ඉඩම් අයිතිය ඉල්ලා හඬා වැටෙන කෝකිලායි ධීවරයෝ

2016-12-20 10:27:00       582
feature-top
මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
රළේ රළේ මුහුදින් දමන දිය රලේ
බලේ බලේ රාසිං දෙයියන්නෙ බලේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ....

කවි පද පේළි කිහිපයක් මුමුනමින් ගිනි අව්වේ සිටි තරුණයා අප දෙසට හැරී අපගේ දෙපතුලේ සිට හිස් මුදුන තෙක් දෙවරක්ම බැලුවේය.

‘මහත්තයල කාවද බැලුවෙ?' තරමක නුරුස්නා ස්වභාවයකින් ඔහු අපෙන් විමසා සිටියේය.

‘අපි පත්තරෙන්, ධීවර ගම්මානෙ ගැන විස්තර හොයල බලන්න ආවේ...'

‘අනේ මංද... ඉඳල-හිටල පත්තරවලින් එනවා, ටීවීවලින් එනවා... අපිට නම් වුණ සෙතක් නැහැ,' කලපුව දෙසට හැරෙමින් ඔහු පැවසීය.

නැඟෙනහිර පළාතේ අවසන් සිංහල ගම්මානය වන්නේ කෝකිලායි හෙවත් කුකුළෑව ධීවර ගම්මානයයි. දුප්පත්කමේ අඩියටම වැටී ඇති කෝකිලායි සිංහල ගම්මානයේ බොහෝ වැසියන් තුන් වේලම හරි හම්බ කර ගන්නට විඳින දුක දන්නේ ඔවුන්ම පමණි.

‘පත්තරවල ටීවීවල නම් කියනව මේ පැත්තේ හැමෝටම හොඳට සහන ලැබෙනව කියල. මහත්තයලට පේනව නේද අපි ඉන්න හැටි?' ඔහු අත දිගු කර පෙන්වූයේ එහෙන් මෙහෙන් තහඩු ඇටවූ කුඩා නිවාස රැසකි. ඔහු නමින් ධනුකය. මුලතිව්හිදී උත්පත්තිය ලද ධනුක එදා සිටම දිවි ගෙවා ඇත්තේ කෝකිලායි ගම්මානයේය. ඔහුගේ පියා, සීයා ඇතුළු සියලු දෙනම එහි ධීවර කර්මාන්තය ජීවිකාව කර ගෙන යැපෙන්නෝ වූහ.

‘පහුගිය කාලේ ආපු සුළඟට අපේ ගෙවල් ගහගෙන ගියා මේ ටකරං තහඩු ටිකවත් දුන්නේ අනුරාධපුර බිෂොප්තුමා. දේශපාලකයො එනවා ජන්දෙ කාලෙට විතරක්, අපිට කිසිම දෙයක් කරල දීල නැහැ. අඩුම ගානේ දරුවන්ට යන්න තියෙන ඉස්කෝලෙට ඕන පහසුකම් ටිකවත් සපයන්න කවුරුවත් උනන්දු වෙන්නේ නෑ,' ධනුක යළිත් කලපුව දෙසට නෙත් හරවයි.

‘දැන් වාරකන් මාළුත් ඒ හැටි නෑ. කලපුවෙන් කකුළුවෙක් දෙන්නෙක් අල්ල ගන්න එක තමයි මේ කාලෙට අපට තියෙන ආදායම, කෝකිලායි ඉන්න අපේ එකම රස්සාව මාළු අල්ලන එක. පවුල් 350ත් 400ත් විතර පිරිසක් මේ ගම්මානයේ ඉන්නවා. කිසිම කෙනෙක් පිටින් ඇවිත් පදිංචි වෙලා නෑ, සේරම මේ ගමේ අයයි.

‘ඒ වුණාට පිටස්තරයන්ට තියෙන සැලකිල්ලවත් අපට නෑ බෝට්ටු 350ක් විතර මුහුදු යනවා. අපට තියෙන අවදානම ගැන සොයන්න බලන්න කිසි කෙනෙක් නෑ, කෝකිලායි පොඩි රෝහලක් තියෙනවා. ඒත් දොස්තර 10ට විතර ඇවිත් දවල් 1ට විතර ආපහු යනවා. හදිිසියේ කෙනෙක් අසනීප වුණොත් එක්කො මුලතිව් යන්න ඕන. නැත්නම් පුල්මුඩේට යන්න ඕන. පුල්මුඩේට යන්න ඕනේ බෝට්ටුවෙන්. බෝට්ටුවෙන් ගිහින් ත්‍රීවීල් ඒකේ ඉස්පිරිතාලෙට යන්න තවත් රුපියල් 600ක් දෙන්න වෙනවා. එන්නත් ඒ ගානම ගෙවන්න වෙනවා. රෑට එහෙම විපතක් වුණොත් කාගේ පිහිටක්ද? අනිත් එක වැස්ස කාලෙට කොහොමද බෝට්ටුවල යන්නේ.

‘මම 1984 උපන්නේ එදා ඉඳලම මෙහේ ඉන්නේ. මට මතකයි කොටි ත්‍රස්තවාදීන් ඉන්න දවස්වල අපිට මිටර් 50කට වඩා එහාට යන්න බෑ. හමුදාවෙන් යන්න දුන්නේ නෑ. අපි එදා ඉඳල මේ ගම්මාන රැකගෙන හිටියා. යුද්දෙන් පස්සේ අපිට මේ ඉන්න තැන් ටිකවත් හරි හමන් විදිහට හදා ගන්න විදිහක් නෑ. කාටවත් මේ ඉඩම්වල අයිතිය දීල නෑ. සමහරු පර්චස් එකේ-දෙකේ ඉන්නේ. ඉඩ ප්‍රශ්නයක් නැහැ. අවුරුදු 30ක් 40ක් ඉන්න මේ ඉඩම් අයිතිය විතරයි අපි ඉල්ලන්නේ.'

ගමේ වයෝවෘද්ධ අයකු වන ෆ්‍රැන්සිස් මහතාගේ වයස දැන් අවුරුදු 69කි. ඔහුටද බොහෝ දුක් ගැනවිලි කියන්නට ඇති බව ඔහුගේ මුහුණින් පෙනුණත් අන්තයට එපා වූ නිසාදෝ වැඩි යමක් කියන්නට ඔහු උත්සාහ කෙළේ නැත. ෆ්‍රැන්සිස් මහතාට වසර 14 සිටම කෝකිලායි ධීවර ගම්මානයේ ධීවරයකු ලෙස සේවය කරන්නෙකි. එහෙත් වසර 55ක කාලයක් සිටියත් ඔහුටවත් අද කෝකිලායි බිම් අඟලක උරුමයක් නැත.

‘අපි දැන් මැති ඇමැතිවරු හැමෝටම කිව්වා, අපිට බෝට්ටු එපා, කන්න අඳින්න එපා වෙන කිසිම උදව්වක් එපා, මේ ඉන්න තැන් ටික හදා ගන්න අපට උදවු කරන්න. අපි කොටි ත්‍රස්තවාදී කාලේ මේ ගම්-බිම් රැකගෙන හිටපු අය. කොටි ගහද්දිත් අපි අපේ රස්සාව කරා. ආණ්ඩුවෙන් යැපුනෙවත් සරණාගත කඳවුරුවලට ගියේවත් නැහැ. අඩුම ගානේ අපෙන් පස්සේ එන පරම්පරාවටවත් කිසිම කරදරයක් නැතිව නිදහසේ ඉන්න ‘අපේ ගම්' කියන උරුමය රැකල දෙන්න එකම ඉල්ලීම එච්චරයි.'

කෝකිලායි ධීවර සමිතියේ සභාපති රොලින්ටන් පවසන්නේද මේ ඉඩම් අයිතිය ලබා නොදීම නිසා ගැටලු රැසක් ඇතිව තිබෙන බවයි.

'අපිට ඡන්ද අයිතිය තියෙනවා. ඒත් අවුරුදු 50ක් 60ක් හිටපු අයටවත් කිසිම ඉඩම් අයිතියක් නැහැ. කුලියට ගෙදරක නැත්තං වත්තක ඉන්න අයටත් අවුරුදු 20ක් 25ක් හිටපුවහම අයිතිය ලැබෙනවා. ඒත් අපට විතරක් ඒ අයිතිය නැහැ. අනිත් එක විශේෂම කාරණේ තමයි අපි අවුරුදු 30ක් කොටි ත්‍රස්තවාදී තර්ජන බෝම්බ මැද මාරයත් එක්ක ජීවත් වෙච්ච අය.

'එහෙම හිටපු අපට ඇයි මේ අසාධාරණේ කියල හැම වෙලාවෙම අපට හිතෙනවා. අපිට බොන්න වතුරවත් හරියකට නැහැ. දරුවෙකුට හරියට නාගන්න තැනක් නැහැ. පේනවනේ බස් ස්ටෑන්ඩ් එකේ හැටි!'

කෝකිලායි ආ බස් රථය නිවාස පේළිය අසල නතර කර යළි ගමන් ආරම්භ කෙළේය. ඉස්කෝලයක් තිබුණත් නෑ වගේ සාමාන්‍ය පෙළ වෙනකල් තියෙන ඉස්කෝලෙ ඉන්නේ ස්ථිර ගුරුවරු දෙන්නයි. එයාලත් සිකුරාදට කලින් යනවා. සඳුදා එන්නේ 10ට විතර. එයාලටත් දොස් කියන්න බැහැ. ස්වේච්ඡා ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා. ඒත් ගමක දරුවන්ට ඒ විදිහට අධ්‍යාපනයක් දෙන්න බැහැනේ.'

වසර ගණනාවක් දුක් කම්කටොලුවලින් පිරිච්ච ජීවිතයක අතීතය සිහි ගන්වමින් මරිය මදලිනා පවසන්නේද රටට සාමය උදා වී ඇතත් කෝකිලායි ජනතාවට තවමත් ඉර උදා වී නැති බවයි. '1957 කලබල ඇති වෙන කොටත් මම මෙහේ ඒ කාලේ මම පාසලේ එකේ නැත්නම් දෙකේ පන්තියේ. මට දැන් වයස අවරුදු 65යි. අපි මෙහේට ඇවිත් තියෙන්නේ අපේ තාත්තට අවුරුදු 7දී එදා ඉඳල අපි මෙහේ ඉන්නේ. මේ ටකරං මඩුවල වැහිදාට ඉන්න බැහැ. වැස්ස කාලෙට තෙමෙනවා විතරක් නෙමෙයි පාරෙත් ඉන්න තැන්වලත් දණක් උසට වතුර පිරෙනවා. කාට කියන්නද මේ අවනඩුව?'

කෝකිලායි ජනතාවට ඇති ප්‍රශ්න එකක් දෙකක් නොවේ. අනෙකක් තබා බොන වතුර ටික පවා ලබා ගන්නට දැඩි දුකක් විඳිනා කෝකිලායි ජනතාවගේ එකම ජීවනෝපාය වන ධීවර කර්මාන්තය කර ගැන්මට වාරකන් කාලයට හැකියාවක් නැත්තා සේම ඔවුන්ගේ අධ්‍යාපන සෞඛ්‍ය ගැටලු මෙන්ම අනෙකුත් පරිපාලන ගැටලුද එතැනමය. ඒ සියල්ලටම හිමිකම් ඇතත් ඒ හිමිකම් නැති ඔවුන්ගේ මේ ප්‍රශ්න විසැඳීමට කිසිවකු අවධානය යොමු කරන්නේද නැත.

යුද්ධයෙන් පසු අවශ්‍ය තරම් ඉඩම් අල්ලා ගෙන වට කර ගැන්මට ඔවුන්ට අවශ්‍ය පසුබිමද සකස් විය. එසේ වුවත් ඒ කිසිවක් කර ගැන්මට ඔවුන්ට අවශ්‍ය නොවීය. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම ජීවනෝපාය කර ගෙන යන කෝකිලායි වැල්ලට සමීප ධීවර ගම්මානයේ පර්චස් එක හෝ දෙක හෝ බලපත්‍රයකින් හෝ අයිතිය ලබා ගැනීම පමණකි.

එය ඉටු වන තෙක් ඔවුහු කෝකිලායි කලපුව දෙසින් නැඟෙනහිර මුහුද දෙස නෙත් අයාගෙන සිටිති. ඒ ගොඩබිමෙන් ඔවුන්ගේ සහායට කෙනෙක් නොපැමිණෙන නිසා දියඹෙන් හෝ කවුරුන් හෝ පැමිණෙන තෙක් විය හැකිය.

silumina.lk/


More News »