අස්වැන්න සරුනම් මාළු ඇයි මේ තරම් ගණන් ?

2016-12-30 10:15:00       660
feature-top
මේ දිනවල මාළු අස්වැන්න බහුල ව තිබුණද මාළු මිල අධික බව පාරිභෝගිකයෝ පවසති.අතිතයේ පටන් ප්‍රධාන ආහාරයක් බවට මුහුදු මාළු වලට සුවිශේෂ තැනක් හිමි විය. රට වටා මුහුදු තීරයක් තිබුණද රටේ ජනතාවගේ අවශ්‍යතාවට ප්‍රමාණවත් අන්දමට එහි මත්ස්‍ය සම්පත බහුල වුවද මාළු මිල අධික බව පාරිභෝගිකයා‍ගේ අදහසයි.

එහෙත් මාළු මිල පසු ගිය වසර දෙකක කාලය තුළදී ස්ථාවර බවත් වෙළද පොළට මාළු සැපයුමේ අඩුවක් ද සිදු වී නැති බවත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි. මේ වන විටත් ස්ථාවර මිල මට්ටම වෙනසක් නැති බවට තොරතුරු අනාවරණ කරයි. කෙසේ වෙතත් ධීවර සංස්ථාව යළී ප්‍රතිව්‍යුහගත කරමින් ජනතාවට අවශ්‍යතාවන්ට සරිලන සැපැයුමක් ලබාදීමට මිල ස්ථාවරයන් වෙනස් නොකර මාළු මිල නියමයන් පවත්වා ගැනීමට සංස්ථාව නොයෙක් පියවර ගෙන ඇත. ඒ අනුව මාළු මිල ගණන් සිතු සිතු ආකාරයට ඉහළ දැමීමට මාළු වෙ‍ළෙඳුන්ට නොහැකි ය. මාළු ආහාරයට ගැනීම මුදල් ඇති අයට පමණක් සිමා වී තිබු කාලයක් තිබු අතර ධීවර සංස්ථාවේ මාළු අලෙවියත් සමඟ යම් ස්ථාවර මිලකට මාළු අලෙවි කිරීමට සිදු විය. එහෙත් මේ වන විටත් ගම තුළට යන මාළු වෙළෙන්දා තවමත් අධික මිලකට මාළු අලෙවි කිරීම නතර වී නැති බව පාරිභෝගිකයන්ගේ අදහසයි. සංස්ථාව මැදිහත් නොවන ඇතැම් අවස්ථාවලදී පිට පළාත්වලින් කොළඹට ගෙන එන මාළු තොග වෙළෙන්ඳෝ සාමාන්‍ය වෙළෙදුන්ට අලෙවි කරති. ඒ අනුව මාළු සඳහා එදිනෙදා මිල නියම වෙයි.ඉන් අනතුරුව එම මාළු ගමට එන විට ගිනි ගණන් වලින් අලෙවි කෙරෙයි.

මාළු මිල වැඩිවීමට ධීවර කර්මාන්තයේ නියැලෙන්නෝ නොයෙක් හේතු කාර‍ණා දක්වති. ධිවර යාත්‍රා මිල ගනන් වැඩිවීමත් ඉන්ධන මිල මෙන් ම දැල් ආම්පන්න, අත්‍යවශ්‍ය ධීවර ආම්පන්න මිල වැඩි වීමත් ප්‍රධාන හේතු ලෙස පෙන්වා දෙති. තවද ප්‍රවාහන ගාස්තු වැනි හේතු ඉදිරිපත් කරති.

මාළු මිල ස්ථාවරව පවත්වා ගෙන යෑමට ඇරඹි ධීවර සංස්ථාව පසුගිය රජය කාලයේ දී අධික ලෙස සේවකයන් බදවා ගැනීම නිසා පාඩු ලබන සංස්ථාවක් බවට පත් වෙමින් තිබිණි. එමෙන් ම සේවකයන්ට පඩි ගෙවීමට තරම්වත් ආදායමක් නොලබන තත්ත්වයක් යටතේ අර්බුද රැසකට මුහුණ දුන් අතර ඉන් පසු වත්මන් රජය බලයට පත් වීමෙන් අනතුරුව ‍අතිරික්ත සේවකයන් සඳහා ස්වේඡාවෙන් විශ්‍රම යෑමට ක්‍රමවේදයක් හදුන්වා දීමෙන් නැවත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කර මේ වන විට ස්ථාවර මට්ටමකට ගෙන ඒමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත් ධිවර සංස්ථාව සුළු ධීවරයන් සහ ධීවර කාර්මිකයන් ගෙන් මාළු මිලදී නොගනී. . ධීවරයන් තමන් අල්ලන මාළු ලබා දෙන්නේ මාළු මුදලාලිලාටය. එම මුදලාලිලා යම් ලාභයක් ඇතිව සංස්ථාවකට මාළු විකුණන අවස්ථාද වෙයි. ඒ මාළු යළිත් පාරිභෝගිකයා අතට පත්වන විට මිල ඉහළ යන බව පාරිභෝගික ජනතාව පවසති. සුළු ධීවර කර්මාන්තයේ ‍නියැළෙන ඇතැමුන්ට මාළු මුදලාලිලාගේ ග්‍රහණයෙන් මිදීමට නොහැකිය‍. ඇතැම් විට මාළු මුදලාලි සතු බෝට්ටු මඟින් ඔවුන් මසුන් ඇල්ලීම සිදු කරයි. ධීවර ආම්පන්න බෝට්ටු ඉන්ධන ණය ආධාර ලබාදීම මුදලාලී අතින් සිදු වෙයි.මේ ග්‍රහණයෙන් ධීවරයා මුදවා ගැනීමට ධීවර අමාත්‍යංශය විසින් ධීවරයාට බෝට්ටු, ධීවර ආම්පන්න,ඉන්ධන සහනාධාර ලබාදීම, ධීවරයාට නිවාස ණය, යටිතල පහසුකම් ආදිය සඳහා මැදිහත් විය. කුලියට මාළු අල්ලන ධීවරයා මේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට රජය නොයෙක් ක්‍රමෝපාය යොදා තිබුණත් තවමත් මාළු මුදලාලිලාගේ බෝට්ටුවේ ඈත දියඹ‍ට ගොස් කුලියට මාළු අල්ලන ධීවරයෝ සිටිති. මෙවැනි කුලියට මාළු අල්ලන ධීවරයාගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය නොයෙක් පියවර ගෙන තිබුණත් ගමට යන මාළු මිලේ අඩුවක් නොමැති බව ඇතැම්හු පවසති.

මහ මුහුදේ මසුන් ඇල්ලීම සදහා අවශ්‍ය බෝට්ටු ඇතුළු ධීවර ආම්පන්න, ‍නිවාස ණය, යටිතල පහසුකම් ආදිය ලබා දීමට මෙවර අයවැයෙන්ද ප්‍රතිපාදන රැසක්වෙන්කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසන අතර මාළු මිල පසුගිය වසර දෙකක කාලය තුළදී මිලෙහි ද වැඩිවීමක් ද සිදු වී නැති බව සදහන් කරයි‍. එය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට රජයට හැකිවී ඇති අතර විශේෂයෙන් ධීවර සංස්ථාව මගින් හොඳ තත්ත්වයේ මාළු ස්ථාවර මිලකට ලබාදීම තුළ මිල නියත මට්ටමක පවත්වා ගැනීමට හැකි වී ඇති බව ද අමාත්‍යංශය සඳහන් කරයි. එමෙන් ම වසර දෙකකට පසුව මේ වසරේ ප්‍රථම වතාවට මාළු මිල තවත් පහත වැටී ඇති බවත් විශාල මාළු අස්වැන්නක් නෙලා ගැනීමට හැකි වී ඇති බවත් අමාත්‍යංශය අවධාරණය කරයි.

එහෙත් පසුගිය කාලය පුරා මෙරට මුහුදු සී‍මාවේ ගැවසෙන මත්ස්‍ය ප්‍රමාණයේ අඩුවක් සිදු වී ඇත.විශේෂයෙන් ම ධීවරයන් විසින් තහනම් ආම්පන්න භාවිතා කිරීමෙන් නොයෙකුත් විෂ සහිත ද්‍රව්‍ය පුපුරුවා හැරීමත් තුළ මාළු ගැවසීමේ අඩු වීමක් සිදු වි ඇත. තවද මාළු අභිජනනය වීමට කාලය නොතබා ම මාළු ඇල්ලීමත්, මාළු ගැවසෙන ස්ථාන පුපුරුවා හැරීමත් පසුගිය කාලය පුරාම සිදුවිය. පසුගිය කාලයේ ධීවර අමාත්‍යංශය මඟින් නව දැල් ක්‍රමයක් හදුන්වා දීම තුළ යම් ප්‍රමාණයකට මේ අපරිස්සම්කාරී ක්‍රමවේදයන් භාවිතා කිරීම අඩුවීමත් මෙරට මුහුදු තීරයේ මසුන් වැඩිවශයෙන් ගැවසීමත් හේතු කොට ගෙන මේ වන විට මසුන් අස්වැන්න ඉහළ ගොස් ඇත‍. කෙසේ වෙතත් පසුගිය කාලය තුළ අනෙක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලට සාපේක්ෂව මාළු මිල එක් ස්ථාවරයක පැවැතුණ අතර ඉදිරියේදී මේ ස්ථාවරය පවත්වා ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යාංශය සදහන් කරයි. ‍කෙසේ වෙතත් ගමට යන මාළු මිලෙහි ස්ථාවරයක් හෝ අඩුවක් නැත. සිල්ලර වෙළෙන්දෝ සිතු සිතු ආකාරයට මාළු විකුණති. සාමාන්‍ය වෙළෙදුන් විකුණන මාළු කෑමට සාමාන්‍ය මිනිසුන්ට නොහැකිය.

ගමේ මාළු අවශ්‍යතාව ඉටුකිරීමට මුහුදු මාළුවලින් පමණක් නොව මිරිදිය මාළු කර්මාන්තයට ද හැකිවිය. නමුත් පසුගිය කාලයේ දී අඩපනවී තිබු මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නැවත නගාසිටුවීමට මේවන විට නොයෙක් පියවර ගෙන ඇත. නොයෙක් සහනාධාර මේ සඳහා ලබාදී ඇත.

පසුගිය කාලය පුරා මිරිදිය මාළු සඳහා තිබුණ ඉල්ලුම සම්පූර්ණ කිරීමට සිදුවුයේ ද මුහුදු මාළුන්ටය. කෙසේ වෙතත් ධිවර සංස්ථාව පිහිටු වීමේන් රජය අපේක්ෂිත අරමුණු කරා යෑම සඳහා ගත් නොයෙක් පියවර අතුරින් ධිවරයන්ගේ මාළු සැලකිය යුතු මිලකට අලෙවි කර ගැනීම සඳහා පහසුකම් සපයා ඇති අතර ධීවර කර්මාන්තයේ නියැළෙන්නන් සඳහා දිගු කාලීන ගැට‍ලුවක්ව පැවැති ධීවරයගේ නිවාස ප්‍රශ්නය සඳහා විසදුම් ලබාදී මට වැනි විශේෂ වැඩසටහන් රුසක් ක්‍රියාත්මක කර ඇත‍.

තවද මාළු අතිරික්තයක් පවතින කාලවලදී මාළු ගබඩා කර තබා ගැනීම සඳහා ශීතකරණ පහසුකම් මෙන්ම විවිධ ධීවර ‍ක්ෂේ‍ත්‍රයේ නියැළෙන්නන් සඳහා යටිතල පහසුකම් රැසක් ලබාදී ඇත‍.ධිවර වරාය විශාල සංඛ්‍යාවක් ඉදිකරමින් ධීවර යාත්‍රා නවතා තැබීම සඳහා නැංගුරම් පොළවල් සදහා ද ධිවර වරායේම පහසුකම් සලසා ඇත. රජය විසින් උපරිම පහසුකම් ලබාදුන්නත් මාළු ගිනි ගණන් බව පාරිභෝගිකයාගේ අදහසයි.

මාළු මුදලාලිලාගේ ඒකාධිකාරය බිද දමා නැවත ධීවර සංස්ථාව ශක්තිමත් කිරීම තුළ නගරයේ මාළු ගමට ද සාධාරණ මිලට ලබා ගත හැකි වෙතැයි ජනතාවගේ අදහසයි.

silumina.lk


More News »