ඉන්දියානුවෝ වහ වැටුණු ගිංතොට ගෝමේද මැණික්‌

2017-03-03 10:24:00       585
feature-top
ඒ හැත්තෑව දශකයේ මැද භාගයයි. "කතරගමින් ගෝමේද නිධියක්‌ මතුවෙලා" එවකට පළවූ දිනපතා පුවත්පතක ප්‍රධාන සිරස්‌තලය යටතේ මෙම ප්‍රවෘත්තිය පළවී තිබුණි. ගාල්ලේ ගිංතොට පදිංචි මැණික්‌ ව්‍යාපාරිකයකු මෙන්ම ආයුර්වේද වෛද්‍යවරයකු වූ එම්. පී. ජී. පොරෝලිස්‌ ද සිල්වා මහතා ද පුවත්පතින් මෙම ප්‍රවෘත්තිය දුටුවේය.

"පුතේ අපි යමු කතරගම. පොරෝලිස්‌ සිල්වා තම පුතු වන හේමචන්ද්‍ර සිල්වාට කීවේය. ඒ අනුව මෙම පිය පුතු දෙපළ කතරගම බලා පිටත් වූයේ ඔවුන් සතුව තිබූ මොරිස්‌ මයිනර් කාර් රථයෙනි. තිස්‌සමහාරාමය පසුකර විට ගෝමේද ගල් පොට්‌ටනි ළඟ තබාගත් වෙළෙඳුන් මඟ දෙපස විශාල වශයෙන් සිටිනු පිය පුතු දෙපළට දක්‌නට ලැබිණි. කොටින්ම කිවහොත් එළවළු වෙළෙඳපොළක සිරි ගෙන තිබුණේය. එවකට ගෝමේද ගල් පොට්‌ටනියක්‌ රුපියල් 50 කි. පිය පුතු දෙපළ කාර් රථයේ ඩිකිය පිරෙනතෙක්‌ ගෝමේද ගල් පොට්‌ටනි පුරවා ගනු ලැබිය. මෙකී ගල් පොට්‌ටනි වල බරට ගාල්ලට එනවිට මොරිස්‌ මයිනර් කාර් රථයේ දුනු ද කැඩී ගොස්‌ තිබුණේය.

එකල ගෝමේද ගල් කැපීම, ඔප දැමීම හා වෙළෙඳාම ගිංතොට කුරුඳුවත්ත ප්‍රදේශයේ විශාල වශයෙන් සිදු කෙරිණි. ඒ මුස්‌ලිම්වරුන් විසිනි. පොරෝලිස්‌ සිල්වා මහතා ද එකල මැණික්‌ ව්‍යාපාරය ඉතා සරුවට කරගෙන ගිය අයෙකි. ගෝමේද ගල් මිලදී ගනු ලැබුවේ ඉන්දියානු වෙළෙඳුන් පමණි. මේ නිසා එකල ගෝමේද ගල් මිලදී ගැනීම සඳහා ඉන්දියානු වෙළෙඳුන් ගිංතොටට පැමිණීමට පුරුදුව සිටියහ. සේනසුරාදා හා ඉරිදා යන දිනවල ඉන්දියානු වෙළෙඳුන් ගිංතොටට පැමිණියහ. ගෝමේද ගල් හින්දුවරුන් දේවත්වයෙන් සලකති. ඒ විතරක්‌ නොව ගෝමේද ගල් සහිත මුද්දක්‌ පැළඳගෙන සිටියදී මහමඟදී අනතුරුවලින් මිය නොයන බවටද හින්දුවරු විශ්වාස කරති. මේ නිසා ගෝමේද ගල්වලට ඉන්දියානු වෙළෙඳුන්ගෙන් පැවතියේ ඉහළ ඉල්ලුමකි.

තාත්තාට වෙදකම කරන අතරේ මැණික්‌ වෙළෙඳාම කරන්න අවශ්‍ය වුණා. මුස්‌ලිම්වරුන්ගෙන් තමයි මේ වෙළෙඳාම ඉගෙන ගත්තේ. ඇත්තටම සිංහල මිනිසුන් අතර මැණික්‌ කැපීම, ඔපදැමීම ප්‍රචලිත කරන්න තාත්තා මුල් වුණා. ඒ කාලයේ ගෝමේද මැණික්‌ ගල් හමු වූ ප්‍රධාන ස්‌ථානයක්‌ තමයි කඹුරුපිටිය.. ගෝමේද ගල් ගෙනාවේ කඹුරුපිටියේ හොරපාවිල. තිබූ පතල්වලින් පොරෝලිස්‌ සිල්වා මහතාගේ පුතු හේමචන්ද්‍ර සිල්වා මේ ගැන සඳහන් කරමින් හේමචන්ද්‍ර සිල්වා අප සමඟ කතාවට වැටුණේය.

පොරෝලිස්‌ සිල්වා මහතා විසින් මුස්‌ලිම්වරුන්ගෙන් ඉගෙනගත් මැණික්‌ වෙළෙඳාම පසුව පුතු විසින් කරගෙන ගියේය. සෑම සති අන්තයකම ඉන්දියානු වෙළෙඳුන්ගෙන් හේමචන්ද්‍ර සිල්වාගේ නිවස පිරී ගියහ. ගෝමේද මැණික්‌ ගල් ගෙනාවේ පොට්‌ටනි වශයෙනි. එසේ ගෙන එනු ලැබූ ගෝමේද ගල් කැපීම, ඔපදැමීම සිදු කරනු ලැබුවේ හේමචන්ද්‍ර යටතේ වැඩ කළ මුස්‌ලිම්වරු හා සිංහල අය විසිනි.

විල් ජාති හා ජාති වශයෙන් මැණික්‌ ගල් වර්ග දෙකකි. ගෝමේද, රබහ, තෝරමල්ලි, විල් ජාති වර්ගයට අයත්ය. ආරුනූල්, වෛරෝඩි, නිල්, රතු, ආදී මැණික්‌ ජාති වර්ගයට අයත්ය.. මෙකී මැණික්‌ ගල්වල වටිනාකම අධිකය. හේමචන්ද්‍රට පළ පුරුද්දෙන්ම ගෝමේද ගල් වර්ගවල බර මෙන්ම ඔප මට්‌ටම් කළ පසු එහි වර්ණය සඳහන් කිරීමට තිබුණේ පුදුම හැකියාවකි. ඒ ගෝමේද මැණික්‌ ගල් වෙළෙඳාමෙන් ලැබූ පන්නරය නිසාවෙනි.

"ඒ කාලයේ කැරට්‌ එකක්‌ රුපියල් විස්‌සට හා තිහට තමයි ඉන්දියානු වෙළඳුන්ට අලෙවි කළේ.. ගෝමේද ගල් කැපීමට ශත දහයයි. ඔප දැමීමට ශත 15 ක්‌ වශයෙන් තමයි වැඩ කරපු අයට කුලිය වශයෙන් ගෙව්වේ. දක්‌ෂ වැඩකරුවකු දිනකට රුපියල් 100 ක්‌ විතර ඒ කාලයේ ගත්තා. ගෝමේද ගල් ජාතියේ ගොඩක්‌ පිපුරුම් තියෙනවා. පිපුරුම් නැති ගල් ජාතිය ගොඩක්‌ මිලයි. හින්දුවරු අතර මතයක්‌ තියෙනවා, ඔවුන්ගේ දෙවියන් පොළව පාගපු නිසා තමයි, මේ ගල් පුපුරලා තියෙන්නේ කියලා. හින්දුවරු මළගෙවල්වලට අරන් යන්නේ ගෝමේද ගල්. මියගිය අයගේ මුඛයට ගල් දමනවා.. පස්‌සේ ඒ ගල් මිනියේ දෙපැත්තට වැටෙන බව හින්දුවරුන් මා සමඟ කියා තියෙනවා" යෑයි හේමචන්ද්‍ර කිවේය.

හේමචන්ද්‍රලා විසින් ඉතා සරුවට පවත්වාගෙන ගිය ගෝමේද මැණික්‌ ගල් වෙළෙඳාමට පහර වැදුණේ විවෘත ආර්ථිකයත් සමගය. ගෝමේද ගල් හිඟ වන්නට වූ අතර වෙළෙඳාම ද අඩු විය. අනූව දශකයේ මුල් භාගය වන විට කුඹුරුපිටියේ පවා ගෝමේද ගල් හිඟයක්‌ පැවතුණි. මුස්‌ලිම්වරුන් විසින් මැඩගස්‌කරයට ගොස්‌ මහා පරිමාණයෙන් ගෝමේද ගල් ගෙන එනු ලැබීය. එයද මෙම කර්මාන්තයට වැදුණු මරුපහරක්‌ විය. ඒ විතරක්‌ නොව ගෝමේද ගල් කැපීම හා ඔප දැමීමට යාන්ත්‍රික උපකරණ පැමිණීමත් සමඟ පාරම්පරිකව මෙම කර්මාන්තයේ නිරත වූවන්ට රැකියා අවස්‌ථා නැති විය.

"යකඩ හණ පොරුවට දුනු කම්බියක්‌ දමලා එක දෙපැත්තට කරකැවෙන විට දෝෂ පලුදු ඇරලා මේ ගල් ලස්‌සනට ඔප මට්‌ටම් කරලා ගත්තා. ඒ කාලයේ මගේ ළඟ සේවකයන් දහ පහළොස්‌ දෙනෙකු වැඩ කළා. පසුව විදුලියෙන් වැඩ කරන මැෂින් ආවා. ඊට පස්‌සේ වෙළෙ¹ම ක්‍රමයෙන් අඩු වුණා. පාරම්පරිකව මේ කර්මාන්තයේ නිරතවූවන්ට රැකියාව නැති වුණා. ගෝල බාලයන් දැන් වෙනත් රැකියා කරනවා. ගෝමේද මැණික්‌ ගල් වෙළෙඳාම නම් දැන් අභාවයට යමින් පවතිනවා." හේමචන්ද්‍ර කීවේය.

ඉන්දියානු වෙළෙඳුන් ගෝමේද ගල් ගෙනයැම සඳහා මේ නිවසට පැමිණියේ මොවුන්ට තෑගි භෝගද රැගෙනය. පියාට කොටු කොටු සාලුවක්‌ රැගෙන ආ අතර හේමචන්ද්‍රට ඉන්දියානු සරමක්‌ ගෙනැවිත් දුන්හ. මේ නිසා අදටත් හේමචන්ද්‍ර ඉන්දියානු සරොම් ඇඳුමට පුරුදුව සිටින්නේය. ගිංතොට පරණවිතානගේ කුලසේන (71) පාරම්පරිකව ගෝමේද ගල් කැපීමේ නිරත වූ අයෙකි.

78-80 විතර කාලයේ ගෝමේද මැණික්‌ ගල් කපලා දිනකට රුපියල් 100ක්‌,150ක්‌ විතර හොයාගත්තා. මහත්තයා ළඟ තමයි, මම වැඩ කළේ. හණ පොරුවෙන් තමයි ගෝමේද ගල් කැපුවේ, ඔප මට්‌ටම් කළේ. දරු පවුල ආරක්‌ෂා කළේ මේ රැකියාවෙන්. මැෂින් ආපු නිසා අපට රැකියා නැතිවුණා. දැන් නම් හණපොරුවලින් මැණික්‌ ගල් කපන්නේ නැහැ. කුලසේන කිවේය.

ගෝමේද මැණික්‌ ගල් කර්මාන්තය සමඟ බැඳී ඇති ජනප්‍රවාද රාශියකි..

රාහුගේ අපලයට ගෝමේද මැණික්‌ ගල් පළඳින ලෙස ජ්‍යෙතිෂවේදීන් විසින් නියම කරනු ලබති. රාහුගේ මහ දශාව පවතින විටද කාලසර්ප යෝගයක්‌ සහිත කේන්දර ඇති අයද රාහු අතුරු දශාවක්‌ පවතින විට මෙම මැණික්‌ ගල් පළඳින බවද පැවසේ. නයි හිසකට සමාන කරන රාහුට අයත් ගෝමේද පැළඳීම දැලි පිහියෙන් කිරි කෑමක්‌ මෙන්ම නයා වැරදි කොනින් අල්ලා ගැනීමක්‌ බවද ජනප්‍රවාදයේ පැවසේ. ජ්‍යෙdතිෂවේදීන් පවසන්නේ ගෝමේද මැණික්‌ ගල් පැළඳීම නිසි ක්‍රමවේදයක්‌ අනුව කළ යුතු බවය. ස්‌ත්‍රීන්ගේ වමතේ සුලැඟිල්ලට ද පුරුෂයන්ගේ දකුණතේ සුලැඟිල්ලටද, වර්තන අංශක 45 ට අඩුවෙන් හෝ වැඩියෙන් කැපීම කළ ගෝමේද පැළඳීම යෝග්‍ය බව ජ්‍යෙතිෂවේදීන්ගේ මතයයි.

ඒ විතරක්‌ නොව ජ්‍යෙතිෂයේ පවසන ආකාරයට ආවට ගියාට නොව හොඳ අවබෝධයෙන් යුක්‌තව ගෝමේද මැණික්‌ ගල් පැළඳිය යුතුය.
divaina.com


More News »