දරුවන් ෆේල් කරන පාසලක්
එහෙම නොකළොත් මේ දරුවන්ට අනාගතයක් නෑ

2016-12-01 08:45:00       661
feature-top
ජනප්‍රිය පාසලක් සිය දරුවාට උරුම කර දෙන්නට මව‍ු පියවරුන් නොගන්නා වෙහෙසක් නැත. ඒ තම දරුවාට හොඳ අනාගතයක් උරුම කර දෙන්නටය. ජනප්‍රිය පාසල්, හොඳ පාසල් පසුපස දිව යන තරගයට තිතක් තබන්නට උත්සාහ දරන අධ්‍යාපන බලධාරීහු ළඟම පාසල හොඳම පාසල කරන්නට වැර දරති. ගුරු සංගම්, ආදි සිසු සංගම් එක්ව මේ පාසල් නඟා සිටුවන්නට වෙහෙසක් ගන්නේ සිය දරුවන්ගේ අනාගතය වෙනුවෙනි. දුෂ්කර පාසල් අඩුපාඩු සම්පූර්ණ කරන්නට උත්සාහ කළේද, කරන්නේද මේ දරුවන්ට හෙටක් කැන්දන්ටය. ඒ සියලු දෙය යමෙකුට යථාර්ථයක් වෙද්දී, එවන් බලාපොරොත්තු සිහිනයක් වන්නටත් පවා ඉඩක් නොමැති මේ දුක්බර කතාව සමාජයට එළිදැක්වෙන්නේ සෙම්මන්දලුව ගමේ පුංචි පාසලෙනි. බොහෝ දෙනා නොඇසූ මේ කතාව බොහෝ දෙනාගේ හද පාරවන්නක් විය හැකියි. පසුගිය දිනක ළමා දිනයට ලිපියක් ගොනු කර ගැනීමේ අරමුණින් පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයට ගිය අපට අවසානයේ ලියන්නට සිදුවූයේ මේ දුක්ඛිත සිදුවීම් පෙළයි. එහෙත් එය ළමා දිනයෙන් අනතුරුව ගොනු කරන්නට සිතුයේ පිපෙන කැකුළු ඒ පාසලේ දකින්නට නොමැති නිසාය. මේ ජීවිත අපේ ඇස් මායිමෙන් බොහෝ දුරස්ය.

විදුහල්පතිනි - රංජිනී ප්‍රනාන්දු

“ පුත්තලම අනුරාධපුරේ පාරේ කිලෝ මීටර දෙකක් යන කොට වම් අත පැත්තේ සමූපකාරය ගාවින් තියෙනවා සෙම්මන්දලුව ගමට යන පාර. මේ පාරේ ටික දුරක් යන කොට සෙම්මන්දලුව ගමයි ඉස්කෝලෙයි හම්බ වෙනවා.” ලද තොරතුරක් ඔස්සේ පාන්දර 7 වනවිට අප මේ පාසලට ගියේ පුත්තලම කලාප කාර්යාලයේ ජින්නා මහතාගේ මං සලකුණු ඔස්සේය. එතරම් දුරක නොපිහිටියත් පුත්තලම නගර සීමාවේ පාසලක් නිසා මේ පාසලට තිබුණේ ටවුමෙන් කිලෝ මීටර් තුන හතරක දුරකි. එහෙත් නගර සීමාවේ නැති දුෂ්කර බවක් එහි විය.

“ නගර සීමාවේ වුණාට මේ ගම හද්ද පිටිසර ගමක් වගේ.” මුලදි නොසිතුවද ජින්න මහතා කියපු දේ නිවැරැදි බව ගමට ඇතුළු වූ පසු අපට තේරුම් ගියේය.

“ කෝ කොහේද ඉස්කෝලෙ තියෙන්නේ” අප එලෙස විමසුවේ කැලෑවක් මැද්දේ පාසලක් පේන තෙක් මානයේවත් නොතිබූ නිසාය. වැරැහැලි වැනි සුදු ඇඳුම් ඇඳගත් පුංචි කොලු පැටව් දෙදෙනකු අපට පාසලට යන පාර පෙන්වූයෙන් කැලෑවක් මැද පිහිටි පාසල අපේ නෙත ගැටුණා. පුංචි ගරා වැටුණු ගොඩනැගිලි දෙකක් මැද්දේ පුංචි එවුන් කිහිප දෙනෙක් විනෝද වෙමින් සිටිනු අප නෙත ගැටුණේ එවිටය. නොදන්වා පැමිණි නිසාදෝ අපේ පැමිණිමේ මේ අයට ආගන්තුක වූයේය.

“කෝ පුතේ ලොකු සර්?” මා විමසුවත් මේ දරුවන්ට එයට පිළිතුරු ගොනු කරගන්නට සෑහෙන වේලා ගත විය.

“ අපිට ඉන්නේ ලොකු මිස් කෙනෙක්. දැන් එනවා” පුංචි එකා පිළිතුරු දුන්නේ අසීරුවෙන් වචන ගැට ගහගෙනය. සෙම්මනදලුව ගමේ අන්ත දුගී මේ දරු පැටවුන්ට පාසලට අඳින්නට හරිහමන් පාසල් ඇඳුමක් නැත. මේ ගමේ ළදරු විවාහ බහුල බව ගම ගැන තොරතුරු සෙවූ අපට මුලදීම දැනගැනීමට ලැබිණ. මේ ගමේ දරුවන්ගේ පෙනුමෙන්ම ඔවුන්ගේ ජීවිතවල ඇති නැතිබැරිකම අපූරුවට පෙනේ. කිසිදා දෙපයට පාවහන් පැලැඳි බවට සලකුණක් හෝ නොමැති මේ දරුවගේ දෙපා කර්කෂ වූ මහ පොළොවටම කරකුට්ටම් වී ඇති සේය. බොහෝ දේ සිත සිතා සිටින අතරවාරයේ විදුහල්පතිනිය අප හමුවේ පෙනී සිටියා ය. අබලං වූ ගොඩනැගිල්ලේ මේසයක් පුටුවක් පමණක් හිමිව තිබුණත් ඇය මේ දරුවන්ගේ සැබෑ දුක් කන්දරා රැසක් සිය කරමතට ගෙන සිටින්නීය.

“ මේ පාසලේ ඉන්නේ ටවුමේ කිසිම පාසලකට යන්න බැරි වුණ දරුවෝ. මේ දරුවන්ගේ ගොඩාක් අයට එක්කො මව නෑ, එක්කො පියා නෑ. සමහර අයට අම්මා තාත්තා දෙන්නම නැහැ. ආච්චි තමයි එකම ගැලවුම්කාරයා. සමහර දරුවන්ට ඒකත් නැහැ. අම්මා තාත්තා නැති මේ දරුවෝ එක එක තැන්වල රෑ ගත කරනවා.

මේ අයගේ මවුපියන්ට ස්ථීර පදිංචියක් නැහැ. අම්මා තාත්තා ඉන්න දරුවන්ගේ මවුපියෝ කැලෑ කපනවා. හරක් දක්කනවා. ටික දවසක් ඉඳලා ළමයිනුත් අරගෙන කොහේ හරි යන්න යනවා. මේ දරුවන්ට බොන්න පිරිසුදු වතුර නැහැ. නිතරම ලෙඩ ගානේ. මේ පාසලේ බාගෙට බාගයක් ඉන්නේ මන්ද බුද්ධික දරුවෝ. පාසලේ තුනෙන් දෙකක්ම දරුවෝ පසුගාමි දරුවන්.” පාසලේ විදුහල්පතිනිය රංජිනී ප්‍රනාන්දු පැවසුවාය.

ලංකාවේ මෙහෙමත් පාසල් තිබිය හැකිද? පාසල් ළමයින් 66 දෙනාගෙන් තුනෙන් එකකට ආසන්න දරු පිරිසක් මන්ද බුද්ධිකය. ඒ වගේම තුනෙන් දෙකක් හැම දෙයින්ම පසුගාමි අඩු බුද්ධි මට්ටමේ දරුවෝය. ඒත් මේ කුඩා පාසලට විශේෂ අධ්‍යාපන ඒකකයක් දෙන්නට තරම් අධ්‍යාපන බලධාරීන් උනන්දුවක් දක්වා නොමැතිවීම පුදුමයට කරුණකි. අපට එය වඩාත් හොඳින් සනාථ වූයේ මේ දරුවන් හා කළ කතාබහේදීය.

“ පුතා ලොකු වුණාම කවුරු වෙන්නද ආස?”

“මං ලොක්කෙක් වෙනවා!” දරුවා එසේ පවසාවියැයි මා සිතුවත් ඔහු දුන් පිළිතුර මෙසේ විය.

“මං තාත්තෙක් වෙනවා“ පුංචි එකාගේ පිළිතුරට අපි විස්මයට පත්වීමු.

“ ඔය කියන්නේ ලොකු වුණාම එයාගේ තාත්තා වගේ හරක් දක්කන්න යනවා කියලා. මේ දරුවන් අයාලේ යන දරුවන්. රස්සාවක් කියලා දකින්නේ අම්මගේ තාත්තගේ රස්සාව විතරයි. සමහර දරුවන්ට එහෙමටවත් බලාපොරොත්තුවක් නැහැ. මේ මවුපියන් අඩු වයසින් විවාහ වුණු අය.

ඒ නිසයි මේ දරුවෝ බොහෝමයක් මෙහෙම වෙලා තියෙන්නේ. ගොඩක් දරුවන්ට තවමත් ලියන්න කියන්න බැහැ. අකුරක්වත් ලියන්න කියන්න බැරි දරුවන් තමයි වැඩි හරියක් මේ පාසලේ ඉන්නේ. ගොඩාක් අය විවිධ ආබාධ තියෙන අය. මේ දරුවොත් එක්ක තමයි අනිත් දරුවොත් ඉගෙන ගන්නේ.

මේ නිසා මේ පාසලේ සාමාන්‍ය දරුවොත් පසුගාමී වෙනවා. මේ ගමේ ගොඩාක් අය කසාද බැඳලා තියෙන්නේ අඩු වයසින්. පාසල් යෑම අතරමඟ නවතින අය අඩු වයසින්ම අම්මලා වෙනවා. මේ නිසා අපි කොහොම හරි උත්සාහ කරන්නේ මේ දරුවෝ මේ පාසලේම රඳවා ගන්න.

මේ නිසා අපි මේ දරුවන් ෆේල් කරකර මේ පාසලේම තියා ගන්නවා. ඒත් හරිම දුකයි. තමන් එකම පන්තියේ හැමදාම ඉගෙන ගන්න බවටවත් මේ දරුවන්ට හැඟීමක් නැහැ. දෙමවුපියන්ට හැඟීමකුත් නැහැ.......” විදුහල්පතිනියගේ එවදන් සිත්පිත් ඇත්තන්ගේ හදවත් වේදනාවෙන් පුරවාලයි.

එකම පවුලේ අයියා හා නංගී එකම පන්තියේ අකුරු කරනා අයුරු බලන්නට මේ සෙම්මන්දලුව පාසලටම ආ යුතුය.

“ මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. එක දරුවෙක් 8 වසරෙන් පාසල් ගමන නැවතුණා. අනිත් දරුවා පාසල් යන්නෙත් නැහැ. ගැහැනු ළමයත් එහෙමයි. මේ දරුවෝ තුන් දෙනාම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්.

ඒත් අද ඒ දරුවෝ ගෙදර ඉන්නේ පාසලේ මේ දරුවන්ට විශේෂ ඒකකයක් නැති නිසා. බාල දරුවා විතරයි පාසල් යන්නේ. එයත් හරි බයයි. මම දරුවට පේන්න ඉස්කෝලෙට වෙලා ඉන්නවා හැමදාම...” දරුවා රැගෙනවිත් පාසල ආසල තනි රකිනා ධම්මිකා පැවසුවාය.

ප්‍රාථමිකයක් වුවත් මේ දරුවන්ට ශිෂ්‍යත්වයක් ගැන හැඟීමක්වත් නැත. පසුගාමී දරුවන් සිටින නිසා විභාග මානසිකත්වයක් හරහා දරුවන් ඉලක්ක ගත කරන්නට මේ ගුරුවරුන්ට ද හැකියාවක් නොමැත.

“ මේ පාසලේ කිසිම දවසක කිසිම ළමයෙක් ශිෂ්‍යත්වය සමත් වුණේ නැහැ. ඒක දුෂ්කර අභියෝගයක්. අපි හවසට පන්ති කරනවා අකුරු අල්ල ගන්න බැරි දරුවන්ට. ගොඩාක් දරුවන්ට ලියන්න කියන්න අමාරුයි.

ඇස් පෙනීම දුර්වල දරුවෝ ගොඩාක් ඉන්නවා. මේ දරුවෝ ගොඩාක් අයාලේ යන දරුවන්. මේ නිසා මේ ගමේ ළමා අපචාර, අඩුවයස් විවාහ ඕන තරම්. මේ දරුවන්ට ආර්ථික අපහසුකම් තියෙනවා. ගොඩාක් දරුවන්ගේ පාසල් ඒම අන්තිමයි.

ඒ අයට නියමිත පෙළ පොත තේරුම් කරගන්න අමාරුයි. දැනුම අඩුම මට්ටමක තියෙන්නේ. මේ නිසා අකුරු හුරු කරන්න අමාරුයි. සමහරුන්ට මතක ශක්තිය ඇත්තෙම නැහැ. මෙය හරිම කනගාටුට කරුණක්..” යනුවෙන් මේ පාසලේ ගුරුවරියක වන දීපිකා පවසයි.

මෙවන් පාසල්වලින් කරන්නේ දරුවන්ට අධ්‍යාපනයක් ලබා දීමට වඩා ඔවුන් සුරැකීමය. මවුපියන් නැති මේ දරුවන්ට මවකගෙන් පියකුගෙන් ලැබිය යුතු හවුහරණය ලැබෙන්නේ මේ පාසල් ගුරුවරුන්ගෙන් ය.

තුන් වැනි ශ්‍රේණියේ අකුරු කරනා කෝසල කියන්නට ලියන්නට දන්නේ තම නම පමණි. තම වයස අකුරු කරනා පන්තිය පවා කියන්නට නොදන්නා මේ පුංචි දරුවාගේ එකම අභිමතාර්ථය සිය පියා මෙන් කල්ලඩියට හරක් ගෙන යෑම ය. දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුංචි ඩිලංකගේ අවුරුදු දහයේ පුංචි අයියා පාසල් අතහැර රැකියාවට යන්නේ ය.

වයස අවුරුදු දොළහක් දහතුනක් වන සහෝදරියන් දෙදෙනා වසරින් වසර ෆේල් කරමින් මේ පාසලේම රැඳී සිටින්නේ වෙනත් පාසලකට යෑමේ හැකියාවක් නොමැති නිසා ය. මව අතහැර ගිය චමිල ඉගෙනුම ලබන්නේ දෙවැනි ‍ශ්‍රේණියේය. පුංචි චමිල උදේ හවා දකින්නේ හරක් දක්කන්ට යන සිය පියාය.

එනිසා ඔහුගේ ලෝකයේ එකම වීරයා පියාය. මෙවැනි මවුපිය සෙනෙහස් අහිමි දරුවන්ට සෙම්මන්දලුව පාසල එකම ආරක්ෂිතස්ථනයයි. තමන්ගේ මූලික අවශ්‍යතා ගැන හෝ කිසිදු වැටහීමක් නොමැති මේ දරුවෝ ඇති නැති දේ කියන්නට නොදනිති.

බොහෝ දරුවෝ ගොළුවත රකින්නේ මුවගට නැඟෙන වදන් ගොළුවන නිසාවෙනි. අරුණැල්ලක් පවා දකින්නට සිතක් නොදෙන මේ දරුවන්ගේ අනාගතය රකින්නට, මේ පුංචි එවුන්ට හෙටක් තනන්නට , විශේෂ අධ්‍යාපනයක් හරහා මේ දරුවන්ට ලොවක් තනන්නට අධ්‍යාපන බලධාරීන්ට හැකි නම් එය රටේ අනාගතය වෙනුවෙන් කරන සේවයක්ද වනු ඇත.

silumina.lk


More News »