දියණියන් තුන්දෙනාට ඉන්න ගෙයක් දෙන්න

2016-11-22 10:59:00       583
feature-top
බංකරයක දිවි ගෙවන මියගිය රණවිරුවකුගේ බිරිය කියන දුක්බර කතාව

‍දැරියන් තිදෙනකු සමඟ මිය ගිය රණවිරුවකුගේ බිරිඳක් බංකරයක දිවි ‍ගෙවීම සම්බන්ධව යුද හමුදාපතිවරයාට වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කර එම පවුලට නිවසක් තනා දීමට මේ වන විටත් පියවර ගනිමින් සිටින බවත් මිලියනයක පමණ වටිනාකමින් යුත් නිවසක් තැනීමට කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න මහතා සිළුමිණ කළ විමසීමකදී පැවසීය.

එසේම සෙබළ ඒ. එම්. මහේෂ්ගේ පවුලේ අයට පිළිසරණ වීමට අවශ්‍යනම් තම දෙපාර්තමේන්තුවද සූදානමින් සිටින බවත් අවශ්‍ය නම් සිංහල අවුරුද්දට පෙර නිවසක් සාදා දීමට තම දෙපාර්තමේන්තුවටද හැකියාව තිබෙන බවත් යුද හමුදාවට අවශ්‍ය සහාය ලබා දීමට සූදානමින් සිටින බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සිළුමිණට පැවසීය.

උදෑසනම කුඹුකේ ළිඳ ළඟට අප ළඟා වූයේ උදෑසන හොඳ සීතල වතුර ටිකක් නාගැනීමටය. ආවරණයක් නොතිබූ ඒ ළිඳ වට ප්‍රමාණයෙන් නම් විශාල වගා ළිඳක්ද ඉක්මවා යයි. එහෙත් ගැඹුර නම් මීටරයකට වඩා වැඩි නොවේ. දත් මදිමින් සිටි මමත් අපගේ ඡායාරූප ශිල්පියාත් කුඹුක් ගසේ දැවැන්ත මුල මත හිඳගතිමු. මුල මතම අසුන් ගෙන දත් දෙපළේ බුලත් කහට හාරමින් සිටි තරුණයෙක් ගැමි සිනහවෙන් අප පිළිගත්තේය. ගත වූයේ නිමේෂයකි.

“පනින්න ළිඳට!“ කියමින් අප දෙදෙනා ළිඳට තල්ල කර දැමූ ඔහුද ළිඳට පැන අප දිය යට එබුවේය. කන් බිහිරි කරන ශබ්දයකින් අපගේ කන් අගුල් වැටී ගියේය. මඳක් හිස ඔසවා බැලූ අපට ගෙනී ගියේ ආසන්නයේ තිබූ දෙකට කැඩී ගිය දැවැන්ත ගසකි. ගස දෙකට කැඩුණු තැනින් තවමත් දුම් පිට වේ. සිදු වූයේ කුමක්දැයි අපි අන්දුන්කුන්දුන්ව බලා සිටියෙමු.

“ඔහොම තමයි මහත්තයා මෙහේ හැටි. කොටි වෙලාවකට ආටි ගහනවා, තව වෙලාවකට මෝටාර් ගහනවා. අපිට නම් ඕව හොඳට පුරුදුයි. වතුරට පැන්නහම වතුරේ පිපිරුවොත් හානියක් වෙන්නේ නෑ. අනිත් එක කුඹුක් ගහත් ලොකු නිසා ගහේ වැදිලා වැටිච්ච මෝටාර් ගොඩක් තියෙනවා.“

ඔහු ගසට මෝටාර් වැදුණු තැන් අපට පෙන්වීය. එතැන නම් වැඩිවේලාවක් ඉන්න හිටින්න හොඳ තැනක් නොවූයෙන් අපි ඉක්මන් කර එතැනින් පිට වීමු.

ඒ මීට වසර 10කට පමණ පෙර පදවිය - වැලිඔය ප්‍රදේශයේ වූ සිදුවීමකි.

දැන් යුද්ධය අවසන්ය. යුද්ධය නිසා කරදර බාධක සිදු වූ ජනතාවගේ දුක ගැන අපි වරින් වර ලිපි ලියුවෙමු. අද තත්ත්වය බොහෝ සේ වෙනස්ව ගොස් ඇත.

එදා පදවිය ශ්‍රීපුර වැලිඔය වැනි ප්‍රදේශ පුරා තිබූ මුරකපොලු අද නැත. තුවක්කු කර පින්නාගෙන පාපැදියේ නෑමට ගිය ග්‍රාමාරක්ක සෙබළුන්ද පෙනෙන්නට නැත. යුද්ධයේ අවසානයත් සමඟම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවසානයේ මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ මායිමට වන්නට පිහිටා ඇති මේ ගම්මානවලට යම් ආලෝකයක් ලැබුණද, ඒ අඳුරු ‍සෙවණැලි තවමත් මැකී ගොස් නැත.

ඇතාවැටුණුවැව ඇත්තේ පදවි පරාක්‍රමපුර සිට මුලතිව් දක්වා යන මාර්ගයේ ගොස් ජෙනරාල් හන්දිය (ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න මහත්වරුන් සිහි වීමට ඇති හන්දිය) පසු කර නිකවැව ගම්මානය පසු කළ විටය. පරාක්‍රමපුර හන්දියේ සිට එතැනට කිලෝමීටර් 10කි. එය එදා ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්ක ගම්මානයක් විය. යන එන විට ගස් ගල්වලට මුවා වී ගිය එළිමහන් තැන්වල ජනතාව නොගැවසුණු මේ ගම්මානයද මහත් ම වූ දියුණුවක් ලබා නැතත් පෙර තිබූ දරිද්‍රතාවෙන් යම් මට්ටමකට ගොඩවිත් ඇති බව පෙනිණි.

ඇතාවැටුණු වැව තවමත් බංකර් තුළ ජනතාව සිටින බව සැල වීමත් සමඟම අපි එහි ඇත්ත නැත්ත සොයා බැලීමට ගියෙමු. ඇතාවැටුණු වැව පාසල ආසන්නයේම ඇති බංකරයකි. අප වසර 10කට පමණ පෙර මිට එන විටත් දිස් වූ මේ බංකර‍ අද නිවාසවල ඇත්තේ එළිමහන් බඩු ගබඩා ලෙසිනි. එහෙත් එක් ගෙදරක පමණක් එය නිවාසයක්ම වී ඇත. අපි ඒ ගැන විමසා බැලුවෙමු.

එම නිවෙසේ පදිංචිකාරිය 37 හැවිරිදි ඩබ්ලිව්. මාලනීය. ඇයගේ ස්වාමි පුරුෂයා 2 වන ආරක්ෂක බළ ඇණියේ සේවය කළ සෙබළ ඒ.එම්. මහේෂ් ය. ඔහු මිය ගොසිනි. ඇය ගැහැනු දරුවන් තිදෙනකුගේ මවකි. දෙදෙනකු පාසල් යන වයසේය. කුඩා දියණියට තවම අවුරුදු 3ක් පමණි.

කුඩා දැරිය නිසා ඇයට සුළු හෝ ආදායමක් උපයාගැන්මට හැකියාවක්ද නැත. ස්වාමියා අහිමිව සිටින ඇයගේ කතාව අප කියනවාට වඩා ඇගෙන් අසා දැනගැනීම සුදුසුයැයි සිතමු.

මාලනී ඇගේ කතාව අප හා විස්තර කළාය:

“මහත්තය 2006 අවුරුද්දේ සිවිල් ආරක්ෂක බළකායේ සේවයට බැඳුණා. 2009දී අවසන් සටනට හමුදාව ශක්තිමත් කරන්න මහත්තයලටත් හමුදාවට බැඳෙන්න කිව්වා. රට වෙනුවෙන් ජීවිතය පරදුවට තියල මහත්තයත් හමුදාවට ගියා. යුද්දෙ ඉවර වුණාට පස්සේ මහත්තය තන්තිරිමලේ කෑම්ප්-එකේ වැඩ කළේ. එතැනදී 2014 අවුරුද්දේ මහත්තය නින්දෙදිම තමයි නැති වෙලා තියෙන්නේ. හෘදයාබාධයක් කියලයි දොස්තර මහත්තුරු කිව්වෙ. අපි මහත්තයගේ ගෙදර හිටියේ. මහත්තය නැතුව අපිට එහේ ඉන්න විදිහක් නැහැ. සහෝදරයොත් එහේ ඉන්නව. ඒක නිසා දරුවො තුන් දෙනාත් එක්ක මේ බංකරේටම ආව. මහත්තය නැති වෙන කොට චූටි දුවට දවස් 24යි. අපට රුපියල් 19716ක වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප ලැබෙනවා. ඒ වුණත් අපට ඉන්න-හිටින්න තැනක් නැහැ. අපි ඉන්නේ කොටි ගහන කාලේ අපට හදාගන්න දුන්න බංකරේ ඇතුළෙ. ගෑනු දරුවො තුන් දෙනෙක් ඉන්නවා. ඒ අයට ඉන්න හිටින්න ඇඳුමක් මාරු කරගන්න තියෙන්නේ මේ බංකරය විතරයි. ලොකු දුව මේ පාර සාමාන්‍ය පෙළ විභාගෙ කරන්නේ. සම්පත් නුවර ඉස්කෝලෙට යන්නේ. දෙවැනි දුව මේ දවස්වල විභාගෙ නිසා නිකවැව ටීචර් කෙනකුගෙ ගෙදර නැවතිලා ඉස්කෝලෙ යනවා.

“ලොකු දුවටත් ඔළුවෙ කැක්කුමක් තියෙනවා. ඉස්පිරිතාල කීපයකටම ගියා. ඒත් හරි ගියේ නෑ. ත්‍රිකුණාමලය ඉස්පිරිතාලෙට යන්න ඕන ස්කෑන් එකකට රුපියල් 11500ක් යනවා. සල්ලි හොයගත්ත දවසක තමයි ඒකටත් යන්නේ වෙන්නේ. මේ දරුවන්ට යන්න වැසිකිළියක් වත් නැහැ. අල්ලපු ගෙදර වැසිකිළියට තමයි යන්නේ. ඒකත් හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ. මම වැසිකිළියක් හදන්න පටන් ගත්ත. ඒකෙ බිත්ති කඩාගෙන වැටෙන හින්ද ගඩොල් ටිකක් ණයට අරගෙන වළ බැඳල දැම්මා. වළට බැහැලා මමමයි මේසන් වැඩේ කරේ. බංකරේටත් වරිචිච් ගහල දුවට පාඩම් කරන්න තැනක් හදල දුන්නා.

“අපි පුදුමාකාර දුකක් විඳින්නේ. වැස්ස දවසට පොඩි දරුවත් තියාගෙන මම ගෙවන්නෙ පටාචාරාව විඳපු දුකට වැඩි දුකක්. මට ගෙයක් හදාගන්න වත්කමක් නැහැ. මහත්තයාගේ පඩියෙන් දරුවන්ට උගන්වන්නයි වියදම් කරන්නයි ගෙදරට කන්න බොන්නයි ගියහම ගෙවල් හදන්න විදිහක් නැහැ. අපිට කාමර දෙකක ගෙයක් හදාගන්න තියෙනව නම් ඒක ලොකුම පිනක් කියලයි මම හිතන්නේ හමුදාවේ මහත්තුරුත් ඇවිත් ඒ ගැන බලලා ගියා. ප්‍රාදේශීය ලේකම්තුමාටත් අපි ගැන කියලා තියෙන්නෙ.

මේ දරුවන් තුන්දෙනාට හෙවණක් දෙන්න ආරක්ෂිතව ඉන්න තැනක් තියෙනව නම් ඒකම නිවන් දකින්න ලොකු පින්කමක් වෙයි කියලයි මම හිතන්නේ. අපි අවුරුදු ගානක් කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජන උඩ හිටයේ මේ බංකරේ ඇතුළෙ ඉද්දි කොටි මෝටාර් වැටුණු ගණන කියන්න බැහැ. කන් බිහිරි කරන ඒ සද්දෙට බයේ රෑට ඇහැරිච්ච දරුවො අදත් බයේ රෑට ඇහැරෙනවා. මේ දරුවන් දෙන්නම ඉගෙනගන්න හරිම දක්ෂයි. මේ ඉස්කෝලවල පහසුකම් මදි. ඒ වුණත් පුළුවන් විදිහට සම්පත්නුවර ඉස්කෝලෙට ගිහින් දරුවො දෙන්නම ඉගෙනගන්නවා. දරුවන්ගේ මානසිකත්වය හදන්න පුළුවන් වෙන්නේ අපට මේ බංකර් ජීවිතයෙන් අයින් වෙන්න පුළුවන් වුණොත් විතරයි.

silumina.lk


More News »