දඩ වැඩි නම් අනතුරු අඩු ද

2016-12-15 10:57:00       588
feature-top
වෛද්‍යවරු ය. වි‍ටක හෙදියන් ය. තවත් විටක විශ්වවිද්‍යාලය ය. දැන් පෞද්ගලික බස් සහ ත්‍රිරෝද රථ ය. ඊළඟට කවුදැ යි අප දන්නේ නැත. කෙසේ වෙතත් හැම දෙයට ම වර්ජන කිරීමේ මෝස්තරයක් රටේ දක්නට ලැබේ. වර්ජන යනු තම වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමයකි. එහෙත් සුළුතරයකගේ අයිතිවාසිකම් වෙනුවෙන් බහුතරයකගේ අයිතිවාසිකම් අහිමිවීම නම් හොඳ දෙයක් නො වේ. පසුගියදා ක්‍රියාත්මක වූ වැඩ වර්ජනයෙන් ද පීඩාවට පත්වූයේ මෙරට පොදු ජනතාව බව පෙනෙන්නට තිබේ. ඉතිහාසය පුරාවට ම වර්ජකයන් වද දුන්නේ ජනතාවගේ හිතට, ගතට මිස ආණ්ඩුවලට නො වේ. මේ නිසා ම වර්ජකයන්ගේ අඳෝනා අසා උණුවන හදවත් දැන් ජනතාවට නැති තරම් ය. එතරමට ම මෙරට වෘත්තිකයන් ජනතාවගෙන් දුරස් වෙමින් පවතී. පෞද්ගලික බස් වර්ජනය ද එසේ වූවකි.

මෙවර බස් වර්ජනයට හේතු වූයේ රජය විසින් ගෙන එන ලද අයවැය යෝජනාවකි. ඒ අනුව කියවුණේ මෙරට දිනෙන් දින රිය අනතුරු ඉහළ යන නිසා එයට පිළියමක් ලෙස මාර්ග නීති කඩ කිරීමේ ප්‍රධාන වැරදි හතක් වෙනුවෙන් රුපියල් 25,000ක දඩ මුදලක් අයකිරීමට යෝජනා කිරීමයි. බීමත්ව රිය පැදවීම, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, වලංගු රියදුරු බලපතක් නොමැති පුද්ගලයකුට සිය රථය පැදවීමට අවසර දීම, අධික වේගය, වම් පසින් වාහන පසුකර යාම, නොසැලකිලිමත් අන්දමින් දුම්රිය හරස් මාර්ග ඔස්සේ රිය පැදවීම, රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම ආදී වශයෙන් මේ දඩ මුදල නියම විය. ඊට අමතර ව අවම දඩ මුදල රුපියල් 2500ක් බවට පත් කෙරිණි.

මේ දඩ මුදල අසාධාරණ බව කියමින් පෞද්ගලික බස් සංගම් රැසක් ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවිය.

පොලිස් වාර්තා වලට අනුව 2015 වසරේ රිය අනතුරු නිසා මරණ 2817ක් වාර්තා වී තිබේ. මේ වසරේ ඔක්තෝබර් මස අවසානය වන විට සිදුවූ මරණ සංඛ්‍යාව 2336කි. මේ අනතුරුවලට වැඩිම දායකත්වය යතුරුපැදි වලිනි. ඊළඟට ත්‍රිරෝද රථ ය. තවත් පසකින් පෞද්ගලික බස් රථ හා ටිපර් රථ ය. දිනෙන් දින රටේ සිදුවන අනතුරු පිළිබඳ අවධානය යොමු කිරීමේදී එය යුද්ධය පැවැති සමයේ රෝහල් ගත කෙරුණු පිරිසට වඩා වැඩි ය. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා එය තහවුරු කර සිටී. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින ලොකු ම මාරයා රිය අනතුරු ය. සාමාන්‍යයෙන් වසරකට රිය අනතුරු 60,000ක් පමණ දළ වශයෙන් වාර්තා වන අතර ඉන් 2500කට ආසන්න පිරිසක් මරුමුවට පත් ‍ෙවති. තවත් පිරිසක් තාවකාලික හෝ ජීවිතාන්තය දක්වා ආබාධ වලට ලක් වෙති. මේ නිසා වාර්ෂිකව ශ්‍රම බළකායට මිලියන ගණනක පාඩුවක් වේ. තව ද සමාජයට වැඩදායක පිරිස් අහිමි වීම, දරු පවුල් අසරණ වීම, දේපොළ හානිය, රිය අනතුරු නිසා සමාජයට සිදුවන බලපෑම් ය. මේ නිසා මහාමාර්ගයේ සිදුවන අනතුරු වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීමෙන් රජයට ගැලවීමට බැරි ය. එහිදී කෙටි කාලීන ව සහ දීර්ඝ කාලින ක්‍රියා මාර්ගවලට යොමු වීමට සිදු වේ. මෙහිදී රිය අනතුරුවලට හේතු පළමු ව හඳුනා ගත යුතු ය. නො සැලකිල්ල, මාර්ග නීති නො තැකීම සහ නො දැනුවත්කම, මාර්ග පද්ධතියේ දුර්වලතා, වාහනවල දුර්වලතා, පරිසර සාධක, නිසි පුහුණුව නොමැතිකම, අධික මහන්සිය, බීමත්කම ආදි වශයෙන් හේතු කිහිපයක් හඳුනා ගත හැකි ය. මේ දුර්වලතා මඟ හැරීමට ක්‍රියා කිරීමෙන් රිය අනතුරු අඩු කර ගත හැකි වනු ඇත. 2010 වර්ෂයේ දත්ත අනුව බලන විට මාර්ග අනතුරු නිසා පුද්ගල ජීවිත 2483ක් රටට අහිමිව තිබේ. ඉන් වාහන පසුකර යාමට උත්සාහ කිරීමේදී 493ක් ද, හැරවීමේදී 195ක් ද, බීමත්කම නිසා 147ක් ද, කහ ඉරි මත 89ක් ද, කාර්මික දෝෂ නිසා 23ක් ද පදිකයන්ගේ නො සැලකිල්ල නිසා 99ක් ද වශයෙන් මේ අනතුරු වර්ගීකරණය වී තිබේ. මේවා බොහොමයක් වළක්වා ගතහැකි ව තිබු අනතුරු වීම ද විශේෂයකි.

මේ අනු ව ඒ සඳහා මහා මාර්ග භාවිත කරන්නන් තුළ ඉවසීම, හැදියාව, විමසිලිමත් බව, නීතිගරුක බව ඇති කළ යුතු ය. මේ සඳහා දඩ මුදල ඇඟට දැනෙන ලෙස වැඩි කළ යුතු ය. එය කෙටි කාලීනව හොඳ විසඳුමකි. දඩ මුදල් ඉහළ දැමීමෙන් අනතුරු අව ම කිරීමට යම් හැකියාවක් ලැබේ.

දඩ මුදල් වැඩිකිරීමට එරෙහිව මතුවූ ප්‍රධාන තර්කයක් වූයේ පොලිසියේ ක්‍රියාකාරීත්වය යි. ඇත්තෙන් ම මෙරට පොලිසිය සම්බන්ධයෙන් විශ්වාසයක් ප්‍රසාදයක් නැති බව සැබෑ ය. එහෙත්, එසේ කියා පොලිසිය නිවැරදි මඟක යනතෙක් බලා සිට රිය අනතුරු සම්බන්ධයෙන් කටයුතු කළ හැකි ද?

මේ වෘත්තීය සමිති සිතා ඇත්තේ මිනිසුන් බස්රථවල රාජකාරියට යන්නේ ඉතා ආශාවෙන් කැමැත්තෙන් කියා වන්නට ඇත. එය එසේ නො වේ. ජනතාව පොදු ප්‍රවාහන සේවාව භාවිත කරන්නේ ඔවුනට වෙන විකල්පයක් නැති නිසා ය. මෙරට පෞද්ගලික බස් රථ සේවාව ඇත්තේ ඒ තරමට ම එපා වූ තත්ත්වයක ය. බස් මගීන් කෑලි ගණනට සලකා බොහෝ අපහසුතාවන්ට පත් කරයි. අප්‍රසන්න වචන භාවිතය, ඉතිරි මුදල් සම්බන්ධ ඇතිවන ගැටලු, ආදිය මෙහිදී ප්‍රධාන ය. බොහෝ බස් රථ සේවකයන්ගේ ඇඳුමේ පැලඳුමේ වත් කිසිම ප්‍රසන්න බවක් නැත. මේ නිසා කිසිම විටක පෞද්ගලික බස් සේවාව සම්බන්ධයෙන් මෙරට ජනතාවට තිබෙන්නේ යහපත් හැඟීමක් නො වේ. මේ තත්ත්වය නිසා ම පසුගිය ආණ්ඩුව විසින් පෞද්ගලික බස් රියදුරන්ට, කොන්දොස්තරවරුන්ට නිල ඇඳුමක් ලබා දීම, ටිකට් පත් නිකුත් කිරීම අනිවාර්ය කිරීම ආදී ලෙස නීති රීති හඳුන්වා දෙන ලදී. එහෙත් ඒවා අද වන විට ක්‍රියාත්මක වන්නේ නාගරික සීමාවල පමණි. නගරයෙන් බස් රථය ගමන් ආරම්භ වන විට ම, නිල ඇඳුම ගැලවෙයි. ටිකට් පොත පැත්තකට විසිවෙයි. එතනින් එහාට ඇත්තේ වෙනම ම ඔවුන්ගේ රාජ්‍යයකි. රජය විසින් ගුණාත්මක බස් සේවාවක් ඇති කිරීමටත්, සේවකයන්ට වෘත්තීමය ගරුත්වයක් ඇති කිරීමටත් ලබාදෙන අවස්ථාවට ඔවුන්ම පයින් ගසන්නේ එලෙස ය.

ඔවුන්ට ඊ.ටී.එෆ් නැති බව, ඊ.පී.එෆ් නැති බව, පැන්ෂන් නැති බව, රක්ෂණ ආවරණ නැති බව, රැකියාවේ පවතින අස්ථිරබව, ඔවුන් ජිවත්වන්නේ දවසේ ලැබෙන මුදලින් බවත් පෞද්ගලික බස් සේවාවට චෝදනා එල්ල වන විට ලැබෙන ප්‍රතිචාර ය. තව ද සමාජ පිළිගැනීමක් නැති බව ද කියයි. එහෙත්, එම රැකියාවට වෘත්තීමය ගරුත්වයක් ලබාදීමට රජය ක්‍රියාකළ අවස්ථා ඔවුන් විසින් ම ඉතිහාසය පුරා ම විනාශ කරගෙන ඇත.

අනෙක් අතට පෞද්ගලික බස් රථ තරම් මිනිසුන්ගේ ශ්‍රමය අපතේ යවන සේවාවක් අපට දැකගත නො හැකිය. පැයකින් යා හැකි ගමනකට ඔවුහූ ඇතැම් විට පැය එක හමාරක්, දෙකක් ගනිති. මෙවිට බසයේ මගීන් පනහක් ගමන් ගත්තොත් විනාශ වන පැය ගණන කොපමණ ද? මෙසේ මහ මඟට විනාශ වන්නේ රටේ දියුණුවට අවශ්‍ය කරන ශ්‍රමය නො වේද? මේවා ගැන තැකීමක් පෞද්ගලික බස් සේවාවට ඇත්තේ ම නැත. තවත් අතකින් පොදු ප්‍රවාහන සේවාව පහත් අඩියකට වැටීම නිසා , බොහෝ ජනතාව තම තමන්ට හැකි පරිදි තමන්ගේම වු වාහනයක රාජකාරි සඳහා පිටවේ. මේ නිසා මහාමාර්ගයන් හි තදබදය උග්‍රවී ඇති අතර, එය ම රිය අනතුරු වැඩිවීමට ද බලපා තිබේ. මේ අනුන්ගේ වැරදි ගැන දකින පෞද්ගලික බස් සේවාවේ පිරිහීම ය. ඔවුන්ගේ සේවාව සමස්ත රටට බලපා තිබෙන ආකාරය ය.

කෙසේ වෙතත් දඩ මුදල් ඉහළ දැමීම දීර්ඝ කාලීන ව සාර්ථක විසඳුමක් යැයි අපට කිව නො හැකි ය. ඒ මීට පෙර 2005 වර්ෂයේදී පමණ දඩ මුදල් ඉහළ දමා කෙටිකාලීනව අනතුරු අඩු විය. එහෙත් පසු ව යළිත් සුපුරුදු පරිදි ම අනතුරු වාර්තා වන්නට විය. මේ අනුව දඩ මුදල් වැඩි කිරීම තාවකාලික විසඳුමක් පමණක් වනු ඇත.

එමෙන් ම අනතුරු අවම කිරීම සඳහා උපයෝගී කරගන්නා දඩ මුදල රියදුරන්ට දැනෙන ගණනක් විය යුතු බව ඇත්ත ය. එමෙන් ම එය සාධාරණ විය යුතු ය. ලංකාවේ උපාධිධාරියකුගේ වුව අව ම මූලික වැටුප රුපියල් 20,000ක් වත් නැත. එසේ තියෙද්දී මූලික වැටුපටත් වඩා ඉහළ දඩයක් ගැනීම කොතරම් වටී දැයි බැලිය යුතු ය. තව ද මේ නීති බසයට, බයිසිකලයට පමණක් නොව පැජරෝ එකට ද වලංගු විය යුතු ය. එවැනි තත්ත්වයක් අප අතීතයේ නම් දැක නැත. කෙටි කාලීන ව ගන්නාවූ පියවර සාධාරණ කළ හැකි වුවත්, දීර්ඝ කාලීනව අනෙක් සංස්ථාවල ද පවතින ගැටලු සැලකිල්ලට ගෙන විසඳුම් සෙවීම රජයේ වගකීම වනු ඇත්තේ එහෙයිනි.

silumina.lk


More News »