ශ්‍රී පාදහිමේ ඉදිකරන්නට ගිය හෝටලයට මොකද වුණේ?

2016-12-14 11:14:00       660
feature-top
වරක්‌ නොගියත් දෙවරක්‌ ගියත් මෝඩයකු යෑයි ජනවහරේ කියමනක්‌ ඇත්තේ, සිරීපාද ගමනටයි. දැන් දැන් නම් සිරීපාද ගමන පහසුයි. පාරවල් හොඳයි. තැනින් තැන කෑම බීම නවාතැන් පොලවල් මිලට ගන්නට හැකියි. ඉස්‌සර මේ කිසිවක්‌ නෑ. වෙනෙකක්‌ තබා බඩු මලු කර තියාගෙන යන්නට බැරි නිසාම අග්ගලා ගුලි කරගෙන තේ කහට, කෝපි උණුවතුර බෝතලයක්‌ අතින් අතට මාරු කර කර ගල් කුළු මතින් කටුපඳුරු අස්‌සෙන් රිංග රිංගා සිරීපාදේ නැග්ග කාලයක්‌ තිබුණේ දශක දෙකකට පමණ පෙර මෑත අතීතයේයි.

ඒත් සීග්‍රයෙන් ආ තාක්‌ෂණයේත් මිනිසාගේ අමුතු දියුණුවත් එක්‌කම ඒ සියල්ල අතීත ආවර්ජන වලට පමණක්‌ ශේෂ ව ඇත. සියල්ල කණ පිට මෙපිට නොපිට පෙරැළී දැන් සිරීපාදේ ශ්‍රීපාදය වී, අවාරයක්‌ වාරයක්‌ නැති අච්චාරුවක්‌ වී පා ගමනක්‌ කරුණා කිරීමක්‌ නැති හෙළිකොප්ටරයෙන් වුව පද්මයට ගොඩබසින අමුතු කලාවක්‌ නම් බිහිව ඇත.

මෙවර තව තවත් උණුසුම් පුවත් ගොන්නක්‌ ශ්‍රී පාදය හා ඒ අවටින් ඇසෙන්නට ගත්තේ මාස කිහිපයක සිටයි. සීතලේ හිරිගඩු පිපෙනවා වෙනුවට ඇතැම් කතා උණුසුමේ ඩාබිඳු හලන්නාක්‌ බඳු වූයේ සිරිපා අඩවියට පමණකුත් නොවේ. රටතුළ ජාති ආගම් භේද ඇති කරන්නට පවා ඇතැම් කතා ප්‍රබල වී සමන් දෙවි අඩවියේ සැඟව ගිය ගුප්ත විශ්වාස සේම කඳු අතරේ සැඟව ගිය බවක්‌ද දක්‌නට ලැබෙයි. ඒ සිරිපා අඩවියේ දැවැන්ත තානායමක්‌ විදෙස්‌ ව්‍යාපාරිකයෙකු විසින් තනන්නට යන බවට මහසෝන් බලකාය නමැති සංවිධානයක්‌ අන්තර්ජාලය ඔස්‌සේ, පුවත් මවා ඇතැයි ශ්‍රී පාදස්‌ථානාධිපති ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර මහ දිශාවේ අධිකරණ සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූ අවස්‌ථාවේයි.

"මෙම ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක්‌ නොමැති බවත් මේ සඳහා මොවුන් රටේ රාජ්‍ය නායකයන්ගේ නම්ද ඈඳා ගනිමින් ජනතාව නොමඟ යෑවීමේ උත්සාහයක නිරතව සිටින බවත් උන්වහන්සේ කීහ.

එළඹෙන ශ්‍රීපාද වන්දනා වාරය සම්බන්ධව සාකච්ඡා කිරීම නිමිත්තෙන් නල්ලතන්නිය ග්‍රාම නිලධාරි කාර්යාලයේදී රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවයකදී ධම්මදින්න හිමියෝ මේ බව පැවසූහ.

ශ්‍රී පාදස්‌ථානයේ සංවර්ධනයට ගල් කැටයකින් හෝ දායකත්වය ලබා නොදුන් පිරිස්‌ අද "ශ්‍රී පාදය රැක ගනිව් යන තේමා පාඨය යටතේ ජාතීන් අතර විරසකයක්‌ ගොඩනැඟීමේ ක්‍රියාවක නිරතව සිටින බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ශ්‍රී පාදස්‌ථානය සතුව අක්‌කර 99 ක භූමි ප්‍රමාණයක්‌ පවතින බවද එහි කිසිදු ඉදිකිරීමක්‌ සිදු නොවන බවද ධම්මදින්න හිමියෝ අවධාරණය කළහ.

ශ්‍රී පාදස්‌ථානයට පහළින් වූ පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක සංචාරක නිකේතනයක්‌ ඉදිකෙරෙන බවත් එය වගකිව යුතු අංශ මගින් ලබාගත් අවසරය මත සිදු කෙරෙන්නක්‌ බවත් පැවසූ උන්වහන්සේ ඊට එරෙහි වීමට හැකියාවක්‌ නොමැති බවද පැවසූහ...."

එහෙත් එතැනින් කතාව නිම වූයේ නෑ.

මවුස්‌සාකැලේ ජලාශය ඉස්‌මත්තේ ගාඩ්මෝර් හා මරේ දිය ඇලි පේන මානයේ, පිහිටා ඇති පීක්‌ෆීල්ඩ් වතුයායේ තමයි, මෙම නවීන පන්නයේ තානායම හදන බවට රාවයක්‌ ගියේ. පීක්‌ෆීල්ඩ්වලට ශ්‍රී පාදයේ ඉඳලා හරියටම දුර අහස්‌ දුරින් කිලෝමීටර් හයක්‌. වත්තේ වපසරිය අක්‌කර අසූ හයක්‌. ලංකාවේ තිබුණ ප්‍රමුඛ පෙළේ වතු සමාගම් හතරකට අයත් මේ වත්ත වසර 2013 දී කොටස්‌ විකිණිම හා මිලට ගැනීම අනුව අබුඩාබි කැපිටල් සාමාගමට අයිති වුණා. හැම අමාත්‍යාංශයම වැඩ ගැන උවමනාවට වඩා කැප වෙලා හොයලා බලපු ඒ කාලේ අමාත්‍යවරයෙක්‌ මේ වත්ත මිලට ගන්න උත්සාහ කළත් ඒ වැඩේ ගැස්‌සිලා ගිය බව ඔය පැත්තේ සාමාන්‍ය මිනිස්‌සුන්ගේ ඉඳලා හැමෝම දන්නවා. කොහොම හරි වත්ත ගත්තේ වෙනත් ජාතිකයෙක්‌ නිසාත් ඔය වත්තේ හෙලිකොප්ටර් අංගනයක්‌ තනපු නිසාත් ප්‍රශ්නයක්‌ තැනුණා. ඒ විතරක්‌ නෙවෙයි මේ වත්තේ කුමක්‌ හෝ ඉදිකිරීමක්‌ කරන්න උත්සාහ කළ බවක්‌ පෙනෙන්නට තිබුණ නිසා දුර පලාත්වල උදවිය සමාජ ජාලා වලින් දැකලා කුපිත වුණා. මේ උදෙසා කොළඹ ඉඳන් ආපු භික්‌ෂුන් වහන්සේලා ඇතුළු මහ සෙනගක්‌ නුවර ඉඳන් පීක්‌ෆීල්ඩ් දක්‌වා විරෝධතා පාගමනක්‌ ගියා විතරක්‌ නෙවෙයි, විදේශිකයන්ට ශ්‍රී පාදයට යන්න මඟ පෙන්වලා තිබුණ ඉංගී්‍රසි නාම පුවරුවල තාරත් ගාලා ගිහින්. මේවා කළේ කවුද කියලා කියන්න නම් තවම කවුරුවත් දන්නේ නැහැ. දැන් ශ්‍රී පාද කාලේ ආරම්භ වෙන්න ඔන්න මෙන්න. අවාරේ ගිහින් මේ තොරතුරු හොයන්න ඕනෑ වුණත් සමන් දෙවියන්ගේ බැල්ම මොන විදිහට වැටෙයිද කියලා දන්නේ නැති නිසා සිරිපා කරුණාව ඇරඹෙන්න සතියක්‌ දෙකක්‌ තියලා ඒ පැත්තේ ගියා කියමුකෝ.

ඔය කියන පීක්‌ෆීල්ඩ් වත්ත පැත්ත මිහිපිට සුරලොවක්‌ තරමටම ලස්‌සනයි. සිහිනෙකින් සැරි සරන්නේය යන හැඟීම හිත තුළ උපදින තරමට ගහ කොළ ඇළ දොළ දිය ඇලි කඳු වළලු සොබා දහමේ වර්ණාවලිය එකිනෙක බැඳිලා සිත්තමක්‌ වගේ. රටටම උරුම කම් කියන සත්තු ගහ කොළ වැල් පැළෑටි නිමක්‌ නැතිව තියෙන මේ පරිසරය මේ තරම්ම වටිනවා කියලා දැන ගත්තේ ඒ සුළඟේ දැවටිලා නැහැයට දැනුණ සොබාදම් සුවඳ ගත පුරා දිවයද්දිම තමයි. වරද තියෙන්නේ මේ තරම්ම වටිනා සම්පත් සාගරයක්‌ මිලදී ගත්ත විදේශික ව්‍යාපාරිකයා ගේ නෙවෙයි. සල්ලි පොදි බැඳගෙන හොර වැඩවලට යොදව යොදවා බැබලෙන ලංකාවාසී ව්‍යාරිකයන්ගේත් බලපුළුවන්කාරකම් පෙන්න පෙන්න අහසට බුරන බලයේ ඉන්න බලධාරීන්ගේත් අතේයි. මොකද මේ වගේ සම්පතක කොටස්‌ මිලදී අරන් රටේ බිම් කඩවල් පිටතට යන වග කලින්ම දැනගන්නේ ඒ අයනේ. ඒත් අද කාලේ ඉන්න ඔය කියන කිසි කෙනෙකුට තමන්ගේ ගෙදර කුස්‌සියේ වෙන දේ තියා තමන්ගේ බිරිඳ කරන දේවත් දන්නේ නැති වග නම් කාටත් තේරෙනවා. එහෙම එකේ මේ වගේ වටින වත්තක්‌ කාටවත් අයිති වෙනකල් බලාගෙන හිටපු ලොක්‌කෝ ගැන අපි දහස්‌ වාරයක්‌ තැවෙන්න ඕනෑ.

කොහොමහරි මස්‌කෙලිය නගරයෙන් බැහැලා විස්‌තර ටිකක්‌ දැනගෙනම යන එක ඇඟට ගුණයි කියලා හිතුණ නිසාම වෙළෙඳ සැලක්‌ පවත්වා ගෙන යන මොහොමඩ් රෆීක්‌ එක්‌ක ටිකක්‌ කතා කළා. "ඔය කියන හෝටලයක්‌ හදන කතාව මේ පැත්තේ පැතිරිලා ගියා තමයි. සිරීපාදේ ලොකු හාමුදුරුවොත් කිව්වා මේ අනුන්ගේ වතුවල කරන වැඩ ගැන අපට කරන්න දෙයක්‌ නැහැ කියලා. මොකද අපි දන්න විදිහට ඔය කියන හෝටලය හදන්න හැදුවේ සිරීපාදේට අයිති ඉඩම්වල නෙවෙයි. අයිතිකාරයා පිටරට කෙනෙක්‌ලුනේ. අපේ රටේ කෙනෙක්‌ නෙවෙයි. කොහොමහරි ටික දවසක්‌ අපටත් ඔය කියන ප්‍රශ්නේ නිසා බිස්‌නස්‌ නැති වුණා. පිටින් ආපු කවුරු කවුරු හරි ටවුමේ වතුවල පාරවල් ගානේ පෝස්‌ටර් අලවලා තිබුණා අපේ කඩවලින් බඩු ගන්න එපා කියලා. ඒ විතරක්‌ නෙවෙයි මේක මේ ජාතිවාදී අරගලයක්‌ කරන්නත් කවුරු හරි කණ්‌ඩායමක්‌ උත්සාහ ගත්තා. අපේ කඩේට වැඩිපුරම එන්නේ සිංහල, දෙමළ අපේම කට්‌ටිය. අපි බොහොම සමගියෙන් තමයි හිටියේ. ඒක බලන් ඉන්න බැරි කට්‌ටිය අපිව භේද කරන්න උත්සාහ කලා. මොකද ඔය කියන විදිහට සිරීපාදෙට හානියක්‌ වෙනවා නම් ඉස්‌සෙල්ලාම කෑ ගහන්නේ අපි. එතන ජාති ආගම් භේද නෑ. සිරීපාදේ කියන්නේ අපි කාගෙත් උරුමයක්‌ නේ...."

මස්‌කෙළියෙන් ශ්‍රී පාදයට හැරෙන තැන ඇඩම්ස්‌ පීක්‌ කියලා ලියලා තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ නාම පුවරුවේ ශ්‍රී පාදය කියලා තියෙනවා. අර කඩේ හිටපු මොහොමඩ් කිව්වේ ආදම් මලෙයි කියලා. ඇත්තටම මේ සමනොල ගිර හැමෝටම අයිතියි වගේ අපටත් දැනුණා. බුදුන්වහන්සේ බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී තුන්වැනි වරට සිරිලංකාවට වැඩම කළ අවස්‌ථාවේ සුමන සමන් දිව්‍ය රාජයා උන්වහන්සේට ආරාධනා කළා, සමනොල කන්දට වැඩම කරන ලෙස. ඒ ආරාධනයෙන් මේ කේතු හැඩැති සමනොල කන්දට වැඩම කළ බුදුන් වහන්සේ සිරිපතුලේ ලාංඡනය තබා ගියේ යෑයි බෞද්ධයන් සිතයි. හින්දු භක්‌තිකයන් සිතන්නේ මේ තියෙන්නේ ශිව දෙවියන්ගේ පාදය බවයි. රොබට්‌ නොක්‌ස්‌ පොතක ලියලා තිබුණේ මේ තියෙන්නේ ආදම් ගේ පාදයයි ඒ නිසා මෙය ඇඩම්ස්‌ පීක්‌ ලෙස හඳුන්වනවාය කියලායි. ඕනෑ විදිහකට හඳුන්වාගෙන ජීවත් වෙලා ඉන්නකන් ආරක්‌ෂා කර ගත්තොත් ලංකාවේ උරුමය කොහොම හරි රැකේවි.

මේ කාරණා හිත හිත අපි ආවා ඔය කියන ආන්දෝලනාත්මක පීක්‌ ෆීල්ඩ් වත්තට. හෙළිකොප්ටර් අංගනයක්‌ වගේම කුමක්‌ හෝ ගොඩනැඟිල්ලක්‌ බිමට සමතලා කරපු බවට සාධක සහිත තැනක්‌ තිබුණා තමයි. ඒත් විස්‌තර හරියටම දැනගන්න වත්තේ කළමනාකරු ලෙස කටයුතු කරන දිශාන් සෙනෙවිරත්න මුණ ගැහුණා.

"මේ ගැන ඇවිත්ම බලන එක තමයි හොඳ. මොකද හුඟක්‌ දෙනෙක්‌ කරන්නේ අන්තර්ජාලයෙන් බලලා, ඔහේ කෑ ගහන එක. ඒ කවුරුවත් මේකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ. දැන් මෙහෙමයි. මේ වත්ත අබුඩාබි කැපිටල් සමාගම සතුයි. වත්ත අයිතිය මිලට ගත් විදේශීය සභාපතිවරයා මාස තුනකට සැරයක්‌ හෙලිකොප්ටරයෙන් මෙහාට එනවා. ඒ නිසා හෙලිකොප්ටර් අංගනය හැදුවා. ඊළඟට මේ වත්තේ තිබුණා අවුරුදු සියයකටත් වඩා පැරණි බංගලාවක්‌. මේ බංගලාව ගරා වැටිලා තිබුණේ. එය අලුත්වැඩියා කරලා තව කොටස්‌ කිහිපයක්‌ එකතු කරලා හදන්න අවශ්‍ය නිසා අපි අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් වගේම ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයෙනුත් මධ්‍යම පරිසර අධිකාරියෙනුත් අවසර ගත්තා. ඒ හැරුණාම අපි හෝටලයක්‌ හදන්න ලැහැස්‌ති වුණේ නැහැ. ශ්‍රී පාදේ ළඟම හෝටල් කීයක්‌ තියෙනවාද? අපි කියන දේට කවුරුත් ඇහුම්කන් දුන්නේ නැහැ. මෙතන වෙන මොනවා හරි කුමන්ත්‍රණයක්‌ තිබුණා කියලත් අපට දැනුණා. ඒත් අපි වැරැද්දක්‌ නොකරන නිසා අපි කලබල වුණේ නැහැ. අපේ අක්‌කර අසූ හයෙන් අක්‌කර දහයක තේ හදලා තියෙනවා. තවත් අක්‌කර දහයක තේ හදන්න සැලසුම් කරලා තියෙනවා. ඉතිරිය වන වගාව වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. අපි පරිසරයට බොහොම කැමැතියි. ඉස්‌සර කවුරුහරි මේවා ආරක්‌ෂා කළ නිසා තමයි අද අපි මේ ඉඩම් භුක්‌ති විඳින්නේ. අපිත් ඒවා රැක ගත්තොත් ඉදිරිය හොඳ වෙයි. අපට ගොඩනැඟිල්ල හදන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසාම සම්පූර්ණයෙන් බිමට සමතලා කරන්නත් සිද්ධ වුණා. දැන් අපි නැවත ගොඩනැඟිල්ලක්‌ ඉදි කරන්න පෙර කී ආයතන සියල්ලෙන්ම ලිඛිත හා වාචික අවසරය ඉල්ලලා තියෙන්නේ. අවසර ලැබුණ ගමන් අපි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනවා. මේක පෞද්ගලික ඉඩමක්‌ නේ....."

මාස ගාණක්‌ තෙරපුණ ප්‍රශ්නේ ඒ විදිහට දැනගෙන අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආරුමුගම් සරවනභවන් හොයාගෙන ගියා. රත්නපුරටත් නුවරඑළිය හැටන් මස්‌කෙළියටත් මැදිව තිබෙන ශ්‍රී පාද භූමිය හා ඒ අවට බලතල ක්‍රියාත්මක කිරීමේ අයිතිය ඇත්තේ අඹගමුව ප්‍රාදේශීය සභාවටයි. නල්ලතන්නියෙන් ගොස්‌ මකර තොරණ අසලින් ඇතුළු වී ගඟුලතැන්න දෙසට යන විට තාවකාලික බලපත්‍ර මත පවත්වාගෙන යන එහෙත් සංචාරක මණ්‌ඩලයේ අනුමැතිය ඇති පෞද්ගලික සංචාරක නිකේතනයක්‌ද දක්‌නට ලැබේ. එය රක්‌ෂිතය තුළ ඉදිකර ඇති අතර ඊට අනුමැතියක්‌ ලැබුණේ දෙව් ලොවින් වන්නට පුළුවන්. මන්ද පූජා භූමියේ අක්‌කර අනූනවයක සිරිපා අඩවිය අභය භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 1940 ඔක්‌තෝබර් 25 වැනි දින වීම නිසායි.

ආරුමුගම් සරවනභවන් රාජ්‍ය නිලධාරියෙක්‌. ඔහු මේ සියල්ලට මැදිව නූල් බෝලයේ ගැටගැසුණු ගැට ලිහන්නට තැත්කරයි.

"අපේ මැදිහත්වීමෙන් ගොඩනැඟිල්ලක්‌ අලුතින් ඉදිකිරීම අපි අත්හිටෙව්වා. මොකද වත්තේ බංගලාව ගරා වැටිලා. එය අලුත්වැඩියා කරන්න අවසර දෙන්න කියලා තමයි. අපෙන් අවසර ඉල්ලුවේ. ඒ ඉල්ලීම අනුව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය ඇවිත් ක්‌ෂේත්‍ර පරීක්‌ෂණයක්‌ කරලා ඒ ඒ නිර්දේශයන් මත ඉදිකරන්න අවසර දුන්නා. මේ ඉදිකිරීම් සිදු කෙරෙද්දී සමාජ ජාලවල තොරතුරු ඡායාරූප දැම්මා ශ්‍රී පාද අඩවියේ හෝටලයක්‌ හදනවා කියලා. අපි කලබල වුණේ නැහැ. මොකද අපි ඇත්ත තත්ත්වය දන්න නිසා. මේ පළාතේ ඉන්න මිනිස්‌සු කලබල වුණෙත් නැහැ. මොකද හැමෝම මේ තත්ත්වය ඇසින් දැකලා තිබෙන නිසා. යකාව හරි හොල්මනක්‌ හරි දැකලා එපායැ බයවෙලා කලබල වෙන්න. ඒත් දුර ඉන්න අය කොළඹ මිනිස්‌සු කලබල වුණා. පා ගමන් ගියා. ඒ අයත් මෙහෙ ඇවිත් දැකලා නිහඬ වුණා. තවත් සමහරු ජාතිවාදය ඇවිස්‌සුවා. පත්තර ටීවී රේඩියෝ වුණත් දුරකථනයෙන් විමසලා ලොකු කතා ගොඩනැඟුවා. ඇත්ත ඇති සැටියෙන් කියන්න නම්, ඇහෙන් දැකලා කනෙන් අහලා ඉන්න එපායැ. හොඳම වැඩේ අරාබි ජාතිකයෝ ඇවිත්, හෙලිකොප්ටරයෙන් බහින ඡායාරූප පවා විවිධ කතා ගොඩනඟලා අන්තර් ජාලයේ පළ කළා. ඒ සේරම අසත්‍ය තොරතුරු.

අපි මේ වත්තට අනුමැතිය දුන්නේ, තියෙන ගොඩනැඟිල්ල අලුත්වැඩියා කරන්නනේ. නමුත් ඒ අය අලුතින් විවිධ කොටස්‌ ඉදිකරන්න පටන් ගත්තා. ගොඩනැඟිල්ලේ වැඩි කොටසක්‌ බිමට දාලා කරන අලුත්වැඩියාව අපේ අනුමැතියට ඇතුළත් නොවුණ නිසා අපි ඉදිකිරීම් අත් හිටෙව්වා. මොකද බලපත්‍ර කොන්දේසි කඩ කරලා ඉදිකරන්න ඉඩ දෙන්න අපහසුයි. එහෙම නම් නව ඉදිකිරීමක්‌ ලෙස ඉල්ලුම් කරන්න ඕනෑ. මේ නිසා අර ඇවිලිලා තිබුණ ගින්නට පිදුරු දැම්මා වගේ තවත් ඇවිලිලා ගියා. සත්‍ය හුළඟින් නෙවෙයි.. අසත්‍ය හුළඟකින්.

මේ වත්තේ පරිපාලකයින් තමන්ගේ උවමනාව හරියටම කියලා විධිමත් අයදුම්පතක්‌ ඉදිරිපත් කළොත් ඒ ඉදිකිරීමට අවශ්‍ය කොන්දේසි සපුරා ඇත්නම් අපි අවසර දෙනවා. මොකද මේවා පෞද්ගලික ඉඩම්...."

මේ ඇසිල්ලෙදිම තවත් අවශ්‍යයම පුද්ගලයෙක්‌ මුණ ගැහුණා. ඒ තමයි සිංහල ජාතික බලමුළුවේ මහලේකම් අරඹේපොල රතනසාර නාහිමියන්.

උන්වහන්සේ මෙසේ වදාළා,..." පීක්‌ ෆීල්ඩ් කියන්නේ සිරිපා භූමිය ආසන්නයේ උස්‌ ඉඩමක පිහිටි ප්‍රදේශයක්‌. වතු සමාගම් දැන් තේ වලින් ලාභ නොලබන නිසා විකල්ප ක්‍රම වේද සොයා යනවා. විදේශ සමාගමකට වත්ත විකුණපු එක තමයි මෙහි තියෙන ලොකුම වරද. රජයෙන් අපි ඉල්ලා සිටිනවා මේ වත්ත රජයට පවරා ගන්න කියලා. මුරකරුවෝ දාලා වත්තට ඇතුළු වෙන්න ඉඩක්‌ නැහැ. ප්‍රාදේශීය සභාවෙන් වුණත් ලිතව තහනම් කරලා නැ. ඒ නිසා මේ ගැන විධිමත් පරීක්‌ෂණයක්‌ කරලා මේ වටිනා ඉඩම් රජය සතුව තියා ගන්න අවශ්‍ය යි. මා නැවත නැවතත් කියන්නේ එයයි."

ලංකාවේ උස්‌ කඳු අතරින් තුන්වැනි තැන හිමිකරගෙන සිටින සිරීපාද සමනොල කන්ද උසින් මීටර 2215 ක්‌. සිරිපා අඩවියේ හෙක්‌ටයාර 22380 ක භූමියේ මකර තොරණ, ශීත ගඟුල, අහස්‌ ගව්ව, හැරමිටිපාන, ඉදිකටුපාන, ගෙත්තම්පාන, ධර්මරාජගල, ගෝණතැන්න, ඇහැළ කණුව, මහගිරිදඹය මැයෙන් හඳුන්වන සුන්දර ඉතිහාසයක්‌ දෑසින් විඳ දහවලේ වුවද සිහිල් සුළඟේ දැවටෙමින් ගොස්‌ සිරිපා මළුවේ ගණ්‌ඨාරය අවාරයේ නාද කළා... ඒ නාදය දසත විහිද ගොස්‌ නැවත නැවතත් රැව් පිළිරැව් දුන්නා. හරියටම පීක්‌ ෆීල්ඩ් වත්තේ, හැංගුණ මිනිස්‌ හෙŒ දෝංකාරය වගේ.

divaina.com


More News »