පුලිච්චන්කුලමේ සකපෝරු සදහටම නවතීද?

2016-11-16 11:20:00       667
feature-top
සුන්දර සිහින රටා සකපෝරුවේ සිත්තම් කරවමින් ජීවිත ගමනේ කර්කශ බව ලොවට කියා පාමින් හෙට දවසේ අරුණලු දකින්නට මැටි සමග පොරබදන පුලිච්චන්කුලමේ කුඹල් කර්මාන්තකරුවන්ගේ සිහින බොඳ කරවමින් මැටි කර්මාන්තයට කණ කොකා හඬන්නට පටන් ගෙන ඇතැයි ඔවුහු මැසිවිලි නගති.

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 593 පුලිච්චන්කුලම ග්‍රාම නිලධාරි වසමේ පදිංචි බහුතරයක් පිරිසකගේ සිය ජීවනෝපාය බවට පත්ව ඇත්තේ කුඹල් කර්මාන්තය ආශ්‍රිතව රැකියාවේ නියැළෙමින් මුදල් උත්පාදනය කිරීමයි. මෙහි පවුල් සංඛාව 30ක් වෙසෙන සිටින අතර, එහි සාමාජිකයින් 100 ඉක්මවා ගොස් ඇති බවත්, කර්මාන්ත ස්ථාන 20ක් පමණ මෙහි ඉදි කර ඇති බවත් වාර්තා වෙයි.

ඉන්දියාවේ, තිරුනල්වේලී ප්‍රාන්තයේ මුල් පදිංචිකරුවන් ලෙස සැලකෙන මොවුන්ගේ මූලාරම්භය ලංකා භූමිය හා බද්ධ වන්නේ 1944 වර්ෂයේදීය. ඒ තම නිපැයුම් මෙරට ප්‍රචලිත කිරීම සහ සිය නිෂ්පාදන කටයුතු සිදු කර ගෙන යෑම සඳහා සංක්‍රමණය වීමත් සමගය. එහිදී මොවුන්ගේ මුල්ම වාසස්ථාන කොළඹ, නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවත වූ බවයි පාරම්පරිකයන් පෙන්වා දෙන්නේ. පසු කාලීනව මොවුන් තම නිෂ්පාදන බාධාවකින් තොරව සිදු කරගෙන යෑම සදහා ගංගා නිම්න ආශ්‍රිතව පදිංචියට ගොස් ඇත්තේ තමන්ට අවශ්‍ය ඛනිජ සම්පත් සපයා ගැනීමට ඇති පහසුව හේතුවෙන් බව ඔවුහු පවසති.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සෑම පළාතකම ඔවුන්ගේ පිරිස් විසිරී යෑම ආරම්භ වීමත් සමඟ යාපනය, බදුල්ල, බණ්ඩාරවෙල, මාතලේ, කොළඹ, වව්නියාව, දඹුල්ල, හොරණ, යාල, පුලිච්චන්කුලම වැනි ප්‍රදේශයන්වල සිය ජනාවාස ඉදි කර එහි පදිංචියට පැමිණි බව ඔවුහු කියති.

සාම්ප්‍රදායික සකපෝරුවට මුල්තැන දෙමින් සිය නිෂ්පාදන කටයුතුවල නිරත වූ මොවුන් තාක්ෂණයේ දියුණුවත් සමඟ පසුකාලීනව කාර්යක්ෂම විදුලි උපකරණ භාවිතයට නැඹුරු වී තිබේ.

ලංකාවේ පළාත් රැසක් වෙත අංක එකේ ජීව වායු උදුන් (ගෑස් ළිප්) සඳහා වළං දැනටමත් සපයන්නේ පුලිච්චන්කුලමෙන් නිමවෙන නිෂ්පාදනවලිනි.

ඒ අනුව සිය නිෂ්පාදන ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ඇතිළි වර්ග 06ක්, ගෑස් ඇතිළි වර්ග 06ක්, දර ළිප් වර්ග 03ක් ලෙසිනි. මෙනයින් 80%ක් මෙරට වෙළෙඳ පොළ ප්‍රසිද්ධියක් හිමිකරගෙන ඇත්තේ ඔවුන්ගේ අතින් නිෂ්පාදනය වන දර ළිප් සඳහා බව ඔවුහු පවසති.

එහෙත් මේ සියල්ල උඩුයටිකුරු කරමින් ඔවුන්ගේ සිහින මැටි වගේ ඇඹරෙන්නට කාලය උදා වී හමාරය. ඒ අන් කිසිවක් නිසා නොව තම නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය (පස්) සඳහා රජය විසින් ලබා දෙන බලපත්‍ර අත්හිටුවීමත්, ඒ සඳහා නොයෙකුත් තහංචි පැනවීමත් වැනි බාධක හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් අපත් සමග කතාබහට එක්වූ එගම්වැසි බොහෝ දෙන දුක්මුසු කදුළු කතාව මෙසේ දිග හරින්නට වූහ.

පුලිච්චන්කුලම පදිංචි පී. ආනන්දන්: “මේක වළං ගම්මානයක්. මේ ගමේ ගොඩක් වළං නිෂ්පාදයේ යෙදෙනවා. නමුත් මේ වෙද්දි අපේ රස්සාව සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙන්නෙ. පස් නැති ප්‍රශ්නයක් හින්දා. පාරම්පරික රස්සාවක් ඔය විදියට මෙන් අපෙන්ම ඉවර වෙන ලකුණු දැන් මතුවෙලා. අවශ්‍ය අමුද්‍රව්‍ය නැති වුණාම නිකම්ම කර්මාන්තය වැහිලා යනවා. අපි බලධාරින්ට කියන්නෙ මාස හයකටම අපිට පස් කියුබ් 50ක් ලබා දුන්න නම් ඒ හොඳටම ඇති කියලා.”

එම්. ආරුමුගම්: “අපිට දැන් මැටි පස්වලට හරිම අපහසුවක් තියෙනවා. අපි කියන්නෙ උළු, ගඩොළු, ගල් වගේ ලොකු ලොකු ව්‍යාපාර කරන සෑම අයටම රජය විසින් ලබා දෙනවා වැලි, මැටි, බොරළු බලපත්‍ර. අපි වගේ අසරණ අයට විතරක් රජය ඇයි මෙහෙම සලකන්නෙ කියන එක අපිට ලොකු ප්‍රශ්නයක්. අපි බලධාරින්ගෙන් ඉල්ලන්නෙ අපේ මේ කර්මාන්තය කරගෙන යන්න අපිටත් බලපත්‍රයක් ලබා දෙන්න කියලා. මොකද අපි රජයෙන් පඩි ගන්නෙත් නැහැ, බොනස් ඉල්ලන්නෙත් නැහැ, උද්ඝෝෂණ කරන්නෙත් නැහැ. අපි කියන්නෙ අපිට ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම ගොඩ නගලා දෙන්න කියලා විතරයි.”

එම්. රංජිද මනී: “අපිට මේ රස්සාව දිගටම කරගෙන යන්න පස් නැහැ. ඉස්සරහට එන්නෙ වැහි කාලේ. එතකොට කොටින්ම මේ රස්සාව කරන්න බැහැ. අපි හැම පැත්තෙන්ම තැළෙනවා. ඒ මදිවට අපිව බලධාරින් ටික එකතු වෙලා තළනවා. අපේ දුක අපි කාටද කියන්නෙ? රජය අපිට කියන්නෙ මේ රස්සාව නවත්වලා දාන්න කියලද? අපි පරිසරයට කිසිම හානියක් නොකර ජනතාවට කරදරයක් නොකර මේ කර්මාන්තය කරගෙන යන්නෙ. ඒත් අපිට අද උදා වෙලා තියෙන්නෙ පුදුම කාලයක්!”

පී. කාන්චනා දේවි: “අපිට තියෙන ලොකුම ගැටලුව තමයි කර්මාන්තයට අවශ්‍ය පස් සොයා ගන්න එක. දැන් පස් හොයා ගන්න අපිට නීතිය හරස් වෙලා. එක් එක්කෙනා එක එක නීති දානවා අවසානේ අපේ දරුවන්ට හූල්ලන්න වෙන්නෙ. අපි කන-කර උකස් කරලා ලක්ෂ ගණන් බැංකු වලට ණය වෙලා වැඩක් පටන් අරගෙන මගක් යද්දි පස් තහනම් කරපුවාම අපිට වෙන්නෙ මොකක්ද කියලා බලධාරින් මොහොතකටවත් හිතන්නෙ නැහැ.”

ආර්. කනපති: “ඉතිං මේ දවස්වල අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නෙ. දැන් මාස පහකට හයකට කලින් ඉඳලා. ඒ ඇයි කිව්වොත් අපිට පන්නල ප්‍රදේශයේ ඉදලා අපේ නිෂ්පාදනවලට අවශ්‍ය කහ පාට පස ගේන්න කිසිම ප්‍රවාහන බලපත්‍රයක්, කැණීම් බලපත්‍රයක් ලබා දෙන්නෙ නැහැ. ඒ නිසා අපි ගැටලු රැසකට මුහුණ දීලා තියෙන්නෙ. ඒ නිසා ගොඩක් කර්මාන්ත වැහිලා තියෙන්නෙ. පංගුවක් බැංකු ණයවලට හිර වෙලා ඉන්නෙ. මේ ණයතුරුස් ගෙවන්නෙ මැටි නිෂ්පාදන කරලා‍. ඉතිං පස් දෙන්නෙ නැහැ කියන්නෙ අපිට ආයේ වෙන මොන කතාද?”

වී. ආනන්දන්: “මේ කර්මාන්තය කරගෙන යෑමේදී ගැටලු බොහොමයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නෙ අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රශ්නය ප්‍රධාන කොටම බලපානවා. මොකද අපි මැටි වර්ග දෙකක් කවළම් කරලයි මේ නිෂ්පාදන කරගෙන යන්නෙ ඒ නිසා ගංගා ආශ්‍රිතව තියෙන කහ පාට පස තමා අපි හදන වළංවල තත්ත්වය හොඳින් තියාගන්න උදවු වෙන්නෙ. මේ වෙද්දි මේ රස්සාවේ ලොකු අවදානමක් ගන්න සිද්ධ වෙලා තියෙනවා. අපි බලධාරින්ට කියන්නෙ මේක පාරම්පරික රස්සාවක් මේ රස්සාව කඩාවැටෙන්න දෙන්න එපා. මොකද, මේ රස්සාවෙන් ආදායම ලබන්නෙ පිටරට අය නෙමෙයි අපේ රටේම අය කියන එක කවුරුත් දන්නවා. ඒ නිසා අපේ ගැටලුවට විසඳුමක් ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”

නැගෙන මේ චෝදනා සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ අප කළ විමසුකදී මුන්දලම ප්‍රාදේශිය ලේකම් ටී.එම්. ප්‍රේමසූරිය මහතා පවසා සිටියේ මෙවැන්නකි:

“ඇත්ත වශයෙන්ම මේ කර්මාන්තයට පස් අවශ්‍යයි. ඒත් මේ කොට්ඨාසෙ නෙමෙයි ඔය කියන පස් වර්ගය තියෙන්නෙ; දංකොටුව, සාලියවැව වැනි ප්‍රදේශවල. අනෙක තමයි, මේ පිරිස් පස් වර්ග දෙකක් මිශ්‍ර කරලා තමයි මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන්නෙ. මම ඔය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුවත් කළා. ඒ මඟින් මේ කර්මාන්තයට පහසුකම් සලසා දෙන්න මම සාකච්ඡා කළා. මම මේ වෙද්දි ඔය කියන පස් වර්ගය තියෙන පිටස්තර කොට්ඨාසවලට දැනුම් දී තිබෙනවා. දිසාපතිතුමා මඟින්ද මේ සම්බන්ධ දැනුම් දීමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙත් අපට තියෙන ගැටලුව, බලපත්‍රයක් නැතිව පස් ප්‍රවාහනය කරන්න ඔවුන්ට අවසරයක් ලැබෙන්නෙ නැහැ. මේ පිරිසට බාධාවකින් තොරව මේ කර්මාන්තය ඉදිරියටත් පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු අපි මේ වෙද්දි සිදු කරමින් පවතිනවා.”

.silumina.lk
 

More News »