සිරිපා පෙනි පෙනී කළු ගං දිය කැත කරන කුණු කාක්කෝ

2017-01-03 09:22:00       585
feature-top
වන පෙත මැද ඉතිරිව ඇති කැළි කසළ

මම නැවතී බලා සිටිමි. සමනොළ ගිරි සිරස සිප කුණු දියෙහි වැදී බෑන සමනොළිින්  පහළට රූටන මිහිඳුම් සළුවල සීත යාන්තමට ගතට දැනෙමින් ඇත. මෙවර සිරිපා වාරය පටන් ගත්තා පමණි. වාහන ඉඳහිට සිරිපා ගම පැත්තට ඇදී යයි. යාන්තමට අඳුර වැටෙන්නට ආසන්නය. කළු ගං කොමලිය පහත රූටන ආකාරය ගංගාධාර වනපෙත ඔස්සේ යන්තමට දිස්වේ. එය නෙත් සිත් ඇදගන්නා සිත්කලු දසුනකි. ගෙවී ගියේ තත්පර කීපයකි. රත්නපුර පැත්තේ සිට පැමිණි ට්‍රැක්ටරයක් පාර අද්දරටම ගෙන නතර කෙරිණ. ඊළඟ තත්පරයේදී එහි පසුපස කොටස එසවෙන්නට විය. රියදුරා දෙවරක් එහෙට මෙහෙට ගැස්සූ  ට්‍රැක්ටරය ක්ෂණයෙන් ගඟට ඉහළින් පිහිටා තිබෙන වනපෙතට ළං කළේය. එහි තිබූ සියලු කැළි කසළ කෙළින්ම ගංගාධාර වනපෙත මැදින් ගඟට දැමීමට තරම් ට්‍රැක්ටර්කරු සාහසික විය. තවත් වේලාවක් නොතියාම ට්‍රැක්ටරය රත්නපුරය දෙසට ඇදී ගියේය. නැවතත් අඳුර රජ විය. දැන් ප්‍රදේශයේම ඇත්තේ කුණු ගඳකි. සැබැවින්ම එය සිත්පිත් ඇති මිනිසෙකුට නම් කළ නොහැකි කාර්යයකි. මම ගං ඉවුරට ඉහළින් තිබෙන වනපෙතට තවත් ටිකක් කිට්ටු කළෙමි. එහි පහත සම්පූර්ණයෙන්ම කුණුවලින් වැසී ගොසිනි. වෙනත් විදියකට කියතොත් විශාල පිරිසක් පරිභෝජනය කරන කළු ගඟේ දියවර සම්පූර්ණයෙන්ම මේ තක්කඩින් විසින් කෙලෙසා දමන  මේ සිදුවීම වාර්තාවන ප්‍රදේශය හැඳින්වෙන්නේ අඳැල්ල නමිනි.

“මේක වෙන්න පටන් අරන් කොච්චර කල් වෙනවාද?” මම ඒ අසලට පැමිණි ගැමියකුගෙන් විමසුවෙමි.
“දැන් මහත්තයා මේක වෙන්න අරන් මාස   හත අටක්වත් වෙනවා.” ඔහු කීවේ ගණනකට නොගෙනය.
“කොහේ කුණු ද මේ ගේන්නේ?” මම යළිත්  විමසුවෙමි.

“මෙතන රත්නපුර ටවුමෙ කඩවල කුණුත් තියෙනවා. සමහර වෙලාවට ගෙවල්වල කුණුත් මෙතනට ගෙනත් දානවා. දැන් මහත්තයා දැක්කෙ ට්‍රැක්ටරයක්. නමුත් කාර්වලින් කැබ්වලින් එහෙමත් කුණු ගෙනල්ලා දානවා. අර ඉස්සරහ තියෙන කුණු ගොඩ එහෙම කැබ් එකකින් ගෙනත් දාපු කුණු වගයක්.” ගැමියා කීවේ පරාධීන මුහුණක් පෙන්වමිනි.
“ඇයි ඔයගොල්ල නිශ්ශබ්දව ඉන්නේ?”

“වැඩක් නෑනෙ මහත්තයා. මේක සිද්ධ වෙන්නේ හැමෝද දැනගෙන. අපි විතරක් මොකටද විරුද්ධ වෙන්නේ? අපරාදේ අපේ අත්තපනත්තා කිරිකිත්තා කා‍ලේ ඉඳන් නිල් කැටයට තිබිච්ච ගඟ තමයි මේ සක්කිලි යක්කු විනාශ කරන්නේ. උන් ගඟට මෙහෙම සැලකුවත් ගඟ කිසිම තරහක් නැතුව තාමත් කෝටි ගණන් වටිනා මැණික් ගල් මේ දුෂ්ට මිනිස්සුන්ටම ලබා දෙනවා.” ගැමියා කීවේ ශෝකී ස්වරයකිනි.  ඉතිරිව තිබෙන කැළිකසළ පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ මස් කඩ අපද්‍රව්‍ය, ආපනශාලා අපද්‍රව්‍ය හා නිවාසවල අපද්‍රව්‍ය ඒ අතර තිබෙන බවය. නොදිරන ‍පොලිතින් විශාල ප්‍රමාණයක් ද ඒ අතර විය.

සමන් දේවාලයේ පැවැත්වෙන වාර්ෂික පෙරහර මංගල්‍යයෙන් පසු දිය කැපීම සිදුවන්නේ මෙම කුණු දමන ඉසව්වට කිලෝ මීටර් දෙකක් පමණ පහත ස්ථානයකය.

සමනොළ කන්දට එල්ලවී තිබෙන තර්ජනයක් පිළිබඳව පසුගිය දිනවල කතාබහක් ගොඩනැගී තිබුණි. සැබවින්ම එම කඳු ශිඛරය ආශ්‍රිතව ඊට පහතින් පිහිටා තිබෙන භූමියක නීති විරෝධී ලෙස ඉදිවීමට ගිය හෝටලයක් හේතුවෙන් එම කතිකාව ඇති විය. සැබවින්ම එමගින් පරිසර හානියක් සිදුවීමට ඉඩ තිබිණි. එහෙත් අප පළමු වතාවට රටට හෙළි කරන මේ පාපතර ක්‍රියාවෙන් සිදුවන විනාශය නම් පෙර සඳහන් කළ විනාශයට වඩා දස දහස් ගුණයක් වැඩි වූවක් බව කිව යුතුය.

සමනොළ අඩවියේ සීත මීදුම් කඳු ශිඛර අතරින් ආරම්භ වන කළු ගං කොමලිය මල්වල හන්දිය පසුකොට රත්නපුර නගරය ආසන්නයට පැමිණෙන්නේ විශාල ජල කඳක් ද පහළට රැගෙන යමිනි. ඒ වනවිටත් අතු ගංගා කීපයකම ශක්තිය කළු ගං කොමලියට ලැබි ඇත. රත්නපුර ආසන්නයට පැමිණෙන තුරුම පාහේ කළු ගඟ දෙපස ගංගා රක්ෂිතයට අයත් වර්ණවත් ගංගාධාර වනපෙතක් දක්නට ඇත. එම වනපෙත තුළ ලංකාවට ආවේණික ශාක විශේෂ රැසක් හමුවේ.
එලෙසම වනපෙත ආශ්‍රිතව දිවිගෙවන සත්ත්ව ප්‍රජාව ද සංඛ්‍යාත්මකව ඉහළ අගයකි. මෙහි විශේෂම කාරණය වන්නේ ඉතා ඉහළ ආවේණික ප්‍රතිශතයක් මේ වනතීරයේ දැක ගතහැකිවීමය. ගංගාධාර වනපෙත අවසන් වන්නේ සිරිපා අඩවියේ ඈත හිමේ සිට පහළට රූටන සීතල ජල තලයෙනි.

එම වර්ණවත් ජලයෙහි ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ රැසක් ද වාර්තා වෙයි. හල් මල් දණ්ඩියා, ‍ලේ තිත්තයා, හීත මස්සා, තල් කොස්සා හා ලෙහෙල්ලා වැනි අති දුර්ලභ මත්ස්‍ය විශේෂ ඒ අතර වෙයි.  මෙම කුණු කන්ද පතිත වෙමින් තිබෙන්නේ එම මසුන් වෙසෙන ජල තලය මතටය. මේ වනවිටත් ජල පහරේ බොහෝ තැන්වල කැළි කසළ රැඳී තිබෙනු දැකිය හැකිය.

නිතර නිතර මෙවැනි ට්‍රැක්ටර්වලින් කැළි කසළ බැහැර කිරීම නිසාම විශාල ඉවුරු ඛාදනයක් ද සිදුවී ඇත. එලෙසම ගංගාධාර වනාන්තරයේ යටි රෝපණයටද මෙමගින් ජු බලපෑමක්  එල්ලවී තිබේ.

මෙලෙස වනසා දමන කළු ගං කොමලියගේ ජලය විසි ලක්ෂයකට වඩා ජනතාවක් ෙදෙනිකව භාවිතයට ගනිතිි. මෙම කුණු දමන ස්ථානයේ සිට කිලෝ මීටර් හතරක් පහක් පහළට වන්නට මුවගම ආසන්නයේ රත්නපුරයට පානීය ජලය ලබාදෙන ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ජල පවිත්‍රාගාරයක් පිහිටා ඇත. එමගින් දිනකට ජලය ඝන මීටර් ……… පමණ ලබා ගැනේ. එම ජලය ෙදෙනිකව….. පමණ පිරිසක් පරිභෝජනය කරතිි.

මුවගමට පහළින් තවත් එවැනිම විශාල ජල ‍පොම්පාගාරයක් පිහිටා තිබේ. ඒ හොරණට මඳක් ඉහළින් පිහිටි කඳන ප්‍රදේශයේය.  දිනකට එම ‍පොම්පාගාරයට ජලය ඝන මීටර් එක්ලක්ෂ දහ දාහක් පමණ කළු ගඟෙන් ලබාගැනේ. එලෙස ලබාගැනෙන ජලය ෙදෙනිකව හත්ලක්ෂයකට ආසන්න පිරිසක් අතර බෙදාහැරීම ජල සම්පාදන මණ්ඩලයෙන් සිදුවෙයි. කඳනට මඳක් පහතින් කෙත්හේනෙන් ද ජලය ලබා ගන්නා ‍පොම්පාගාරයක් පිහිටා ඇත. ඝන මීටර් හතළිස් පන්දාහක් එමගින් ෙදෙනිකව ලබා ගැනේ. මේ ආකාරයෙන් බලන විට රටේ ජනතාවගේ විස්සෙන් එකකගේ පානීය ජල අවශ්‍යතාව පුරවා ලන්නේ මෙම ගං දියයි. ජල සම්පාදන මණ්ඩලයෙන් ව්‍යක්තව මෙම ජලය භාවිත කරන පිරිසක් ද ඇත. මේ පාදඩ ක්‍රියාව නිසා ඒ සියලු දෙනා භාවිතයට ගන්නා ජලය අපවිත්‍ර වෙමින් තිබේ. එහෙත් තවමත් බලධාරීන් නිහඬව සිටීම කනගාටුවට කරුණකි. මෙය පළවීමෙන් පසුව හෝ බලධාරීන්ගේ ඇස් ඇරේවායි ප්‍රාර්ථනා කරමු.
නයනක රන්වැල්ල

Wmqgd .ekSu oekqu weiqfrks

More News »