ඔන්ලයින්’ නිසා සරසවි දොර වැසුණු සෞම්‍යාගේ කඳුළු කතාව

2017-02-21 09:39:00       582
feature-top
අහසක් උසට දුක් උහුලන අම්මාත්, තාත්තාත් ගැන සෞම්‍යාගේ හිතේ හැමදාමත් තිබුණේ දුකකි. මහ ‍පොළොව සමග හැපී සෞම්‍යාගේත්, මල්ලීගේත් ජීවිත ලස්සන කරන්නට වෙහෙසන ඔවුන් දෙදෙනාට සැප දෙන්නට එන දිනයක් ගැන සෞම්‍යා සිහින මැව්වාය. ඉගෙනීමට දක්ෂියක වූ සෞම්‍යා ඒ නිසාම ඉලක්කයක් තබාගෙන සිටියා ය. ඒ විශ්වවිද්‍යාලයට ගොස් උපාධියක් ලබා හොඳ රැකියාවක් කිරීමටයි. සෞම්‍යාගේ පැත්තෙන් බැරි අමාරුකම් මැද්දේ වුවද ඈ ඒ අරමුණුවලට මග සකසා ගෙන ආවාය.

ඒත් විභාග ප්‍රතිඵලවලින් හොඳම සුදුසුකම් තිබියදීත්, මොකක්දෝ අවාසනාවකට සෞම්‍යාට විශ්වවිද්‍යාල වරම් අහිමිව තිබුණි. ඒ උසස් පෙළ විභාග ඉතිහාසයේ පළමුවරට අන්තර්ජාලය හරහා උපාධි පාඨමාලාවට ලියාපදිංචි වීමට යාමෙනි. නමුත් තවමත් විශ්වවිද්‍යාලයට යෑමේ බලා‍පොරොත්තුව ඈ හිතමතය. ඒ අවසන් මොහොතේ හෝ අහිමි වී ගොස් ඇති විශ්වවිද්‍යාල වරම් ඇයට ලැබෙතැයි කියා ය.

ආර්. එම්. සෞම්‍යා උදේශිකා උපන්නේ මොනරාගලින් ඈත කොටුමුදුන ඇළේලන්ද ගමේය. හේන්, කුඹුරු ගොවියන් වූ කල්‍යාණි හේමලතාගේත්, ආර්. එම්. ජයසූරියගේත් වැඩිමල් දියණිය වූ සෞම්‍යාගේ එකම මල්ලී ආර්. එම්. සංජීව ප්‍රියදර්ශනයි.

“අපේ ගම දුෂ්කරයි, වගේම අපි ජීවත් වෙන්නේ හරිම අගහිඟතා මැද්දේ. හේන් කුඹුරුවලින් ලැබෙන ආදායම ගැන කොයි කාලෙකවත් විශ්වාස තියන්න බෑ. අපි සමහරදාට තුන්වේල කන්න හොයා ගන්නෙත් අමාරුවෙන්. ඒ වගේ තත්ත්වයකින් ජීවත් වෙද්දී ඉගෙනීමට කියලා අමතරව වියදම් කරන්න කිසිම මුදලකුත් තිබ්බේ නෑ, අමතර පන්තියකට යන්න තියා ඇඳුමක් ගන්නවත් විදිහක් නෑ. මට ඉස්කෝ‍ලේ අඳින්න ඇඳුම් දෙකයි තිබුණේ. අලුත් ඇඳුමක් ගත්තෙ සිංහල අවුරුද්දකට විතරයි. ඒ වගේ දුෂ්කරතා මැද්දේ කොටමුදුන ඉස්කෝලෙට ගිහින් පළමුවැනි වතාවට උසස් පෙළ විභාගෙට ලිව්වේ 2014 අවුරුද්දේ. ඒත් මට බලා‍පොරොත්තු වුණ ප්‍රතිඵල තිබ්බේ නෑ.

ඒ, සාමාර්ථයයි, බි සාමාර්ථයයි, සී සාමාර්ථයයි තිබුණේ. ආයෙත් මම ගෙදරට වෙලා පාඩම් කරලා 2015 ත් විභාගෙට ලිව්වා. ඒ වතාවේ මට ඒ සාමාර්ථ තුනක් ලැබුණා.”
සෞම්‍යා මෙන්ම ඒ ප්‍රතිඵල ගැන ඇගේ පාසල වූ කොටුමුදුන මහා විද්‍යාලයත් ආඩම්බර වුණේය. ඒ වසර පහකට කොටමුදුනෙ පාසලෙන් විශ්වවිද්‍යාලයට යන්නට කෙනකු සුදුසුකම් ලබා තිබූ නිසාය. ප්‍රතිඵලවලට අනුව සෞම්‍යා දිස්ත්‍රික්කයෙන් 121 වැනියා වූ අතර ඇගේ ඉසෙඩ් අගය වූයේ 1.47 කි.

“විශ්වවිද්‍යාලය සඳහා ඉල්ලුම් කිරීමේ අත්‍පොත නිකුත් වුණාම රුපියල් 500 ක් දීලා කඩෙන් අරන් ආවා. ඒකේ අයදුම්පත සම්පූර්ණ කරලා ලියාපදිංචි තැපෑලෙන් යැව්වා.
විශ්වවිද්‍යාලයට තේරෙයි කියන විශ්වාසයෙන්ම හිටපු හින්දා ඒ බව දන්වන කල් අම්මටයි, තාත්තටයි හේන් කුඹුරු වැඩවලට උදව් කරගෙන හිටියා. ගිය අවුරුද්දේ ඔක්තෝබර් 19 වැනිදා මට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ලියුමක් ලැබුණා, කැලණිය විශ්වවිද්‍යා‍ලේ උපාධිය හදාරන්න මාව තෝරාගත් බවත්, එම තෝරා ගැනීම භාරගන්නවා නම් ලියාපදිංචි විය යුතු බවත් දන්වලා.

අවසාන දවස ලෙස දක්වලා තිබුණේ ඔක්තෝබර් 21 වැනිදා. මටම නියමිත අනු අංකයක් යටතේ ඔක්තෝබර් 21 වැනිදාට කලින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වබේ අඩවියේ ලියාපදිංචි වෙන හැටි ලියුමේ දක්වලා තිබුණා.”

ලියුම දුටු සෞම්‍යාගේ මුහුණේ දහසකුත් මල් පිපුණා සේම ඈ මුහුණ පෑ ප්‍රශ්නයක්ද විය. කොටමුදුන ගමට අන්තර්ජාල පහසුකම් තබා ජංගම දුරකථනයක් වත් වැඩ කළේ නැත. ඒ නිසා පස්සර නගරයේ අන්තර්ජාල පහසුකම් ඇති කොමියුනිකේෂනයක් වෙතට පසුදාම ඇය ගියා ය. ඒ අදාළ ලියකියවිලිද රැගෙනය.

“ලියුමෙ තිබුණ උපදෙස්වලට අනුව කොමියුනිකේෂන් හිමිකරු තමයි මගේ විස්තර සම්පූර්ණ කරලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වබේ අඩවියට යොමු කළේ. ඊට පස්සෙ ‘ඕකේ’ කිව්වා. මේ විදිහට ඔන්ලයින් යටතේ විශ්වවිද්‍යාලයට ලියාපදිංචි කරවා ගත්තු මුල්ම අවුරුද්ද ඒක.

ඒත් එක්කම තිබුණා මගේ පාඨමාලාවට අදාළ ගාස්තු ලංකා බැංකුවට ගෙවලා, ඒ රිසිට්පත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු බව දන්වලා. මම රුපියල් 50 ක් ලංකා බැංකුවේ අදාළ ගිණුම් අංකයට ගෙවලා ඒ රිසිට්පතත් තැපෑලෙන් යැව්වා. එදාම ඊට පස්සේ මම යළිත් ලියුමක් එනතුරු බලාගෙන හිටියා.”

2016 දෙසැම්බර් මාසේ දවසක සෞම්‍යා පස්සර නගරයට ගිය අවස්ථාවක වෙනත් පාසලක දන්නා හඳුනන මිතුරියක් හමුවිය.

“එයා මගෙන් ඇහුවා විශ්වවිද්‍යාලෙට ලියාපදිංචි කරගත්ත ලියුම ආවද කියලා. එයාගේ යාළුවෙකුට නම් ඒ ලියුම ඇවිත් තිබුණා කිව්වා. දෙසැම්බර් මාසේ ඒ අය කැලණිය විශ්වවිද්‍යා‍ලේ ලියාපදිංචිවෙලා තියෙනවා කියලත් කිව්වා. මම ගෙදර ඇවිත් කලින් අවුරුද්දක කැලණිය විශ්වවිද්‍යාලයට ගිය දන්නා අඳුරන ළමයෙක්ට කතා කරලා ඒ ගැන ඇහුවා. එයත් කිව්වා දෙසැම්බර් 20 වගේ දවසක ඒ ළමයි ලියාපදිංචි වුණා කියලා. මට ලියුමක් ආවේ නැති බව කිව්වම කල් දාන්නේ නැතිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ගිහින් කතා කරන්න කිව්වා. මම පහුවදා ජනවාරි 24 වැනිදා ඉස්කෝලෙටත් ගිහින් එදා රෑ බස් එකෙන් මල්ලිත් එක්ක කොළඹ ආවා.”

කොටමුදුනේ ඇළේලන්දේ ජීවත් වූ සෞම්‍යා කොළඹ කාරණා කටයුතු සිදුවන ආකාරය දැන සිටියේ නැත. ඒ නිසා පියාගේ සහෝදරයකු වූ හිමිනමක් විසූ ජාඇල පන්සලකට ගොස් ඒ හාමුදුරුවන් සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ගොස් ඇත.

විමසීම් අංශයෙන් අපට කොතැනකට යන්නවත් කව්රුවත් හම්බ වෙන්නවත් ඉඩ දුන්නේ නෑ. එදා සභාපතිතුමා නෑ කිව්වා. ඇවිල්ලා ඉන්නේ හාමුදුරු නමක් නිසා සැලකීමක් වශයෙන් සභාපති හමුවෙන්න කියලා පහුවදා හවස 1.30 න් පසුව වේලාවක් ලැබුණා.

ආයෙත් අපි පහුවදා ඒ වෙලාවට ඇවිත් සභාපතිතුමා හමු වුණා. මම මගේ විස්තරේ කිව්වා. මම බැංකුවෙන් සල්ලි අරන් එවපු ලියුමේ රිසිට්පත් එහෙමත් පෙන්නුවා. මගේ ලියාපදිංචිය තහවුරු වෙලා නැති හින්දයි මට ලියුම ලැබිලා නැත්තේ කිව්වා. දැන් අපිට කරන්න දෙයක් නෑ කිව්වා. මේ වෙද්දී විශ්වවිද්‍යාලවල පුරප්පාඩුත් නෑ කිව්වා. ඒ නිසා ආයෙත් විභාගෙට ලියලා විශ්වවිද්‍යාලෙට එන්න කිව්වා. ඒත් එක්ක කිව්වා සලකලා බලන්න කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න අභියාචනයකුත් දෙන්න කියලා. මම ඒ වෙලාවෙම අභියාචනයක් ලියලා ‍ලේකම්ගේ අතට දීලා ආවා.’

ජනවාරි 27 වැනිදා යළි ගෙදර පැමිණි සෞම්‍යා කල් ගත කළේ කනස්සල්ලෙනි. ඇය අන්තර්ජාලය හරහා ලියාපදිංචිය සිදු කළ පස්සර නගරයේ කොමියුනිකේෂන් එකටද ගියාය. ඔහු ඒ වරද ඔහු අතින් සිදු වූ බවට පිළිගැනීමට සූදානම් නැත.

“ඔහු කිව්වා මගේ එක විතරක් නෙවේ, තවත් ළමයි ගොඩකගේ ලියාපදිංචිය ඔය වගේ කළා කියලා. මගේ එක විතරක් වරදින්න විදිහක් නෑ කියලා. ඒ අතරේ මට සිදුවුණ අසාධාරණය ගැන මාධ්‍යවල වාර්තා වුණා. ඒක දැකලා ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් කතා කළා. මගේ විස්තර ලියලා ෆැක්ස් එකක් එවන්න කිව්වා. මම ඒ ෆැක්ස් එකත් යැව්වා. එස්. බි. දිසානායක ඇමැතිතුමත් මගේ ප්‍රවෘත්තිය දැකලා මට කතා කළා. මේ ප්‍රශ්නෙ ගැන සාකච්ඡා කරලා තියෙන්නේ කොමිසමට ගිහින් විස්තර කියන්න කිව්වා.

මම ආයේ පෙබරවාරි 13 වැනිදා විශ්වවිද්‍යාල කොමිසමට ඇවිත් ‍ලේඛකාධිකාරීතුමා හමුවුණා. මගේ අභියාචනය කොමිසමට ඉදිරිපත් කරන්නම් කියලා තමයි කිව්වේ. ඒත් මට තවම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දුන්න අභියාචනයටවත් ජනාධිපති කාර්යාලයට යැව්ව ෆැක්ස් එකටවත් උත්තරයක් නෑ.

නවීන තාක්ෂණය ගමට නැති නිසා පස්සර නගරයේ කොමියුනිකේෂන් එකෙන් සිදුවුණ වැරැද්දට දඬුවම් ලැබුණේ මටයි. අඩුම තරමේ පළමුවැනි වතාවට ළමයින් ඔන්ලයින් ලියාපදිංචි කරගත්ත අවස්ථාවේ ළමයින්ට වැරදුණොත් දෙන විසඳුමකුත් කරලා තිබුණා නම්, මමත් අද විශ්වවිද්‍යාලෙ ලියාපදිංචි වෙලා, මං අදටත් විශ්වාස කරනවා, මගේ අභියාචනය පිළිඅරන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මට අවස්ථාවක් දෙයි කියලා.

අපි ජීවත් වෙන්නේ දුෂ්කරතා මැද්දේ. ඉගෙන ගත්තේ දුෂ්කරතා මැද්දේ. ඒ තරම් අමාරුවෙන් විභාගෙ පාස් වෙලත් විශ්වවිද්‍යා‍ලේ දොරටුව වැසීම ගැන හිතේ තියෙන්නේ දරාගන්න බැරි දුකක්.

මං ආයේ විභාගේ කරන්නේ නෑ. අමතර පන්ති යන්නවත් මුදලක් මට නෑ. මම විශ්වවිද්‍යාලයට නොතේරුණොත් කවදා හරි රස්සාවක් ලැබෙනකල් අම්මායි, තාත්තයි එක්ක ගොවිතැන් කරනවා.”

සෞම්‍යා උදේශිකා කියන්නා සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් හෝ ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් ඇයට සිදු වූ අසාධාරණයට සාධාරණ විසඳුමක් ලැබුණහොත් ඇයටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබිමේ භාග්‍යය ලැබෙනු ඇත. නැතිනම් ඇගේ සිහින වියළි ‍පොළොවට යටකර මව්පියන් හා මහ ‍පොළොව සමග සටන් කර ජීවිත සටන ගෙන යන්නට එක්වනවා හැර ඇයට ගම රැඳී වෙන කරන්නට දෙයක් නැත. එසේ වුවහොත් උපාධියක් ලැබ හොඳ රැකියාවක් කිරීමට දක්ෂතා ඇති සෞම්‍යාගේ අනාගතය ඈත දුෂ්කර ගමක ගොවිබිමක සිරගත වනු ඇත.
විය යුත්තේ එය නොවේ. සෞම්‍යා කියන කතාවට අනුව ඇය අත වරදක් නැත. දැඩි දුෂ්කරතා මැද්දේ වුවද විශ්වවිද්‍යාලයට යන්නට ඇය විභාගය සමත් වුණාය. ඇයට විශ්වවිද්‍යාල වරම් අහිමි වූයේ කොතැනක හෝ වරදක් සිදුව ඇති නිසාය. සෞම්‍යාගේ කතාවට අනුව වරද සිදුව ඇත්තේ ඈ අතින් නොවන බවට ඕනෑම අයකුට වැටහේ. අන්තර්ජාල පහසුකම් නැති ගමක ජීවත් වූ සෞම්‍යා පස්සර නගරයේ අන්තර්ජාල කඩයෙන් යොමු කළ ලියාපදිංචිය හරිහැටි නොවී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සභාව කියන්නේ නම් එයට කඩ හිමියා මෙන්ම යම් තරමකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමද වගකිව යුතුය. මන්ද අන්තර්ජාලයෙන් විශ්වවිද්‍යාලයට ලියාපදිංචිය අරඹා ඇත්තේ සෞම්‍යා විභාගයට ලියූ වසරේ නම් එවිට එය නවමු ක්‍රියාවලියක් නිසා ළමයින්ට වැරදිය හැකි බවටත්, සෞම්‍යලා වැනි ඈත දුෂ්කර නවීන තාක්ෂණය නැති ඒ ගැන දැනුමක් නැති ගම්වල ළමයිනුත් සිටින බවටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුමාන කරන්නට ඉඩ තිබුණි. එසේ වැරදීමක් සිදු වුණහොත් එවන් ළමයකුට සාධාරණයක් කළ හැකි වැඩපිළිවෙළක්ද මේ සමග සකසන්නට තිබුණි. එසේ වූවා නම් සෞම්‍යාට අද මෙසේ ලතැවුලින් කතා කරන්නට ද සිදු නොවනු ඇත.

බියංකා නානායක්කාර
වැල්ලවායේ ජී. ඉන්දික

Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks

More News »