බෝසත් ළමා නිවාසයේ අජාසත්ත වැඩ

2016-11-15 10:58:00       658
feature-top
මාපිය රැකවරණය අහිමි දැරියට ළමා නිවාසයෙන්ද
පැන යන්නට සිදුවූ අනුවේදනීය අත්දැකීම...

ඉගෙන ගන්න ආසයි
ඒත් ළමා නිවාසයේ අනෙක්‌ ළමයි මට ගැහුවා, බැන්නා

ළමා ලෝකය හෙවත් දරුවන්ගේ ලෝකය ඒකාලෝක කරවන බැව් අපට උදේ හවා දිව මතුරක්‌ සේ ඇසෙන කියමනකි.

එවන් රටක මා පිය සෙනෙහස අහිමිව ළමා නිවාසයක රැකවරණ ලබමින් සිටියදී එහිදී අත්විඳින්නට සිදු වූ වධ හිංසා ඉවසන්නට බැරිව එතැනින් පලාවිත් පොලිසියට බාර වූ දස හැවිරිදි දැරියක නඟන විලාපයේ දොaංකාරය අපට ඇසෙනුයේ පොලොන්නරුව වැලිකන්ද පෙදෙසෙනි.

ඩබ්ලිව්. කේ. නෙත්මි නිසංසලා නමැති එම අහිංසකාවිය පොලිසියට ප්‍රකාශ කොට ඇති අන්දමට පොලොන්නරුව හිඟුරක්‌ගොඩ ප්‍රදේශයේ පිහිටි නමින් බෝසත් ළමා නිවාසයේ ඇය රැකවරණයට පත්ව ඇත්තේ මෙයට වසර තුනකට පමණ පෙරය. තවත් විදියකින් කිවහොත් සත් හැවිරිදි දැරියකව සිටියදීයි. එදා මෙදාතුර ඇයට එම ළමා නිවාසයෙන් ලැබී ඇත්තේ සෙනෙහස, ආදරය, රැකවරණය නොව අනේක වධ හිංසා අඩන්තේට්‌ටම්ය. දිගින් දිගටම එල්ලවන එම හිරිහැර දුක්‌ගැහැට ඉවසනු නොහැකිව ඇය එම ළමා නිවාසයේ සිට කිලෝමීටර් 50 ක පමණ දුරක්‌ ගෙවා වැලිකන්ද ප්‍රදේශය දක්‌වා යැම තුළින්ම එම ළමා නිවාසයේ සිටින දරුවන්ට නිසි රැකවරණයක්‌ ආරක්‍ෂාවක්‌ නොමැති බව මොනවට පැහැදිලි වේ. ඇය පොලිසිය භාරයට පත්නොවන්නට වෙනත් ඉරණමකට ගොදුරු වූයේ නම් ඇය වෙනුවෙන් මෙහි සටහන් කරන්නට සිදුවන්නේ වෙනත් ශෝකාන්තයකි. කෙසේ නමුදු වැලිකන්ද පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කේ. ඩබ්ලිව්. පී. ප්‍රේමලාල් මහතා ප්‍රමුඛ පොලිස්‌ නිලධාරීන්, නිලධාරිනියන් හමුවේ නෙත්මි නිසංසලා දැරිය ඉතාමත්ම දුක්‌බර කතාන්තරයක දිගහැරුමක්‌ කර ඇත. ඇය පවසන අන්දමට සැකෙවින් එය මෙසේයි.

"මම මගේ අම්මයි තාත්තයි බලන්න ආසයි. මගේ අම්මා මම අවුරුදු ගාණකින් දැකලා නෑ. මගේ අයියා ඉන්නේ ගාල්ලේ ළමා නිවාසයක. එයාට වයස අවුරුදු 17 යි. මගේ මල්ලිට වයස අවුරුදු 5 1/2 යි. එයා ඉන්නේ අනුරාධපුර අභය ළමා නිවාසයේ. මේ හැමෝම මම පුංචිම කාලේ දැක්‌කට පස්‌සේ දැකලා නෑ. මම ආසයි ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉංජිනේරුවරියක්‌ වෙන්න. හිඟුරක්‌ගොඩ ළමා නිවාසයේදී මට හිරිහැර කළා. ගහනවා, බණිනවා. ඒකයි මම එතැනින් පැනලා ආවේ. මට ආයෙත් එතෙන්ට යන්න බෑ".

නෙත්මි නිසංසලා දැරිය පවසන තොරතුරු සහ ඇය පිළිබඳව ඇතුළත් පරිවාස හා ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛනවලට අනුව ඇගේ ගම් පියස වැලිකන්ද ප්‍රදේශයයි. කුඩා කල ඇය විසූ ඇගේ දෙමාපියන්ට අයත් නිවස පිහිටි ලිපිනය අංක 276, සඳුන්පිටිය, වැලිකන්දයි.

නෙත්මි නිසංසලා දැරිය ඇතුළුව දරු දැරියන් තිදෙනකුගෙන් යුත් කැදැල්ල ඔවුන් ලොකු මහත් වන්නටත් පෙර සුනුq විසුනු වී තිබේ. දරුවන් අසරණභාවයට අනාථ භාවයට පත්ව ඇත්තේ ඉන් අනතුරුවය. මවගේ පියාගේ ආදරය, සෙනෙහස ආරක්‍ෂාව පෝෂණය ලැබිය යුතුව වයසක පසුවන දරුවන් තිදෙනකු ළමා නිවාසයන්හි රැකවරණයට පත්ව ඇත්තේ කාගේ වරදින් දැයි අමුතුවෙන් සඳහන් කළ යුතු නොවනු ඇත. කෙසේ නමුදු බරපතළ සමාජ ෙ€දවාචකයක තවත් එක්‌ සන්ධිස්‌ථානයක්‌ ලෙස සනිටුහන් තබමින් නෙත්මි නිසංසලා දැරියත්, ඇගේ අයියාත්, මල්ලිත් ළමා නිවාස රැකවරණයට යොමු වී එහි බොහෝ අත්දැකීම් ද ලබා හමාරය.

තවත් එක්‌ ලෝක ළමා දින සැමරුමක මහ අඬහැරය ද නිමා වී එක්‌ මසක පමණ කාලයක්‌ ගතවෙද්දී වැලිකන්ද පොලිසිය දෙසින් ඇසුණු ළමා ඉකිබිඳුම දරුවන්ගේ ලෝකය දෙස වගකිවයුත්තන්ගේ අවධානය නිසි ලෙස යොමුව නොමැති බව අපට සිහිපත් කර දෙයි.

අප රටේ ළමා නිවාස වෙත මාපිය සෙනෙහස අහිමි ළමුන් යොමුවන්නේ පරිවාස හා ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුව ඔස්‌සේ බැව් අපි දනිමු. පරිසමාප්ත අර්ථයෙන්ම ළමයින්ගේ ආරක්‍ෂාව පැවරී ඇති රාජ්‍ය ආයතන ඔවුන් බාරයේ තිබෙන ළමා නිවාසවල කටයුතු පරිපාලනය සිද්ධ වන ආකාරය නිසි පරික්‍ෂාවකට ලක්‌කරන්නේ ද යන්න නෙත්මි නිසංසලා දැරිය මුහුණදී තිබෙන දුක්‌බර අත්දැකීම් තුළින් මොනවට පැහැදිලි වේ. ඇයගේ රැකවරණය බාරකොට තිබූ බව කියන පොලොන්නරුව හිඟුරක්‌ගොඩ ප්‍රදේශයේ පිහිටි "බෝසත්" යන නමින් හඳුන්වනු ලබන මෙම ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි දරු දැරියන් එහි පීඩාවන් ඉසිලිය නොහැකිව පලාගොස්‌ ඇති වාර ගණන පරිවාස හා ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ප්‍රදේශයේ පොලිසිය හොඳින් දනී. ඒ අනුව මෙම සිද්ධිය පළමු හෝ අවසානය නොවන බව ද අප සිත්හි රඳවා ගත යුතු වෙමු. එමෙන්ම අප රටේ දරුවන් හිංසනයන්ට අතවරවලට ලක්‌ වූ, අනාවරණය වූ මුල් වතාව ද මෙය නොවන්නේය. මේ අනුව බලන කල මෙරට ළමා පරපුරේ දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ස්‌ථාපිත කර ඇති රාජ්‍ය ආයතන නිලධාරීන්, නිලධාරිනියන් එහි කාර්ය මණ්‌ඩල තමන් වෙත පැවරී ඇති වගකීම් රාජකාරි කෙබඳු ලෙස ඉටුකරන්නේ ද යන්න දිනෙන් දින ඉහළ යමින් තිබෙන ළමා හිංසන තුළින් අපට පෙන්නුම් කෙරේ.

එපමණක්‌ නොව, දරුවන්ගේ ලෝකය විශේෂයෙන්ම මාපිය සෙනෙහස අහිමිව ළමා නිවාස, සුරැකුම් මධ්‍යස්‌ථාන ආදියෙහි දිවි ගෙවන අසරණ දරු දැරියන් වෙනුවෙන් නිසි රැකවරණයක්‌, ආරක්‍ෂාවක්‌ නොලැබීම යනු ඒවා පිහිටුවීමේ මූලික අරමුණු සෝදා පාළු වී දියවී යැමකි. සමස්‌තයක්‌ වශයෙන් ගත් කල අප රටේ දරුවන්ට කුඩා කල පටන්ම ඔවුනට හිමි තැන් අයිතීන් නොලැබ සමාජයේ අසරණ අනාථයන් පිරිසක්‌ බවට පත්වීමේ ප්‍රවණතාව ඉහළ යැමේ ෙ€දනීය තත්ත්වය සරල ලෙස බැහැර කළ හැකි කාරණයක්‌ නොවන බව අවධාරණයෙන් යුතුව මතක්‌ කර සිටිමු.

සමස්‌තයක්‌ වශයෙන් ගත් කල මෙම සියලු ෙ€දවාචකයන් හමුවේ අපට පෙනී යන්නේ අපේ දරුවන්ගේ හෙට දවස එතරම් සුන්දර, පියකරු එකක්‌ නොවන බවය. එහෙයින් දැනට රටේ ස්‌ථාපිත කොට තිබෙන ළමා අයිතිවාසිකම්, ළමා ප්‍රඥප්තීන් හෝ නිසි ලෙස ක්‍රියාත්මක කොට දරුවන්ගේ ලෝකය යහපත් කිරීම කෙරෙහි අවධානය යොමනු හැර වසරකට වතාවක්‌ ලෝක ළමා දින සැමරුම් උත්සව වැනි අවස්‌ථාවල සුන්දර වචන වැපිරීම නොවන බව මෙහිලා සඳහන් කළ යුතුය.

තම මාපිය සෙනෙහස අහිමිව, රැකවරණය පිණිස තෙවසරකට පෙර ළමා නිවාසයකට සේන්දු වී එහිදී අපමණ දුක්‌ පීඩාවන්ට ගොදුරු වූ බව කියන නෙත්මි නිසංසලා දැරිය එම වධකාගාරයෙන් හොර රහසේ නික්‌ම වැලිකන්ද පොලිසියට පැමිණ නැගූ අමිහිරි දුක්‌බර විලාපයෙන් මතු කෙරෙන කාරණය වන්නේ ද දරුවන්ගේ ලෝකය ඔවුනට දිනා දිය යුතු බවය.

එසේ නම් දරුවන්ගේ පමණක්‌ නොව මුළු රටේම බාරකරුවන්ගේ නිසි අවධානයට මෙය ලක්‌විය යුතු සුවිශේෂී කටයුත්තක්‌ බැව් දරුවන්ගේ නාමයෙන් අපිදු සිහිපත් කරමු.

divaina.com


More News »