සරල ලෙස නොබැලිය යුතු විරල කොටි පැටවාගේ කතාව

2017-01-20 10:03:00       658
feature-top
බිළාල පවුලට අයත් ලංකාවේ වාර්තාවන ඉතාම දුර්ලභ හා විශාලතම සත්ව විශේෂය ලෙස හැඳින්වෙන්නේ කොටියාය. ලංකාවේ ප්‍රදේශ කීපයක ඉතාම සුළු ගහණයක් වාර්තාවන මෙම විශේෂය මේ වන විට වඳවී යෑමේ දැඩි අවදානමට මුහුණ දී ඇත. “Panther pardus kotiya”ලෙස විද්‍යාත්මකව හඳුන්වනු ලබන මෙම උප විශේෂය ලංකාවට ආවේණික වේ. ලෝකයේ ඇතැම් රටවල වාර්තාවන මෙම උප විශේෂයේ “Panther pardus” යන මවු විශේෂය ගෙවීගිය වසර 50 ඇතුළත අසූදාස් හයසීයේ සිට විසිතුන්දාස් හයසිය හැට හතර දක්වා පහත බැස ඇති බව WWF වාර්තා අනුව පෙනී යයි. ඉන් ගම්‍ය වන්නේ මෙම විශේෂය කෙතරම් වේගයකින් මිහිතලයෙන් තුරන් වෙමින් තිබේද යන්න මිස අන් යමක් නොවේ.

පසුගිය දිනක එම විශේෂයට අයත් කුඩා කොටි පැටවකු අඩම්පන්  නිවසක ඇතිදැඩි කරමින් සිටියදී මන්නාරම් ‍පොලිසියට අසුවීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කොට  අධිකරණ නියෝගයක් අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු  ලැබ ඇත.

මෙම පැටවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමෙන් පසු ඇතැම් පිරිසක් උත්සාහ කර ඇත්තේ එම කුඩා පැටවා වහාම දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාරදීමටය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ද ඇතැම් ඉහළ නිලධාරීන් මේ මතය දැරූ බව රහසක් නොවේ. ඔවුහු ඒ සඳහා දැඩි වෙහෙසක් ද ගත්හ. වනජීවීන්ගේ සංරක්ෂණය වෙනුවෙන් පඩි ලබන දෙපාර්තමේන්තුවක් ඒ වගකීම මගහැර එය දෙහිවල සත්වෝද්‍යානය වැනි දුර්වල ආයතනයකට පැවරීමට උත්සාහ ගැනීම කෙතරම් මුග්ධ තීරණයක් ද යන්න නොවිමසා බැරිය. මෙම මතය  දැරූ නිලධාරීන් කාණ්ඩ දෙකක් පැහැදිලිව එම දෙපාර්තමේන්තුව තුළ සිටි බව හඳුනා ගත හැකිවිය. ඉන් එක් පිරිසක් වූයේ නවීන විද්‍යාව පිළිබඳව නිසි දැනුමක් නොමැතිවීමෙන් මේ දුර්මතයට එළඹි පිරිසය. අනෙක් පිරිස වූයේ මෙය දැන දැනම ප්‍රතික්ෂේප කළ තක්කඩින්ය.

එහෙත් මේ පිළිබඳව විද්‍යාත්මක කියවීමක් තිබෙන රුක්ෂන් ජයවර්ධන වැනි ප්‍රමුඛ පෙළේ පරිසර සංරක්ෂණවේදීන් මුල සිටම පෙන්වා දුන්නේ මෙම කොටි පැටවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරේ නිසි ආකාරයට ඇතිදැඩි කොට වනයට මුදාහැරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය සිදුකළ යුතු බවය. එවැනිම ප්‍රගතිශීලී මතයක තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ද එළඹ සිටීම කොටි පැටියා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුළම රඳවා ගැනීමට පහසුවක් විය. ලංකාව වැනි ඉතාම පසුගාමී කිසිදු අංශයක් පිළිබඳ නිසි ලෙස නොදන්න දේශපාලකයන් බහුතරයක් සිටින රටක මෙවැනි ප්‍රගතිශීලී අදහස් දරන දේශපාලකයන් එක්කෙනෙකු  දෙන්නෙකු හෝ ඉතිරිව සිටීම අගය කළ යුතුය. ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාගේ ප්‍රශස්ත තීරණය නොවන්නට මේ කුඩා කොටි පැටවා දෙහිවල සත්වෝද්‍යානය වැනි වධකාගාරයක කෙටි දිනක් ආයු වලඳා මියයෑමට බොහෝ දුරට ඉඩ තිබිණි.

මෙම කොටි පැටවා හමුවන අවස්ථාව වන විට මාස දෙකකට ආසන්න වයසකින් යුතුව සිටි බව අදාළ ලක්ෂණ හා ප්‍රමාණය විමර්ශනය කිරීමේදී සිතිය හැක. හමුවන අවස්ථාව වන විට සෞඛ්‍යමය වශයෙන් ඉතාම දුර්වල මට්ටමේ සිටි මෙම කොටි පැටවා ශක්තිමත්  මට්ටමකට ගෙන ඒමේ වගකීම භාර වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතාටය. ඒ මහතා මේ මොහොත වනවිටත් ඒ වගකීම නිසියාකාරව කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.

එහෙත් තවමත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනෙකු උත්සාහ කරන්නේ මේ කොටි පැටියා කෙසේ හෝ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලබා දීමටය.

මේ පිළිබඳව අප කළ විමසීමකදී පිළිතුරු දුන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති අංශයේ ප්‍රධානී ගාමිණී විජිත් සමරකෝන් මහතා කියා සිටියේ ද මෙවැනි රාජධානියක් හසුරවන සතුන් වනයට මුදා හැරීම කිසිසේත්ම  නොහැකි බැවින් ජාතික සත්වෝද්‍යානයට දිය යුතු බවය. ඒ සඳහා ඔහු එක්තරා උදාහරණයක් ද ගෙනහැරපෑවේය.

මීට දශක කීපයකට පෙර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි කොටි දෙදෙනකු   කුමන ජාතික වනෝද්‍යානයට අතහැර දමා තිබිණි. එම සතුන් අතහැරීමෙන් පසු කිසිදු දිනක නොදුටු බව ද සමරකෝන් මහතා අප සමග කීවේය. එම කොටින් කැලයේ තිබෙන කුඩා කෝටු ඇනෙන විට උඩ පැන්න බවද සමරකෝන් මහතා අපට කීවේය.

Tigerඑවැනි ඉතාම ප්‍රාථමික සිද්ධියක් මුල් කොට මෙවැනි තීරණයක් ගන්නේ කෙසේද යන්න අපට නම් ගැටලුවකි.

මීට පෙර අවස්ථා කීපයකදීම කොටි පැටවුන් මේ ආකාරයට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්විය. එහිදී ක්‍රියාත්මක විය යුතු මූලික වනජීවී නීති කිසිවක් ක්‍රියාත්මක කිරීමට මේ දෙපාර්තමේන්තුව සමත් වූයේ නැත. මීට වසර කීපයකට පෙර ආනමඩුවට ආසන්න ප්‍රදේශයක මෙවැනිම කොටි පැටව් තිදෙනෙක් හමුවිය. එම පැටවුන් තිදෙනා වනජීවියෙන් ජාතික සත්වෝද්‍යානයට භාරදුන් අතර භාරදී ඉතා කෙටි කලකින් පැටවුන් දෙදෙනකු මියගියහ. එලෙසම උතුරු මැද හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් පමණක් මෙවැනි කොටි සයදෙනකු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලබා දී ඇත. ඒ සියලු දෙනාගේම ඉරණම ඉතාම අභාග්‍යසම්පන්න වූ බව කිව යුතුය. කුමනට කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුගත නොවී අතහැරිය කොටි දෙදෙනා ගැන කතාකරන සමරකෝන් මහතාට සත්වෝද්‍යානයට ලබා දුන් මේ කොටි පැටවුන්ට සිදුවූ සන්තෑසිය නොපෙනීම අභාග්‍යයකි.

කොටි පිරිමි සතුන්සේම ගැහැනු සතුන් රාජධානි පවත්වා ගනිමින් ජීවත්වන බව සැබෑවකි. එහෙත් ඒ තත්ත්ව තුළ පවා මෙවැනි අත්හදාබැලීම් ලෝකය තුළ කර තිබේ. ඒවා සාර්ථක වූ වාර ද ඇත. මෙවැනි සතෙකු වනයට මුදාහැරීමට ඇතිකළ යුතු ආකාරයක් තිබේ. ආහාර දිය යුතු ආකාරයක් ද තිබේ. අත්හැරිය යුතු ආකාරයක් ද තිබේ. අත්හැරීමෙන් පසු  එම සතා පිළිබඳව සොයා බලන හා නිරීක්ෂණය කරන ක්‍රමවේදයක් ද පවතී.  එවැනි ගැඹුරු ක්‍රමවේදයක් තිබියදී ඒ පිළිබඳව ගමේ බණ්ඩයියා සිතන ආකාරයේ අදහස් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාර්ශ්වයෙන් දැක්වීම කනගාටුවකි.

ඉහත උදාහරණයේ දක්වා තිබෙන කරුණු අනුව පැහැදිලිව වන්නේ එවැනි කිසිදු අතහැරීමකට සුදුසු ලෙස මෙම සතුන් ඇතිකර නොමැති බවය. එය වනයට මුදාහරින සතෙකු ඇතිකිරීමේ ජාත්‍යන්තර රීතීන් සේම දේශීය සම්මතයන් ද විද්‍යාත්මක දැනුමද අමතක කළ සිදුවීමක් බව කිව යුතුය.

දැන දැන එවැනි උදාහරණයක් සමරකෝන් මහතා අප සමග පැවසුවේ ඇයි ද යන්න බරපතළ ගැටලුවකි. දෙවැන්න වන්නේ මෙවැනි සතකු වනයට මුදාහැරීම කළ යුතු ආකාරයයි. එය අවස්ථා කීපයක් හා අදියර කීපයකින් යුතු වූවකි.
ප්‍රථමයෙන්ම කළ යුත්තේ අදාළ වනපෙත තුළ ඉදිකළ ප්‍රමාණයෙන් විශාල කූඩුවක් තුළ අදියර කීපයක් යටතේ මුදා හැරීමය.

එවැනි තත්ත්වයක් හා සම්මතයක් ලෝකයේ තිබියදී මෙවැනි විකාර අතහැරීම් ගැන කතාකිරීම පවා කාලය කාදැමීමකි.
ගාමිණී සමරකෝන් මහතා ප්‍රකාශ නොකළ ද මෑත කාලයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සාපේක්ෂව ඉතා හොඳ කොටි අතහැරීමේ මූලික මට්ටමේ නියමු ව්‍යාපෘති දෙකක් කළ බව කිව යුතුය. ඉන් එක් ව්‍යාපෘතියක් භාරව කටයුතු කරන ලද්දේ පශු වෛද්‍ය සුහද ජයවර්ධන මහතාය. ඔහු කොටියා වැඩිහිටි මට්ටමට ආසන්න වන විට අදියර කීපයක් යටතේ උඩවලව ජාතික වනෝද්‍යානයට  මුදාහැරීමේ කටයුතු සිදුවිය. එකී සමයේ ක්ෂණිකව ඇතිවූ එල්ටීටීඊ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් එම ව්‍යාපෘතිය අසාර්ථක වුව ද ඒ වනතුරු එය සාර්ථක මට්ටමක පැවතිණි.

දෙවැනි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍යවරයකු වන බි. විජිත පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේය. ඔහු සතා මුදාහැරීමට තෝරාගෙන තිබුණේ එම සතා මන්දට හසුවූ ප්‍රදේශයම වූ බැවින් එහි සුවිශේෂී ගැටලුවක් පෙනෙන්ට නොතිබිණි. නමුත් ඇතැම් මාධ්‍ය හා සම ‘හරක්’ ගේ මැදිහත්වීම හේතුවෙන් එය නිසි ලෙස කරගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවට නොහැකි විය. අවසානයේ ඒ කොටියා ද සර්ප දෂ්ඨනයකින් මියගියේය.

එකී අවස්ථා දෙකටම වඩා සාර්ථක අත්හදාබැලීමක් කිරීමට මෙම කුඩා කොටි පැටවාගෙන් හැකියාව තිබියදී ඒ මගින් ලෝකයටම නව මානයක් එක්කිරීමේ වරම තිබියදී එය ප්‍රතික්ෂේප කිරීම හා මගහැරීමට තැත්කීරීම කනගාටුවට කරුණකි.  මෙවැනි කුඩා පැටවකු අත්හැරීම සඳහා ඇති කිරීමේදී විශේෂ ක්‍රමවේදයක් ලොව පුරා පවතී. කැලයක තනිව ජීවත්වීමේ හැකියාව එම කාලය තුළ වර්ධනය කරගත හැකිවන ලෙස එම පැටවා ඇති කිරීම අනිවාර්ය කරුණකි. ඒ සඳහා වෙනමම ක්‍රමවේද සේම වෙනමම සත්ව කූඩු ද පවතී. ඔවුන්ට ලබාදෙන ආහාර ද වෙනස් ආකාරයක් ගනී. විශේෂයෙන්ම පණ තිබෙන ගොදුරු  මෙම කාලයේදී ලබාදෙයි. අව්ව, වැස්ස, සීතල වැනි ස්වභාවික තත්ත්වවලට ඔරොත්තු දීමේ හැකියාව ද වර්ධනය වන්නේ මේ අවදියේදීය. එලෙසම මෙවැනි අවදියක පැටවෙකු කිසිම අවස්ථාවක සුරතල් කිරීම, ඇල්ලීම, අතගෑම වැනි දෑ වලට බඳුන් නොකළ යුතුය. එය තරයේම සිහියේ තබාගත යුතු කරුණකි. මිනිසුන්ගේ රෝග එම සතාට බෝවිය හැකි බැවින් ඒ පිළිබඳවද හොඳින් අවධානය යොමු කළ යුතුව ඇත.

එලෙසම කැලයට සමාන විසල් කූඩුවක අතහැරීමට පෙර මෙවැනි සතුන් ගාල් කිරීම සිදුවේ. ස්වාභාවික ගොදුරු දඩයම් කරන්නේ එම අවස්ථාවේදීය. එලෙසම එම කූඩුව අසලට පැමිණෙන අනෙක් සතුන් හා කොටි නිරීක්ෂණය කිරීම සඳහා සීසීටීවී කැමරා පද්ධතියක් ද සවි කිරීම වර්තමානයේ පහසුවෙන් කරගත හැක.  එමගින් එම ප්‍රදේශයේ සිටින සෙසු කොටි පිළිබඳ අදහසක් ලබාගත හැක. එලෙසම මෙම කොටියාට එල්ල විය හැකි  තර්ජන පිළිබඳ මූලික අවබෝධයක් ඒ හරහා ලබාගත හැක.

අත්හැරීමේ කටයුත්තේදී හිරිහැරයක් නොවන ශක්තිමත් රේඩියෝ කොලරයක් සවිකිරීම මගින් කොටියාගේ දත්ත ලබාගැනීමේ හැකියාව පවතී. ලෝකයේ මෙවැනි අත්හදා  බැලීම් සාර්ථකව කර තිබෙන බව වනජීවී දෙපාර්තමේන්තුවේ දැනගැනීම සඳහා කිව යුතුව ඇත. මෙම නව ව්‍යාපෘතිය මගින් ද ලෝකයට නව දැනුමක් එක්කිරීමේ හැකියාවක් පවතින බව කිවයුතුය.

එලෙසම මෙහි තවත් කතාවක් තිබේ. එනම් මෙවැනි කුඩා කොටි පැටවකු පිටතට පැමිණෙන්නේ හදිසි තත්ත්වයකදී පමණි. ඒ කොටි මවගේ අධීක්ෂණය යටතේය. විශේෂයෙන්ම විසල් ගංවතුරක් වැනි උවදුරකදී කොටි මව මෙවැනි කුඩා පැටවුන් ආරක්ෂිත ස්ථානවලට රැගෙන යයි. එසේ නොමැතිව මෙවැනි කොටි පැටවකු වනයේ සැරිසැරීම යනු කොටි මව මියයාම හෝ මරාදැමීම යන පණිවිඩ ලෝකයටම පවසන්නකි. වනාන්තරයක මෙවැනි කුඩා කොටි පැටවකු යමෙක් දුටුවේ නම් කිසිසේත්ම එම පැටවා ගෙදර ගෙනඒමට හෝ එම පැටවා ළඟට යාමටවත් කිසිවෙක් හෝ ඉදිරිපත් වන්නේ නැත. මක්නිසාදයත් එවැනි පැටවකු අසල මව සිටිනා බව ස්ථිර ලෙසම ඔවුන් දන්නා බැවිනි. එහෙත් යම් අයෙක් බියක් සැකක් නොමැතිව  මෙවැනි පැටවකු ගෙදර ගෙනයාම යනු එම මව මරා දැමීමේ ප්‍රවෘත්තිය දන්නා බවට සාක්කිියකි. මෙවැනිම තත්ත්වයක් මීට ඉහත කුඩා කොටි පැටවුන් හමුවූ අවස්ථාවල ද තිබුණද වනජීවී දෙපාර්තමේන්තුව එවැනි ගවේෂණාත්මක හා විද්‍යාත්මක සාක්ෂි හඹා ගියේ නැත. මේ අවස්ථාවේදී එවැනි සාක්ෂි කැඳවීමක් දෙපාර්තමේන්තුව සිදු නොකිරීම කනගාටුවකි. එය සිතාමතාම කොටි පැටවාගේ මවගේ මිනීමරුවන් රක්ෂා කරන ප්‍රතිපත්තියකි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන අතරතුර හැත්තෑවකට වඩා වැඩි පිරිසක් සිය ජීවිතයෙන් වන්දි ගෙවා ඇත. මේ තක්කඩි නිලධාරීන් අද කරන්නේ එවැනි ජීවිතයෙන් වන්දි ගෙවා සුරක්ෂිත කළ මේ උතුම් මිලකළ නොහැකි පරිසර සම්පත වනසා දැමීම නොවේද?.



Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »