දිවි පරදුවට තබා අබලන් පාලමේ යන උඩුකුඹුර වැසියෝ

2016-11-21 01:33:00       582
feature-top
ඉකුත් දිනෙක සන්ධ්‍යාවක නන්නාඳුනනා දුරකථන අංකයකින් ඇමතුමක් ආවේය.

“මම කතා කරන්නේ උඩුකුඹුර ගමෙන්. අද මගෙ ළමයා පාලමෙන් ඔයට වැටෙන්න ගියා. මමත් ඒ ආසන්නයේම හිටිය නිසා දරුවා බේරගන්න පුළුවන් වුණා. අපේ පාලම දැන් හොඳටම අබලන්. අලුත් පාලමේ කණු ටික විතරයි තවමත් හදලා තියෙන්නෙ. අපි හරිම අසරණයි. ගමේ පාලම ගැන පත්තරේට ලියන්න.”

උඩුකුඹුර ගමෙන් අපට කතා කළ ගුණතිලක පැවැසුවේ ආයාචනාත්මක හඬිනි. ඔහු මේ කතාව අප හා පවසන්නට හේතුවක් වූයේය.

ඔහුගේ කතාව ඇසු අපි හරියටම වසර හතරකට පසුව යළිත් එහි ගියෙමු. උඩුදුම්බර හන්දියෙන් හැරී කැලෑ මඟ ඔස්සේ මීට වසර හතරකට පෙර එනම් දෙදහස් දොළහ වසරේ අප්‍රේල් මස මුල් සතියේදී අපි එහි ගියෙමු. එදින ද අද මෙන්ම ගැමියෝ අප පිළිගැනීමට එහි පැමිණ සිටියහ. ගමන දුෂ්කරය. ඔවුහු කිලෝමීටර් හය හතක් මඟ ගෙවා තම රාජකාරි කටයුතු සඳහා නගරයට එන්නෝය. උඩුකුඹුර ගමට තවත් පාරක් ඇත්තේය. ඒ කොළඹ මහියංගණ පාරේ තිස්පහ පාරෙන් ගොස් පෝප්පිටිය පාලම හරහා යන පාරය. 2012 අප්‍රේල් 8, 15 සිළුමිණ සිත්මල්යායෙහි අපි උඩුකුඹුර ගැමියන් අබලන් එල්ලෙන පාලමත්, ගමට යෑමට හරිහමන් මාර්ගයක් නැති නිසා විඳින දුෂ්කරතා පිළිබඳව රටට කීවෙමු. ලිපිය පළවූ ඉරිදාම ජනාධිපති ලේකම් කාර්යාලයේ දැනුම්වත් කිරීමෙන් පසුව ග්‍රාමීය පාලම් අංශයේ ප්‍රධානියා අප ඇමතුවේය.

“අපි කැමැතියි ඒ පාලම හදන්න. ගමට යන්න පාර කියන්න.”

ගමට යන තොරතුරත්, ගමේ ස්වභාවයත් අපි ඔහුට කීවෙමු. මාස කිහිපයකට පසුව පාලම හැදීමට කටයුතු සැලසිණි. ගැමියන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් අලුත් පාලම තැනීමට මුල්ගල ද තැබිණි.

‘දැන් පාලම හැදෙනවා. ගමේ අයත් වැඩ කරනවා.’

‘දැන් පාලමේ කොන්ක්‍රිට් කණු ඉදිකරනවා.

‘යකඩත් ගෙනැල්ලා තියෙන්නේ. ඒත් තාම පාලමේ වැඩ ඉවර නැහැ.’

‘අපේ තිබුණ පාලමත් දැන් හොඳටම අබලන්’

ගෙවී ගිය කාලය පුරා උඩුකුඹුර ගැමියෝ සිළුමිණට කතා කර පාලමේ තොරතුරු කියන්නට වූහ. ඒ හැම වරෙකම පාහේ අපි ග්‍රාමීය පාලම් අංශය ඇමැතීමු.

‘ඉක්මනින් හදනවා.’ ඒ අපට ලැබුණ පිළිතුරයි.

“අපි හරිම අසරණ වෙලා ඉන්නෙ. මේ යකඩ පාලම අවුරුදු දෙසීයකට වඩා පැරැණි ඇති. එහා පැත්තෙන් ගමට එනවානම් ත්‍රීවිල් එකකට රුපියල් 1000ක් ගෙවන්න ඕනෑ. පාලමේ එන්න බයයි කියලා දැන් පවුල් සෞඛ්‍ය සේවිකාව ගමට එන්නෙත් නැහැ. දැන් අපි යනවා එතැනට. ඒ දුරත් කිලෝමීටර පහකට වැඩියි. වහින කාලෙට නම් යන්නම බැහැ. දැන් මේ ගමේ කෙල්ලෝ කොල්ලෝ නැහැ. ඉන්නේ වයසක උදවියයි ළමයිනුයි විතරයි. පිටින් එන අය ගමේ ඉන්නෙත් නැහැ. අපිට හරි හරි ප්‍රශ්න තියෙනවා. අම්මලා උදේටයි හවසටයි පාලම ළඟට එනවා. දරුවෝ එගොඩ යනතුරුත්, එගොඩ ඉඳලා මෙගොඩ එනතුරුත් බලාගෙන ඉන්නවා. අපිට යන්න තැනක් තිබුණානම් මේ වෙනකොට අපි ගම අත්හැරලා ගිහිල්ලා.” කාලෙකට පස්සේ උඩුකුඹුරට ගිය අප හා පෝප්පිටිය පාලම අසලට එක්රැස්ව සිටි ගැමියෝ පැවසූහ.

පෝප්පිටිය හා උඩුකුඹුර යාකර පාලම තැනුණු විට අවට ගම්මානවලට ද සෙත සැලසෙන්නේය. නමුදු දැන් අලුතෙන් ඉදිකිරීමට ගත් පාලමේ වැඩ අතරමඟ නතර වී ඇත. ගැමියෝ ඉදිකර දමා ඇති කොන්ක්‍රිට් කණු දෙසත්, ගරා වැටුණ පාලම දෙසත් බලා සුසුම් හෙළති.

“යකඩ පාලම හුඟක්ම පැරැණියි. පාලමට දාලා තියෙන ලී දිරලා. වෙලාවකට හිතෙනවා මුළු ගමම හිරේ ගියත් ආන් අර පේන කුඹුක් ගහ කපලා ලී ටික ඉරලා පාලමට දාන්න ඕනැ දෙයක් වෙද්දෙන් කියලා.” ගැමියකු පවසන්නේ ආවේගශීලීවය.

උඩුකුඹුර හා ඒ අවට ගැමියන් සිය ගොවි බිම්වල දැන් වවා ඇත්තේ බෝංචිය. මේ බෝංචි කැඩෙන කාලයයි. හරිහමන් මාවතක් නැති නිසා ඔවුහු බොහෝ ගැටලුවලට මුහුණපා ඇත්තාහ.

“මුළු ගමම වගේ බෝංචි තමයි වවලා තියෙන්නේ. මේ පස හොඳ බෝංචිවලට. අපි පණිවිඩ යවලා තමයි අතරමැදි වෙළෙන්දන් ගෙන්න ගන්නේ. වෙළෙන්දා එන්නේ පාලම ළඟට විතරයි. ඔහු එන්න කලින් අපිට බෝංචි මිලට ගන්න මිල කියන්නෙ නැහැ. අපි බෝංචි ගෝනි අරගෙන ආවට පස්සේ තමයි මිල කියන්නෙ. ඉතින් මිල අඩුයි කියලා අපි ආයෙත් අරගෙන යන්න ද? ඒ කියන ගානට දීලා දානවා මිසක්. පහුගිය කාලේ රුපියල් පනහට බෝංචි කිලෝ එක අපෙන් අරගෙන ගියා.” ලියනගේ මාමා පවසන්නේය.

ගැමියෝ සතියකට වතාවක් හසලක පොළට යන්නාහ. නිවෙසට අවශ්‍ය සෑම දේම රැගෙන එන්නේ පොළෙනි.

“බවලත් අයට බඩු මල්ල අරගෙන පාලමෙන් යන්න බැහැ. පිරිමියෙකුත් ඉන්ටම ඕනෑ. මගේ දරුවෝ දෙන්නා උඩුදුම්බර ඉස්කෝලේ යන්නේ. දෙන්නම උසස්පෙළ පන්තියේ ඉන්නේ. උදේ හවා ගමට යන එන එක අමාරුයි. තරුණ ළමයි පිට තැන්වල දාන්න බෑ. දැන් අපි ටවුමෙන් ගෙයක් කුලියට අරගෙන ඉන්නේ. දරුවන්ගේ තාත්තා විතරයි දැන් ගමේ ඉන්නේ. අපි සෙනසුරාදට ගමට ඇවිත් සඳුදා පාන්දර ආයෙම යනවා.” සීලවති කුමාරි පවසන්නේ තමන්ට මුහුණ පෑමට සිදුවී ඇති අසීරුතාය.

ගමනාගමන පහසුකම් පමණක් නොව එදිනෙදා ගොවිතැන් කටයුතුවලට ද දැන් අබලන් පාලම හරස් වී ඇත්තේය. කුඹුරු සීසෑමට අත්ට්‍රැක්ටරය හෝ මීගවයන් ගමට ගෙන ඒම ද දැන් අසීරුය. ඔයේ වතුර වැඩි කාලෙට කඹේ බැඳපු හරක් ටික ඔයට දාලා මෙගොඩට දක්කනවා. අපි එහෙම හරක් දක්කන්නේ පාලමේ ඉඳගෙන. ඒත් දැන් එහෙම කරන්න බැහැ පාලම අබලන් නිසා. ගිය කන්නේ වී මලු තාමත් ගමේ ගෙදරක. පාලමේ වී ගෝනි කර තියාන එන්න අමාරුයි.” ජයතිස්ස කියන්නේ තමන් පත්වී ඇති අසීරුතාය.

ගැමියන් තම තමන් පත්ව ඇති අසීරුතා පවසන්නේ තරගයට මෙනි. එහෙත් සමස්තයක් ලෙස ගත් කල ගමට තිබූ එකම පාලමත් අබලන් වීමෙන් ඔහු බරපතළ ප්‍රශ්නවලට මුහුණ පා ඇත්තේය.

“දැන් ගමේ ළමයි ඉස්කෝලේ යන්න අකැමැතියි. වැස්ස කාලෙට කූඩැල්ලෝ විමානේ. ඒ ඔක්කෝටම වඩා පයින් යන්න තියෙන දුර වැඩියි. අපි ආසයි අපේ දරුවෝ ඉගෙනගෙන ලොකු තැන්වලට එනවට. ඒත් දෙමවුපියන්ගේ කෑගැහිල්ලට හරි බලෙන් ඉස්කෝලේ යන ළමයා සාමාන්‍ය පෙළ පාස්වෙච්ච ගමන් ගමෙන් පිටවෙනවා. එහෙමත් කෙනෙක් තමයි ආපහු ගමට එන්නේ.” කිරිබණ්ඩා මාමා පවසන්නේ ගමේ අනාගත පරපුරක් නැතිවී යෑමට මඟ පෑදී ඇති ආකාරය විස්තර කරමිනි.

චමිලාට දරුවා ලැබීමට තවත් මාස කිහිපයක් ඇත්තේය. ඇය දැන් පවුල් සෞඛ්‍ය සේවිකාව හමුවන්නට යන්නේ ද අපහසුවෙනි.

“මාසයක් දෙකක් තියෙද්දි ටවුමට නතර වෙන්න යන්න වෙනවා. බයටම සමහර අම්මලා කලින්ම ගිහිල්ලා ඉස්පිරිතාලේ නතර වෙනවා. එතකොට ඉස්පිරිතාලෙන් බණිනවා කලින් ආවා කියලා. අපි කාට ද මේ අවනඩු කියන්නෙ.” ඇය විමසන්නේ අපෙනි.

උඩුදුම්බරට හෝ මහියංගණ රෝහලට බෙහෙත් ගැනීමට ගිය අම්මා කෙනෙකු පාලම ළඟට පැමිණියේ බැරි අමාරුවෙනි.

“මට හතිය තියෙන්නේ. බෙහෙත් ගෙනාවට වැඩක් නැහැ. මේ හැටි දුරක් පයින් යද්දි අමාරුව වැඩියි” ලොකු මැණිකේ අම්මා කියන්නීය.

පාලමේ වැඩ අවසන් කිරීමට එතරම් කලක් ගත නොවනු ඇත. දැන් පාලමේ කොන්ක්‍රිට් කණු ඉදිකර අවසානය. අවශ්‍ය යකඩ ද යම් පමණකට එතැනට ගෙනත් දමා ඇත්තේය. ගැමියන් පුල පුලා බලා සිටින්නේ වැඩ නිමාවන තුරුය. නමුදු හෙට අනිද්දා එක දිගට වැසි ඇදහැලෙන්නට පටන්ගත් විට මහඔය පිරෙනු ඇත. එවිට බැරි අමාරුවෙන් හෝ අබලන් කම්බි පාලමේ යෑම අතිභයානකය. එවිට පාසල් දරුවන්ගේ පාසල් ගමන නතර වනු ඇත. ගැමියන් ගමට කොටු වනු ඇත. ඉදින් මේ පාලම ඉක්මන් වන්නේ නම් ගමේ මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනු ඇත.

ගැමියෝ ගල්තලාව මත හිඳ තම දුක පවසති. ටොමියා ද ඒ අසලය. කතා කළ හැකිනම් ඌ ද ගැමියන් විඳින දුක පවසනු ඇත.

“අපිට පක්ෂ පාට බේදයක් නැහැ. අපි රස්සාවල් ඉල්ලන්නේ නැහැ. ගම දියුණු කරන්න කියලා ඉල්ලන්නෙත් නැහැ. අපිට මේ පාලමේ වැඩ ඉවර කරලා දෙන්න. ඒ හොඳටෝම ඇති.” සමුගන්නට මත්තෙන් ගැමියන් කළ එකම ඉල්ලීම එයයි.

silumina.lk


More News »