දැන් අලි එන්නේ රංචු පිටින් කඩන පමාවට ගෙවල් හදාගන්න අපට බෑ

2016-11-29 09:10:00       584
feature-top
ඊයේ පෙරේදාත් අලි ආවා. අලි කොරිඩෝවවත් හරිහැටි ක්‍රියාත්මක වෙනවා නම් අපට සහනයක් සිංහපුර, පැරකුම්පුර ගැමියෝ කියති

වැලිකන්ද සිංහපුර සිට පැරකුම්යායට යන අතරමඟදි වාහනය මඩවළක එරුණේ නොසිතූ ලෙසටය. ගම්මුන්ගේ සහායෙන් වාහනය මඩවළෙන් ගොඩට ගන්නාතුරු පසෙකට වී සිටියෙමි. වේලාව දහවල් එකට පමණ ඇත. අතරමඟදි හමුවූ චන්ද්‍රාවතිගෙන් ආගිය තොරතුරු විමසීමි.

“මං මේ පුතාට දවල් බත අරගෙන යන ගමන්. පුතා කුඹුරේ වැඩ. මේ පැත්තට හවස හය හත වෙනකොට අලි එනවා. අලි නිසා අපි ජීවත් වෙන්නේ හැම තිස්සෙ ම හිතේ බයෙන්. ගිහිල්ලා බලන්නකෝ ගම ඇතුළට අලි ගම්වැදිලා කරලා තියෙන විනාශය” එසේ කී චන්ද්‍රාවති යන්නට ගියාය. ගම්මුන්ගේ උදව්වෙන් ගොඩගැනුණු වාහනයේ නැගී අපි යළිත් ගමන ඇරඹීමු. ගමනට මඟ පෙන්වන්නට වූයේ ග්‍රාම නිලධාරි උපුල් විතාරණ මහතාය.

සිංහපුර සිට පැරකුම්යාය ගමට යනතුරුම මඟ දෙපස අලිවැට ඉදිකර ඇත්තේය. එමෙන් ම පැරකුම්යාය ගමේ ද නිවෙස් වටකර කම්බි ඇද ඇත්තේය.

‘ඉතිං කොහොමද අලි මිනිස්සුන්ට කරදර කරන්න ගම්වදින්නේ’?

“අලියා කියන්නේ බොහොම බුද්ධිමත් ‍සතෙක්. ඌ දන්නවා අලිවැටේ විදුලිය තියෙන වෙලාව. ඒ වගේ ම කනුවලට කකුල තියලා වැට කඩන්නත් දන්නවා. මේ ගම්වල මිනිස්සු අලියා රවට්ටන්න තමයි බොරුවට කම්බි ඇදලා තියෙන්නේ. දැන් අලියා දන්නවා ඒක බොරුවක් කියලා. මේ බලන්නකෝ ගමේ ගෙවල්වලට හානි කරලා තියෙන හැටි.” ග්‍රාම නිලධාරි උපුල් මහතා අලි කඩා දැමූ නිවසක් පෙන්වමින් පවසන්නේය.

නිවෙසේ හිමිකරු එච්.එම්. කරුණාරත්නය.

“මම ගෙදර හිටියේ. වෙලාව රෑ හතාමාරට විතර ඇති. එකපාරට ම දඩස් ගාලා ශබ්දයක් ඇහුණා. ඊට පස්සේ බිත්තියට ගැහුවා. මීට ඉස්සෙල්ලත් මගෙ ගේ අලි කැඩුවා. මේ කම්බි ඇදලා තියෙන්නේ අලියා බය කරන්න. ඒත් දැන් ඌ බය නැහැ. අපි ගොවිතැන් කරලා ජීවත් වෙන මිනිස්සු. ඒත් මේ වත්තපිටියේ මොකවත් වවන්න බැහැ. හැමදේම අලි විනාශ කරනවා. 1993 අවුරුද්දේ තමයි අපි‍ මෙහෙ පදිංචියට ආවේ. ඒ දවස්වල කොටි තර්ජන තිබුණා. නමුත් අලි ගම්වැදුණේ නැහැ. දැන් තමයි අලිරංචු පිටින් ගම්වදින්නේ. හැන්දෑ වෙනකොට පාරට බහින්න බැහැ. කොහෙන් මතුවෙනවද කියන්න බැහැ.”

කලකට පෙර බඳින තුවක්කුවක් පත්තු වීමෙන් දකුණු පාදය අහිමි වූ කරුණාපාල පවසන්නේ තමන් ම සිදුවී ඇති අලිකරදරය පිළිබඳව කනගාටුවෙනි.

සිංහපුර, පැරකුම්යාය පමණක් නොව ජයන්තිපුර, සූරියවැව, මල්වැන්න හා ජයවික්‍රමගම දිඹුලාන ආදි ගම්වල ජනතාව ද ජීවත් වන්නේ අලින්ට බියෙනි. මේ ගම්මානවල එක් පසෙක ඇත්තේ සෝමාවතිය හා ඒ අවට කැලෑවය. අනෙක් පසින් ඇත්තේ මාදුරු ඔය රක්ෂිතයය. වන අලි විටෙක සෝමාවතිය රක්ෂිතයේ සිට මාදුරු ඔය රක්ෂිතයට ගමන් කරති. දැන් පෙර මෙන් අලියාට සිටීමට කැලෑව නැත. මේ නිසා අලියා කෑම සොයාගෙන ගම් වදින්නේය.

“අපේ ගමේ ගෙවල් තිස් දෙකකට වැඩිය අලිකඩලා තියෙනවා. සමහරු ඒ ගෙවල් අත්හැරලා තියෙන්නේ. අලියා කඩලා දාන ඉක්මනින් අපට ගෙවල් හදාගන්න බැහැ. අපි ගොවිතැනින් ජීවත් වෙන මිනිස්සු. කුඹුරුකපලා අස්වැන්න‍ ගෙට ගන්න කාලෙට අලි ගම්වදිනවා වැඩියි. උන් අපේ කුඹුරුත් විනාශ කරනවා.” කරුණාපාල පවසන්නේය.

අලි ප්‍රශ්නය ගැන ගම්මු විවිධ දේ කියති.

“අලි ආවා ම මිනිස්සු කෑගහනවා. රාලහාමි කෑගහලා දුවලා පැනලා අලි එළවනවා. ගමේ ම මිනිස්සු එකතු වෙනවා. අපිට වනජීවි එකෙන් අලි වෙඩි දෙනවා. ඒත් අලි එළවන්න ඒවා මදි. දැන් අලියත් අලි වෙඩිවලට හුරුවෙලා. එහෙම නැත්නම් අලියගේ කන් ඇහෙන්නේ නැහැ.” අප්පුහාමි මාමා පවසන්නේය. ඔහු ‘රාලහාමි’ යැයි කියන්නේ සෙනත් කුමාරටය. ඔහු ගමේ කටයුතුවලදි පෙරමුණ ගන්නා අයෙකි.

“අලියත් මහ පුදුම සතෙක්. ඌත් මේ අහිංසක අපේ ගෙවල්වල් ම තමයි කඩන්නේ. කොටි ඉන්න දවස්වල ආටි ගහන නිසා අලි එන්න නැතිව ඇති. ඊටත් වඩා අලියට ඉන්න ඕන තරම් කැලේ තිබුණා. දැන් එහෙම නැහැ. දෙදහස් නවයෙන් පස්සේ මේ කැලෑව එක එක්කෙනා වෙන් කරගෙන. අක්කර තිහ හතළිහ වෙන්කරගෙන කැලේ එළිකරලා ගොවිපොළවල් පටන් අරගෙන. අලියට ඉන්න තිබුණු කැලේ දැන් අඩුයි. දැන් අලි කෑම හොයාගෙන ගම් වදිනවා. ඉතිං අපි කොහෙද යන්නේ. වනජීවී මහත්තුරුන්ට වරද කියන්නත් බැහැ. ඒගොල්ලෝ එනවා අලි වෙඩිත් දෙනවා. ඒත් අලි ගම්වදින එකට ස්ථිරසාර විසඳුමක් නැහැ. නමුත් දැන් අලිකොරිඩෝවක් ඉදිකරලා තියෙනවා. ඒකවත් හරියට ක්‍රියාත්මක වුණොත් හරි. ගම වටේ ඇවිදලා බලන්නකෝ අපේ ගමේ කීදෙනෙක් අලි නිසා දුක් විඳිනවද කියලා.“ රාලහාමි පවසයි.

මීට දින කිහිපයකට පෙර සුජීවා කුමාරිගේ නිවෙස ද අලියා කඩා දැම්මේය. සුජීවා කුමාරි එම නි‍ෙවසේ සිටින්නේ තනිවමය. අප එහි යන විට ඇය නොසිටියාය.

“ඒ ළමයා පොඩි මානසික ආබාධයකින් පෙළෙනවා. අද ගොවි පළේ වැඩට ගිහිල්ලා. එදා රෑ සද්දෙට අවට අය ඇවිත් බලලා තිබුණා. මීට දවස් කිහිපයකට කලින් අපි කුඹුරේ ඉන්දැද්දි අලියා ආවා. හැමෝම දිව්වා. මගෙ මහත්තයා මාවත් ඇදගෙන යන්න හදද්දි මාව මඩේ එරුණා. මං මහත්තයට යන්න කිව්වා. ඒත් එයා ගියේ නැහැ. මං දවස් ගානක් ඉස්පිරිතාලේ හිටියා.“ හීන් මැණිකා පවසන්නේ තමන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම ගැනය.

සිංහපුර, පැරකුම්යාය ගම්වල ඇත්තන්ට වන අලි පිළිබඳ බොහෝ බිහිසුණු අත්දැකීම් ඇත්තේය. මේ අතර මීට මාස අටකට පෙර අලියෙකුගේ පහර දීමෙන් ආබාධිත තත්ත්වයට පත් රණසිංහ බණ්ඩාරගේ නිවෙසට ද අපි ගොඩවූයෙමු.

“රෑ අටට විතර කුඹුරට යද්දි තමයි අලියා ගැහුවේ. මං පාපැදියෙන් යමින් හිටියේ. දෙතුන් පාරක් කෑගැහුවා මට මතකයි. උකුළු ඇටය කැඩිලා තියෙන්නේ. වම්කකුල තමයි ආබාධයට ලක්වෙලා තියෙන්නේ. කකුලේ තියෙන තුවාලයට දවස් දෙකෙන් දෙකට බෙහෙත් දාන්න යන්න ඕන. මෙහෙ ඉඳලා කදුරුවෙල රෝහලට යන්න රුපියල් දෙදාහක් යනවා. ආදායමක් නැති නිසා දැන් අපිට මේ දේවල් කරන්න අමාරුයි. මගෙ දරුවෝ දෙන්නෙක් තාමත් ඉස්කෝලේ යනවා. මං ලෙඩ වුණාට පස්සේ දුව ගාමන්ට් යනවා. ඒ ලැබෙන පොඩි පඩියෙන් තමයි හැමදේම කෙරෙන්නේ.”

රණසිංහ පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙනය.

ඔහුගේ පුත්තු දෙදෙන පාසලේ අට හා දෙක ශ්‍රේණිවල ඉගෙනුම ලබති. දැන් රණසිංහගේ රෝද පුටුවද අබලන්ය. (සිත්මල්යාය පාඨක ඔබේ පින් සිත ඔවුන් කෙරෙහි යොමුවේ නම් එය ඔවුන්ට සහනයකි.)

නිරන්තරවම වන අලි ගම් වදින නිසා ගැමියෝ දුක්වෙති. සුසුම්ලති. වෙනත් යෑමට තැනක් නැති නිසා ඔවුහු එහිම හිඳිති. ඔවුහු අලින් විවිධ ලෙස හඳුනාගෙන සිටිති.

“එක අලියෙක් ඉන්නවා. අපි ඌට කියන‍්නේ අඹ මුදලාලි කියලා. ඌ ආවොත් අඹ ගස්වල ගෙඩි ටික කාලා යනවා. කාටවත් මෙච්චර කාලෙකට හානියක් කරලා නැහැ. අනිත් අලියා පොල් මුදලාලි. ඌ පොල් ගස්වලට හානි කරනවා. තව ඉන්නවා නැට්ට කොටෙක්. කබරයෙකුත් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ගෙවල් කඩන්නේ. තව කුරු අලියෙකුත් ඉන්නවා. ගමේ පවුල් තුන්සිය තිස් හතක් තියෙනවා. කට පුංචෙක්වත් (තුවක්කු) හිටියනම් අපිට අහසට වෙඩිල්ලක් තියලා හරි අලි බය කරන්න තිබුණා.” ගැමියෝ පවසති.

දැන් මාදුරුඔය හා සෝමාවතිය හරහා අලිමංකඩක් ඉදිකර ඇත්තේය. මෙය නිසි අයුරින් ක්‍රියාත්මක වේ නම් අලින් ගම්වැදීම අවම වනු ඇතැයි යන්න ගම්මුන්ගේ අදහසයි. කැලෑව එළිවීමෙන් ගම්වදින අලින් සොයන්නේ කන්නට දේය. අලිකොරිඩෝවේ අලින් කන්නට කැමති දේ, කුඩා වැව් ආදිය ඉදිවේ නම් එය ද අලියා ගමට ඒම වැළැක්විය හැකි තවත් කරුණකි. නමුදු අලින්ට රක්ෂි‍තයේ කෑමට ඇති දේ දැන් කන්නේ දිගේලි කරන ලද ගවයන්ය.

සිංහපුර පැරකුම්යාය සහ ඒ අවට ගැමියන් කියන මේ විසඳුම් ක්‍රියාත්මක වේ නම් යම් පමණකට හෝ වන අලින්ගේ පැමිණීම අවම වනු ඇත. මන්ද ඔවුන් ඒ හේතු පවසන්නේ ඔවුන් ලබන අත්දැකීම් අනුවය.

දෙවියන් දුක කියන මේ ගැමියන් දැන් පිහිටක් ඉල්ලන්නේ අදාළ බලධරයිනි ඔබගෙනි.

“සිවිල් ආරක්ෂක නිලධාරි ශක්තිමත් කරලා, කැලෑ ජාවාරම නතර කරලා, අලියන්ට කැලේ ඉතුරු කරලා දෙනවා නම් අපිට මෙහෙම දුක් විඳින්න වෙන්නේ නැහැ. මීට කලින් අලි ගහලා ගමේ කෙනෙක් මැරුණා. පා‍ෙර් අලි රංචු පිටින් ඉන්නවා. අනේ අපි වෙනුවෙන් මොනවා හරි කරන්න. අලින් එක්ක අපේ වෛරයක් නැහැ. උනුත් මේ කැලෑවේ ඉන්න ඕන. අපිත් අපේ ගමේ ඉන්න ඕන. අපි දොගොල්ලන්ට ම ඉන්න පුළුවන් විදිහට මේ පරිසරය ආරක්ෂා කරන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ.”

වන අලි බියෙන් පෙළෙන ගැමියන් කරන ඉල්ලීමයි ඒ.

silumina.lk


More News »