ලෙස්ටර් – සුමිත්‍රා යුවළ පාරට වැටෙනතුරු අපි ගොළුවන් බිහිරන් සේ සිටිමුද?

2017-01-20 09:41:00       584
feature-top
ඔහු මා ඉදිරිපිට සිටී. එය මා තුළ තිගැස්මක් ඇති කළේ ය. මා සිතින් මවාගත් දැවැන්තයා මගේ ඉදිරිපිටය. මම වචන සෙවීමි. ඔහු වම් අත නළල වෙත ගෙන ගොස් පිරිමැද, උපැස් යුවළ මඳක් සකසා මා දෙස බැලීය.

“සර්”
මට මුව‘ගට නැගුණේ එපමණය. ඔහු මුවග‘ටම නගා ගත් සිනාවකින් මා දෙස බැලීය.
“ධර්මසේන එක්ක ද ආවේ?”
මම පිළිතුරු බැඳීමි.
“ඔව්…”
ඔහු සුපුරුදු කාර්යයේ නියැළෙමින් යළි වම් අතින් නළල පිරිමැද්දේය.
හිසෙහි පැලඳ සිටි “ච්ෙ” තොප්පිය ඔහුගේ ගාම්භීරත්වය වැඩිකරන්නේ යැයි මට සිතිණි.

එහෙත් ඔහු මගේ මනසේ එතෙක් සටහන්ව තිබූ උස්, මහත් දැවැන්තයා නොවීය.
කුඩා සිරුරක් හිමි ඔහු තුළින් දිස් වූයේ චාම් ගතිලක්ෂණයි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා සිනමාවේදියා මට පළමුවරට මුණ ගැසුණේ 1990 දීය.

පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ “ගොළු හදවත” ටෙලි නාට්‍යය රූගත කිරීම් කරන අතර මම එහි පැමිණියේ කැමරා අධ්‍යක්ෂවරයකු වූ අභාවප්‍රාප්ත කේ. ඒ. ධර්මසේන සමගය. ඔහු මගේ ඥාතියකු විය. එකී පළමු හමුවෙන් පසුව මගේ ආතක් පාතක් නැති සිහින ගොන්නට සිනමා සිහිනයද එක් විය. එය දළුලා වැඩෙන ‍පොළොව වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් දෙදෙනාගේ සෙවණය. ඊළඟ වසරේ සුමිත්‍රා පීරිස් මහත්මිය “ගැහැනු ළමයි” ටෙලි නාට්‍යය රූගත කරන විට මම එහි නවාතැන් ගතිමි. අනතුරුව ගෙවුණ වසර ගණනාව ගෙවී ගියේ කොළඹ 05, ඩික්මන් පාරේ, නො. 24 පිහිටි ඔවුන් පදිංචිව සිටි කුලී නිවසේය. ඒ වන විටත් ඔවුන්ගේ මෙම නිවසේ පිටුපස කොටස මාද ඇතුළුව හයහත් දෙනකුගේ නවාතැන්පළ විය. ඒ අතර ඹ්බ් (ඹ්ඥඵබඥප බ්ඥථඥඵ ඥපඪඥඵ පධඤභජබඪධද) හි සේවය කළ කාර්මික ශිල්පීන්, කැමරා ශිල්පීන්, කුලී රථ පදවන්නන්, විවිධ කලාකටයුතුවලට සම්බන්ධ වීමේ ආශාවෙන් සිටි කිහිප දෙනෙක්ද එම පිරිසට අයත් වූහ. ලෙස්ටර් – සුමිත්‍රා යුවළ මේ පිරිස තමන්ට බාධාවක් සේ නොසැලකූහ. ඔවුන්ගේ වැඩවලින්ම ජීවත් වීමට ආදායමක් කාර්මික ශිල්පීන්ට නොලැබෙන නිසා රූපගත කරන උපකරණ ඉල්ලා පැමිණිය වුන්ට ඒවා ලබා දුන්නේ ඔවුන්ට ඉන් ලැබෙන ආදායමක් නිසා නොව මෙම කාර්මික ශිල්පීන්ට මුදලක් ලැබෙන නිසාය. බොහෝ විට උපකරණ කුලිය ඔවුන්ට නියමිත මුදල ලැබුණේ කලාතුරකිනි. ඇතැම් විට එම කුලිය ලැබුණේම නැත. එහෙත් කිසි දිනෙක ලෙස්ටර් – සුමිත්‍රා යුවළ කිසි විටෙක එම මුදල් හඹා ගියේ නැත.

එකී කාලය අතර ලෙස්ටර් මහතා හෝ සුමිත්‍රා පීරිස් මහත්මිය බැහැ දකින්නට බොහෝ පිරිස් ආවෝ ගියෝ ය. ඒ අතර ආධුනික, ප්‍රවීණ නළු නිළියන්ද, ප්‍රභූවරුන්ද, දේශපාලනඥයන්ද, ‍ලේඛකයන්ද ඔවුන් මුණ ගැසිණි. ලෙස්ටර් – සුමිත්‍රා යුවළගේ සිනමා කෘතියක පෙනී සිටීමේ කැමැත්තෙන්ම පැමිණි පිරිසක් ද සිටියෝය. ලෙස්ටර් මහතාගේ උපන් දිනයට උත්සව සංවිධානය කළ පිරිස්ද වූහ.

මේ සියලු දෙනාට මෙන්ම ලෙස්ටර් – සුමිත්‍රා යුවළ තමන්ගෙන් උදව් උපකාර බලා‍පොරාත්තුව පැමිණි අයටද එකම සුහදතාවකින් සැලකීය. ඇතැම් විට මසකට වරක් පැමිණි ඔවුන් දෙපළගෙන් ජීවත් වීමට යමක් ඉල්ලාගෙන ගිය කලාකරු පවුල්වල කෙනෙක් දෙන්නෙක්ද සිටියෝය.

එහෙත් කිසි දිනෙක ලෙස්ටර් පීරිස් මහතා හෝ සුමිත්‍රා පීරිස් මහත්මිය තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවක් තමන් මුණ ගැසීමට එන ප්‍රභූවරයකුට, දේශපාලනඥයකුට හෝ පුවත්පත් ‍ලේඛකයකුට හෝ පවසනු මා අසා නැත. ඒ වෙනුවට හැම විටම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඉල්ලා සිටියේ සිනමා කෘති සංරක්ෂණයට සංරක්ෂණාගාරයක් ලබාදෙන ලෙසය.

ඔහු සතු මානුෂීය දර්ශනය පුළුල් එකකි. එය ඔහු ළඟින් ඇසුරු කළ බොහෝ දෙනා දන්නා කරුණකි. යමක් දෙස ලෙස්ටර් මහතා බැලුවේ මැදහත් සිතිනි. ලෙස්ටර් යනු රටට අසීමිතව ආදරය කළ මිනිසෙකි. 1957 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කරන මේ ප්‍රකාශය ඔහු සතු දැක්ම ප්‍රකට කරවන්නකි.

“අපේ ක්‍ෂේත්‍රයේ අනාගතය සහ අනන්‍යතාව රඳා පවතින්නේ අප අපගේ මාතෘභූමියට අනන්‍ය වූ කතා වස්තු භාවිත කිරීමේ ප්‍රමාණාත්මක බව මතයි. එම කතාවස්තු තුළින් අපේ දේශීය ජනතාව පිළිබඳ ඔවුන්ගේ බලා‍පොරොත්තු, විශ්වාස, බිය හා සන්ත්‍රාසය ආදිය අපගේ සුන්දර මාතෘ භූමිය මතදීම නිරූපණය විය යුතුයි. විදේශීය මුද්‍රාවෙන් මිදෙන තෙක් අපට බැහැ සිංහල සිනමාවක් ගැන කතා කරන්න. අපේ චිත්‍රපටවල රූපරාමු, වේශ නිරූපණය, ඇඳුම් පැලඳුම් හා සංගීතය ඇතුළු සියලුම අංශ විප්ලවයකට බඳුන් විය යුතුයි. අපේ රටේ චිත්‍රපට ක්‍ෂේත්‍රය අනාගතයේ දී මෙම නව මග ඔස්සේ ගමන් කරයිද? අපේ චිත්‍රපට නිෂ්පාදකයන්ට මෙම ප්‍රශ්නයට පිළිතුරු දිය හැකිද?”
ඔහු සිය හඬ අවදි කළේ ලෝකය වෙතට අපට යා හැකි හොඳම ප්‍රවේශ මාර්ගය සිනමා කලාව බවට විශ්වාස තබමිනි. එකී විශ්වාසය ඔහු සිය ප්‍රථම වෘත්තාන්ත සිනමා කෘතිය වන රේඛාව නිපදවමින් සනාථ කළේ ය. වරක් උගෝ කසිරාකි උළෙ‍ලේ දී රේඛාව නැරඹූ ඉතාලි ජාතික සිනමා විචාරකයෙක් රෝමයේ ලා’යුනිටා ප්‍රකාශයට ඒ පිළිබඳ සඳහනක් කර තිබිණි.

“ෆේ‍රන්ඩ්ලි පර්සුවේෂන් අප වෙත ආවේ ලෝකයේ මහාම චිත්‍රපට කර්මාන්තය පවතින්නේ යැයි පවසන රටෙනි. අනෙක් අතට රේඛාව නිපදවන ලද්දේ චිත්‍රපට කර්මාන්තයට දස වසරක්වත් ගත නොවූ රටකය. හොලිවුඩ් නිෂ්පාදනයට වඩා අපට ප්‍රසන්න වූයේ මන්දගාමී, සරල, අව්‍යාජ සිංහල චිත්‍රපටයයි.”

1957 දී කෑන්ස් සිනමා උළෙ‍ලේ චිත්‍රපට විචාරයට ලක් කළ බ්‍රිතාන්‍ය සිනමාකරු ලින්ඩ්සේ ඇන්ඩර්සන් රේඛාව හැඳින්වූයේ අලුත් අධ්‍යක්ෂවරයකු විසින් කාව්‍යාත්මක හැඟීමෙන් ගැමි දිවිය පිළිබඳ කරන ලද සරල, සුන්දර, අව්‍යාජ සිනමා කෘතියක් ලෙසය.
ලෝකය තුළ ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවෙන් තැබූ කලාත්මක සටහන් ආසියාතික සංස්කෘතික පැවැත්මේ සනාතන සටහන් ලෙස පවතී. ඔහුගේ ගම්පෙරළිය, නිධානය, බැද්දේගම, දෙලොවක් අතර නිසා ඉහළම පෙළේ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ විශේෂ තැනක් ඔහුට හිමි විය. ලෝකයෙන් කොතෙක් බුහුමන් ලැබූවද, ලෙස්ටර් පීරිස්ට රට තුළ වැඩිපුර එල්ල වූයේ විවේචනය, සිත් රිදීම්ය. නොසලකා හැරීම්ය.
එහෙත් බුහුමන් මෙන්ම දරුණු විචාරයන්ද ලෙස්ටර් එක ලෙස උහුලා ගත්තේය. ගම්පෙරළිය නිර්මාණයෙන් පසුව මහා ගත්කතු මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ මේ සටහන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට එල්ල වූ විවේචන කෙතරම් දරුණු ද යන්න ඉඟි පළ කරන්නකි.

“ගම්පෙරළිය චිත්‍රපටයෙන් විශාල සේවයක් සිදු වූයේ යැයි මම සිතමි. ගුවන්විදුලියට,නාටකයට, සංගීතය හා ප්‍රසංගයන්ටද පිවිසි ‍පොරය වැනි ‍පොරයක් සිංහල සිනමාවටද පිවිසියේ ය. උගතුන් මෙන්ම නූගතුන්ද බහුශ්‍රැතයන් මෙන්ම අල්පඥයෝද සිනමා කලාවට පිවිසියෝ ය. වෙළෙඳ ව්‍යාපාරයක් ලෙස පවතින සිංහල සිනමා කර්මාන්තයට පිවිසි අල්පඥයෝ ජයගත්හ. ඔවුන්ගේ පුවත්පත්වලත් සහාය ඇතිව සිනමා මුදලාලීහු සිනමා රසිකයන්ගේ සිතගන්නා සිනමා කතා පිළිබඳ දශමූලාසව වට්ටෝරුව වැනි වට්ටෝරුවක් සම්පාදනය කළහ. දශ මූලාසුවය සම්පාදනය කරන්නේ දසමුල් කසාය මුල්කොටගෙනයි. තිත්ත දශමුල් කසාය වයින් වර්ගයක් වන්නේ දශමූලාසවය සම්පාදනයේදීය. සිනමා මුදලාලියන්ගේ වට්ටෝරුවද එවැනි වයින් වර්ගයක් නිෂ්පාදනය කරන්නක් විය.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ජයග්‍රහණය නිසා සිනමාව මුදලාලියන්ගේ නොහොත් සිනමා නිෂ්පාදන වට්ටෝරුව රැවටිල්ලක් බව ප්‍රේක්ෂකයන්ට වැටහිණැයි මම සිතමි. ප්‍රේක්ෂකයන් සිනමා මුදලාලියන්ගෙන් ඔවුන්ගේ සේවකයන්ගේත් අසංස්කෘත භාවකත්වයට හා රුචියට වඩා විනීත භාවකත්වයක් හා රුචියක්ද ඇත්තන් බව හෙළි කරනු ලැබිම “ගම්පෙරළිය” සිනමා චිත්‍රයෙන් මැවුණු උසස්ම සේවයයි.”
(1964 දෙසැම්බර්)

කාලය ගෙවුණේ ලෙස්ටර් නම් මහඟු කලාකරුවාගේ ජීවිතය පහසු කරවමින් නොවේ. තමන් සිටින්නේ කුලී නිවසක අඩුපහසුකම් යටතේ යැයි කිසි විටෙක ලෙස්ටර් සුමිත්‍රා යුවළ සිතුවේ නැත. කෙසේ වුවද ඔවුන් වසර හතළින් ගණනක් විසූ මාර්ගය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත ලෙසට නම් කෙරුණි. තමන්ගේ නමින් නම් කළ මාවතේ වසර 47 ක් ම ඔහු කුලී නිවැසියා වී නිහඬ මුවින් ගත කළේ ය. කුලී හිමියෝද ලෙස්ටර් – සුමිත්‍රා යුවළට එහිම ඉන්නට ඉඩකඩ සලසා දී මාසික ගෙවීම පමණක් ලබා ගත්තෝ ය.

ඒ අතර සුමිත්‍රා පීරිස් මහත්මිය මීට වසර කිහිපයකට පෙර අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ශල්‍යකර්ම කිහිපයකින් පසුව ජීවිතය රැක ගත්තාය. එහෙත් ඇය වෙනුවෙන් රෝහල් බිල්පත් ගෙවන්නට කිසිවකු සිටියේ නැත. ඔවුන්ට යැයි කියා කෝට්ටේ තිබූ ඉඩම් කොටසද විකුණා දැමුණේ එම රෝහල් බිල් ගෙවන්නටය. ඒවා සිදු වූයේ කෝටි ගණනින් මහජන මුදලින් වරදාන, වරප්‍රසාද දේශපාලන හිතවතුන් ලබන රටකය. පත් වූ සෑම ආණ්ඩුවකින්ම තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගන්නා සටකපටයින් සිටින රටකය.

කලාව වෙනුවෙන්, දේශීයත්වය වෙනුවෙන් කැපවීම් කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් මහතාගේ සෑම ජයකින්ම කළ “චිත්‍රපට සංරක්ෂණාගාර” ඉල්ලීම ද අද දක්වා ඉටු වූයේ නැත. ඔහු ලාංකීය සිනමා ලෝකය තුළ ස්ථානගත කළේ ය. සුමිත්‍රා පීරිස් මහත්මිය ලාංකීය සිනමාකාරිය බවට පත් වූයේ ආසියාව තුළ ද එබඳු සිනමාකාරියන් නොසිටි පසුබිමකය. ඈ අදත් තමන් කළ සිනමා කෘතියක් වෙනුවෙන් වෙහෙස වන්නීය. ඒ 98 හැවිරිදි ලෙස්ටර් මහතාට එම සිනමා කෘතිය පෙන්වීමේ නොතිත් ආශාවෙනි. එහෙත් ඇය ගනුදෙනු කරනුයේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් පෙනී සිටින නිෂ්පාදකයන් සමගය. ඔවුන්ට කලාව ගැන හෝ සංවේදී කලාකරුවන් පිළිබඳ හැඟීමක් නැත.
ගත වූ මාස කිහිපය සුමිත්‍රා පීරිස් මහත්මිය ගත කළේ දැඩි පීඩාකාරී මානසික පරිසරයකය. ජීවිතයේ අගභාගයට පැමිණි ඔවුන්ට එම කාලය ද විවේකීව ගත කරන්නට තරම් සුබවාදී වටපිටාවක් නිර්මාණය වී නැත.

ලෙස්ටර් – සුමිත්‍රා යුවළගේ ජීවිත යළිත් උස්සා ‍පොළොවේ ගසන්නට තරම් අකාරුණිකය.
ඔවුන් දෙදෙනා මතෛක් පදිංචිව සිටි වසර 47 ක් බොහෝ දෙනකු පැමිණ ගිය, දේශීය චිත්‍රපට රැසකට තිඹිරිගෙය වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ කුලී නිවස වෙනත් හිමිකරුවකුට විකුණා දමන්නට එහි හිමිකරුවන් විසින් පියවර ගෙන ඇත. ඒ බව ඔවුන් දැනගත්තේ ද නීතිඥ සමාගමකින් එන දැනුම් දීමක් හරහාය. ලොව මේ වනවිට ජීවතුන් අතර සිටින වයෝවෘද්ධම සිනමාකරුවන් අතර තුන්වැන්නා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ සුමිත්‍රා පීරිස් මහත්මිය සමගම ඔවුන්ගේ කුලී නිවස විකුණා දමා අවසන්ය. කලාව වෙනුවෙන් යැයි හඬ තළන කිසිවකුත් ඒ පිළිබඳ පෙනී සිටින්නේ නැත. මන්ද එයින් යටි ලාභයක් නැති බැවින්ය.

නව හිමිකරුවන් ඔවුන්ට දන්වා ඇත්තේ මතෛක් ගෙවූ කුලී මුදල තමන්ට ගෙවන ලෙසය. කසකාරයා කියා සිටින්නේ පෙරහර පසුපසින් එන බවය. ජීවිතයේ සැඳෑ සමයේ පසුවන ජාතික සම්පතක් සේ රැකගත යුතු කලාකරුවකු පාරට වැටෙනතුරු ඒ පිළිබඳ කතා කරන්නට සිටිය යුතුද?

ඔවුන් සතුව තිබූ පැරණි කැමරා උපකරණ, සිනමා ආලෝකය සපයන උපකරණ පවා ඇතැමුන් ගෙනගොස් ඇත්තේ සංරක්ෂණය කරන මුවාවෙනි. එහෙත් ඉන් ලෙස්ටර් – සුමිත්‍රා යුවළට සිදු වූ සෙතක් නැත. හෙට දිනයේ ඔවුන් මහමඟට ඇද නොවැටේ යැයි සහතිකවන්නට කිසිවෙක්ද නැත. සියලු දෙනා සිටින්නේ තම තමන්ගේ සිහිනවලය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ දිනපතා ගමන් ගන්නා කිසිවකුට හෝ එහි කුලී නිවසක ලොවම පිළිගත් කලාකරුවකු සිටින බවට හැඟීම ඇතිවේද? රටක මහා කලාවක් පවතින්නට නම් කලාකරුවන් ආරක්ෂා විය යුතුය. ඔවුන්ට රටෙන් ලැබිය යුතු ගෞරවය හිමි විය යුතුය. එහෙත් පටු වෙළෙඳ අරමුණු ඉක්මවා යන කලාකෘති හෝ කලාකරුවන් අපට හිඟවෙමින් පවතින්නේ එය වසාගෙන ඇති පිලිල නිසාය.

1952 වසරේ රජයේ චිත්‍රපට අංශයට එක් වූ ලෙස්ටර් පුවත්පත් කලාවේදියකි. ඔහු සිය සිනමා ජීවිතයෙන් විශ්‍රාම ගන්නා විට කෙටි සහ වාර්තා චිත්‍රපට 11 කුත්, වෘතාන්ත චිත්‍රපට 20 කුත් නිර්මාණය කළේ ය.

වරක් 88 හැවිරිදි වියේ සිටි ලෙස්ටර් මහතාගෙන් මාධ්‍යවේදියකු සිනමාවෙන් විශ්‍රාම යන්නේ දැයි ඇසූ විට ඔහු දුන්නේ මෙබඳු පිළිතුරකි.

“මට වෛද්‍යවරු උපදෙස් දීලා තියෙන්නේ විවේක ගන්න කියලා. ඒත් මම හැකි හැමවිටම සුමිත්‍රාගේ නිර්මාණ කටයුතුවලට සහය දෙනවා. අනික ඔය ප්‍රශ්නය අහන්න තිබුණේ ඔබ ඇයි තවමත් චිත්‍රපට කරන්නේ මේ තරම් වයසට ගිහිල්ලා කියලා. ඇයි මීට කලින් විශ්‍රාම ගත්තේ නැත්තේ කියලා…”

සිනමාකරුවකු ලෙස තෘප්තිමත් දැයි යන්නට ඔහු දුන් පිළිතුර තුළ ඔහු කලාවට, රටට කොතරම් ආදරය කළ කෙනකුද යන්නට වෙනත් නිදසුනක් අවශ්‍ය නොවන තරම්ය.
“සිනමාව නිසා මට ලැබුණු දේවල් මිල කරන්න බැහැ. බොහෝ දේවල් සිනමාව නිසා මට ලැබුණා. ශ්‍රී ලංකාව ලෝකයට ගෙනයන්න අවස්ථාව මට ලැබුණේ සිනමාව නිසා. මම මගේ රටට ආදරය කරන්න පටන් ගත්තේ, මගේ රටට ගොඩක් ළං වුණේ සිනමාව නිසා. මම නියම ශ්‍රී ලාංකිකයෙක් වුණේ සිනමාව නිසා. කොටින්ම කියනවා නම් මට ජීවිතය දුන්නේ සිනමාව. බටහිරට නැඹුරු සංස්කෘතියෙන් මා ඉවත් කළේ මගේ ජාතිකත්වයට මා සමීප කළේ සිනමාවයි.”

එබඳු සිනමාකරුවකු රැකගන්නට රටකට වගකීමක් නැතිද?
අවසන් වශයෙන් තම හෘද සාක්ෂියෙන් ලාංකීය ජනතාව, කලාකරුවන්, පාලකයන් අසාගත යුතු පැනයක් තිබේ.

රටට ආදරය කරන, මිනිසුන්ට ආදරය කරන, ලෝකයට ආදරය කරන මිනිසකු වෙනුවෙන් ඔබ ඔබේ යුතුකම ඉටුකර තිබේද?

rivira.lk


More News »