"ඇස් දෙක නැති අයට දොස්තර වෙන්න බැරිද අම්මේ"

2016-12-07 09:17:00       660
feature-top
ඇතාවැටුණුවැවදී මෝටාර් ප්‍රහාරයකින් දෑසම අහිමි වූ තරිඳු අසයි

‘මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙතිවල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේව කරන්නේ
මට නැහැ මොකවත් තේරෙන්නේ....‘

එක පෙළට සිට ගත් පෙර පාසලේ දරු දැරියන්ටගේ ගී හඬින් ඇතාවැටුණුවැව ගම්මානයේ නිහැඬියාව මඳකට බිඳී ගියේය.

‘දැන් ඇති පුතාල දුවල සින්දු කිව්වා, කියන්න බලන්න ඔයාල ලොකු වුණහම කවුරු වෙන්නද කැමැති කියලා‘

‘ටීචර් මම ටීචර් වගේ වෙනවා‘

‘ආ හොඳයි.. අනිත් අය?

‘මම ආමි එතට යනවා...‘

‘මම තාත්ත වගේ කුඹුරෙ වැඩ කරනවා‘

‘කෝ... තරිඳු මොකද කතා නැත්තේ තරිඳු කවුරු වෙන්නද කැමැති‘

‘ටීචර් මම කැමැති ඩොක්ටර් කෙනෙක් වෙන්න‘

පෙර පාසල් ගුරුතුමියට ඇස් අදහා ගත නොහැකි විය. තුන් හැවිරිදි තරිඳු ළදරු පාසලට පැමිණ දින දෙක තුනකි.

කර්කශ බවින් වියැළී ගිය දුෂ්කර බවේ උපරිමයට ගොස් ඇති මේ ගම්මානයේ තබා අහල ගම් කිසිවක වෛද්‍යවරයකු වූ අයෙක් ගැන අසන්නට දකින්නට නැත. හතර වටින්ම රූස්ස වනයෙන් වට වූ අලි කොටි වලසුන්ගෙන් ගහන මේ ගම්මානයට විදුලි බලය පවා ලැබුණේ ඊට දින කිහිපයකට පෙරය. එතරම් දුෂ්කර මේ ප්‍රදේශයේ ළදරුවකුගෙන් මෙවන් බලාපොරොත්තුවක් ගැන ඇසීම පවා පුදුම උපදවන සුලුය.

තරිඳු එදා පෙර පාසල නිම වී නි‍ෙවසට ආවේ අම්මා සමඟය. ඇය ශ්‍රියානිය.

‘අම්මේ මම දොස්තර කෙනෙක් වෙනවා. ටීචර්ටත් මම කිව්වා‘ තම තුන් හැවිරිදි සිඟිති පුතුගේ හිස පිරි මදිමින් ඇය ඔහුට ආශිර්වාද කළාය.

තරිඳුට වයස තුනක් වන විට හමු වූ සෙල්ලම් බඩු අතර වෙද නළාවක්ද විය. ඔහු එදා නිදා ගත්තේය එයද තුරුලු කරගෙනය.

ශ්‍රියානි වසර 9කට පෙර අතීතයට අප කැන්දා ගෙන ගිය අයුරුයි ඒ.

‘උදේ 8.30ට විතර මම පුතාව හෝදන්න කියල හිතාගෙන එළියට ගත්තා. ගෙයින් එළියට යනකොටම හූනෙක් ‘චික්... චික්‘ ගෑවා. මම ටිකක් නැවතිලා ඉදල පුතාවත් වඩාගෙන කුස්සියට ගියා. බත රොස් වෙච්ච නිසා ආයිත් හාල් ටිකක් ළිප තිබ්බා. තත්ත්පර ගාණයි ගියේ. කුස්සියේ වහලත් කඩාගෙන හෙන හඬින් මෝටාර් එකක් ඇවිත් වැටුණා. මාව බිම ඇදගෙන වැටුණා. ඇග පුරාම වැලි... බඩින් උරහිසින් හැම තැනකින්ම ලේ එනවා. මම මගේ තුවාල ගැනවත් අමාරුකම් ගැනවත් හිතන්නෙ නැතුව පුතාට උස්සලා ගෙට ගත්තා. එළියෙ හිටපු මහත්තයත් කෑගහනවා.එයාගේ අත ලේ විලක් වෙලා. මම පුතාව අරගෙන ඇද උඩින් වාඩි කරා. එයාගේ ඇස්වලින් ලේ එනවා.

‘අනේ අම්ම මට මුකුත් පේන්නෙ නෑ...‘ කියලා එයා කෑ ගහනවා.

‘ මම පුළුවන් තරම් ඉක්මනින් දරුවට ප්‍රථමාධාර කරලා අහල පහළ අයගෙත් උදව්වෙන් පදවිය ඉස්පිරිතාලෙට ගෙනිච්චා. එතැනින් අනුරාධපුරට මාරු කළා. දවසකට පස්සේ එතැනින් කොළඹ ඇස් ඉස්පිරිතලෙට පුතාව ගෙනිච්චා. දවස් ගානක් පුතාගේ ඇස් බැඳල තිබ්බා. අපි පුළුවන තරම් සාත්තු කරා. ඒත් අපිත් හරිම අමාරුවෙන් හිටියේ. මගෙත් මුළු ඇගේම තුවාල. මහත්තයගේ ඇඟිලි දෙකකුත් එක්ක අතේ කෑල්ලක් කැඩිලා.

දොස්තර මහත්තුරු ගොඩක් උත්සාහ කළා. ඒ වුණත් පුතාගෙ ඇස් දෙක හොඳ වෙන පාටක් තිබුණෙ නෑ. සති දෙකකට විතර පස්සෙ දොස්තර මහත්තුරු කිව්වෙ පුතාගේ පෙනීම ගන්න අමාරුයි. ස්නායු මැරිල වගේ කියල.

අපිට මෝටාර් වැදුණේ 2007 අවුරුද්දේ අගෝස්තු 12 වැනිදා. එතකොට පුතාට වයස අවුරුදු 3යි.

මහත්තයාගේ අතේ විතරක් නෙමෙයි පිට කොන්දටත් මෝටාර් කෑලි වැදිල එයාට කිසිම බර වැඩක් කරන්න බැහැ. මගේ බඩටයි කොන්දටයි උරහිසටයි තුවාල වෙලා හරියට ඇවිදගන්නවත් බැහැ. ඒ තරමට ඔත්පළ වුණා.

පුතාට ළදරු පාසලට යවන්න ලැබුණෙ දවස් තුනයි. පස්සෙ අපි එයාව රත්මලාන අන්ධ විද්‍යාලයට යැව්වා. දැන් පුතාට වයස අවුරුදු 12ක් වෙනවා. එයා ඉගෙන ගන්න හරිම දක්ෂයි. පුතා මේ වෙනකොට අන්ධ විද්‍යාලයේ තරගවලින් සහතික 25කටත් වැඩිය දිනල තියෙනවා. දිනාගෙන තියෙන කුසලාන ගණන 10කට වැඩියි. මොනව හරි තරගයකට නැත්නම් තරග විභාගයකට සහභාගි වුණොත් එයා ස්ථානයක් ගන්නවමයි. තව ටික කාලෙකින් එයාව ඉන්දියාවට හරි වෙනත් පිටරටකට ගෙනියන්න වෙනවා. ඒක තමයි දරුවගේ ඇස් දෙක ගැන තියෙන අන්තිම බල­ාපොරොත්තුව. ඒත් පිටරටකට ගිහින් බේත් කරනව කියන එක අපිට නම් හීනයක් වගේ දෙයක්.

මම සති දෙකකට සැරයක් විතර පුතාව බලන්න යනවා. එයා හැම දාම මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ‘දොස්තර කෙනෙක් වෙන්න ඇස් නොපෙනන අයට බැරිද?‘ කියල.

ඒ ප්‍රශ්නෙ අහනකොට හැමදාම මගේ ඇස්වලින් කඳුළු වැටෙනවා. මම අන්ධ පුතෙක් බිහි කෙළේ නැහැ. මේ සාප කරන්න ඕන යුද්ධය තමයි මගෙ පුතාට ඇස් දෙක නැති කරේ. සෙනඟ තුන් හාරසියක් අතරේ වුණත් එයාට මගේ කටහඬ අඳුන ගන්න පුළුවන්. මේ දරුව වෙනුවෙන් තමයි මගෙ ජීවිතෙ ඉතිරි කාලයත් කැප කරන්නේ.

දුවට වයස අවුරුදු 20ක් නමුත් එයා රස්සාවකටත් යන්නෙ නැහැ. වෙන එකක් තියා ගෙදරින් එළියට යන්නවත් කැමැති නැහැ. දැන් එයාගෙ මානසිකත්වය මුළුමනින්ම වෙනස් වෙලා. මට පුතා ගැන හොයනකොට දුව ගැන හොයන්න වෙලාවක් තිබුණෙ නැහැ.

අපිට ස්ථිර ආදායමක් නැහැ. මහත්තයගෙත් අතේ ඇගිලි කැඩුණ නිසා එයාට බර වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. දැන් එයා කැලණිය පැත්තේ ගරාජ් එකක වැඩ කරනවා. පඩියත් දවසකට රුපියල් 300ක් 400 විතර වගේ තමයි හම්බ වෙන්නේ. බර වැඩ කරන්න අමාරු නිසා වෙන කරන්න දෙයකුත් නැහැ. මටත් දුව දාලා යන්න විදිහක් නැහැ. එයා රස්සාවකට යන්න කැමැතිත් නැහැ. මේ පැත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වගේ වැඩ කරන්න තිබුණනම් එයා යයි. මල්ලිගේ සිදුවීමෙන් පස්සේ එයාගේ ලෝකයම කඩා වැටිල වගේ. අපි නැතිදාට පුතාගේ අනාගතය කොයි වගේ වෙයිද කියල හිතෙනකොට වාවගන්න බැහැ‘ ශ්‍රියානි අනාගතය ගැන සිතන හැම විටකම කදුළු පිස දමයි. ඇයටත් හොරා ඇගේ දෙකම්මුලෙන් ගලා එන කඳුළැලි පහළට රූරා වැටේ.

අපිට සමෘද්ධිය හම්බ වෙනවා. පුතාට රුපියල් 3000ක ආබාධිත දීමනාවක් සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබෙනවා. එච්චරයි. ඒකත් අගෝස්තු මාසෙන් පස්සෙ ලැබුණෙ නැහැ.

අපිට වෙන්න තියෙන හැම අසාධාරණයක්ම වෙනවා. අපිට ගෙයක් හදා ගන්න ලක්ෂ 3ක ආධාරයක් ලැබුණා. නමුත්. ඒ දවස්වල මේ පැත්තෙ කෑම්ප් එකක් බාරව හිටපු හමුදාවෙ ලොකු මහත්තයෙක් ඇවිත් අපිට ගේ වැඩ එයාල කරල දෙන්නම් කියල වැඩ කුලියත් එයාල ගානේ කරල දෙන්නම් කියලා කිව්ව. අන්තිමට වෙළං ලීවලින් උළුවහු තියල ලැබුණු සල්ලිත් එයාට අර ගත්ත අපට ගේ හදා ගන්නත් නැතිවුණා.

පස්සෙ අපිට සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් රජයේ මුදල් විනාශ කළා කියල දොස් අහන්නත් වුණා.

ප්‍රදේශීය ලේකම් කාර්යාලයෙන් කියල තියෙනවා අපට කිසිම උදව්වක් කරන්න එපා කියලා. ඒ නිලධාරීන්ට තේරෙන්නේ නැහැ ඇස් දෙකක් නැති දරුවෙක් ඉන්න පවුලක් කියලා.

මේ පැත්තට නළ ළිං ලබා දෙනකොටත් ඒ විදිහටම අසාධාරණයක් අපට වුණේ. නළ ළිං හදනකොට ප්‍රමුඛතාව දෙන්න ඕන ආබාධිත නැත්නම් අපහසුතා වැඩි අයට. නමුත් අපේ අපේ ගේ පහු කරලා බොහොමයක් දුරින් තමයි එක නළ ළිදක් ගහල තියෙන්නේ. මම රට යන්න හිතාගෙන ඉන්නේ. දැන් ඒකට සේරම හදාගෙන යනවා. ආදායමක් නැතිව කොහොමද ඇස් දෙක නැති දරුවෙක් ජීවත් කරවන්නේ. අනිත් එක දරුවගේ ඇස් ගැන තියෙන අන්තිම බලාපොරොත්තුවත් කොහොම හරි කරගන්න හිතේ තියෙනවා. ‘

ශ්‍රියානිගේ එකම පැතුම කුමක්දැයි අපට පැහැදිලිය. තම දරුවාගේ ඇස් පාදා ගැනීමට ඇය ගත හැකි හැම පියවරක්ම ගනියි. එමෙන්ම ලොකු මහත් වූ දියණියක්ද ඇයට සිටී. ඒ නදීෂාය. දියණිය ගැන නොකීවද ඇය නදීෂා ගැනද දුක් වන බව අපට සක්සුදක් සේ පැහැදිලි විය.

‘මේ පැත්තේ ඉස්කෝලවල හරියට ගුරුවරු නැති නිසයි මම ගම්පහ නැවතිලා ඉස්කෝලෙ ගියේ. දැන් නම් ටිකක් හරි හොඳයි. ඒ කාලේ කවුද කොටි කටේ ගම්වලට එන්නේ. ඒත් මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා ලෝයර් කෙනෙක් වෙන්න. ඒත් ඒ බලාපොරොත්තු ඔක්කොම බිඳ වැටුණා. අපට ගේ වත් හදා ගන්න බැරිවුණා. මට ලොකු දුකක් දැනෙන්නේ මල්ලි එක එක දේවල් අහනකොටයි. ගියපාර ආව වෙලාවේ එයාට හම්බ වුණු කප් එකක් පෙන්නල අහනව ඒක මොන පාටද කියලා?

ඕ ලෙවල් දක්වාම මම ඉංග්‍රීසි මාධ්‍යෙයන් කළේ. ඒ සුදුසුකම්වලට රස්සාවක් කරන්න බැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රස්සාවක් කරන්න වුණත් අඩුම ගානේ ඒ ලෙවල් වත් තියෙන්න ඕන. මල්ලිට පුළුවන් විදිහට උගන්වන්න මහන්සි ගන්නව ඇරෙන්න මගේ ලොකු බලාපොරොත්තු මුකුත් නැහැ. මල්ලිගේ හැම ජයග්‍රහණයක්ම මගෙත් ජයග්‍රහණයක් හැටියටයි මමත් දකින්නේ.

ඇතා වැටුණුවැව ගම්මානය තවමත් තරිඳු වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන සිටියි. ඒ බලාපොරොත්තුව යම් අයුරින් හෝ සාර්ථක කර ගැනීමට අවධානය යොමු කිරීමට හැකි අපටම පමණි.

ඔවුන්ගේ වැඩ අඩපණ වූ නිවෙස සාදා දීමට නිවාස අමාත්‍යාංශය හෝ මුල් විය යුතුය. ත්‍රස්තවාදී තර්ජන හමුවේ පවා නොසැලී ගම්මානවල සිටි ඔවුන්ගේ ධෛර්යය ආත්ම ශක්තිය ගැන අප මෙනෙහි කළ යුතු ය. තරිඳුට පෙනීම ලබා දීමට හැකි වුවහොත් එය ලාංකිකයන් වශයෙන් අපට ලැබිය හැකි ආඩම්බර ජයග්‍රහනයකි.

(ශ්‍රියානි පසුගිය 21 වැනිදා ඇතාවැටුණු වැව සිට පැමිණ කොටුවේ සිට රත්මලාන අන්ධ විද්‍යාලයට බස් රථයේ එන අතර තුරදී ඇගේ ජංගම දුරකතනයද බස් රථයේදී සොරා ගෙන තිබුණි.)

(තරිඳු වෙනුවෙන් ඔබට යමක් කළ හැකිනම් සිළුමිණ කර්තෘ මණ්ඩලය අමතන්න 011 2429265)

silumina.lk


More News »