දියණියගේ ලොව එළිය කරන්නට ගස් බඩ ගානා අන්ධ පියා

2017-01-31 11:25:00       587
feature-top
මුහුදින් මතුවන රළ මෙන් නැතත් ජල කඳ පෙරළමින් නැඟ එන රළ පෙළ කියා පෑවේ අපේ රජරට අඩවියේ වාරි හපන්කම්ය. කාලාන්තරයක් බොහෝ ජනතාව බියෙන් සැකෙන් ජීවත් වූ පදවිය ගම් පියසට දැන් සූර්යයාගෙන් මෙන්ම සංවර්ධනයේද එළිය වැටෙමින් තිබේ.

පදවිය වැව් ඉවුරට සමීපව ඇති දැවැන්ත ගසක අතු, අසල නි‍ෙවසකට අනතුරුදායක ලෙස පහත් වී තිබේ. එම ගසේ අතු කපමින් සිටි අයකු ගසත් සමඟ පොර බඳමින් අනතුරුදායක වැඩක නියැළෙනු පෙනේ. කාර්යය අවසන් කළ ඔහු බොහොම පරිස්සමෙන් ගසින් බසිනු පෙනේ. ගසෙන් බැස සීරුවෙන් ගස් අතු එහා මෙහා කරමින් පැමිණි ඔහු වැව සමීපයට පැමිණ එහි වේල්ල දිගේ අප සිටින දෙසට ගමන් කරන්නට වූයේද ඉතාම පරිස්සම් සහිතවය.

“මේ මිනිහ බීලද කොහෙද? නැත්තම් මොකද මේ තරම් අඩමානෙට යන්නේ” අසල උන් මිතුරා මා සමඟ කීය.

ඔහු වැවට බසින්නට යනු අපට පෙනුණි. බල්ලන් දෙදෙනකු වැව අසල ඉඳ අමුතු තාලයකට වැව දෙසට හැරී බුරන්නටත් වරින් වර පසුපසට පනින්නටත් වූ නිසා අප වඩාත් විමසිලිමත් වූයේ ඒ දෙසයි.

කුරුමානමට හෙමිහිට වතුර යටින් ඇදී එන දැවැන්තයා අපි දුටුවෙමු. දිගින් අඩි 10කටත් වැඩි යැයි සිතිය හැකි කිඹුලා තම ගොදුර කරා ‍ආවේය. ගසේ අතු කැපූ තැනැත්තා කෙළින්ම ගමන් කරන්නේ කිඹුල් කටටය. අප ඔහුට කෑගැසුවේ වතුරට නොබසින ලෙසයි.

අප දෙස බෙල්ල පසෙකට හරවා බැලූ ඔහු වැව දෙස හිස ඒ මේ අත හරවමින් බැලුවේය. ගොදුරට ඇස ගසාගෙන සිටි දැවැන්තයා ගමන් නතර කරන්නට ඇතැයි අපට සිතුණේ වැව් ජලය නිසල වූ නිසාය.

“කිඹුලෙක් එනවා දැක්කෙ නැද්ද?” කෝපය මැඬ පවත්වා ගනිමින් මිතුරා සැරෙන් ඇසුවේ ඔහු දෙසට ගමන් කරමිනි.

“අනේ මහත්තයො මගේ ඇස් දෙක පේන්නෙ නෑ.”

“මොනවා, එහෙනම් අර ගහට නැඟලා අතු කැපුවේ..”

“ඒක මගේ රස්සාව. මට කරන්න පුළුවන් එකම කර්මාන්තය තමයි ඒ. පොල්ගස් නැඟලා ගෙඩිත් කඩලා දෙනවා”

වේල්ල මත හිඳගත් අපි ඔහු හා කතාවට වැටුණෙමු.

“කොහේද ගෙවල්”

“වෙහෙරතැන්නේ....”

“මෙහේ ඉඳල හුඟක් දුරද?”

“පදවි - පරාක්‍රමපුර හන්දියේ ඉඳල වවුනියාව පාරේ කිලෝමීටර් 10ක් විතර යන්න ඕන”

අපි ඔහුගේ දෑස දෙස විනාඩි කිහිපයක් බලා සිටියෙමු.

“ඇස් දෙක ‍පේන්නෙ නැත්තං මෙච්චර දුරක් යන්නෙ එන්නේ කොහොමද?”

“මගේ දකුණු ඇහැ පේන්නෙම නැහැ මහත්තයො. වම් ඇහැට රෑ දවල් වෙනස පේනවා. යාන්තමට හෙවණැල්ලක් වගේ පේනවා. දොස්තර මහත්තුරු කිව්වේ පෙනීම සියයට 5ක් විතර වගේ කියලයි‘

“ඉතින් ගස් කපන්න ඇයි මේ කිලෝමීටර් 20ක් විතර දුර එන්නේ”

“උදේට දුව ඉස්කෝලෙට දාන්න ගෙදර ඉඳල පරාක්‍රමපුරට එනවා. පරාක්‍රමපුර පැත්තේ තියෙන ගහක අත්තක් කපලා වගේ කුලී වැඩක් මොනව හරි කරල තමයි ජීවත් වෙන්නේ. ඇස් පේන්නෙ නැති නිසා හැම දේම කරන්නත් බැහැ. පරාක්‍රමපුර වටේට තමයි වැඩ කරන්නේ. මේ වැව පැත්තට එන්නෙ නෑ. දන්න මහත්තයෙක් කිව්වා එයාගේ යාළුවෙකුගේ ගෙදරට ගහක අතු බරවෙලා කපල දෙන්න කියලා ඒකයි මෙහේ ආවේ. නැත්තං පරාක්‍රමපුර කිට්ටුවම තමයි වැඩ කරන්නේ. මොන වැඩේ කරළ දවල් 1ට කලින් කරන්න පුළුවන්නම් විතරයි කරන්නේ.”

“ඒ මොකද?”

“දුව ඉස්කෝලෙ ඇරිල එනවනේ, උදේට එයා එක්ක එනවා, හවසට එයා එක්ක යනවා. කරන දෙයක් ඒ කාලෙ තමයි”

“ඇයි වෙන කවුරුවත් නැද්ද එයාගේ වැඩ කරන්න”

“හ්ම්............... නෑ මහත්තයො. මගේ පැළේ ඉන්නේ මමයි දුවයි විතරයි”

පදවිය වැව දිහා බලාගෙනම අපි ඔහුගේ කතාව දිගටම අසා සිටියෙමු.

“මගේ නම නුවන් සුසන්ත, ගම ගාල්ලෙ ඉපදුණේ 1975 අවුරුද්දේ, දැන් අවුරුදු 41 ක් වෙනවා. උප්පත්තියේ ඉඳලම පේන්නෙ නෑ. මේ විදිහටම තමයි ජීවත් වුණේ. මට බේත් කරන්න තරම් අම්මට තාත්තට ශක්තියක් නොතිබුණත් ඒ අය ගොඩක් මහන්සි වුණා. මාව ඉස්කෝලෙ යවන්නත් ඒ අයට විදිහක් තිබුණෙ නෑ. කොහොම හරි මට අවුරුදු 16ක් වෙනකොට මාව අන්ධ විද්‍යාලයට දැම්ම. එහෙන් මාව ගන්නත් බෑ කිව්ව. මං වගේ ලොකු ළමයෙකුට උගන්වන එක එයාලට ප්‍රශ්නයක් වුණා. ඒ වුණත් මට අන්තිමට අන්ධ විද්‍යාලයට ගිහින් ඉගෙන ගන්න හැකියාව ලැබුණා.

මාව දැම්මෙ 7 ශ්‍රේණියට. මම දවස් 14ක් යනකොට සේරම පාඩම් අල්ල ගත්ත. බ්‍රේල් ක්‍රමේට තමයි අපිට ඉගැන්වූවේ. මම පාසල් ගියේ ලොකු ළමයෙක් විදිහට නිසා අතපහු වුණු සේරම පාඩම් මම අල්ලගත්තේ සෙල්ලම් කරන කාලෙත් පාඩම් වැඩ කරලා. කොහොම හරි අවුරුදු 4කටත් අඩු කාලෙකින් මම සාමාන්‍ය පෙළ විභාගෙට ලිව්වා. ප්‍රතිඵලත් හොඳයි වැඩ 6ක් පාස් සම්මාන 4ක් තිබුණා.

උසස් පෙළ කරන්න හැකියාවක් ලැබුණෙ නෑ. සිංහල විෂයට සම්මාන නැහැ කියලා උසස් පෙළ කරන්න විදිහක් තිබුණෙ නෑ. 2000 අවුරුද්දෙදි අම්ම නැතිවුණා. ඒක මගේ ජීවිතේ ලොකුම දුක දැනුණු දිනයයි. මම කොහොම එදා වාව ගත්තද කියල මට අදටත් හිතා ගන්න බැහැ.

මගේ අධ්‍යාපනයත් එතැන ඉඳලම කඩාගෙන වැටුණා. අන්ධ විද්‍යාලයේදී අඳුන ගත්ත මම වගේම අන්ධ තරුණියක් එක්ක මම විවාහ වුණා. 2004 අවුරුද්දේ ආපු සුනාමියට අපේ ගේ අහුවුණා. මගේ විභාග සහතික ක්‍රීඩා කුසලාන සහතික ඒ සේරම නැතිවෙලාම ගියා. ඊට පස්සේ තමයි වෙහෙරතැන්නට ආවේ.

නෝනගේ අක්කලා අයියලා ලෙබනන් රටේ රස්සාව කරනවා. එයාලට හොඳයි. ඒ වුණත් නෝන ගැන කවුරුත් හොයලා බැලුවේ නෑ. අඩුම ගානේ අම්ම තාත්තවත් එයා ගැන ඒතරම් හොයලා බැලුවේ නෑ. 2011 අවුරුද්දේ එයාගෙ ඇහැට ඔපරේෂන් එකක් කළා. ඒකෙන් එයාගෙ එක ඇහැකට පෙනීම හොඳ තත්ත්වයෙන් ලැබුණා.”

නුවන් කතාව නවතා නැඟී සිටියේය

“ඇයි?”

“නෝනට පේන්න පටන් ගත්තට පස්සේ එයා මායි දුවයි දාල ගියා මහත්තයො”

“කොහේටද?”

“එයාගෙ සහෝදරයො සහෝදරියො ගාවට, රට ඉන්න අයියල, අක්කලගෙ දරුවොත් බලාගෙන එයා ඉන්නවා. ඉස්සර එයා දිහා ඇහැක් ඇරල නොබලපු අය දැන් ගොඩක් ඉන්නවා, ඔහොම තමයි මහත්තයො ජීවිතේ හැටි....මම ඒ ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්නෙ නෑ. ඒත් මගේ කෙල්ලට දැන් අවුරුදු 12ක්. ඒකි ඉගෙන ගන්නත් දක්ෂයි. පන්තියේ ළමයි 38කින් 8 වෙනියා. මම නැතිවුණු කාලෙට ඒකිට යන කල දසාව ගැන දැනෙනකොට ලොකු බයක් දැනෙනවා. මම කිව්වා අම්ම ගාවට ගිහින් ඉන්න කියාල. එයා කැමැති නෑ මාව දාල යන්න”

පාසල නිම වීමෙන් පසු අපි සුසන්තත් සමඟ ඔහුගේ නිවෙසට ගියෙමු. පයින් ගසා කඩා දමන්නට හැකිතරම් ශක්ත්යෙන් තොර ඔහුගේ පැල්පත දුටු අපට මතක් වූයේ නවකතා පොත්වල ඇති කුඩා මැටි පැල්පත්ය.

කටුමැටි ගසා සෙවිලි තහඩු දෙක තුනක් ඇති ඒ නිවෙස වැඩිවියට පත් ගැහැනු දරුවකුට නම් සිටින්නට හැකි තැනක් නොවේ. 12 වියැති සුසන්තගේ දියණිය වන හිරුණි දෙව්මිණි පරාක්‍රමපුර විදුහල දක්වා පියා සමඟ බස් රථයෙන් දිනපතා පාසලට යන්නීය.

ඇයගේ පාසල් නිවාඩු කාලයේදී සුසන්තට කර්මාන්තයක් කර ගැන්මට හැකියාවක් නැත. ඇය තනිකර දමා කොහේවත් යාමට සුසන්තට හැකියාවක්ද නැත.

වෙහෙරතැන්න ගම්මානයේ ගැමියන් බලන්නට පැමිණි වන්නි හිටපු ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා සුසන්තට මාස කිහිපයක් ජීවත්වන්නට අවශ්‍ය මුදල් ලබා දී ඇත. ඒ පාසල් නිවාඩු සමයේය.

රජයෙන් ලැබී ඇති එකම ආධාරය මත වැසිකිළියක් හදන්නට මේ වන විට සුසන්ත කටයුතු කරමින් සිටී. ඒ හැරෙන්නට සුසන්තට ලැබුණු දෙයක් නැත.

“හමුදාවේ මහත්තුරු උදවු කරනවා, මේ දරුව තමයි මගේ එකම ලෝකෙ, වෙන මගේ මුකුත් බලාපොරොත්තු නැහැ, තාම හොඳ නරකවත් හරියට තේරුම් ගන්න පුළුවන් වයසක නෙමෙයි එයා ඉන්නේ. කවදාහරි එයා හොයන්නේ කලින් ගෙදර එන්න පුළුවන් රස්සාවක්. ඒ මා ළඟට හවසට ඉක්මනට එන්න.

මගේ ඇස් ගැනවත් දැන් මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. සමහරු කියනව ඇස් වාට්ටුවට ගිහින් හරි සිංහල බෙහෙත් හරි කරන්න පෙනීම ටිකක් හරි ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මේ කෙල්ල තනි කරලා මට ඉස්පිරිතාලවල නවතින්න පුළුවන් කමක් නෑ. මම අඳුරු ලෝකෙක හිටියත් මේ කෙල්ලට එළිය දෙන්නයි මට ඕන”



Wmqgd .ekSu /�K mqj;am; weiqfrks

More News »