දේශපාලකයන්ගේ අවධානයට
කණ කොකා හඬන කොහාන!

2017-02-01 12:45:00       660
feature-top
පාරක් නැත. ලයිට් නැත.
ස්ථිර නිවාස නැත.
එහෙත් ඡන්ද ඇත.

ගෙයක් නැති කොට ජීවිතයක් කොයින්දැ’යි කතාවක් තිබේ. නිවසක් ලබා දීම සියල්ල ලබාදීමක් ලෙස බුදු ද‍හමෙහි සඳහන් වේ. ජාතියට ම නිවාස සපයන සංවර්ධන වැඩසටහන් කිහිපයක් ද රටේ ක්‍රියාත්මක ය. එහෙත් මීගහකිවුලේ කොහාන ගම්මානයට මේ කිසිවක පිහිට ලැබී නැත. සමහරු ගම අතහැර ගියහ. ඉතිරි ස්වල්ප දෙනාගේ ජීවිත දුකෙන් හා සන්තාපයෙන් පිරී ඇත.

ගමට යන පාරක් නැත. ගම්මු ගල් උඩින්, මුල් උඩින් පනිමින් ගමට රිංගා ගනිති. පාරක් නැති නිසා ම දේශපාලකයන් හෝ නිලධාරීන් හෝ ගමට එන්නේ නැත. ස්ථිර නිවාස නැති බැවින් ලයිට් ලැබෙන්නේ ද නැත. කොහාන යනු මේ සියවසට නොගැළපෙන අඳුරු ගම්මානයකි. කොහාන ගම්මානයේ පවුල් 15ක් පමණ විවිධ දුෂ්කරතා මැද ජීවත් වෙති. ගම්මානයට ප්‍රවාහන පහසුකම් නොමැතිකමත් කිසිදු පාලකයෙකු ගමට නොපැමිණීමත් හේතුවෙන් ගම දිනෙන් දිනම දැඩි පිරිහීමකට ලක්වීම මේ තත්වයට හේතුවී ඇත. කිසිදු ස්ථිර ආදායම් මාර්ගයක් නැති තමනට නිවසක් තනා ගැනීම හීනයක් පමණක් යැයිද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොහාන ගම්මු කියා සිටිති.

ඩී.එම්. මුතුබණ්ඩා

ප්‍රධාන මාර්ගයේ ඉඳල සැතපුම් පහ හයක් දුරින් තමා මේ ගම්මානය තියෙන්නේ. අඩි පාරක් තමා ගමට එන්න තියෙන්නේ. ගමට විදුලියත් නැහැ. වෙන පහසුකමුත් නැහැ. කාලෙකට ඉස්සර මේ ගමේ පවුල් 100ක් විතර ඉඳල තියෙනව. ඒත් අද වන විට මේ ගමේ පවුල් 15ක් විතර තමා ජීවත් වෙන්නේ. පහසුකම් නැති නිසා හුඟ දෙනෙක් ගම දාල පහළ ගම්වලට යාම මීට හේතුවයි.

ඩී.එම්. සුදු බණ්ඩා

මේ ගම තියෙන්නේ කිතුලාන කන්ද පාමුලට වෙන්න. ඒ නිසා මේ ගම හරිම සරුසාරයි. හොඳට වතුර තියෙනව. හැබැයි නිසි ආදායමක් නැති නිසා කාටවත් හරියට ගෙයක් දොරක් හදා ගන්න වත්කමක් නැහැ.

ඩී.එම්. ලිලියන් කුමාරි

මේ ගමේ ඉන්න කිසිම කෙනෙකුට ස්ථිර ගෙවල් නැහැ. වැසිකිළි නැහැ. හැමෝම ජීවත් වෙන්නේ කටුමැටි ගහල හදා ගත්ත ගෙවල්වල. හරිම අමාරුවෙන් කීප දෙනෙක් උලු ටිකක් ඇස්බැස්ටෝස් ෂීට් ටිකක් වහල ගෙවල් හදල තියෙනව. හැබැයි සිමෙන්ති දාල දොර ජනෙල් දාල හදපු එකම ගෙයක්වත් මේ ගමේ නැහැ.

ඩී.එම්. රාණි

ගමේ ගොඩදෙනෙක් දුප්පත්. ස්ථිර ගෙයක් හදා ගන්න විදිහක් නැති නිසා පිදුරු මානං ඉටිරෙදි වගේ දේවල් හෙවිල්ලල කටුමැටි ගහල තමා ගෙවල් හදාගෙන තියෙන්නේ. මේ ගෙවල් හරිම අනතුරුදායකයි. සත්තු සර්පයෝ හැම තැනම. ඒ මදිවට පුංචි වැස්සටත් තෙමෙනව. සමහරු වෙලාවට බිත්ති පෙරළගෙන යනව. ගෙයක් දොරක් හදා ගෙන ඉන්න ආසා වුණත් කුලියක් කරල හම්බ කර ගන්න මුදල වේල පිරිමහ ගන්නවත් මදි. එහෙව් එකේ අපි කොහොමද ඉතින් ගෙයක් හදා ගන්නේ.

ඩී.එම්. ලොකු මැණිකා

අපි මේ මහ කැලේ දරු පැටව් ටික හදාගෙන ජීවත් වෙන්නේ හරිම කරදර මැද්දේ. ඒත් කිසි කෙනෙක් මේ ගමේ මිනිස්සු ගැන හොයන්න මේ ගමට පය ගහන්නේ නැහැ. මේ රටේ ගෙවල් තියෙන මිනිස්සු වෙනුවෙන් විවිධ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරනව. ඒත් මේ කටුමැටි ගෙවල්වල ඉන්න අපි ගැන කිසිම කෙනෙක් හොයල බලන්නවත් එන්නේ නැහැ.

අපි මොන රජයකටවත් කිසිම කරදරයක් නැති මිනිස්සු පිරිසක්. අපි කවදාවත් බැහැ කියල හිතෙන ඉල්ලීම් ඉල්ලන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙන මේ ලොකුම ගැටලුව වන නිවාස ප්‍රශ්නෙ විසඳ ගන්න මේ රජයෙන් හරි උදව්වක් කරනව නම් ලොකු පිනක්.

තියෙන තැනට ම බෙදිල්ල හොඳ දෙයක් නො වේ. බලධාරීන්ගේ හා නිලධාරීන්ගේ අවධානය කොහාන ගම්මානය වෙත ද යොමු විය යුතුය.

silumina.lk


More News »