ආබාධ සහිත දරුවන්ගේ පැතුම් සපුරන ‘අයති’

2016-12-12 10:47:00       661
feature-top
ලෝක ආබාධිත දිනය දා, ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ඉදිවන ‘අයති’ මධ්‍යස්ථානය සඳහා හේමාස් සමූහ සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන යූසුෆ් එසුෆලි, ‘අයති‘ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ, මේජර් ජනරාල් කුමුදු පෙරේරා, සහ කෝසල පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් මුල්ගල තබන ලද අවස්ථාව

ආබාධ සහිත දරුවන් වෙනුවෙන් කැපවෙන ජාතික මධ්‍යස්ථානයක් ගොඩනැඟීමේ සිහිනය ලෝක ආබාධිත දිනය දා අයති මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමත් සමඟ යථාර්ථයක් බවට පත්විණි. කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දී උත්සවාකාරයෙන් මුල්ගල තැබීමේ ජාතික උත්සවය පැවැත්විණි. හේමාස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලැබේ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා, ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහභාගි වූ අතර රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, අයති ශ්‍රී ලංකා භාරයේ සාමාජිකයන් ඇතුළු අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

සංස්කෘත භාෂාවෙන් ‘බලාපොරොත්තුව’ යන අර්ථය ඇති අයති යන නමින් නම් කර ඇති මෙම මධ්‍යස්ථානය ආබාධ සහිත දරුවන්ට සිය උපරීම හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සහිතව ගොඩනංවනු ඇත. ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ ආශිර්වාදය සහ අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රාගම වෛද්‍ය පීඨ භූමියේ අක්කර 1.5 ක භූමි ප්‍රදේශයක වර්ග අඩි 42,000 කින් සමන්විත අයති මධ්‍යස්ථානය ගොඩනංවනු ලැබේ.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක කරා යන ගමන තුළ, කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් ආබාධිත අධ්‍යයන දෙපාර්තමේන්තුව හේමාස් සමූහ ව්‍යාපාර සමඟ එක්ව සිදුකරන මෙම ප්‍රජා වැඩසටහනට මේ වන විටත් රජය, පෞද්ගලික අංශය මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන ද සහාය ලබාදීමට ඉදිරිපත්ව තිබේ.

එහිදී කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති සහ අයති ශ්‍රී ලංකා භාරයේ සභාපති මහාචාර්ය නිලන්ති ද සිල්වා අදහස් දක්වමින්, ‘ආබාධ සහිත දරුවන් සඳහා ඉදිවන පළමු ජාතික මධ්‍යස්ථානය සඳහා පදනම දැමූ මේ අවස්ථාවේ මම සියලු දෙනාටම ස්තුති කරනවා. ඔවුන් නිසා ඉතා වැදගත් නමුත් මෙතෙක් නොසලකා හැර තිබෙන මෙම දරුවන්ට උදවු කිරීමට අපට හැකි වුණා. මෙම ජාතික මධ්‍යස්ථානය තුළ ආබාධ සහිත දරුවන්ට අවශ්‍ය පහසුකම් වන තෙරපි ප්‍රතිකාර, මූලික වෘත්තිය පුහුණු සහ ජීවන කුසලතා ලබාදීමට හැකියාව ලැබෙනවා. තවද මෙම ජාතික මධ්‍යස්ථානය අපගේ උපාධි අපේක්ෂකයන්ට මෙන්ම විදේශීය වෛද්‍ය උපාධිධාරින් සඳහා ද පර්යේෂණ පහසුකම් ලබා දෙනවා. අයති ආබාධ සහිත දරුවන් රැකබලා ගන්නා බොහෝ දෙමාපියනගේ ජීවිතවලට මෙන්ම ඔවුන් පිළිබඳව අවධානය යොමුකරන සියලු දෙනාගේම ජීවිතවලට නව ආලෝකයක් රැගෙන එනු ඇතැයි කීවාය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ හේමාස් සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ, අයති ශ්‍රී ලංකා භාරයේ උප සභාපති අබ්බාස් එසුෆුලි මහතා ‘වගකිවයුතු සංවිධානයක් වශයෙන් අප රටේ අවශ්‍යතා සපුරාලීමට මෙවැනි වැඩසටහනක් කැලණිය වෛද්‍ය පීඨය සමඟ එක්වී දියත් කිරීමට හැකිවීම පිළිබඳව අතිශයින් සතුටු වන බව කීය. මෙහිදී අපගේ කාර්යභාරය වනුයේ හේමාස් සමූහ ව්‍යාපාරය විසින් ලබාදෙන අරමුදල් මෙම මධ්‍යස්ථානය ගොඩනැංවීම සඳහා යෙදවීමයි. අපගේ පාර්ශ්වකරුවන් වන Ernst & Young, TRIAD සහ MICD Architects මෙම උතුම් කාර්යයට නොමිලේ තම සේවාවන් ලබාදීම ගැන ස්තුතිවන්ත වෙනවා. මේ දරුවන් සඳහා වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමේ අරගලය ඉදිරියට ගෙන යන අතර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට අප හා එක්වන මෙන් අනෙකුත් සියලු සමාගම් සහ ව්‍යාපාර හවුල්කරුවන්ට ආරාධනා කරන බව ද කීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත ළමුන් සඳහා දේශපාලන බල මණ්ඩලය අයති ශ්‍රී ලංකා භාරයේ ජාතික වැඩසටහන සිය උපරීම සහයෝගය දක්වනු ලැබේ. මෙම පාර්ලිමේන්තු දේශපාලන බල මණ්ඩලයේ සභාපතිනිය වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, ‘රට තුළ නිසි සැලකිල්ලට ගෙන නැති කාලෝචිත සහ වැදගත් ප්‍රශ්නයක් සඳහා විසඳුම් ලබාදෙන මෙම වැඩසටහනට පූර්ණ සහයෝගය ලබා දෙන බවය. මෙම දේශපාලන බල මණ්ඩලය මෙම සද්කාර්යය ආරම්භ කිරීම සඳහා මූලික වූ පෞද්ගලික අංශයේ සියලුම දෙනාට සිය හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර එය සාර්ථකත්වය කරා ගෙන යාමට අදාළ සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන බව ද ඇමැතිවරිය කීවාය.

silumina.lk


More News »