නොසැලකිල්ල සහ බෝතලය සිදුකළ
වාද්දුවේ පස්‌ මිනිස්‌ දුම්රිය බිල්ල

2016-12-05 10:54:00       582
feature-top
කොල්වින් ද සිල්වා වයස අවුරුදු හැටක්‌ පමණ වන විශ්‍රාමිකයෙකි. වයස අවුරුදු හතළිස්‌ නමයක්‌ වන ප්‍රේමලාල් ද සිල්වා ඇළුමිනියම් ආශ්‍රිත ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යයි. පානදුර අධිකරණයේ පවුල් උපදේශන නිලධාරියකු ලෙස සේවය කරන පියල් ද සිල්වාගේ වයස අවුරුදු හතළිස්‌ තුනකි. පෞද්ගලික ප්‍රවාහන බස්‌රථ කිහිපයක සහ සුළු ව්‍යාපාරයක නිරත සුසන්ත ද සිල්වාගේ වයස අවුරුදු හතළිස්‌ හතරකි. දුමින්ද යාපා වාද්දුව ප්‍රදේශයේ පිහිටි සුන්දර ඡායාරූප ශාලාවේ හිමිකරුය. දුමින්දට අමතරව ඉතිරි සිවුදෙනා ඥති සහෘදයන් වේ. මොවුහු වාද්දුව, වාඩියමංකඩ සහ වස්‌කඩුව යන ප්‍රදේශවල පදිංචි විවාහකයෝ වෙති.

පෙර සසරේ පතාගෙන ආ ලෙසදෝ මොවුන් අතර තිබුණේ කිසිවකුටත් නොබිඳිය හැකි දැඩි ළෙන්ගතුකමකි. කාර්ය බහුලත්වය නිසා නිතරම හමු නොවුණත්, දිනකට වරක්‌ අනිවාර්යයෙන්ම මොවුන් පස්‌දෙනා දුරකථනයෙන් හෝ සැපදුක්‌ හුවමාරු කර ගනිති. ප්‍රදේශයේ පොදු වැඩ කටයුතුවලට පවා නොමඳ සහායක්‌ ලබාදෙමින් මොවුන් ගතකළේ ආදර්ශවත් පවුල් ජීවිතයකි.

කාර්යබහුල ජීවිතයක්‌ ගතකරන මොවුන් මසකට වරක්‌ හෝ දෙවරක්‌ කොහේ හෝ ස්‌ථානයකට ගොස්‌ විනෝද වීම කලක පටන් කරගෙන ආ දෙයකි. එදිනට මොවුහු කිසිවෙකුට හිරිහැර නොවන අයුරින් මත්පැන් පොදක්‌ තොලගාමින් පැරැණි ගීත ගායනා කරමින් විනෝද වෙති. පසුගිය මාසය පුරාවටම මොවුන් පස්‌දෙනාට එලෙස හමුවීමට නොහැකි වූයේ ප්‍රේමලාල් සහ සුසන්ත ව්‍යාපාරික කටයුතුවල කාර්ය බහුල වීම නිසාය.

සති ගණනකින් මෙම පිරිස මුණගැසී විනෝද වීමට නොහැකි වූ නිසා සියලු දෙනා කතිකා කරගෙන ඒ සඳහා දිනයක්‌ යොදා ගත්තේය. ඒ පසුගිය මස විසිහත්වැනි ඉරිදාය. එදින ඔවුන් විනෝදවීම සඳහා තෝරා ගන්නේ වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙරළ තීරයයි. කතිකා කරගත් පරිදි නියමිත වේලාවට සියලු දෙනා එම ස්‌ථානයට පැමිණියේය.

වාද්දුව මොල්ලිගොඩ වෙරළ තීරය ආසන්නයේ නිදහසේ මත්පැන් පානය කිරීමට හැකි ස්‌ථාන කිහිපයක්‌ තිබේ. බොහෝ මිනිස්‌සු එම ස්‌ථානවලට ගොස්‌ මත්පැන් පානය කරති. මෙම පිරිසද එවැනි ස්‌ථානයක්‌ තෝරා ගත්තේය. ආගිය තොරතුරු විමසමින් පිරිස මත්පැන් පානය කිරීමට සූදානම් වූවේය.

ගතවූයේ මඳ වේලාවකි. මත්පැන් බෝතලයේ අඩක්‌වත් හිස්‌වී නොතිබුණි. හදිසියේම ප්‍රේමලාල්ට දුරකථන ඇමතුමක්‌ ලැබුණි. ඒ ඔහුගේ පුතාගෙන්ය. එයින් කියෑවුණේ ඉන්ධන හලකදී වැරැදීමකින් ප්‍රේමලාල්ගේ මෝටර් රථයට පෙට්‍රල් වෙනුවට ඩීසල් ගසා ඇති බවයි. ප්‍රේමලාල් මඳක්‌ කල්පනා කර පැවසුවේ මෝටර් රථය පණ නොගන්වා එම ස්‌ථානයේම තබන ලෙසත් තමා හැකි ඉක්‌මනින් පැමිණෙන බවත්ය.

ජංගම දුරකථනය විසන්ධි කළ ඔහු තම මිතුරන්ට මෙසේ පැවසුවේය. "මචං මාර වැඩක්‌ වෙලා තියෙන්නේ. අපේ කොල්ලා කාර් එකට පෙට්‍රල් වෙනුවට ඩීසල් ගහලා. දැන් ෂෙඩ් එක ළඟ කාර් එක තියෙන්නේ. මම පොඩ්ඩක්‌ එතැනට යනවා. උඹලා මෙතැන ඉඳපල්ලා මම ගිහිල්ලා මොකක්‌ද කරන්න පුළුවන් කියලා බලලා ඉක්‌මනට එන්නම්."

එය ඇසීමත් සමඟ සුසන්ත එක්‌වරම පැවසුවේ "පිස්‌සුද මචං උඹ තනියම යන්නේ. අපි උඹත් එක්‌ක මැරෙන්න වුණත් එනවනේ. ඒක දන්නවනෙ... අපි සේරම එතැනට ගිහින් බලමු මොකක්‌ද කරන්න පුළුවන් කියලා..."

මත්පැන් පානය එතැනින් අවසන් විය. අඩක්‌ හිස්‌වූ සහ හිස්‌ නොවූ මත්පැන් බෝතල් සමඟ කටගැස්‌මට ගෙන තිබූ ආහාර ද්‍රව්‍ය පසෙකට දැමූ එම පස්‌දෙනා ප්‍රේමලාල්ගේ මෝටර් රථය නවතා තිබූ ඉන්ධනහල වෙත යැමට සැරසුනාහ. පියල් තම මෝටර් රථය පණ ගැන්වූවේය. හනිකට ඉතිරි සිවුදෙනා මෝටර් රථයට ඇතුළු වූහ.

වේලාව පස්‌වරු තුනයි තිහ පසුවී තිබුණි. මොල්ලිගොඩ ප්‍රදේශයේ සිට පියල් තම මෝටර් රථය වාද්දුව ප්‍රදේශයට ධාවනය කළේය. තව මීටර් තුන්සියයක්‌ පමණ ඉදිරියෙන් ඔවුන් පොතුපිටිය දුම්රිය හරස්‌ ගේට්‌ටුව පසුකළ යුතුය. ඉන්පසු ගාලු මහා මාර්ගයට ඇත්තේ සුළු දුරකි. මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක්‌ද එම මොහොතේ පොතුපිටිය දුම්රිය හරස්‌ මාර්ගය ආසන්නයට ළඟා වෙමින් තිබුණි.

පොතුපිටිය දුම්රිය හරස්‌ මාර්ගයේ මුරකරු එක්‌ ආරක්‌ෂිත ගේට්‌ටුවක්‌ වැසුවේය. අනික්‌ ආරක්‌ෂිත ගේට්‌ටුව වැසීමට සැරසෙනවාත් සමඟම පියල්ලා පැමිණි මෝටර් රථය දුම්රිය හරස්‌ මාර්ගයට ඇතුළු කළේය. ඔවුනට මතක එපමණක්‌ වෙන්නැති. විදුලි වේගයෙන් පැමිණි දුම්රියේ මෝටර් රථය ගැටී මීටර් පන්සීයක පමණ දුර වීසිවිය. තත්පර ගණනක්‌ ඇතුළත සිදුවූ එම අනතුරෙන් මෝටර් රථය කුඩුපට්‌ටම් වී එහි සිටි සියලු දෙනාම මරුමුවට පත්වූහ.

දරුණු ගනයේ එම අනතුර සිදුවීමත් සමඟ එහි සිටි ගේට්‌ටු මුරකරු ප්‍රකාශ කළේ මෙවැනි දෙයකි. "මම එක්‌ ආරක්‌ෂිත ගේaට්‌ටුවක්‌ වසා අනික්‌ ගේට්‌ටුව වැසීමට සැරසුණා. ඒ සමඟම අධික වේගයෙන් මෝටර් රථයක්‌ හරස්‌ මාර්ගය දෙසට පැමිණෙනවා දුටුවා. ඒ වන විට කොළඹ බලා පැමිණෙන ශීඝ්‍රගාමී දුම්රියත් පැමිණියා. මම මෝටර් රථයේ පැමිණි අයට අත දමා කෝච්චියක්‌ එනවා දාන්න එපා කියා කෑගසා පැවසුවා. එහෙත් ඒ අය ඒක අහන්නෙ නැතිව මෝටර් රථය දුම්රිය හරස්‌ මාර්ගයට ඇතුළු කළා. ඒ නිසා තමයි මෙවැනි දරුණු ගණයේ අනතුරක්‌ සිදු වුණේ...."

ගේට්‌ටු මුරකරු එසේ පවසද්දී මෙම අනතුර සම්බන්ධයෙන් කටකතා රැසක්‌ද පැතිරුණි. එම කටකතාවලින් කියෑවුණේ මියගිය පිරිස අධික ලෙස මත්පැන් පානය කරමින් සිsටි බවත්, මත්පැන් මදිවීම නිසා තවත් බෝතල් කිහිපයක්‌ මිලදී ගැනීමට ගිය බවත්ය. තවත් පිරිසක්‌ පැවසුවේ අධික ලෙස මත්පැන් පානය කරමින් සිටි මෙම පිරිස දවල් ආහාර ගැනීමට ගිය මොහොතේදී මෙම අනතුර සිදුවූ බවයි. එහෙත් එම කිසිවක්‌ සත්‍ය තොරතුරු නොවන බවට එම ඥතීහු සහ ප්‍රදේශවාසීහු සාක්‍ෂි ඇතිව ඔප්පු කරති.

ඔවුන් පවසන්නේ මෙම පිරිස එලෙස පැමිණියේ ප්‍රේමලාල්ගේ පුතා අතින් මෝටර් රථයට වැරැදි ඉන්ධන වර්ගයක්‌ ගැසීම නිසා ඇතිවූ ගැටලුව නිරාකරණය කිරීමටම බවයි. ඒ සඳහා ඔප්පු කළ හැකි සාක්‍ෂි ඔවුන් සතුව ඇති බවද පවසයි. එහෙත් සමහර මාධ්‍ය මගින් අනතුරට ලක්‌ව මියගිය පිරිස බේබද්දන් බවට පත්කර තිබීම ඉතාම කනගාටුවට කරුණක්‌ බවද ඔවුහු වැඩිදුරටත් පැවසුවේය.

එය කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් ගැටලු කිහිපයක්‌ පෙනෙන්නට තිබේ. එයින් දුම්රිය පැමිණීමට පෙර නිසි වේලාවට ආරක්‌ෂිත ගේට්‌ටු වසා තිබුණි නම් එම අනතුරට ලක්‌ව මියගිය පිරිස මෝටර් රථය දුම්රිය හරස්‌ මාර්ගයට ඇතුළු කිරීමෙන් වැළකී සිටින්නට ඉඩ තිබුණි. එසේ වූවා නම් මෙවැනි දරුණු අපරාධයක්‌ කිසි විටෙකත් සිදු නොවන්නට තිබුණි.

මෙම අනතුර සම්බන්ධයෙන් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක්‌ නිකුත් කළේය. එහිදී ඔහු පවසා සිටියේ "බීමත්ව මෙලෙස ගොස්‌ අනතුරු සිදු කරගන්නා අයගෙන් රුපියල් ලක්‍ෂ දහයක පමණ දඩ මුදලක්‌" රජයට අයකර ගත යුතු බවයි. ඇමැතිවරයාගේ එම කතාව සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකිය. ඒ මන්දයත් මෙම පස්‌දෙනා බීමත්ව ගිය බව සැබෑය. මෙරට නීතියට අනුව එය වරදකි. එහෙත් නියමිත වේලාවට දුම්රිය ආරක්‌ෂිත ගේට්‌ටු වසා තිබුණි නම් එම අනතුර සිදු නොවන්නට ඉඩ තිබුණි. විෂය භාර ඇමැතිවරයා හැටියට ඒ පිළිබඳවද පරීක්‍ෂණයක්‌ සිදුකර ඉහත කතාව සිදු කළේ නම් ඉතාම අගනේය.

අවසානයේ බීමත්ව රිය ධාවනය කළ නිසා එම මියගිය පිරිසගේ පිට වරද පටවා දැමුවේය. එහෙත් මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ සිදුකළහොත් පළමුව වරද සිදු වූයේ කොතැනද යන්න සොයාගැනීමට හැකිය.
divaina.com


More News »