වන සංරක්‍ෂණයේ දිගම්පතහ තේක්‌ක කැළයට දඹුල්ල නගර සභාව කසළ බැහැර කරයි ..වන අලි ප්‍රශ්නය උග්‍රවේ

2017-02-28 10:17:00       659
feature-top
දඹුල්ල දිගම්පතහ තේක්‌ක කැළයට දඹුල්ල නගර සභාවත් රාත්‍රි කාලයේ කුණු බැහැර කරන බව අඩවි වන නිලධාරි ආර්. එම්. බණ්‌ඩාරනායක මහතා මාතලේ දිස්‌ත්‍රික්‌ පරිසර කමිටුවේදී පැවසීය. මාතලේ දිසාපති ඩී. පී. ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී එම කමිටුව ඉකුත් 14 වැනිදා රැස්‌විය.

බොහෝ පිරිස්‌ මාර්ගය දෙපස වාහන නවත්වා මාර්ගයේ සිටම කුණු කැළයට විසිකරන බව පැවසූ ඒ මහතා කුණු කන්නට වන අලි රැස්‌වන බව පැවසීය. එම අලි බලන්නට නවත්වාගෙන සිටින වාහනවල අධික වේගයෙන් ධාවනය වන වෙනත් වාහන ගැටී අනතුරු සිදුවන බව පැවසූ ඔහු දිගම්පතහට විශේෂ වැඩපිළිවෙළක්‌ යෙදීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කළේය.

නගර සභාවම රාත්‍රි කාලයේ කුණු බැහැර කර දිගම්පතහ කසළ කළමනාකරණයක්‌ ගැන සිතන්නෙවත් නැතැයි හෙතෙම පැවසීය. දිසාපති ඩී. පී. ජී. කුමාරසිරි මහතා දඹුල්ලේ කුණු බැහැර කිරීමට සෙවූ ඉඩම තවමත් ලැබුණේ නැත්දැයි ප්‍රශ්න කළේය. නගර සභාවේ නිලධාරියෙක්‌ පැවසුවේ ඒ සඳහා යෝජිත ඉඩම ලබාදීමට වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අකමැති බවය. එම ඉඩම දෙනවාට ජනතාවත් විරුද්ධ බවද ඔහු පැවසීය.

අතිරේක දිසාපති ඉෂාන් විජයතිලක මහතා පැවසුවේ මෙම ප්‍රශ්නය විසඳීමට දිගම්පතහ ප්‍රදේශයට පොලිස්‌ මුරපොළක්‌ ආරම්භ කළ යුතු බවය.
 
divaina.com


More News »