යාල බෝක්කුවක් තුළ සිටින කොටියා ඡායාරූපයට නැගුවේ කවුද ?

2017-02-16 11:12:00       584
feature-top
යාල ජාතික වනෝද්‍යානයේ සංචාරක ආකර්ෂණය වඩාත්ම දිනාගන්නා සත්ත්ව විශේෂය වන්නේ කොටියන්ය. ලංකාවේ වාර්තා වන විශාලම බිළාලයා වන්නේද කොටියාය. විද්‍යාත්මකව Panthera pardus kotiya ලෙස හඳුන්වන මෙම උප විශේෂය ලංකාවට ආවේණිකද වේ. වඳවීමේ පියස්සේ සිටින කොටි පිළිබඳව මීට වඩා පිළිගත් සංරක්ෂණ ක්‍රමවේදයක අවශ්‍යතාවක්ද පවතී.

පසුගිය කාලය තුළ යාල ජාතික වනෝද්‍යානය ඇතුළත පමණක් කොටි හයදෙනකු පමණ අපරීක්ෂාකාරී සංචාරක ජීප් රථවල වැදී මියගිය බව රහසක් නොවේ. එහෙත් එම වැරදි කළ චූදිතයන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූයේද යන්න ගැටලුවකි. මීට මාස කීපයකට පෙරද කොටියකු අනතුරකට ලක් කළ ප්‍රවෘත්තියක් වාර්තා වුවද එයට අදාළ නිසි සාක්ෂ්‍ය නොමැති වීමෙන් වනජීවී පරීක්ෂණ ඉදිරියට කරගෙන යෑමට නොහැකි විය. එයද කනගාටුවකි.

මෙවැනි පසුබිමක් තිබියදී තවත් අමුතුම ආකාරයේ ඡායාරූපයක් පසුගියදා අපට ලැබිණි. එය යාල ජාතික වනෝද්‍යානයේ මේනට් වැව ආසන්නයේ පිහිටා තිබෙන බෝක්කුව ඇතුළත ලබාගත් ඡායාරූපයකි. එම ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කොටියකුද එහි සිටින ආකාරය දිස්වේ. එම ස්ථානයේ ඡායාරූපයක් ගැනීමට නම් වාහනයෙන් බිමට බැස මඳක් මාර්ගයෙන් පිටතට යා යුතුය. යාල නීතිරීතිවලට අනුකූලව එය කිසිසේත්ම කළ නොහැක්කකි.
සාමාන්‍යයෙන් මිනිසා දුටු විට මගහැර යෑම කොටියාගේ සිරිතය. එනමුදු කොටින් පහරදෙන අවස්ථාද නැත්තේ නොවේ. තම පැටවුන් සිටින අවස්ථාවක එම පැටවුන් ආසන්නයට යමෙක් පැමිණියහොත් කොටි දෙන පැටවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කිරීමට පසුබට නොවන්නීය. ආහාර සොයාගත නොහැකි දුර්වල කොටින්ද මනුෂ්‍යයින්ට පහරදීමට පෙලඹුණ අවස්ථා ඉන්දියාවේ වාර්තා වී ඇත. යම් තුවාලයක් වැනි වේදනාවකින් පෙළෙන අවස්ථාවකද කොටින් පහරදීමට පසුබට වන්නේ නැත. එසේ වුවත් බහුතර අවස්ථාවලදී කොටින් බලන්නේ තම ප්‍රතිවාදියා මනුෂ්‍යයකු නම් මගහැර යෑමටය. එවැනි ඉඩක් නැති ඕනෑම අවස්ථාවක කොටියාගේ පහරදීම මිනිසාට මරණීය තුවාල සිදු කරන්නක් බව බොහෝදෙනා දන්නේ නැත. එය එතරම්ම බිහිසුණු, ශක්තිමත්, නොවරදින ප්‍රහාරයකි.

බෝක්කුව ඇතුළත සිටින කොටියාද සිටින්නේ ඉතා කලබල සහිත මනසකිනි. එවැනි කොටියකු ළඟට යෑම යනු ස්ථිර වශයෙන්ම එම කොටියාගේ ප්‍රහාරයට ලක්වීමේ අවදානම භාරගැනීමකි. යාලදී ලබාගෙන තිබෙන මෙම ඡායාරූපයෙන් පෙනී යන්නේද එම ඡායාරූපය ලබාගත් පුද්ගලයා මරණීය අනතුරක් ආසන්නයටම ගිය බවකි. තව තත්පර කීපයක් එහා මෙහා වූවා නම් එම සංචාරකයාගේ හෝ ජීප් රථ රියැදුරාගේ ජීවිතය මරණයෙන් කෙළවර වීමට ඉඩ තිබිණි.
මෙහි ගැටලුව වන්නේ එය පමණක්ම නොවේ. මෙවැනි ඡායාරූපවලින් පෙනී යන්නේ යාල ජාතික වනෝද්‍යානය තුළ වනජීවීයේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට  බරපතළ බාධක පවතින බවකි.
කොටියකු ඉන්දියානු ‍පොලිස් නිලධාරියකුට පහර දෙන ආකාරය
කොටියකු ඉන්දියානු ‍පොලිස් නිලධාරියකුට පහර දෙන ආකාරය

වර්තමානය වනවිට යාල ජාතික වනෝද්‍යානය භාරව කටයුතු කරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින දක්ෂ, අවංක නිලධාරියකු ලෙස කා අතරත් නමක් දිනාගෙන සිටින මහත්මයෙකි. මෙවැනි අය අද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින්නේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන් බව කිව යුතුය. දිනකට සංචාරකයන් දහස් ගණනක් ඇතුළු වන වනෝද්‍යානයක නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම සුළුපටු කරුණක් නොවේ. විශේෂයෙන්ම ඒ සඳහා අවශ්‍ය භෞතික සම්පත්වල හා මානව සම්පත්වල හිඟයක් පවතින අවස්ථාවක එය කිරීම බෙහෙවින් අසීරු කටයුත්තකි. යාල උද්‍යාන භාරකාරවරයාද එකී දුක්ඛදායක යථාර්ථයට මුහුණ දී තිබෙන බව අප දන්නා කරුණකි. එනමුදු රටේ හදවත බඳු මෙවැනි මිල කළ නොහැකි සම්පත් හිපියන්ගේ මනදොළවල් සන්සිඳුවීම පිණිස යෙදවීම අනුමත කළ නොහැක්කකි. මේ පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුයැයි අප වගකීමෙන් අවධාරණය කරන්නේ ඒ නිසාය.
ඓතිහාසික සිතුල්පව්ව විහාරස්ථානය හා ඒ අවට ඇති හමුදා කඳවුරුවලින් අලි ඇතුන්ට කෑම දීම කලක සිටම දක්නට ලැබුණකි. එහෙත් එහි අනිසි ප්‍රතිවිපාක මේ වනවිට එම අලි ඇතුන්ට සේම එම ප්‍රදේශවල සංචාරය කරන බැතිමතුන්ට විඳීමට සිදුවී තිබෙන බව පෙනෙන්නට ඇත. මෙවැනි දේ සම්බන්ධයෙන් වනජීවී නීතිය ක්‍රියාත්මක කිරීමට අසීරු වීමට බලපා තිබෙන හේතු කීපයකි.  ගඳ ගහන දේශපාලකයන්ගේ ඉහඳ පණුවන් බුදින ඇතැම් ආගමික රාමුවලට මුවාවුණු තක්කඩින් එයට එක් ප්‍රමුඛ හේතුවකි. වර්තමාන විගණකාධිපතිවරයා වැනි කොන්ද පණ තිබෙන රාජ්‍ය නිලධාරීන් නොමැති වීම තවත් හේතුවකි.

වනාන්තරවල ජීවත්වන කිසිදු සතෙකුට බාහිරව ආහාර ලබාදීම ෙජෙව විද්‍යාත්මකව බරපතළ ව්‍යසනයකට පාර කැපීමකි. මක් නිසාදයත් එලෙස ආහාර ලබාදීමෙන් සිදුවන්නේ එම සමස්ත සත්ත්ව ප්‍රජාවම ඉතා කෙටි කාලයක් ඇතුළත මියයෑමය. බුදුදහම අනුවද මෙය අකුසල් රැස් කරන ක්‍රියාවකි. එහෙත් අභාග්‍යයකට බුදුදහම යැයි සිතා වෙනත් මිථ්‍යා දෘෂ්ටික සංකල්පවල එළැඹ සිටින ඇතැම් හිමිවරු සේම බැතිමත්හුද මේ වරද දැන හෝ නොදැන සිදු කරති. ඔවුහු මතු ආත්මවලට අකුසල් රැස් කරති.

කෙසේ වුවත් අවසානයේ සිදුවෙමින් තිබෙන්නේ අනාගත පරපුරෙන් අප ණයට ලබාගත් මිල කළ නොහැකි කාලාන්තරයක් තිස්සේ අපට විදේශ විනිමය උපයාදෙන මේ සම්පත් දිනෙන් දිනම වියැකී යෑමය. අතීතයේ සේද මාවතේ මුතු පබළුව ලෙස විරුදාවලිය ලත් අප දේශය මේ හේතුවෙන් අනාගත ලෝකයේදී අඳුරු කළු ලපයක් වෙමින් තිබෙන බව නම් පැහැදිලි කරුණකි.



Wmqgd .ekSu /�K mqj;am; weiqfrks

More News »