාදුන් රුපියල් 2500.00 වැටුප් වැඩිවීමද (දෛනික වැටුප් ලබන සේවකයන්ට දිනකට රුපියල් 100.00 ක්‌ වන ලෙස) සාමූහික ගිවිසුම හේතුවෙන් වතු කම්කරුවන්ට අහිමි වී ඇතැයි තවත් වතු වෘත්තීය සමිති නායකයෙක්‌ මෙසේ පැහැදිළි කළේය.

'' '2016 අංක 4 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනතේ' 3 (7) වගන්තියට අනුව 2015- අයවැයෙන් පුද්ගලික අංශ සේවකයන්ට ලබාදුන් රුපියල් 2500.00 වැටුප් වැඩිවීමද සාමූහික ගිවිසුමෙන් ආවරණය වූ මේ වතු කම්කරුවන්ට අහිමිවී තිබෙනවා. ඒත් 2015 මාර්තු මස 31 වැනිදා සිට 2016 ඔක්‌තෝබර් 18 වැනිදා දක්‌වා මේ සාමූහික ගිවිසුම අවලංගු තත්ත්වයකයි තිබුණේ. ඒසේ නම් එම කාලය තුළ හෝ ඒ වැටුප් වැඩිවීම වතු කම්කරුවන්ටත් හිමිවිය යුතුයි. අන්තිමේ මේ අය අරගල කොට ලබාගත් ඒ දීමනාවත් දුන්නේ 2016 ජූලි, අගෝස්‌තු මාසවල පමණයි. එතැනින්ම නතර කළා. දැන් ඒ ගැන කවුරුත් කතා කරන්නේ නෑ. රජයේ වගකිවයුත්තන්ද වතු හාම්පුතුන්ගේ පැත්ත ගෙන කටයුතු කිරීමත් වතු වෘත්තීය සමිති අතර පවතින අසම`ගියත් වතු කම්කරු අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබාගැනීමේදී ඇති ලොකුම බාධක වී තිබෙනවා.''

මෙවන් බොහෝ කතා වැවිලි ක්‍ෂේත්‍රයේ මෙන්ම ඉන් පිටස්‌තර පුද්ගලයන් වෙතින්ද නිරතුරු අසන්නට ලැබීමෙන් තේ කර්මාන්තය මේ වන විට උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් විශාල තේවතු වැවිලි සමාගම්වලට දීර්ඝ කාලීනව බදු දීම හා රජය පාර්ශ්වයෙන් එම ක්‍ෂේත්‍රයේ ගැටලු පිළිබ`දව ප්‍රමාණවත් මැදිහත්වීමක්‌ සිදු නොවීම එම තත්ත්වය ඇතිවීමට ප්‍රබල හේතුවක්‌ වන බවත් පැහැදිලිs වේ. සියලු වතු හෝ සියලු වැවිලි සමාගම් මේ තත්ත්වයේම නොවුණද සමස්‌තයක්‌ වශයෙන් පවතින මෙම ගැටලු සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක්‌ සිදු කොට සෘජුව හෝ වක්‍රව මෙම ක්‍ෂේත්‍රය සිය ජීවනෝපාය කරගත් ලක්‍ෂ ගණනක්‌ වෙනුවෙන් එය රැකගැනීම හා සංවර්ධනය කිරීම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ හා රජයේ පැහැර හැරිය නොහැකි වගකීමක්‌ මෙන්ම යුතුකමක්‌ වන බවත් මේ සම්බන්ධයෙන් කතාකළ සැමගේ පොදු අදහස විය. අපද එය තරයේ අවධාරණය කරමු.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »