නැතිවෙන්නට දෙයක්‌ නැත අප දෙදෙනාට
ඉඩමයි ගෙයයි පිදුවෙමු පන්සලට

2017-01-30 10:53:00       588
feature-top
පන්සලට ගෙය ඉඩම පූජා කර කටුමැටි ගෙයක සිටින යුවළක්‌
මේසන් වැඩ කරන්නෙත් හාමුදුරුවෝ

"පන්නල්ගම පන්සලේ මේසන් වැඩකරන හාමුදුරුවන් වහන්සේ නමක්‌ ඉන්නවා. පොඩි හාමුදුරුවෝ තුන් නමයි, ලොකු හාමුදුරුවොයි තමයි ඔය ඔක්‌කොම වැඩ කරන්නේ" යනුවෙන් මට පසුගියදා හිතවතෙකු පවසා සිටියේය. ඒ අනුව මම පන්නල්ගම මරියකන්ද ලෙසින් හඳුන්වනු ලැබූ අද මලියතැන්න ලෙසින් හඳුන්වන ප්‍රදේශයට පැමිණියෙමි.

අලංකාර කුඹුරු යායක්‌ පසුකර එම ස්‌ථානයට යන විට දුටු දෙයින් මම මවිතයට පත්වීමි. පොඩි හාමුදුරුවෝ තුන් නම බරටම නෙකේ වැඩය. කෙනෙක්‌ වැලි අදිති. කොන්ක්‍රීට්‌ අනති. ලොකු හාමුදුරුවෝද මේසන් හැන්ද ගෙන හරි හරියට වැඩ කරති. මේ පන්නල්ගම ශ්‍රී ජයබෝaධිරාම සදහම් සෙවණ සෙනසුනේ කතා පුවතයි.

ඉණි වැටටත් මිනිසුන් කුළල් කති. ගහ මරාගනිති. සැමදා ජීවත් වන්නේ යයි සිතමින් තණ්‌හාවෙන් පොදි ගසති. රුපියල් ශතවලට මිනී මරති. මේ අද සමාජයේ බොහෝ දෙනෙකු තුළින්a අප දකින්නේ එයයි. නමුත් මේ කියන්නට යන්නේ ඊට හාත්පසින්ම වෙනස්‌ කතාවකි.

එම්.ආර්.පී. ජයමාන්න හා කේ.ජී. ගුණවතී යුවළ අම්පාර පන්නල්ගමට පැමිණියේ මාතර පුරවරයේ සිටය. ඒ 1972 වසරේදීය. එසේ පැමිණ පන්නල්ගම කුමන ප්‍රදේශයේ පදිංචි වූහ. මෙම දෙදෙනා එදා පටන් ගොවිතැන් බත් කරමින් මහ පොළොවත් එක්‌ක හරි හරියට ඔට්‌ටු වෙමින් ජීවිත අරගලය කරගෙන යමින් දියණියන් සය දෙනෙකුගෙන් යුත් තම දරු පවුලද පෝෂණය කරන්නට වූහ.

මේ ආකාරයෙන් කුඹුරු පිටියක්‌ කරමින් හේනක්‌ වගා කරමින් ජීවත්වූ මොවුනට කොටි ත්‍රස්‌තයන්ගෙන්ද නිරන්තරයෙන් පීඩා විඳින්නට සිදු වූහ. අල්ලපු ගම වු මාන්තෝට්‌ටම වෙහෙරගල ගම්මානයට පැන කොටින් ඉතා සාහසික ආකාරයෙන් කුඩා දරුවන් පොළොවේ ගසා ගම්වැසියන් පෙති පෙති ගසා මරා දැමූහ. ඒ ආකාරයෙන් කොටි කරදර එන්න එන්නම වැඩිවූ විට තව දුරටත් කුමන ප්‍රදේශයේ පදිංචි වීමට නොහැකි වීම නිසා අවසානයේදී තම ඉඩකඩම් අත්හැර පණ බේරාගන්නට එදා එසේ පැමිණ පුංචි ගේ පොඩියක්‌ සාදාගෙන මහා මූකලාන කොටන්නට වූයේ පුංචි දරුවන් සය දෙනා ජීවත් කරවීම සඳහාය. ඒ 1988 වසරේදීය. එදා කැලෑ හෙළිකරන්නට යන්ත්‍ර සූත්‍ර සොයා ගැනීමට අපහසුය. නමුත් ජයමාන්න තම දෑතේ ශක්‌තියෙන් කැලෑව හෙළිපෙහෙළි කළේය. තමාට සෙවණැල්ලක්‌ ලෙසින් සිටි සිය බිරිඳ ගුණවතීගෙන්ද දරු පැටව් සය දෙනාගෙන්ද නොසෑහෙන්නට සහායක්‌ ලැබුණි.

කටුපිළ, එරමිණියා ආදී මහා කටු කැළෑවෙන් වැසී ගිය ඒ ඉඩම හෙළි පෙහෙළි කිරීම ඉතා අපහසු වූවේය. ඔවුනගේ අතපය කැපී ලේ ගලන්නට වූහ. කරගැට පුපුරා දෑත් ලෙයින් තෙත්වන්නට විය. මහා දුකක්‌ විඳ කැලෑව කොටා හෙළි පෙහෙළි කොට කුඩා දරුවන් සමඟ පොහොර කවර වලින් පස්‌ ඇද කුඹුර සකස්‌ කරන්නට වූහ.

අවසානයේදී අක්‌කර දෙකක මඩ කුඹුරක්‌ සහ අක්‌කර භාගයක ගොඩ ඉඩමක්‌ සකසා ගන්නට ඔවුනට හැකිවූහ. කළක්‌ යනවිට හොඳ මට්‌ටමට ගෙයකුත් සකසා ගත් මේ යුවළ දැඩිසේ ආගම දහමට ළැදිව කටයුතු කරන්නට වූහ. තම ගෙවත්තේ බුදු මැඳුරක්‌ද සකසා පසුව බෝධීන් වහන්සේ නමක්‌ද රෝපණය කරමින් වත්පිළිවෙත් කරමින් කුඩා දාගැබක්‌ හදන්නට උත්සාහ කරන ලදී.

අනේ බාසුන්නැහේ අපිට වට්‌ටක්‌කා ගෙඩියක්‌ තරමේ කුඩා චෛත්‍යයක්‌ හදලා දෙන්න කියා ඔහු දිනක්‌ පෙදරේරුවෙකුට පවසා සිටියේය. නමුත් පෙදෙරේරුවා ඒ සඳහා අත්තිවාරම දැමුවේ ඉතා විශාල ලෙසය. මුළු දාගැබටම ගෙනත් 'දුන් බඩු ටික දැගැබේ අත්තිවාරමටම මදි විය. "කෝ බාසුන්නැහේ දාගැබ හදනවා කීවාට ගෙනාපු බඩු ටික අත්තිවාරමටම ඉවරයිනේ" යනුවෙන් ජයමාන්න කීවේය. "ආ බය වෙන්න එපා ඉතිරි ටික සක්‍රයා හදයි" කියා මේසන් වැඩට පැමිණි අය කීවේය.

ටික දිනක්‌ ගතවුණි. "මේ ඉඩම අම්මටයි තාත්තටයි දැන් පන්සලකට ප්‍රජා කරන්නයි තියෙන්නේ" කියා ලොකු දුව දිනක්‌ කීවාය. මේ ඇසු දෙමාපියන්ට මහත් සතුටක්‌ දැනුණි. අනේ දුවේ ඒක තමයි, අපි මේ හිත හිතා හිටියේ. දුවලා කැමැති නම් අපි කොච්චර කැමතිද කියා දෙමවුපියෝ සතුටින් කීහ. මේ අදහසට දූවරු මෙන්ම ඔවුන්ගේ සැමියන්ද එකපයින්ම කැමැති වූහ. ඒ අනුව ජයමාන්න යුවළ වසර 30 කට ආසන්න කාලයක්‌ වෙහෙස මහන්සියෙන් ගොඩනැඟූ මුළු ඉඩමම පන්සලට පූජා කරන්නට වූහ.

එම ඉඩමේ පොල් ගස්‌ විශාල ප්‍රමාණයක්‌ද තිබුණි. තමන්ට කිසිම කරදරයක්‌ නැතිව ජීවත්වීමට තිබෙන නිවසත්, කුඹුරත් ඒ ආකාරයෙන් පන්සලට පූජා වූයේ එලෙසිනි. අවසානයේ කටු මැටි ගසා සකසා ගත් පුංචි නිවසක ඔවුන් ජීවිතේ සැඳෑ කාලය ඉතා සැදැහැවත් සිතින් ගත කරන්ට වූහ.

"අනේ මහත්තයෝ දැන් අපේ හිතට පුදුම සහනයක්‌ තමයි දැනෙන්නේ." සමහරු අහනවා ඇයි එහෙම කළේ කියලා. අනේ අපි ඕවා ගොඩ ගහගෙන ඉන්නේ මොකටද? අපි යද්දී ඕවා අරන් යන්නේ නැහැනේ. දැන් අපිට කීයක්‌ හරි ලැබුණොත් කරන්නේ පන්සලට පූජා කරන එකයි. පින් පඩියෙන් කියක්‌ හරි ලැබුණත් අපි කරන්නේ පන්සලට පූජා කරන එක. මේ පුංචි ගේ පොඩ්ඩ අපිට ජීවත් වෙන්න හොඳටම ඇති අපිට දැන් හරිම සතුටක්‌ හිතට දැනෙනවා" යනුවෙන් ජයමාන්න යුවළ 'ඉරිදා දිවයින'ට පවසා සිටියේ හදවත උතුරා යන සතුටෙන්ය.

මේ ආකාරයෙන් පන්සලක්‌ බවට පත්වුණ මේ පින් බිමට මීට මාස 08 කට ඉහතදී දොඩන්ගොඩ මහින්දානන්ද හිමි පැමිණීමත් සමඟම මේ පින් බිම මේ ප්‍රදේශයේ බැබළෙන පුදබිමක්‌ බවට පත්වන්නේය.

මහින්දාන්නද හිමියන් පැමිණෙන්නට පෙරද මෙම පන්සලට හිමිවරු කිහිප නමක්‌ පැමිණියත් නේවාසිකව වැඩ වාසය කලේ නැත. දිනක්‌ ධර්ම දේශනාවක්‌ කිරීම සඳහා මහින්දානන්ද හිමියන් වැඩම කළ විට උන්වහන්සේ කෙරෙහි පැහැදුණු ගම්වැස්‌සන්ගේ ඉල්ලීම අහක දමන්නට නොහැකි වූ තැන ශ්‍රී ජයබෝaධිරාම සදහම් සෙවණ සෙනසුනේ වැඩවාසය කරන්නට වූහ. කුඩා කල සිටම අනන්ත අප්‍රමාණ දුක්‌ කන්දක්‌ විඳිමින්a සිටි මහින්දානන්ද හිමියන් 80 වසරේදී සඟ සසුනට ඇතුළු වන ලදී. එතැන් සිට සසුන වෙනුවෙන් අනුපමේය මෙහෙයක්‌ කළ උන්වහන්සේ ඇල්පිටියේ ගලඋඩකන්දේ සුගතාරාම සෙනසුනේ සිට පන්නල්ගමට පිවිසෙන්නේය.

උන්වහන්සේ එන විටත් ගම්වාසීන් විහාරස්‌ථානයත් සමඟ තිබෙන සම්බන්ධතාවය අඩුව ගොස්‌ තිබුණි. දන් ටිකක්‌ දුන්නම පින් ටිකක්‌ දෙන එක විතරක්‌ මදි කියලා මම තේරුම් අරන් තිබ්බේ. අපෙන් මෙම ගම්මානයට තව විශාල සේවාවක්‌ විය යුතුයි කියලා මම හිතුවා. ඒ සඳහා මට පුදුමාකාරයේ කැපවීමක්‌ කරන්න සිදු වුණා. පන්සලට කොච්චර කරත් වැඩක්‌ නැහැ කියලා කට්‌ටිය හිතුවා. නමුත් මේ වන විට ඒ අදහස ඉවත් වෙලා ගිහින් ගම්වාසීන් පන්සලත් එක්‌ක පුදුමාකාරයේ සහයෝගයෙන් වැඩකරන්නේ. ඒ සඳහා මම මාස 08 ක්‌ එක දිගට දිවා රෑ කියලා බලන්නේ නැතිව මේ ආකාරයෙන් මහන්සියෙන් වැඩ කරන්නට වුණා. ඒ නිසා මේ විහරස්‌ථානයේ වැඩවාසය කරන පොඩි හාමුදුරුවන් තුන් නම පුදුමාකාරයේ සහයෝගයක්‌ දුන්නා. ඒ සහාය නොතිබ්බා නම් අද මේ ආකාරයෙන් මට මේ පන්සල ගොඩනඟන්න වෙන්නේ නැහැ යනුවෙන් දොඩම්ගොඩ මහින්දානන්ද හිමියන් පවසා සිටියේය.

හිමින් සැරේ දායකයින් කිහිප දෙනෙක්‌ පන්සලට එකතු කරගෙන මෙහි දාගැබ ගොඩනඟන්නට අවශ්‍ය බඩු මුට්‌ටු ටික සොයා ගන්නට වූහ. පසුව මෙම දාගැබ ඉදි කරන්නට මේසන් බාස්‌වූයේ මහින්දානන්ද හිමියන්ය. අත් උදව් දුන් ගෝල හිමිවරුන් තිදෙනාගේ සහාය මත දාගැබ ටිකෙන් ටික ඉදිවන්නට වූහ. මාස කිsහිපයක්‌ යන විට එම ස්‌ථානයේ අඩි 37 ක්‌ උස දර්ශනීය දාගැබ් වහන්සේ නමක්‌ ඉදිවන්නට වූයේ ගම්වාසීන්ගේ නොමඳ ඇගයීමට ලක්‌ වෙමිනි.

ඇතැම් දිනවල උදෑසනම ආරම්භ වන පන්සලේ ඉදිකිරීම් වැඩ මැදියම් රෑ වනතෙක්‌ සිදු වේ. ඒ සෑම මොහොතක්‌ම කුඩා ගෝල හිමිවරුන් තිදෙනා වෙහෙස මහන්සිය නොබලා විහරස්‌ථානය ගොඩනන්නට පුදුමාකාර ලෙස මහන්සි වන්නට වූහ.

දාගැබේ වැඩ නිම වෙමින් තිබෙද්දී ඉන්පසු බෝධි ප්‍රකාරයේ වැඩද ආරම්භ වන්නේය. බෝධි ප්‍රකාරයද නිම වළාකුළු බැම්මකින් අලංකාර වන්නේද විහාරාධිපති හිමිගේ දෑතිනි. අටවිසි බුදු කුටිද මේ වන විට උන්වහන්සේගේ දෑතින් ඉදිවෙමින් තිබෙන්නේය. මේ සියල්ලටම කොන්ක්‍රීට්‌ ඇනුවේ, වැලි ඇද්දේ බදාම ඇනුවේ මෙම විහාරස්‌ථානයේ වෙසෙන ළාබාල ගෝල හිමිවරුන් තිදෙනාය.

පිරිවෙන් යන්නට පෙර පිබිද ලොකු හාමුදුරුවන්ට බදාම අනා ඒවා ළංකර තබා කේතලය ලිප තබා තේද වක්‌කර එය උණුවතුර බෝතලයකට දමා යන්නටද මේ හිමිවරුන් කටයුතු කරන්නේ මහත් භක්‌තියෙනි. මේ අකාරයෙන් දිනෙන් දින පන්සලේ වැඩ කටයුතු කෙරෙද්දී දායකයෝද පන්සලට ළංව මේ හිමියන්ට විහරස්‌ථානය ගොඩනඟන්නට උදව් කරන්නෝය.

ඒ කුඩා බිම් තීරුවක ඉදිව තිබුණු මෙම දර්ශනිය දාගබට ධාතූන් වහන්සේ තැන්පත් කිරීම සඳහා පසුගියදා අනුරාධපුරයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කළ අතර මේ වන විට මහා පෙරහැරකින් එය වැඩම කොට මෙම විහාරස්‌ථාන භූමියේ තැන්පත් කර තිබේ.

සසර කෙටිකර ගන්නට පින් දහම් කරන අපූරු දායක දේපලකගේ පරිත්‍යාගයෙන් පුදබිමක්‌ බවට පත්වුණ මෙම පින්බිමේ අපූරු විහරස්‌ථානයක්‌ ගොඩ නඟමින් සිටින දොඩම්ගොඩ මහින්දානන්ද හිsමියන් ඉරිදා දිවයින සමඟ මෙසේ දොඩමළු වූහ.

මම මේ ගම්මානයට ආවේ ආගමික වැඩසටහනකට. එදා සිල් ගන්න ඇවිත් හිටියෙත් දහ දෙනෙක්‌ පමණයි. මම ඊළග මාසේ ආයි එනවිට සිල් සමාදන් වෙන්න 35 දෙනෙක්‌ ඇවිල්ලා හිටියා. පස්‌සේ මෙම විහාරස්‌ථානයේ මටම රැඳෙන්න සිදු වුණා. ඉතිං ඒ මාස 08 පුදුම විදිහට මහන්සි වෙන්න සිදු වුණා.

විවේකයක්‌ නොගෙනම එක දිගටම මම මේසන් වැඩ කළා. දැගැබේ උඩ වැඩ කරද්දී හරියට පලංචි තිබ්බේ නැහැ. ඒත් යාන්තමින් හොයා ගත් ලී කැබලි කිහිපයක්‌ දමා කොහොම හරි පන්සලේ ඉදිකිරීම් කළා. සමහර දිනවල අතපය රිදෙනවා. පන්සලේ මේසන් වැඩකරලා. මේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය බඩුමුට්‌ටු දුන්නේ ගම්වාසීන්. ඉදිකිsරීම් සඳහා ගම්වාසීන් ක්‍රමයෙන් දායක වුණේ ඉතා අඩුවෙන්. ඒ ඔවුන්ට විවිධ වැඩ කටයුතු තිබෙන නිසා. ඒ නිසා මෙම ඉදිකිsරීම් සඳහා සියයට අනූනමයක්‌ම දායකත්වය දුන්නේ මමයි, අපේ පුංචි හාමුදුරුවන් තිදෙනායි. මේ හිමිවරුන් කුඩා කියලා බලන්නේ නැහැ. පුදුම විදිහට මහන්සි වුණා. අනේ ලොකු හාමුරුවනේ අපිට මහන්සියි කියලා කොයි වෙලේවත් වැඩ නතර කළේ නැහැ. වැඩ කරන්න බැහැ කියලා කීවේ නැහැ. දවල් ද රෑද කියලා බැලුවේ නැහැ. පුදුම විදිහට මහන්සි වුණා. අන්තිමේදී අපි මේ ආකාරයෙන් මහන්සි වෙනවා දැකලා ගමේ අයගේ සහයත් වැඩි වුණා. දැන් ඒ අය කියනවා, 6අනේ අපේ හාමුදුරුවනේ අපි පන්සලට උදව් කරනවා මදි"------ කියලා. මේ පුදබිම ගොඩනඟන්න ඉඩම පරිත්‍යාග කළ ඒ පින්වත් යුවළ මේ වනවිට බුදු සසුනට තම මුණුපුරෙක්‌ද පූජාකරලා. ආගම දහම වෙනුවෙන් මහා මෙහවරක්‌ කර තිබෙනවා. දවසක්‌ පොඩි හාමුදුරුවන් මගෙන් ඇහුවා ලොකු හාමුදුරුවෝ කවද හරි වයසට ගියාම ලෙඩ වෙනවා. එතකොට අපි උස්‌සන්න ඕන නේද කියලා. ඒ නිසා දැන්ම ඉඳන්ම ඒ පොඩි හාමුදුරුවෝ පුරුදු වෙන්න මාව උස්‌සන් ගිහින් ඇඳ උඩ තියෙනවා. ඒ නිසා මේ අපේ පුංචි සාමණේර හිමිවරුන් තිදෙනා අනාගතයේදී බුදු සසුනට ඉමහත් සේවයක්‌ කරන බව හොඳින්ම පෙනෙනවා. මෙම පුදබිමේ අවුකන ප්‍රතිමා වහන්සේගේ අනුරුවක්‌ ඉදි කිරීමට ඉදිරියේ කටයුතු කරන බවද මහින්දානන්ද හිමියන් 'දිවයින'ට පවසා සිටියේය.

රුපියල් ශත පස්‌සේ හඹා යන ලෝකයක මෙවන් පරිත්‍යාග කරන අය විරලය. තමන් ඉන්න නිවස හා ජීවත් වෙන්නට තිබෙන කුඹුරද දන්දී කුඩා ගෙපැලකට යන අය අද අපිට දකින්න ලැබෙන්නේ නැත.

ඒ වාගේම උදේ ඉඳන් රෑ වෙනකම් මාස අටක්‌ තිස්‌සේ මේසන් වැඩ කරමින් විහාරස්‌ථානය ගොඩනඟන්න වැඩකරන හිමිවරුන්ද අද අපිට දකින්නට නොලැබෙති. ඉතා අඩු පහසුකම් තිබෙන ගම්මානයක ජනයා සමඟ මෙම විහාරස්‌ථානය ගොඩනඟන්න මේ හිමිවරු පුදුම වෙහෙසක්‌ ගනිමින් සිටිති. ඔබත් මෙම අපූරු විහාරස්‌ථානය ඉදිකරන්නට යම් සහයෝගයක්‌ දෙන්නේ නම් 0635615541 යන දුරකථන අංකයෙන් මෙම විහාරස්‌ථානයේ විහාරාධිපති හිමි ඇමතිය හැකිය. හෙට දිනයේ ඔබගේ සහායත් මෙම හිමියන්ට ලැබෙන්නේ නම් මෙම පුදබිම තව නොබෝ දිනකින්ම ඉතා මනරම් පුද බිමක්‌ බවට පත්වනු ඇත.

divaina.com



More News »