බේත් ටිකක්‌ ගන්නවත් වත්කමක්‌ නැහැ
වල්පොලමුල්ලේ අපට වන්දි දෙන්න

2017-02-06 10:50:00       586
feature-top
වන්දියක්‌ දීමේ ඉල්ලීම ඉටුකරන්න පුළුවන්
ලග්ගල ප්‍රාදේශීය ලේකම් කියයි

රත්නින්දේ නව නිවසට ගොඩවැදුණු පසු විඡේමාමාත්, බිසෝ මැණිකා නැන්දාත්, අප සමඟ කතාවට එක්‌විය. ඔවුන් දෙපලට දරුවෝ සිව් දෙනෙකි. පිරිමි ළමුන් දෙදෙනාම ඇටන්වල පදිංචි හොඳ ගොවියෝය. එක්‌ පුතෙක්‌ වන කළු අයියා කිතුල් මැදීමේ ද දක්‌ෂයෙකි. ගැහැනු දරුවන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ කළු ගඟේ (ගමකි) ජීවත්වන අතර, අනෙකා රත්නින්ද ගමේ ජීවත් වන්නීය. දැන් තම අම්මාත්, අප්පච්චීත් ජීවත්වන්නට නිවසක්‌ තනා ගන්නට ඇය තමාගේ සැමියට අයත් තමන් ජීවත්වන ගෙවත්තෙන්ම ඉඩම් කොටසක්‌ දී තිබේ. මේ නිවසේදී බිසෝමැණිකා නැන්දාත් අපට කරුණු කීවාය.

"වල්පොලමුල්ල අප ඉපදුණු ගම. අපි ඒ ගම දාලා ආවෙ හිතකින් නෙමේ. අපි අපේ පාඩුවේ ගොවිතැන් කරලා අතට මිටට කීයක්‌ හරි හොයාගෙන ජිවත් වුණා. ඒත් දැන් එහෙ ඉන්නෙ කොහොමද? කුඹුරු ටික දැන් වල්වැදිලා. අපි මෙහාට ආපු හින්ද තරුණ කණ්‌ඩායම ගොවිතැනට එහෙ යන්නෙත් නෑ. අපේ කුඹුරු ටික වගා කරන්න නැතිව අපට කන්න දේකුත් නැහැ. දැන් අවුරුදු 3 - 4 ක්‌ වෙනවා. දැන්නම් හරි අමාරුවෙන් තමයි ජීවත් වෙන්නෙ. හැමදාම ළමයින්ට කරදර කරන්නත් බැහැ. එයාලටත් ජීවත්වෙන්න අමාරුයි. ගොවිතැන මේ සැරේ වැස්‌ස නැතිව හොඳටම අමාරුයි. ඉතින් අපි කන්නෙ කොහොමද? බේත් හේත් ටිකක්‌ ගන්නෙ කොහොමද? අපිට සමෘද්ධි දීමනාව ලැබෙනවා ඇත්ත තමයි. ඒත් අපි ඉල්ලන්නෙ අපි අපේ කුඹුරු වගා කරලා වතුපිටි වනාන්තර බොහොම උජාරුවට හිටිය මිනිස්‌සු. අපිට ඒ කුඹුරුවලට සාධාරණ වන්දියක්‌ ගෙවල ඕන නම් ඒව ගන්න කියලා. නැතිනම් අපිට ඒ ගැන සලකළ මොකක්‌ හරි වන්දියක්‌ දෙන්න කියලා."

ඒ යුවළම කියන්නේ ඒ කතාවය.

රත්නින්ද ගම්මානයේම කෙළවරක, එහෙත් කඳු මුදුනක වැන්දඹු රං මැණිකා නැන්දා දිවි ගෙවන්නීය. ඇයද දිවි ගෙවන්නේ තනිකඩවම වෙනම කුඩා ගෙයකය. ඒ නිවසට විදුලිය පහසුකම් නැත. ඇයගේ නිවස තනාගෙන ඇත්තේද දුව ලබාදුන් ඉඩම් කොටසකය. එහි අයිතියද දුවගේ සැමියාගේය. ඇය පවසන්නේත් දුවත්, බෑණාත්. රත්නින්දේම සිටින ඇයගේ පුතාත් තමන්ට උදව් උපකාර කරන බවකි. දරුවන් හය දෙනකුගේ මවක්‌ වන රංමැණිකා නැන්දා තම ස්‌වාමියා වන උක්‌කුරාල මියගියදා පටන් එදා වල්පොලමුල්ලේත් දැන් රත්නින්දේත් වෙසෙන්නේ හුදකලාවමය. වාසනාවකට මෙන් ඇයට ඇටන්වලින් වී පෑලක්‌ (බුසලක කුඹුරක්‌) ඉතිරිව තිබේ. එම කුඹුර අඳේට දීමෙන් අඳ ගොවියා ලබා ගන්නා වී වලින් (බුසල් 8) පංගුවක්‌ ඇයට ලැබේ.

එය ඇයගේ කෑමට, ඇඳුම්වලට, බේත්හේත්වලට යොදාගත්තත් මෙවර කන්නය පාළුය. ඇය කියන්නේද වල්පොලමුල්ලේ වී පෑල් හයට අනාගතයේදී කුමක්‌ වේදැයි තමන් නොදන්නා නමුත්, ඒවාට වන්දි ලෙස කීයක්‌ හෝ ලැබෙන්නේ නම් තම දූ දරු - මුණුපුරන්ට හෝ එය යහපත් වනු ඇති බවය.

මේ පවුල් සංස්‌ථාවේ වැඩිමලා කපිලරත්න මාමාය. ඔහුට සිදුවූ ඇබැද්දිය නිසාම වල්පොලමුල්ල ගම්මානය අතහැරිනි. ඒ අලියකුට බියවී දිව යද්දී ඔහුගේ කකුලේ අස්‌ථි බිඳී යැමය. එදා වල්පොලමුල්ලේ පවුලේa වැඩිමහල් හයිකාරයා ඔහු විය. මාපාහාමි මුත්තාගේ පරපුරේ දැවැන්ත චරිතයක්‌ වූ කපිලරත්න මාමා පොළොව සමඟ හෙට්‌ටුවී වී පෑල් හයක්‌ වැඩ කළ ශක්‌තිවන්තයෙකි. හේන්කොටා තල, මෙනේරි, කුරක්‌කන් වැපිරූ ජවසම්පන්න ගොවි රජෙකි. නැතිනම් කළුපානේ, තුන්නිස්‌ගල, දූවිලිඇල්ල වනාන්තරයේ කරක්‌ ගහපු වන සත්තු සමඟ හත්තිලම් ඇල්ලූ නිර්භීත මිනිසෙකි. ඔහු එදා අපට ලෙන්ගතුවූ වල්පොලමුල්ලේ ප්‍රතිමූර්තිය විය.

එහෙත්, ඒ වීර පුරුෂයා සොයාගෙන අප මැදඇළට ගියත්, ඔහුට දැන් කතා කරගත නොහැකිය. අප කියන දේ ඇසෙන්නේදැයිවත් අපට නොතේරේ. පුතාගේ නිවසේ දිවිගෙවන කපිලරත්න මාමාත්, ඔහුගේ බිරිඳ පිංචි අම්මාත් දැන් අනුන් දෙන දෙයකින් යෑපෙන, ජීවිතයේ සැඳෑ සමය ගෙවන උදවියයි. ගැටලුව නම් පවුලේ කී දෙදෙනක්‌ හිටියත්. මේ වැඩිහිටියන් තවමත් වල්පොමුල්ලේම ජිවත්වීමය. කතාකරන්නවත් නොහැකිව බලාගත් අත බලාගෙන පුටවක හිඳගෙන හිටි කපිලරත්න මාමාට අප වල්පොලමුල්ලේ අතීතය කියනවිට අප දෙස බලාගෙනම දෑසේ කඳුළු නංවාගෙන හැඬුවා මිස ඔහු ඊට පිළිවදන් දුන්නේ නැත. ඔහුගේ බිරිඳ පිංචි අම්මාද එදින නිවසේ නොසිටියාය. එදා එක පවුලක්‌ සේ හිටි සහෝදරවරුන් හා දරු මුණුපුර මිණිපිරියන් අද සීසීකඩ විසිර ගොසිනි. උදේ හවා දුටු සහෝදරයින් එකකුවත් අද ඔහුට දැකගන්නට ළඟපාත නැත. දරුවන්ද කුඹුරු වැඩ හා වෙනත් කටයුතුවලට දහවල් නිවසින් පිටව යනවිට කපිලරත්න මාමා හිටියේ අප යනවිට තනිවම පුටුවකට බරදීගෙනය. එදා මාපාහාමි මුත්තාගේ වීර කතා කී වල්පොලමුල්ලේ මුලාදෑණි තැන අද අසරණවී එක එල්ලේ වනාන්තරය දෙස බලා හිඳිනු පෙනේ. මුදල් උපයනවා. වැය කරනවාය, එහෙත් ජීවිතයේ ඇති වින්දනය සතුට හා සැහැල්ලුවෙන් දිවිගෙවීමය. වල්පොලමුල්ලෙන් විතැන්වූ දා පටන් ඔවුන්ට දැනුනේ තනිකමය. මේ ඈත්වීම ඔවුන්ගේ සංස්‌කෘතිය කඩා බිඳ දමා ඇත. දුප්පත් වුවත්, කිසිදු අවම පහසුකමක්‌වත් අත්නොවිඳි ඔවුන්ට ඊට වටිනාකමක්‌ සැලකිල්ලක්‌ දෙනු වෙනුවට ඔවුන් අමතක කර දමා ප්‍රශ්න ගොඩක අතහැර ඇත. හරිහැටි සෞඛ්‍ය පහසුකම්වත් ලබාගැනීමට මාතලේ නගරයට යැමත් ඔවුන්ට විශාල ගැටලුවකි.

ඉදින්, මළහිරු නැගෙන තෙක්‌ දින ගැන ගැන ඉන්නවා මිස ඔවුන්ගේ සැඳෑ සමයට හෝ ඔවුන්ගේ දූ - දරු පරපුරට හෝ වල්පොලමුල්ලේ නාමයෙන් සාධාරණයක්‌ ඉෂ්ඨ විය යුතුමය. ඒ ගැන අප තවදුරටත් කතා කළ යුතු වෙමු.

වල්පොලමුල්ලේ ඉඩම් අයිතිය ඇති වැඩිහිටියන් දැන් යාබද ගම්මානවලට වී අසරණව දිවි ගෙවන්නේ බේත් හේත් ටිකක්‌වත් ගන්නට තරම්වත් වත්කමක්‌ නැතිවය. රජයෙන් ලැබෙන සමෘද්ධි සහනාධාරය ඊට කොහෙත්ම ප්‍රමාණවත් නොවන්නේ කෑම බීම කළමනාටික ගන්නවත්, ඒ මුදලින්ම දරු මුණුපුර, මුණුපිරියන්ගේ දුක සැප බලන්නටත් ඔවුනට නිතැතින්ම සිදුවන නිසාය. මන්ද, වල්පොල මුල්ලේ මීළඟ උරුමක්‌කාරයන් බවට පත්ව සිටි දරු මුණුපුරන්ට දෙන්නට මහා උරුමයක්‌ව තිබූ වල්පොලමුල්ල ගම්මානයද දැන් ඔවුන්ගෙන් ගිලිහී යමින් පවතින නිසා තවත් වත්කමක්‌ ඔවුන් ළඟ ඉතිරිව නැති නිසාය. වල්පොලමුල්ලේ පරම්පරාවේ එක්‌ අයකු හැරෙන්නට අනෙක්‌ සියල්ලෝම ස්‌ථීර රැකියාවක්‌ නැති ගොවිතැනෙන්, කුලීවැඩෙන් ජීවිකාව සරිකරගන්නෝය.

එහෙව් දරු පරපුරකට පිය උරුමයෙන් හෝ මව් උරුමයෙන් ලැබුණු දෙයක්‌ නැතිකොට, එම පරම්පරාවද දිළිඳු කමේ අඩියටම වැටී ඇති අතර ජීවිකාව සරිකරගන්නේ අඳ කුඹුරක්‌ වැපිරීමෙන් හෝ දීග ගිය ගමේ සහකරුට, සහකාරියට අයිතිව ඇති කුඹුරක්‌ වැපිරීමෙනි. නැතිනම් වියළි කාලයේදී හේනක්‌ කොටා ගැනීමෙනි. මෙදා මහ කන්නයේදී හරිහැටි වැස්‌සක්‌ නැතිව ඉඩෝරය දළුලා වැඩෙන තල, මේ සියල්ලන්ගේම බලාපොරොත්තු සුන් වී ආර්ථික ආගාධයේ වළපල්ලටම ඔවුන් ඇද වැටුණහ. වාසනාවකට මහ කන්නයේ වැහි පවා වී හෝ ලැබීම ඔවුන්ට තවත් වසරක්‌ ජීවිතය ගැට ගහගන්නට දෙවියන් ලබා දුන් වරමක්‌ වැන්න. මේ දිනවල කුඹුරු ඇත්තෝ සහ අඳ ගොවිතැනේ යෙදෙන්නෝ යළිත් කුඹුරුවැඩට බැස ලහි ලහියේ කුඹුරු වපුරන්නේ ජීවිකාව තවත් වසරකින් දිගු කරගැනීමට ලැබුණු ඒ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගනු පිණිසය.

හරි අධ්‍යාපනයක්‌ ලැබ, උපාධිධාරියකු වී රජයේ රැකියාවක්‌ කරන්නේ වල්පොළ මුල්ලේ දරු පරම්පරාවෙන් එක්‌ අයකු පමණි. ඒ මාපාහාමි මුදියන්සේලාගේ මැද ගෙදර දසනායක නොහොත් දසනායක මල්ලී පමණි. හෙතෙම ඇම්. ජී. උක්‌කු බණ්‌ඩා මාමාගේත් ඇම්. ජී. ඩිංගිරි අම්මා නැන්දාගේත් වැඩිමහල් පුතාය. කුඩා කලම පිරිවෙන් අධ්‍යාපනය ලබන්නට ගමෙන් ගිය දසනායක මහනුවර ප්‍රදේශයේ පිරිවෙණකින් අධ්‍යාපනය ලැබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්‌ත්‍රවේදී උපාධියත් ශාස්‌ත්‍රපති උපාධියත් ලබාගත් අයෙකි. ඉන්පසු ඔහු ගුරුවෘත්තියට එළැඹෙන්නේය. එකල ඔහු අම්මා - අප්පච්චි බලන්නට වල්පොලමුල්ලට එන්නේ තරමක්‌ දුෂ්කරතා මැදය, එහෙත් ඒ තමන්ගේම නිවසටය. තමා ඉපදුණු සුන්දර වටපිටාවටය. නමුත් දැන් ඒ දුෂ්කරතාව බොහෝ දුරට අඩු වී ඇත්තේ පයින් යා යුතු දුර පමණක්‌ අඩු වී ඇති නිසාය. නොහොත් මේ ගම්මානය අතහැර දමා ඇති නිසාය. එහෙත් දවසකට දෙපාරක්‌ පමණක්‌ එනම් උදයේ හා හවසට ඇති එකම ලංගම බස්‌ රථයෙන් පිටවල ගමට එන්නේ මසකට සැරයක්‌ හෝ දෙමාපියන් දැක ඔවුන්ගේ අතේ කීයක්‌ හෝ මිට මොළවා යන්නටය. මන්ද, බලාගන්නා වැඩිමහල් සොයුරියගේද අසනීප සඳහා ඉන් පිටිවහලක්‌ ලැබෙන නිසාය.

මාපා හාමි මුදියන්සේලාගේ මැද ගෙදර දසනායක නොහොත් දසනායක මල්ලී වල්පොලමුල්ල උරුමක්‌කරුවන්ට සිදු වූ සිද්ධිය ගැන කියන්නේ මෙවන් කතාවකි.

"අපි රස්‌සාවක්‌ ලැබිල ගමෙන් ගියත්, අම්මා -අප්පච්චි, නෑදෑයො බලන්න මාස දෙක තුනකට සැරයක්‌වත් වල්පොලමුල්ල ගමට ආවා ගියා. මොකද ඒ ගම තමයි අපෙ පාරම්පරික උරුමය තිබුණු තැන. රටේ ලෝකෙ කොයිතරම් කරක්‌ ගැහුවත් අපිට ගම තරම් තවත් තැනක්‌ තිබුණෙ නැහැ. අපි අම්මා අප්පච්චිට සහෝදර, සහෝදරියන්ට ආර්ථික වශයෙන් උදව් නොකළත්, එදා ඔවුන් ගාව ඉතිරි කරගන්න මුදලක්‌ තිබුණා. අතේ මිටේ මුදල් කොහොමත් තිබුණා. මොකද සංචාරක පිරිස්‌ නිතර නිතර ගමට ආවා. කුඹුරු වැඩ කළා. කැළේ දේවල් කඩපළට ගිහිං කීයක්‌ හරි හොයාගත්තා. ගමේ ගිහිං අපිත් නගරයට එනකොට, ගමේ හාල් ටිකක්‌, එළවළු, මීපැණි කිතුල් පැණි ටිකක්‌ කුරක්‌කන් ටිකක්‌ අරගෙන තමයි ආපහු පල්ලම් බැස්‌සෙ. මොකද අප්පච්චිල, අම්මල ඒ දේවලුත් අපට ගෙනියන්න ලැහැස්‌ති කරල තමයි තියෙන්නෙ. ඒත්, හිටපු ගමන් තත්ත්වය කණපිට හැරුණා. මෙච්චර ඉක්‌මනට ගම අතහැරල එන්න වෙයි කියල අපි කවුරුත් හිතුවෙ නැහැ.

ප්‍රධානම ප්‍රශ්නෙ, දේශීය සංචාරකයො, විදේශීය සංචාරකයො ඉතා කැමැත්තෙන් ආපු මේ ගම දියුණු කරන්න ආණ්‌ඩුවේ හරි මධ්‍යම පළාත් සභාවේ හරි ලග්ගල ප්‍රාදේශීය සභාවේ හරි දේශපාලන අධිකාරිය හෝ සංචාරක, ග්‍රාමීය සංවර්ධන අංශ හෝ කිසිවක්‌ නොකරපු එක, ඕන තරම් අවස්‌ථාව තිබුණා අපේ ගම සංචාරක කේන්ද්‍රස්‌ථානයක්‌ හැටියට දියුණු කරන්න. මොකද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එයාලගේ සිතියම්වල පවා ලකුණු කරපු වන මං පෙතක (නේචර් ටේ්‍රල්) නැවතුම් පළක්‌ හැටියට තමයි අපේ ගම තිබ්බේ. අපේ ගමේ ඉඳන් දුවිළි ඇල්ල වනමං පෙත දුම්බර කැළෑව දක්‌වා ගමන් කරනවා. මේ වන මං පෙතේ අවුරුද්දකට විශාල සංචාරක පිරිසක්‌ ගමන් කරනවා. ඒ කාලේ මේ ඔක්‌කොම වල්පොළමුල්ල හරහා තමයි ගමන් කළේ. ඉතින්, ආණ්‌ඩුවේ හරි, පළාත් සභාවේ හරි, ලග්ගල ප්‍රාදේශීය සභාවේ හරි වැඩසටහනක්‌ තිබුණා නම් මේ ගම අදත් තියෙනවා.

කොහොම හරි ගමට අලි කරදර පටන් ගත්තෙ මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘති නිසා. ඊට ඉස්‌සර ඉඳහිට ඈත කැළෑවේ (මාළිගා තැන්න) අලි එකා දෙන්නා හිටියට ගමට අලි ආවේ නැහැ. ඒත්, කළු ගඟ මොරගහකන්ද නිසා අලිමංකඩ අවහිර වුණා. වස්‌ගමුවෙන් ගිරිතලේට මින්නේරියට ගිය අලින්ගෙන් කොටසක්‌ වලAපොලමුල්ල පැත්තටත් ආවා. ඒ විතරක්‌ නොවේ. අපේ අම්ම අප්පච්චි දැන් ඉන්න පිටවල ගමටත්, සහෝදර, සහෝරියන් ඉන්න ඇටන්වල පැත්තටත් දැන් අලි එන්න පටන් ගෙන. ඉස්‌සර මෙහාට අලි ආවේ නැහැ. දැන් වගා පාලු කරනවා. අපේ අය දැන් කබලෙන් ලිපට වැටිලයි ඉන්නේ" දසනායක කියන්නේය.

"කොහොමහරි මගේ නම් අදහස මේ ගම සංචාරක නැවතුම්පළක්‌ හැටියට දියුණු කරන්න තිබුණා. තවමත් ගමේ ඉඩම්වල අයිතිය අපේ අප්පච්චිටත් අනෙක්‌ සහෝදරයන්ටත් තියෙනවා. ආණ්‌ඩුව මේ අයිතිය ගැන හරිහැටි තීන්දුවක්‌ දෙන්නෙත් නැහැ. එක්‌කො ආණ්‌ඩුවට අරන් සංචාරක මධ්‍යස්‌ථානයක්‌ හදන්න ඕන. මොකද මේ ගම හොඳට පරිසර සංචාරකයෝ ගැවසුණු තැනක්‌. එහෙම නැතිනම් ඉඩම්වලට සාධාරණ වන්දියක්‌ අම්ම අප්පච්චිලට ගෙවල ඉඩම් ආණ්‌ඩුවට ගන්න ඕන. මොකද මේ අසරණ මිනිස්‌සුන්ට දැන් බේත් හේත් ටිකක්‌ ගන්නවත් වත්කමක්‌ නැහැ. මාතලේ නගරයේ සායනයකට යන්න එයාලට දවස්‌ 2 ක්‌ ඕන. බස්‌ එකකට යන්න කාල, ඇඳල ඉන්න අතපාන්න වෙලා තියෙන්නෙ. වගාකරල කීයක්‌ හරි සොයාගත්ත මිනිස්‌සුන්ගේ තත්ත්වය අද මෙහෙමයි. ඔවුන් උපන් බිමේම අනාථයො වෙලා කවුරුත් ඒ ගැන බලන්නේ නැහැ" දසනායක හිත් වේදනාවෙන් පවසයි.

වල්පොලමුල්ල ගම්මානයත්, ඒ ගමේ ඇත්තෝ අද අසරණව දිවිගෙවන ඇටන්වල රත්නින්ද, පිටවල, මැදඇළ ප්‍රදේශත් අයත්වන්නේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් හා ලග්ගල ප්‍රාදේශීය සභාව අයත් ලග්ගල උඩසිය පත්තුවටය. මේ මිනිසුන්ගේ ආර්ථික දුෂ්කරතාව මෙන්ම වල්පොලමුල්ල ගමේ අනාගතය ගැනද, ඒ ගමේ ඇත්තන්ට වන්දි මුදලක්‌ හෝ ජීවනාධාරයක්‌ ලබාගැනීම වැනි කාරනා පිළිබඳව දැන ගැනීමට මීළඟට අප කතා කළේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් නිරෝෂන් කරුණාතිලක මහතාටය.

"වල්පොලමුල්ලේ ගම දැන් අතහැරිලා තියෙන්නේ. ලග්ගල උඩසිය පත්තුවේ මෙසේ ගම් අතහැරීම වර්තමානයේ දක්‌නට ලැබෙන දෙයක්‌. දිවුල්ගස්‌පතන, දාගැවිල්ල, ගල්ගෙදවල නමින් ගම්මාන කිහිපයක්‌ ළඟදී අතහැරුණා. ඒකට හේතුව තරමක්‌ දුරින් දුරින් පිහිටි මෙම ගම්මානවලට ආර්ථික යෑපීම් මාර්ග නැති වුණහම තමයි මේ ගම් අතහැරෙන්නේ. වල්පොලමුල්ලටත් සිදුවුණු යථාර්ථය ඒකයි. යෑපීම් මාර්ගයක්‌ නැතිවීම, තරුණ කණ්‌ඩායම් ගම අතහැර නගරයේ රස්‌සාවල් හොයාගෙන යැම, මහලු ජනගහනය පමණක්‌ ඉතිරි වීම වැනි දේවල් ලග්ගල ගම් අතහැරීමට බලපානවා. වල්පොලමුල්ල ගමට අලි කරදර ඇතිවීමක්‌ හේතුවක්‌.

නමුත් වල්පොලමුල්ලේ අයත් ඔවුන්ගේ දූ දරුවනුත් දැනටත් ඉඳහිට වල්පොලමුල්ලේ කුඹුරු වගා කරනවා. ඒ නිසා වල්පොලමුල්ලේ ඉඩම් පිළිබඳව අප තවමත් තීරණයක්‌ අරන් නැහැ. එයාල ඉල්ලනවා නම් වන්දියක්‌ දීල එයාලගෙ ඉඩම් රජයට පවරාගන්න කියලා ඒ ඉල්ලීමට අපට කන්දෙන්න පුළුවන්. ඒ යෝජනාව මට රජයට ඉදිරිපත් කළ හැකියි. කොහොමටත් ලග්ගල උඩසියපත්තුවේ ගම්මාන හුදකලා තත්ත්වයක තමයි තියෙන්නෙ. මොරගහකන්ද, කළුගඟ ජලාශ ඉදිවු පසු මේ ගම්මාන තවත් හුදකලා වෙනවා. ඒ නිසා රාජ්‍ය තාන්ත්‍රයට නෙමෙයි. ප්‍රදේශයේ ස්‌වේඡ්චා සමිති, පරිසර සංවිධානවල ක්‍රියාකාරිත්වය මත මේ ප්‍රදේශය ආර්ථික වශයෙන්, හා සංචාරක කලාපයක්‌ වශයෙන් දියුණු කළ යුතු යෑයි කියන තීරණයේ මම ඉන්නවා කොහොම වුනත් ලග්ගල ප්‍රදේශයේ අතහැරණු ගම්වල අවතැන් පිරිස්‌ සැලකිය යුතු පිරිසක්‌ ඉන්න නිසා අපට එක ගමක අයට විශේෂයක්‌ කරන්න නොහැකියි. නමුත් රජයෙන් දීමට හැකි දීමනා සියල්ල අඩුනැතිව අපි මේ අයට දෙන්නට කටයුතු කරනවා."

ලග්ගල ප්‍රාදේශීය ලේකම් නිරෝෂන් කරුණාතිලක මහතා අප සමඟ එසේ පැවසීය.

Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »