අන්තර්ජාතික පාවහන් හා සම්භාණ්ඩ දැක්මේ දී උතුරේ ගෘහ නිෂ්පාදකයන්ට විශේෂ තැනක්

2017-02-08 11:41:00       660
feature-top
ශ්‍රී ලංකාව ද වසරින් වසර මේ අංශයේ අපනයන ආදායම වැඩිකර ගෙන තිබේ. 2015 දී පාවහන් සහ සම්භාණ්ඩ අපනයනයේ වටිනාකම රුපියල් දසලක්ෂ 18397කි.

අන්තර්ජාතික 9 වන පාවහන් සහ සම්භාණ්ඩ දැක්ම (LEATHER 2017) පෙබරවාරි 03, 04, 05 යන තෙදින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.

උතුරු නැගෙනහිර යුද ගිනි නිවී යෑමෙන් පසු කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදනයට පුහුණු කරවන ලද ගෘහාශ්‍රිත ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ද මේ ජාත්‍යන්තර වෙළෙඳ දැක්මට ඉදිරිපත් කිරීම මේ ප්‍රදර්ශනයේ විශේෂත්වයකි.

කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ පාවහන් හා සම්භාණ්ඩ අංශයේ උපදේශක, එම මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ එල්. පී. එස්. කරුණාදාස මහතා පවසන අන්දමට මේ ගෘහාශ්‍රිත පාවහන් නිෂ්පාදකයෝ යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්ක නියෝජනය කරති.

වෙළෙඳ කුටි 225 කින් සමන්විත වෙළෙඳ දැක්මේ වෙළෙඳ කුටි 40ක් චීන, ඉන්දියා සහ ඉන්දියානු සමාගම් විසින් වෙන්කර ගෙන ඇත. පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය නවීනතම යන්ත්‍ර සූත්‍ර සහ පාවහන් නිෂ්පාදනයේ නවතම ශිල්පීය ඥානය ගැන ශ්‍රී ලංකා ව්‍යවසායකයනට අවබෝධයක් ලබා ගැනීමට එමඟින් අවස්ථාව ලැබේ.

කරුණාදාස මහතා පවසන අන්දමට මහා පරිමාණ, මධ්‍යම පරිමාණ හා සුළු පරිමාණ යන නිෂ්පාදන මට්ටම් තුනක ව්‍යවසායකයෝ මෙහිදී සිය නිෂ්පාදන ඉදිරිපත් කරති. පසුගිය වසරේ පැවැති ප්‍රදර්ශනයට සහභාගි වූ විදේශීය ව්‍යාපාරිකයෝ ශ්‍රී ලංකාවට ඇණවුම් රාශියක් ලබා දුන්හ. මෙවර ද විදේශීය ගැනුම්කරුවෝ රාශියක් පැමිණීමට නියමිතය. 2016 සම්භාණ්ඩ ප්‍රදර්ශනයේ දී බටහිර රටවලට අමතරව ඕමානය සහ කෙන්යාව ද ශ්‍රී ලංකා නිෂ්පාදන පිළිබඳව උනන්දු වූහ. ඇණවුම් ද ලබා දුන්හ.

පාවහන් සහ සම්භාණ්ඩ සඳහා වන ලෝක ඉල්ලුම වසරින් වසර වැඩෙමින් පවතී. දැන් මේ ඉල්ලුම සපුරාලීම සඳහා ද සම් පදම් කිරීම සඳහා ද දැඩි තරගයක් පවතී. වෙළෙඳ පොළ දිනාගැන්මට ද දැඩි සටනකි.

ශ්‍රී ලංකාව ද වසරින් වසර මේ අංශයේ අපනයන ආදායම වැඩිකර ගෙන තිබේ. පාවහන් සහ සම්භාණ්ඩ අපනයනයේ වටිනාකම 2015 දී රුපියල් දසලක්ෂ 18397 කි. අවුරුදු 5කට පෙර 2010 දී සම්භාණ්ඩ හා පාවහන් අපනයනයෙන් උපයා ගත් ආදායම රුපියල් දසලක්ෂ 7198 ක් පමණි.

එහෙයින් ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ නිෂ්පාදකයනට ඔවුන්ගේ භාණ්ඩ අපනයනකරුවනට හඳුන්වා දීම පිණිස මෙම වෙළෙඳ දැක්ම නව ප්‍රවේශයක් ලබා දෙයි. ශ්‍රී ලංකාවේ සුළු කර්මාන්ත ශ්‍රේණියට අයත් වන පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංඛ්‍යාව 3000ක් පමණ වේ. ප්‍රධාන කම්හල් 10 කි. මධ්‍යම පරිමාණයේ කර්මාන්තශාලා 30 කි. සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ ඍජු රැකියා ප්‍රමාණය 40,000ක් පමණය.

මේ කර්මාන්තයේ කැපී පෙනෙන අංශයක් නම් මහා පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් කොන්ත්‍රාත් ගෙන කටයුතු කරන ව්‍යවසායකයන් රාශියක් නිෂ්පාදනයට හවුල් වීමයි. මෙවර ප්‍රදර්ශනයේදී සුළු ව්‍යාපාරිකයකුට, මධ්‍යම ව්‍යාපාරිකයකුට, මහා පරිමාණ ව්‍යාපාරිකයකුට සහ අවසාන වශයෙන් ගෘහාශ්‍රිතව නිෂ්පාදකයකුට පවා අවශ්‍ය වන දැනුම හා ව්‍යාපාරික සබඳතා ලබා ගැනීමට ඉඩ පහසුකම් සලසා ඇතැයි කරුණාදාස මහතා කියයි.

කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය ඒකාබද්ධව මේ වෙළෙඳ ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙන්නේ නවවැනි වතාවටය.

කාර්මික සංවර්ධන මණ්ඩලයේ කාර්ය භාරය ගැන සඳහන් කළ එහි උපදේශක කරුණාදාස මහතා පවසන අන්දමට “කාර්මික සංවර්ධන මණ්ඩලයේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ පුහුණුව ලත් 3000ක් පමණ ගෘහ කර්මාන්ත ලාභියෝ දැනට මේ කර්මාන්තය ජීවනෝපාය කරගෙන සිටිති.

මුලතිව්, කිලිනොච්චි, වවුනියාව, යාපනය යන දිස්ත්‍රික්කවල පවත්වන ලද පුහුණු වැඩසටහන් රාශියකදී උතුරේ කාන්තාවෝ විවිධ නිෂ්පාදන සඳහා කුසලතා ලබා ගත්හ. දැන් ඔවුහු එමඟින් යැපෙති.

සපත්තු, සෙරෙප්පු, කාන්තා අත්බෑග්, අත් ආවරණ, බූට් සපත්තු, සංචාරක ගමන් මලු, පසුම්බි, ආරක්ෂණ සපත්තු ආදිය ද හම් පටි ආදිය ද ඒ අතර වේ. එසේම රෙක්සින් අමුද්‍රව්‍ය වශයෙන් භාවිත වන තවත් නිෂ්පාදන සඳහා මේ කාන්තාවෝ පුහුණුව ලදහ.

රැකියා දස ලක්ෂයක් සපයා ගැනීම ආණ්ඩුවේ අපේක්ෂාවයි. ඒ සඳහා කර්මාන්ත අංශය යොදා ගැනීමට කාර්මික සංවර්ධන මණ්ඩලය උපකාර කරනවා. අවශ්‍ය නිෂ්පාදන තාක්ෂණය මෙන්ම අමුද්‍රව්‍ය සපයා ගැනීමටත්, කොන්ත්‍රාත් ක්‍රමයට ඇණවුම් සපයා දීමටත්, එම මණ්ඩලය සූදානමින් සිටිනවා යැයි උපදේශකවරයා කියයි.

සම්භාණ්ඩ සඳහා අවශ්‍ය වන ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ පදම් කළ සම් වර්ග කීපයකි. මේවා දේශීයව සපයා ගන්නා අතර ඉන්දියාවෙන් සහ අප්‍රිකා රටවලින් ද ආනයනය කර ගනු ලැබේ.

කොළඹ විවෘත පොළේ මෙන්ම ගාල්ල, මහනුවර ආදි ප්‍රදේශවලින් ද මිල දී ගැනීමට පිළිවන. එසේම සම් භාණ්ඩ කර්මාන්තයේ දී විශාල යන්ත්‍ර සූත්‍ර භාවිත කළ යුතු අවස්ථා ද තිබේ. එවැනි අවශ්‍යතාවකදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සතු යන්ත්‍ර සූත්‍ර කුලී පදනම මත ව්‍යවසායකයනට කුලියට ලබා ගැනීමට ද දැන් පහසුකම් තිබේ යැයි කරුණාදාස මහතා කියයි.

මෙම වෙළෙඳ දැක්මේ දී යම් ව්‍යවසායකයකුට විදේශ ඇණවුමක් ලැබුණහොත්, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු ඉටුකර දීමට අපනයන සංවර්ධන මණ්ඩලය සූදානමින් සිටී.

එසේම මහා පරිමාණ නිෂ්පාදකයන්ගෙන් ඇණවුම් ලබා ගැනීමට සුළු නිෂ්පාදකයනට අවස්ථාව හිමිකර ගත හැකි වේ. ව්‍යාපාරිකයනට තවත් ව්‍යාපාරිකයන් හඳුනා ගැනීමට ද අවස්ථාව හිමි වේ.

දැනට ගෘහාශ්‍රිත කර්මාන්තකරුවකු ලෙස කටයුතු කරන ගිරාදුරුකෝට්ටේ ජයමැණිකේ මහත්මිය කීවේ කාර්මික සංවර්ධන මණ්ඩලය ගිරාඳුරුකෝට්ටේදී පවත්වන ලද වැඩමුළුවකදී රෙක්සින් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව තමන් ඇතුළු කාන්තාවන් කණ්ඩායමක් පුහුණුව ලැබු බවයි.

කාර්මික සංවර්ධන මණ්ඩලය දුන් උපදෙස් මත දැන් තමන් විවිධ නිෂ්පාදන වෙළෙඳ පොළට හඳුන්වා දී ඇති බවත්, මහියංගනය, හසලක, පදියතලාව, පොලොන්නරුව ප්‍රදේශයන්හි තම නිෂ්පාදන අලෙවි කරන බවත් කීවාය.

දැනට භාවිත වන සත්ත්ව හම් මෙන්ම, විවිධ මසුන්ගේ හම් වර්ග ද භාවිත කර කාන්තා අත්බෑග් මුදල් පසුම්බි, අත්මේස් ආදිය ද නිෂ්පාදනය කිරීම වෙනත් රටවල දක්නට ලැබේ. එම අංශය ද පුළුල් කර මුලතිව් ප්‍රදේශයේ ධීවර කාන්තාවන් එයට සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බව කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ උපදේශකවරයා කියයි.

දේශීය සම් භාණ්ඩ හා පාවහන් කර්මාන්තය පිළිබඳව කතා කරන විට වියට්නාමය, බංගලිදේශය සහ චීනය යන රටවලින් සපත්තු කොටස් ගෙන්වා පසුව එකලස් කරන බව ද මෙය දේශීය නිෂ්පාදකයනට සිය නිෂ්පාදන අලෙවි කිරීමට බාධාවක් බව ද සුළු ව්‍යවසායකයෝ කියති. මේ හැර මෙවැනි සපත්තු සෙරෙප්පු වෙළෙඳ පොළේ ගොඩගසා ඇති බවට ද ඔවුහු චෝදනා කරති. 2011 - 2012 ද මේ තත්ත්වය පැන නැඟුණු බවත් වහා රජය මැදව ඊට පිළියම් යෙදු නිසා දේශීය පාවහන් කර්මාන්තය ආරක්ෂා වූ බව ද ඔවුහු කියති.

ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ සඳහා අවශ්‍ය පදම් කළ සම් ආනයනයට ආණ්ඩුව බදු සහන සපයා ඇති අතර සම් පදම් කිරීමේ ආයතන 11ක් දැන් සම් පදම් කිරීමේ නිරතව සිටිති. ඉදිරියේදී පශු කර්මාන්තය දියුණු වීමත් සමඟ දේශීය සම්භාණ්ඩ නිෂ්පාදනයට තව තවත් ඉඩකඩ සැලැසේ.

සපත්තු අඩි නිෂ්පාදන කර්මාන්තය ද දැන් දියුණු තත්ත්වයට පත්ව ඇත. දියුණු රටවල සපත්තු හා සම්භාණ්ඩ නිෂ්පාදනයේ නවීන තාක්ෂණය ද භාවිත කර ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ අංශය දියුණු කර ගැනීමට ද මේ වෙළෙඳ දැක්ම හේතු වේ.



Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks

More News »