මෙන්න 'දොස්‌තර'  පාට්‌ දමන හොරු
රැවටෙන්න එපා !

2017-01-16 11:04:00       584
feature-top
යහපාලන රටේ යහපත් උදවිය සිටිති. එසේම ඩප්පිකාරයෝ, බෝම්බකාරයෝ, කප්පම්, පගාකාරයෝ, අන්ඩර් ගේම්, අල්ටි ගේම් කාරයෝද, "සරසවන්නෝද", "අන්දවන්නෝද" ඕනෑ තරම් සිටිති. ඔබද කිසියම් දිනෙක ඔවුනට අසු වී ඇති. එසේ නොමැති නම් හෙට දවසේ ඔබ ඔවුනට ගොදුරු වනු ඇත. එසේ නොවන්නට මේ ඔබ කල් තබාම අනතුර දැක ගන්නට, තෝරා ගැන්මට සබුද්ධික විය යුතුය. ඊට පෙරමඟ පෙන්වන කතාවකුයි මේ....

කමල් රජයේ නිලධාරියෙකි. ඔහු සතු ඉඩම් කැබැල්ලක්‌ විකිණීම සඳහා ඔහු බැනරයක සටහන් කොට මාර්ගය අයිනේ එල්වා තැබුවේය. සිය දියණියගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ඔහුට මුදල් අත්‍යවශ්‍යව පැවැතුණි.

බැනරය දමා දින දෙකකින් ඔහුට දුරකථන ඇමතුමක්‌ ලැබුණි. එවිට ඔහු සිටියේ බැංකුවක්‌ තුළය. දුරකථන සංවාදය මෙසේයි.

(අමුත්තා) "හලෝ ගුඩ් මොර්නිං.... ඔබතුමාගේ ඉඩමක්‌ විකුණන්න තිබෙනවා නේද.... මට ඒ ගැන කියන්න පුළුවනිද....?

(කමල්) "පුළුවන්.... ඉන්න මම එළියට එනතුරු.... මෙතැන අමාරුයි...." (එළියට පැමිණ) "ආ.... හරි දැන් අපි කතා කරමු...."

(අමුත්තා) එහෙම කිවුවාට මට නම් ඉඩම ගැනීමත් එපා වුණා. ඔයාට ගුඩ් මෝර්නිං කියද්දී රිප්ලයි කළේ නැහැනේ. ඉතින් ඒ වගේ මැනර්ස්‌ නොදන්න අය එක්‌ක මේ වගේ "ජෙනුයින්" වැඩ කරන්නේ කොහොමද....?

(කමල්) "සමාවෙන්න, සමාවෙන්න.... මට මුලින්ම කියනවද ඔබතුමාගේ නම වැඩ කරන්නේ කොහේද කියලා....

(අමුත්තා)- " හරි, හරි සමාව දෙන්නම්. මට කියන්නකෝ ඔබතුමාගේ නම ඊට කලින්"

(කමල්) "මම කමල්.... ඔබතුමා කවුද එතකොට"

(අමුත්තා) "මගෙ නම විඡේසූරිය ඉන්නේ ගිරිඋල්ලේ රස්‌සාව ගැන නම් මම වැඩිය පුරසාරම් දොඩන්නේ නැහැ මිස්‌ට කමල්. ඒත් ඔබ ඇහුවා නිසා කියන්නම්. මම ඩොක්‌ටර් කෙනෙක්‌. වැඩ කරන්නේ කුලියාපිටිය හොස්‌පිටල් එකේ...."

මෙලෙස ඇති වූ සංවාදය මිත්‍රකමක්‌ දක්‌වාම දින 2-3 දීම දුර- දිග ඇදී ගියේය. වෛද්‍යවරයා සෑම මොහොතකදීම "මිස්‌ට කමල් ලෙස ආමන්ත්‍රණය කළ අතර ඔහුට දුරකථන ඇමැතුම් ගැනීමට තරම් නිර්ලෝභී වූයේ කමල් දුරකථන ඇමැතුම් ගන්නා විට එය නතර කිරීමෙනි. කමල් තුළ විශ්වාසය තවත් වැඩි දියුණු වූයේ වෛද්‍යවරයා පැවැසූ වැදගත් කරුණකිනි.

"මිස්‌ට කමල් මම මේ ඉඩම ගන්න හදන්නේ මගේ දුවටයි. එයා තමයි මගේ පණ. මගේ සේසතම එයාටයි. දැන් එයා මෙඩිකල් කොලේඡ් එකේ අවසන් අවුරුද්ද. එයාට ඔයාලගේ හොස්‌පිටල් එකටම මම පත්වීම හදනවා. මට එහේම පුළුවන් කමකුත් තියෙනවා. අර ඔයාලගෙ පොළ ළඟ පිටිපස්‌සේ මහින්ද මහත්තයාගේ ප්‍රචාරක රැස්‌වීමක්‌ තිබුණනේ. එයාලත් එක්‌ක මාත් ආවා. ඒ යාලුවෝ දැන් මෛත්‍රි මහත්තයා එක්‌ක ඉන්නවා. දුව එතකොට ඔයාගේ ඉඩමේ පී. පී සෙන්ටර් එකක්‌ (පුද්ගලික ඩිස්‌පැන්සරියක්‌) කරනවා. මම ගොඩනැඟිල්ල හදලා දෙනවා.

ඩොක්‌ටර් එහෙම කියන්නේ කොහොමද? මගෙ ඉඩම තියෙන තැනවත් දන්නේ නැතිව....

"මිස්‌ට කමල් මම හොඳට හොයලා බලලා වැඩ කරන ඩොක්‌ටර් කෙනෙක්‌. ඔයාගේ ඉඩමට මම ඇවිත් බැලුව විත්තිය ඔයාට මං කිව්වේ නෑ. ඔයාට කරදර කළේ නෑ. මම ඉඩම බැලුවා විතරක්‌ නෙවෙයි, ඒක රෝහල කිට්‌ටුවම නිසා මට හිතට ඇල්ලුවා. මම ඒකේ පස්‌ ටිකකුත් ගෙනාවා. මොකද සමහර ඉඩම්වල මිනී වළ දාලා කිළි තිබෙනවානේ. මම ඔය එතැන ළඟම ගෙදරක අම්මා කෙනෙක්‌ එක්‌කත් ඉඩම ගැන කතා කළා. ඇරත් අපි ඔයාලගේ ප්‍රාදේශීය සභාපති කවුද මිස්‌ට කමල් අර යන්ග් බෝයි....?

"උදාර....

"දැට්‌ස්‌ රයිට්‌.... උදාරලා අපේ ළඟම ඥතියෝ මමයි දුවයි, නෝනයි විටින් විට එහෙ එනවා.

"ඩොක්‌ටර් ඉඩම ගැන කතා කරන්න ඇත්තේ "අපේ අම්මත් එක්‌කයි...."

"එහෙමද....? ඔයා වගේ ගුණ යහපත්....අම්මත්......"

මෙලෙස මොහොතින් මෙහොත වැඩෙන විශ්වාසය, දිනක රාත්‍රියේ තවත් ඉහළට නැග්ගේය. වෛද්‍යවරයා එදින කමල්ට කතා කොට ඉඩම ඔප්පු ලිවීමට ප්‍රථම ඉඩමේ ඔප්පුවේ පොටෝ කොපියක්‌ කමල් දන්න හඳුනන නීතිඥවරයකුට ලබා දී නීතිඥවරයාගේ දුරකථන අංකයද ලබාදෙන ලෙස ඉල්ලූයේ ඔප්පු ලිවීම සඳහාය. කමල් හනික නීතිඥ ලක්‌ශාන්ගේ අංකය ලබා දී රැයේම ඡායා පිටපත ඔහුට (නීතිඥවරයාට) ගෙනවුත් දුන්නේය. ඒ සමඟම තම නීතිඥවරයාට ඉඩම වෛද්‍යවරයකුට විකුණන කතාවද කීය.

මද වේලාවකින් නීතිඥ ලක්‌ෂාන්ගේ දුරකථනය නාද වුණි.

"මිස්‌ට ලක්‌ෂාන් ඔයාගේ යාලුවෙක්‌ වෙන්න ඇති මිස්‌ට කමල්.... ඒ ඉඩම ගන්නයි හදන්නේ මම...."

"ආ.... ඔව්, ඔව්, ඩොක්‌ටර් විඡේසූරිය නේද.... මම ළඟ ඔප්පු පිටපත තියෙනවා. එක නිරවුල්...."

"බොහොම හොඳයි. එහෙනම් ඔප්පු ලියමු. ඔබතුමාගේ ගාස්‌තුවත් ලක්‌ෂයක්‌ දෙකක්‌ වේවිනේ. කමක්‌ නෑ. මට ඉඩම වටිනවා. අපි එහෙනම් හෙට අනිද්දාම ඔබතුමා ළඟ ඔප්පුව ලියමු...."

කමල්ද, නීතිඥ ලක්‌ෂාන්ද සතුටු වූයේ දෙදෙනාටම ලැබෙන "වාසනාව" ගැන සිතමිනි.

සිකුරාදා පසු වී සෙනසුරාදා, ඉරිදා පසු වී සඳුදාට එළැඹ තිබුණි. ඔය අතරතුර කමල්ට වෛද්‍යවරයා ඇමැතුම් දහ- පහළොවක්‌ ලබාගෙන පැය කීපය බැගින් කතා කර තිබුණි. දවල්ට ඇමැතුම් නොගන්නා ලෙසත් ලෙඩුන් බලන නිසා ෙµdaන් ඕµa කර ඇති බවත්, වෛද්‍යවරයා කල් තබාම කමල්ට දැනුම් දී තිබුණි. ඔහුද කතා කළේ දිවා විවේකයේදී හා රාත්‍රි කාලයේදී පමණි. එහෙත් වරෙක කමල් දහවල් දෙකට පමණ ඇමැතුමක්‌ ගත් විට ඇසුණේ වෛද්‍යවරයා ලෙඩුන් බැලීමට කොරිඩෝව දිගේ ඇවිදින විට ටොක්‌ ටොක්‌ හඬින් නැඟෙන සපත්තු හඬ පමණි. කමල් වරදක්‌ කළ අයුරින් වහා දුරකථන ඇමැතුම නවත්වා ගත්තේය.

සඳුදා උදේම කමල්ට දුරකථන ඇමැතුමකි.

"මිස්‌ට කමල් අද අපි ඔප්පු ලියමු. ඔයා උදේම ඔයාගේ එකවුන්ට්‌ තියෙන බැංකුවට ගිහිල්ලා මට කතා කරන්නකෝ...."

කමල්ට "මාර සැට"ය දින දෙක තුනකින් තම ඉඩම වැදගත් වෛද්‍යවරයෙකුට විකිණීමට පහසුවෙන් සැලසීම ගැන ඔහු තම බිරිඳටද සතුටින් කීවේ "බලන්නකෝ මම පර්චස්‌ එක පනහයි කීවේ" අඩු කළේවත් නෑ. ඇත්තටම හොඳ මනුස්‌සයෙක්‌ හින්දත් එයාගේ දුවත් අපි ළඟටම එන හින්දත් මම හිතුණොත් තව අඩු කරලා දෙනවා...." යයි කියමිනි.

කමල් බැංකුව ළඟට ගොස්‌ වෛද්‍යවරයාට කතා කළේය.

"මිස්‌ටර් කමල් දැන් මම ඔයා හින්දා මේ වගේ වැඩක්‌ කරනවා. මගේ බැංකුවේ තියෙන ස්‌ථිර තැන්පතුවක්‌ ලක්‌ෂ විසිදෙකක මුදල මම අයින් කරගෙන ඔයාට එවනවා. හරියටම කියනවා නම් විසිදෙලක්‌ෂ හැටහයදහස්‌ දෙසිය අනුහතක්‌ එකේ තියෙනවා. මම එහෙම පිටින්ම ඒක ඔබගේ එකවුන්ට්‌ එකට එවනවා. දුව දැන් පිටත් වුණා ඔයාව හම්බ වෙන්න ඔහේදී.... මම නීතිඥතුමාටත් කතා කරන්නම්.... ඔයාගේ බැංකු මැනේජර් මහත්තයාට ඔය ෙµdaන් එක දෙන්නකෝ....

"හලෝ ගුඩ් මෝර්නිං මැනේජර් මහත්තයා මම ඩොක්‌ටර් විඡේසූරිය මිස්‌ට කමල් ඔයා දන්නවා ඇති. මම මිස්‌ට කමල්ගේ ඉඩම ගන්න හදනවා. නීතිඥතුමාත් හරි.... ඔබතුමා කරුණා කරලා කියනවාද.... මිස්‌ටර් කමල්ගේ සම්පූර්ණ නම.... එකවුන්ට්‌ නම්බරය..... මගේ µsක්‌ස්‌ ඩිපොසිට්‌ එකක මුදල් මම මිස්‌ට කමල්ට එවන්නේ.... මැනේජර් මහත්තයා එයාට පොඩ්ඩක්‌ උදව් කරන්නකෝ...."

දැන් කමල් මුදුන් අත්තේය. කිසි දිනක නොදුටු දුරකථනයෙන් මුණගැසුණු වෛද්‍යවරයා ඔහුගේ ගිණුමට මුදල් තව ටිකකින් එවයි. ඔහු සතුටින් එහෙ මෙහෙ ඇවිද්දේය. යළි වෛද්‍යවරයාගේ දුරකථන ඇමැතුමකි.

"ඔන්න මිස්‌ටර් කමල් මම දැන් සල්ලි මෙහෙන් ඔයාගේ එකවුන්ට්‌ එකට දැම්මා..... ටිකක්‌ වෙලා යයි. දන්නේ නැද්ද බැංකුවල බිසිනේ. මම මේ දැන් නීතිඥතුමාටත් කතා කළා. අද එතුමා උසාවියේ. හෙට නිවාඩු දවසේ නිවාඩුව ඔප්පුව ලියමු කියලා කිව්වා.. මට නම් කමක්‌ නෑ. එහෙම වුණොත් මටත් ලේසියි. මම හෙට ඇවිත් ඔප්පු ලියන්නම්.

"ආ මිස්‌ට කමල් ඔතන මම විසිදෙලක්‌ෂ හැටහයදහස්‌ දෙසිය අනුහතක මුදලක්‌ ඔයාගේ එකවුන්ට්‌ එකට එවලා තියෙනවා. ටිකකින් චෙක්‌ කර ගන්න.

හැබැයි ඔයා මට ටිකක්‌වත් ගාණ අඩු කළේ නෑ නේද.... ඔයා කැමැතිද.... චුට්‌ටක්‌ අඩු කරන්න....

"හොඳයි ඩොක්‌ටර් ඔයා මට විශ්වාසයිනේ මම ඔයාට ලක්‌ෂයක්‌ අඩු කරන්නම් කෝ...."

"හරි මිස්‌ට කමල් ඔයා හරිම ජෙනුයින්.... ඔතන ලක්‌ෂ විස්‌ස ඔයාට.... තව දෙකක්‌ අපේ නීතිඥතුමාට.... මැනේජර් මහත්තයාට සල්ලි දෙන එක හරි නැහැ නේද....? වෙනම සලකමු ඉතිරි හැටහයදාහ මගේ දුව ආපුවම දෙන්න.... අතට.... එක්‌කෝ හැටදාහක්‌ දෙන්නකෝ....

කමල් දැන් මුරුංගා ගහේ අකරංදල්ලේය. ඔහුට මෙතරම් ලේසියෙන් කිසි දිනක කිසි දෙයක්‌ කර ගැනීමට ඉඩ ලැබී නැත. ඔහු සතුටින් පිම්බී සිටියේය. ඔහු කලින් සිතා සිටියේ ඉඩම ලක්‌ෂ දහයකටවත් විකුණා ගැනීමට හැකිවේදොa කියාය. "දැන් ලක්‌ෂ විස්‌සක්‌.... ෂාහ්.... දෙගුණයක්‌.... පට්‌ට වාසියක්‌.... හවස යාලුවොත් එක්‌ක සෙට්‌ වෙන්න ඕනෑ මේක සෙලිබ්රේට්‌ කරන්න."

මොහොතකින් කමල්ට ඩොක්‌ටර්ගෙන් ඇමැතුමකි.

"මිස්‌ට කමල් අනේ, අපේ දුවගේ වාහනේ අතරමඟ නතර වෙලා. එයා ඒක ගැරේ- එකට දාලා ආපහු හැරෙන්නයි හදන්නේ. එයා කියනවා ඔයා එයාට දෙන මුදල තියාගෙන මගේ නමට පේ ඕඩරයකින් (ගෙවීම් අණකරයකින්) PAY ORDER එවන්න කියලා. ඔයා එහෙම නම් හැටදාහ මුදල මට දැන්ම පේ ඕඩර එකකින් එවනවද....? ඔප්පුව ලියන්න මම හෙට උදෙන්ම එනවා.

(PAY ORDER} සෘජු ප්‍රේෂණ/ ගෙවීම් අණකර)

කමල්ට මෙය එක්‌වරම නොතේරුණි. (එයම ඔහුගේ වාසියටද හේතු විය.) ඔහු කළමනාකාරවරයාද තවත් හිතවත් අයෙකුටද මේ ගැන කීය. වෛද්‍යවරයාගේ දුව පැමිණෙනවා කියූ නිවසටද ගොස්‌ ඇසීය. "පිස්‌සුද එහෙම අයෙක්‌ නම් අපේ ඥතියෝ නොවෙයි. මෙහෙ ආවෙත් නෑ...." කළමනාකාරවරයාද පැවැසුවේ වෛද්‍යවරයා දැමු මුදල් ලැබෙන තුරු පේ ඕඩර (PAY ORDER) එකවරම මුදල් නොයවන ලෙසයි.

කෙසේ වෙතත් කමල් සිටියේ අන්දුන් කුන්දු වීය.

ඔහු වෛද්‍යවරයාට ඇමතුමක්‌ ගත්තේය. "ඩොක්‌ටර් තවමත් සල්ලි නම් ලැබුණේ නෑ. ඉතින් මම කොහොමද බැලන්ස්‌ එක එවන්නේ....?

"අයියෝa මිස්‌ට කමල් ඔයාට තවමත් බැංකු වැඩ කටයුතු ගැන දැනුවත් නැහැනේ. ඔයාගේ එකවුන්ට්‌ එකෙන් හැටදාහක්‌ අරගෙන මට පේ ඕඩර් එකක්‌ එවන්න. මම ටික වේලාවකින් කියන්නම් එවන්න ඕනි විදිය....

දුරකථනය විසන්ධි වෙයි.

කමල් මොහොතින් යළි ඇමතුමක්‌ ගනී.

"ආ මිස්‌ටර් කමල් ඔයා හැටදාහ ගත්තද.... පොඩ්ඩක්‌ ඉන්න මම එවන විදිය කියනකන්....

"ඩොක්‌ටර් මං ගාව එච්චර මුදලක්‌ නැහැ...."

"එහෙමද මිස්‌ටර් කමල් එහෙම නම් මෙහෙමවත් කරන්නකෝ.... දැන් දුව ඇවිත් මගෙන් සල්ලි ගැන අහනවා. මට එයා ඉදිරියේ ලැ-ජා වෙන්නත් බැනේ.

හෙට ඔප්පු ලියන්න එද්දී ඉතිරි සල්ලි ටික දෙන්න. දැනට මට දුවට පෙන්නන්න රුපියල් විසිදහසක්‌ එවන්න. මම ඔයාට එවන විදිය තව ටිකකින් කියන්නම්. ලෙඩ්ඩු පිරිලා. මම ටිකක්‌ බිසි...."

කමල් නැඟ සිටි මුරුංගා අත්ත මහා සුළඟකින් කඩා වැටීගෙන යනවාක්‌ මෙන් ඔහුට දැනුණි. ඔහුගේ හිස බමරයක්‌ මෙන් කැරකෙයි. එසේ වුවත් ඔහුට දැන් දැන් යම්කිසි "දෙයක" පෙරමඟ සලකුණු දැනෙයි. පෙනෙයි වැටහෙයි.

තව මොහොතකින් වෛද්‍යවරයාගෙන් ඇමැතුමකි.

"මිස්‌ට කමල් මට තේරුණා ඔයා මාව අවිශ්වාස කරනවා වගේ කියලා. මම මෙහෙම කළා දැන්. මම ස්‌ථිර තැන්පතු මුදල ආපසු බැංකුවට දැනුම් දීලා ආපහු ගත්තෙ. දැන් ඔයා සල්ලි එවන්න ඕනෑ නැහැ. ඉඩමට සල්ලි මම අරගෙන ඇවිත් ඔහෙදී ඔප්පු ලියමු...."

වෛද්‍ය විඡේසූරිය එදා නතර කළ දුරකථන ඇමැතුම තවමත්ම නිහඬය. ඔහුගේ දුරකථනය තවමත්ම ගොලුය. (071-1743609)

කමල් රුපියල් හැටදාහෙන් හෝ විසිදාහෙන් බේරුණේ ඇත්තටම කිව්වොත් ඔහු ළඟ විසිදහසක්‌වත් එවේලේ නොතිබූ නිසාවෙනි. හෙට දින වන විට මේ හොර කපටියා වෙනත් වේශයකින් වෙනත් ක්‍රමවේදයකින් ඔබගේ නිවසට ගොඩවදිනු ඇත. සල්ලි මල්ලට හෝ වෙන කුමකට හෝ තට්‌ටු කරනු ඇත. යහ දේශයේ සොරු සිටියහ. දැන් සිටිති. හෙටද සිටින්නාහ.... පරෙස්‌සම් වන්න.

divaina.com


More News »