ලෝකයේ වැඩිම පඩි ගන්න හපුගස්‌තැන්න වතු යායේ සතුටු මිනිස්‌සු...

2017-01-02 11:16:00       659
feature-top
* සිංහල දෙමළ බේදයක්‌ නැත
   වත්තේ හැම පවුලකටම ත්‍රීවීලරයක්‌
   හෝ යතුරුපැදියක්‌ තියෙනවා
* ණයට නොගන්න නිසා කඩකාරයො අමනාපෙන්

තරංග රත්නවීර
ඡායාරූප හර්ෂණ ජයතිලක

දසත පැතිරී ඇත්තේ තේ දලුවල මුදු සුවඳය. නැහැ පුඩු පුරා විඳගත හැකි තරම් බරසාර ලෙස තේ සුවඳ හමා එන්නේය. එහෙත් ඒ මියුරු සුවඳ වතු ජීවිත පිළිබඳ මහා මානුෂීය සංවේදනාවක්‌ සිහිපත් කළේය. මන්ද තේ සුවඳ, රස අපට විඳින්නට වතු මිනිසුන් විඳින දුක්‌ක පීඩා අපමණය. ඒ මහන්සියේ තරමට සාධාරණයක්‌ ඉටු නොවූ විට කම්කරුවන් වතු දෙවනත් කරමින් උද්ඝෝෂණ කරන්නාහ. නිරන්තරයෙන් කඳු අතර රැව්පිළිරැව් දෙන්නේ වතු මිනිසුන්ගේ ජීවිත අඳෝනාවය. ඉල්ලීම් ඉල්ලාගෙන කෑමොර දෙන පීඩිත හඬය.

දැන් අප සිටින හපුගස්‌තැන්න වතු යායේ කම්කරුවන් ද තේ පඳුරු අතර දුක්‌විඳින්නාහ. එහෙත් ඔවුහු සතුටින් ජීවත් වන්නාහ. ඔවුන්ට වෘත්තීය ගැටලු නැත. මහන්සි වන තරමට සිත පිරෙන්න වැටුප් ලැබෙන බව හපුගස්‌තැන්නේ වත්තේ මිනිස්‌සු අපට කීහ. එමෙන්ම ලෝකයේ වැඩිම පඩි ගන්න වතු ජනතාව ද ඔවුන් බව ආඩම්බරයෙන් ඔවුහු අපට කීහ. එය ලෝක වාර්තාවකි. මේ පෙළගැසෙන්නේ ලෝකය ජයගත් ඒ මිනිසුන්ගේ සුමිහිරි කතාවය.

''අපි මහන්සි වෙලා වැඩ කළොත් හැමදාම සතුටින් ඉන්න පුළුවන්. දැන් මම මේ වත්තේ දලු කඩන්න පටන් අරගෙන අවුරුදු 33 ක්‌ වෙනවා. කසාද බැඳලා මේ වත්තට ආපු දවසේ ඉඳලා වත්තේ වැඩ කරනවා. දැන් මට අවුරුදු 58 යි. මගේ මහත්තයත් මේ වත්තෙම කංකානම් වැඩේ කරනවා. අපි දෙන්නම මාසෙකට රුපියල් හැට, හැත්තෑදාහක්‌ ගන්නවා. හොඳටම වැඩ තිබුණොත් අසූදාහ පනිනවා. මේ මාසෙ සේරම මගේ පඩිය තිස්‌ හතරදාහක්‌ තිබුණා. හොඳට කාලා බීලා හැම මාසේම කීයක්‌ හරි බැංකුවට දාන්නත් ඉතුරු වෙනවා. දරුවො හතරදෙනාටත් හොඳට ඉගැන්නුවා. දැන් දරුවො තුන්දෙනෙක්‌ කොළඹ රස්‌සා කරනවා. දුව බැඳලා ගෙදරට වෙලා ඉන්නවා...'' දලු නෙළන අතරේම අලංගාර අම්මා අලංකාර ලෙස කතාවට මුලපිරුවාය.

මස්‌කෙළිය වැවිලි සමාගමට අයත් ශ්‍රී පාද පාමුල හපුගස්‌තැන්න වතු යාය අක්‌කර අටසියයකි. අක්‌කර තුන්සිය පනහක්‌ තේ වගා කර තිබේ. සම්පූර්ණ සේවක සේවිකාවන් ප්‍රමාණය දෙසිය පනහකි. මේ සේවකයන්ගෙන් කොටසක්‌ දෙමළය. වතු ලැයින් තුළ ජීවත් වන මිනිසුන්ය. කොටසක්‌ සිංහලය. සේරම පවුල් එකසිය විස්‌සකි. ඒ පවුල් නියෝජනය කරන පනහකට වැඩි පිරිසක්‌ දැන් අප අසළය. ඔවුන් අතරින් හපුගස්‌තැන්න වත්තේ සෑම මාසයකම වැඩියෙන්ම වැටුප් ලබන සුමනාවතී ඉදිරියට ආවාය. මේ ඇය කියන කතාවය.

''මට දැන් අවුරුදු 40 යි. මේ වත්තේ දලු කඩන්න පටන් අරගෙන දැන් අවුරුදු 23 ක්‌ වෙනවා. දැන් අවුරුදු ගානක ඉඳලා හැම මාසේම වැඩියෙන්ම පඩි ගන්නේ මමයි. මේ මාසේ මගේ සම්පූර්ණ පඩිය රුපියල් 45000 යි. කැපිලා කෙටිලා අතට 38000 ක්‌ ආවා. ඒ පඩිය ගන්න මම ගොඩක්‌ මහන්සි වෙනවා. උදේ 6 ට විතර වැඩට එනවා. ගෙදර යන්නේ ඇඳිරි වැටෙනකොට. දවසකට අපිට දලු කිලෝ 19 කඩන්න ඕනෑ. උදේ ඉඳලා හවස්‌ වෙනකම් දලු කැඩුවහම කිලෝ හැට හැත්තෑවක්‌ කඩන්න පුළුවන්. මාසේකට දලු කිලෝ එක්‌දාහස්‌ පන්සියක්‌, හයසියක්‌ කඩනවා. වැඩි වෙන හැම දලු කිලෝවකටම වෙනම අපිට ගෙවනවා. දවසේ පඩිය 805 යි. වැඩිය මහන්සි වෙන්නෙ නැතිව දවසේ පඩිය විතරක්‌ ගන්න අයත් ඉන්නවා. ඒ අයට හැමදාම මාසේ අන්තිමට අතට ඉතුරු වෙන්නේ හය හත්දාහයි. හැමදාම කඩවලට ණයයි...''

''වත්තේ ලොකු මහත්තයත් අපිට කියලා තියෙන්නෙ පුළුවන් කාලේ මහන්සි වෙලා වැඩ කරලා වයසට යනකොට කීයක්‌ හරි ඉතුරු කරගන්න කියලයි. ඒ වගේම වැඩියෙන්ම දලු කඩන අය තෝරලා අවුරුද්දෙ අන්තිමට තෑග්ගකුත් දෙනවා. සහතික දෙනවා. මම කොහොමහරි උත්සාහ කරන්නේ අවුරුද්දේ අන්තිමට තෑග්ගක්‌ ගන්න. මගේ මහත්තයයි, පුතයි දෙන්නම වැඩ කරන්නෙත් මේ වත්තේ. දුව බැඳලා ගියා. අපි හම්බ කරන සල්ලි ඒ දෙන්නට බෙදලා දෙනවා...'' සුමනාවතීගේ කතාව සැබෑය. සල්ලි හම්බ කිරීමට මහන්සි විය යුතුය. එහෙත් ඇය කියන කතාව අපේ රටේ බහුතරයකට නොතේරීම අපට තවමත් අපභ්‍රංශයකි.

''අපි හැම වේලාවේම හිතන්නේ අපේ දියුණුව ගැන. අපි වින්ද දුක දරුවන්ට දැනෙන්න ඉඩ නොතබන්න...'' සුමනාවතීගේ දිරිය හඬට අප අසළ එක්‌රොක්‌ව සිටි සියලු දෙනා එකතු වූහ. මේ හපුගස්‌තැන්න වතු මිනිසුන්ගේ පොදු හඬය.

''ඒත් අපිට තියෙන එකම ප්‍රශ්නය අපි වැඩිය වැඩ කරනවා කියලා සමහර අය බණිනවා. ඒ මිනිස්‌සු වැඩ කරන්න කම්මැලියි. වැඩ කරන අයට වැඩ කරන්න දෙන්නෙත් නෑ. ආඩපාලි කියනවා. පඩියෙන් කැපෙන්න වත්තේ සමුපකාරයෙන් අපිට බඩු ගන්න පුළුවන්. ඒකට පුද්ගලික කඩකාරයො කැමති නෑ. ඒ අය අපිට බණිනවා. වත්තේ මහත්තයාට විරුද්ධව එක, එක දේවල් කරනවා. වත්තේ කසිප්පුකාරයොත් කඩකාරයෝ වගෙම තමයි. අපි හොඳට කාලා ඇඳලා ඉන්නකොට උන්ගේ ඇස්‌වල කටු අණිනවා වගෙයි. ඒ දෙගොල්ලො එකතු වෙලා වත්තේ මිනිස්‌සුන්ව උසිගන්වන්න හදනවා. ඒත් වත්තේ මිනිස්‌සු ඉන්නෙ ලොකු මහත්තයා එක්‌ක. ඉස්‌සර මේ වත්ත තනිකරම කසිප්පුකාරයන්ගේ තිප්පොළක්‌. දැන් වත්තේ කසිප්පුකාරයෝ නෑ. එක ගෑනු කෙනෙක්‌ අරක්‌කු විකුණනවා. ඒ හැරෙන්න අපිට කිසිම ප්‍රශ්නයක්‌ නෑ. වත්තේ හැම පවුලකටම ත්‍රීවීල් එකක හරි මෝටර් සයිකලයක්‌ හරි තියෙනවා. අපේ දරුවෝ හොඳට ඉගෙන ගන්නවා. අපි හැමෝම සතුටින් ජීවත් වෙනවා...' අප වටා රොක්‌ව සිටින මිනිසුන්ගේ මුහුණු කැලෑ මල් වැනිය. ඔවුන්ගේ ජීවිතවල මිහිර රස වචනවලින් පිට වේ. ඇසෙන කතාවත් සමඟ මොහොතකට හෝ අපගේ සිත් කෝපයෙන් පුපුරා යන්නේ මේ අහිංසකයන්ගේ දියුණුව දැක කුහකකම් කරන කාලකණ්‌ණි ගැනය.

මහත්මා ගාන්ධි කියා ඇති ආකාරයට තරගයක්‌ ඇත්තේ වැඩ පුළුවන් අය අතර නොවේ, වැඩ බැරි මිනිසුන් අතරය. එහෙයින් කෙනෙක්‌ යම් දෙයක්‌ හොඳින් කරයි නම්, ඔහුව වැළැක්‌වීමට දහසක්‌ දෑත් දිගු වේ. එය වතු ක්‍ෂේත්‍රයේ පමණක්‌ නොව ඕනෑම ක්‍ෂේත්‍රයකට පොදු කරුමයයි. එහෙත් ඒ මිනිස්‌ ගතිය හොඳින් තේරුම් කර දී හපුගස්‌තැන්න අහිසංක වතු මිනිසුන්ගේ ජීවිත සුවපත් කරන වෙදැදුරා එම වතු යායේ අධිකාරීවරයාය. එනම් මහෙන්ද්‍ර පිරීස්‌ මහතාය. ගැටලුවලින් හෙම්බත්ව සිටින මෙරට වතු ක්‍ෂේත්‍රයේ හපුගස්‌තැන්න වතු යායේ කම්කරුවන් මෙතරම් සතුටින් තැබීමට කළ වික්‍රමය ගැන අපි ඔහුගෙන් විමසා සිටියෙමු.

''2008 අවුරුද්දේ තමයි මම හපුගස්‌තැන්න වතු යායේ වතු අධිකාරිවරයා විදිහට වැඩ භාර ගත්තේ. එදා ඉඳලා අද දක්‌වා මේ වත්තේ වතු අධිකාරිවරයා විදිහට වැඩ කරනවා. ඒ වගේම වත්තේ වැඩ කරගෙන යන්න මට උපරිම නිදහස ලබා දීලා තියෙනවා. ඒ නිදහසෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ වෙනකොට වතු ක්‍ෂේත්‍රයේ පෙරළිකාර වැඩ කොටසක්‌ මම කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ වත්තට එනකොට කාර්යක්‍ෂමතාවය කියන එක බින්දුවට වැටිලා තිබුණේ. එක සේවකයකුගේ දලු කැඩීමේ අගය තිබුණේ කිලෝ 13 ක්‌ විතර. සේවකයකුගේ දවසේ පඩිය රුපියල් 305 යි. මේ වනකොට දලු කඩන සෑම කෙනෙක්‌ම කිලෝ විසිපහකට වැඩියෙන් කඩනවා. සෑම වතු සේවකයකුටම දවසකට රුපියල් 805 ක විතර පඩියක්‌ ලැබෙනවා. ඊට අමතරව කරන සෑම වැඩ මුරයකටම වෙනම ගෙවනවා. සාමාන්‍යයෙන් වතු සේවකයකුගේ දවසේ වැඩ වරුවක්‌ යනකොට අවසාන වෙනවා. ගැහැණු අය දිගටම දලු කැඩීමේ නිරත වුණත් පිරිමි අය ඉතිරි කාලය ගත කරන්නේ නිකං. ඒ ගැන මම අවධානය යොමු කරලා සේවකයන්ට අමතර ආදායමක්‌ ලැබෙන විදිහට වැඩපිළිවෙළක්‌ සකස්‌ කළා. එක මගේ තනි තීරණයකින් කරපු දෙයක්‌ නෙමෙයි, සේවකයොත් එක්‌ක කතා කරලා එයාලට වැඩි වාසි වෙන විදිහට තමයි ඒ වෙනස්‌කම කළේ...''

''දැන් අපේ වත්තේ දවසකට එක සේවකයෙක්‌ කඩන්න ඕන දලු ප්‍රමාණය කිලෝ 19 යි. ඒ කිලෝ දහනවයට අමතරව කඩන සෑම දලු කිලෝවකටම රුපියල් 28 ගානේ අමතර මුදලක්‌ ගෙවනවා. හොඳට දලු තියෙන කාලේට සමහර මිනිස්‌සු දවසකට දලු කිලෝ හැට, හැත්තෑවක්‌ කඩනවා. දලු නැති කාලේට වුණත් අනිවාර්යෙන්ම දලු කිලෝ හතළිහක්‌, පනහක්‌ කඩනවා. කඩා ගන්නම බැරි කෙනෙක්‌ වුණත් වැඩියෙන් ආදායමක්‌ ගන්න කොහොමහරි දලු කිලෝ තිහකට වැඩියෙන් කඩනවා. දලු කඩන්නේ නැති අයට වෙනත් කාර්යයන් පවරනවා. සමහර සේවකයෝ එක දවසේ වැඩ දෙක, තුන කරනවා. දලු කඩනවා. වල් නෙළනවා. පොහොර දානවා. ඒ විදිහට මාසේකට වැඩ මුර 55 ක්‌ 60 ක්‌ විතර කරනවා. ඒ හැම දේකටම පැය ගානට ගෙවනවා. ඒවා අමතර ආදායම්...''

''පැය අටක්‌ තුළ වැඩ මුර දෙක, තුනකA කරන්න පුළුවන් ලංකාවේ එකම රැකියා ක්‍ෂේත්‍රය වතු කර්මාන්තය විතරයි. දැන් අපේ වත්තේ ගොඩක්‌ම සේවකයෝ දවසකට රුපියල් 1500 ත් 2000 අතර වැටුපක්‌ ලබා ගන්නවා. මම බොහෝම ආඩම්බරයෙන් කියනවා වතු ක්‍ෂේත්‍රයේ වැඩියෙන්ම පඩි ගන්න මිනිස්‌සු ඉන්නේ මස්‌කෙළිය වැවිලි සමාගමට අයත් හපුගස්‌තැන්න වත්තේ. මුළු ලෝකයේ වතු කර්මාන්තයේ වැඩිම පඩි ගන්න මිනිස්‌සු ඉන්නේ ලංකාවේ වතුවල. එහෙම බලනකොට මුළු ලෝකයේම වැඩිම පඩි ගන්න වතු සේවකයෝ ඉන්නේ හපුගස්‌තැන්න වත්තේ. ඒක අපිට ලොකු ආඩම්බරයක්‌. ඒ වගේම ලෝක වාර්තාවක්‌. ඒ ඇගයීම දැනටමත් අපිට ලැබිලා ඉවරයි...''

''වතුවල මිනිස්‌සුන්ට තේරෙන භාෂාවෙන් කාලයේ වටිනාකම අවබෝධ කර දීලා, ඒ අයටත් වාසියක්‌ වෙන විදිහට වැඩ ගන්න වතු පාලකයෝ තේරුම් ගන්න ඕනා. සේවයට ලැබෙන වටිනාකම හරියට තේරුම් කරලා දුන්නට පස්‌සෙ ඔය පිටස්‌තරයන්ගේ වහසි බස්‌වලට මිනිස්‌සු රැවටෙන්නෙත් නෑ. ඔවුන්ගේ රාජකාරිය කරලා තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඒ වගේම අපි ඒ මිනිස්‌සුව නිරන්තරයෙන් දිරිගැන්වීම් කරන්න ඕනා. වත්තේ සේවකයන්ට අඩු මුදලට හොඳ තත්ත්වයේ භාණ්‌ඩ ලබාදීමට සේවක සමුපකාර සමිතියෙන් සුබසාධන වෙළෙඳසැලක්‌ පවත්වාගෙන යනවා. ඒ නිසා මිනිස්‌සු කළු කඩකාරයන්ට කොටු වෙන්නේ නෑ. පඩියෙන් කැපෙන්න ගෙදරට අවශ්‍ය බඩු මුට්‌ටු ගන්න අවස්‌ථාව තියෙනවා. අවුරුද්දේ අන්තිමට වත්තේ හොඳම සේවකයන්ට තෑගි දෙනවා. සමහර අවුරුදුවල විදුලි කේතල, අයන්, රයිස්‌ කුකුර්, සාරි එහෙම තෑගි දීලා තියෙනවා. ඒ තෑගි ගන්න මිනිස්‌සු අතර හොඳ තරඟයක්‌ තියෙනවා. ඒ විදිහට සේවකයන් අතර තරඟයක්‌ ඇති කළාම වත්තේ වැඩ ටික අපිටත් නොදැනිම කෙරෙනවා. සේවකයෝ අඩු වුණා කියලා ගැටලු මතු වෙන්නෙත් නෑ...''

''සාමාන්‍යයෙන් තේ වත්තක හෙක්‌ටයාර් එකකට සේවකයෝ දෙතුන් දෙනෙක්‌ විතර ඉන්නවා. ඒත් මගේ වත්තේ ඉන්නෙ හෙක්‌ටයාර් එකකට සේවකයෝ එක්‌කෙනයි. සේරම සේවකයෝ දෙසිය පනහයි. දිනපතා වැඩට එන්නේ සේවකයන් 130 ක්‌ විතර. ඒත් සේවක ප්‍රශ්න නෑ. ඉන්න සේවකයන් පිරිස බොහෝම සතුටින් වැඩ කරනවා. ඒ වගේම සේවකයන්ට සතුටින් වැඩ කරගෙන යන්න වත්තෙන් හොඳ අස්‌වැන්නක්‌ ලැබෙන්නත් ඕනෑ. අස්‌වැන්න අඩු වුණොත් සේවයොත් ණයකාරයෝ වෙලා අපිත් බංකොලත් වෙනවා. ඒ නිසා දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන පර්යේෂණ තුළින් තේ අස්‌වැන්න වැඩි කරගැනීමට මට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තේ ගහ කප්පාදු කරලා කෙටි කාලයකින් නැවත තේ ගහ වර්ධනය කරගැනීමේ ක්‍රමවේදයක්‌ හඳුන්වා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් තේ ගහක්‌ කප්පාදු කරලා නැවත තේ ගහනයෙන් පොළව වැහෙන්න අවුරුදු හතරක්‌ විතර යනවා. අපි තේ ගහ කප්පාදු කරලා මාස හයකින් නැවත පොළව වහන්න ක්‍රමයක්‌ වැඩි දියුණු කරලා තියෙනවා. ඒ ක්‍රමය තුළ වල් පැලෑටි වර්ධනයත් අඩුයි. ඒ වගේම රාසයනික බෙහෙත්වලින් තොර වල් මර්දනය ක්‍රම හඳුන්වා දීලා තියෙනවා. ඒ නව හඳුන්වාදීම් එක්‌ක වත්තේ වැඩ කරන්න විශාල සේවක පිරිසක්‌ අවශ්‍ය නෑ. අවුරුද්ද මුළුල්ලේ දලු අස්‌සවැන්නත් පවත්වාගෙන යන්න පුළුවන්. ඉන්න සේවකයන්ටත් හොඳ පඩියක්‌ ගෙවාගෙන ඉතාම පහසුවෙන් වත්ත පවත්වාගෙන යන්නත් පුළුවන්. ඒ වගේම හපුගස්‌තැන්න වත්තට දෙස්‌, විදෙස්‌ විවිධ සම්මාන කිහිපයක්‌ම ලැබිලා තිබෙනවා. තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කළ කටයුතු අගයමින් පරිසර හිතකාමී නව නිර්මාණ සඳහා වන මෙරිල් ඡේ. ප්‍රනාන්දු සම්මාන දෙකක්‌ හපුගස්‌තැන්න වතු යායට හිමි වෙලා තියෙනවා. ලෝකයේ රටවල් අනූවක පරිසර හිතකාමී බව සහතික කරන ආයතනයක්‌ වන වැසි වන සංසදය මගිනුත් පසුගිය අවුරුද්දේ අපිට සහතිකයක්‌ පිරිනමලා තියෙනවා. මේ හැම ඇගයීමක්‌ම මට විතරක්‌ ලැබුණු දේවල් නෙමෙයි. හපුගස්‌තැන්න වත්තේ වැඩ කරන සෑම කෙනෙකුටම ඒ ඇගයීම්වල අයිතියක්‌ තියෙනවා. ඉදිරියේදී මීටත් වඩා අපේ සේවකයන්ගේ ආදායම් තත්ත්වය දියුණු කරන්න සැලසුම් කරලා තියෙනවා...''

මේ ඇසෙන්නේ මීට පෙර අප නොඇසූ සතුටු හිතෙන කතාවකි. වතු ක්‍ෂේත්‍රය තුළින් එවැනි මිහිරි වදන් ඇසීම දුර්ලභය. මීට පෙර අපගේ දෙසවනේ රැව්පිළිරැව් දුන්නේ කඳු අතරින් නැගෙන වතු ජනතාවගේ ජීවිත අඳෝනාවන් පමණි. එහෙයින් හපුගස්‌තැන්න වත්තේ මිනිසුන් කියන කතාව රටට ආදර්ශයකි. මේ කතාව පෙළගැස්‌වීමට අපව පෙළඹුවේද ඒ ආදර්ශමත් නිමිත්තය.

divaina.com



More News »