බීමට දිය පොදක් නැතත් අපිත් ඉගෙන ගන්න ආසයි

2016-11-09 10:15:00       583
feature-top
වියළී ගිය මහා පොළොව ඉරි තළා යන තරමටම කර්කෂ වී ඇත. වැහි පොදක් තබා සිහින් සුළං රැල්ලක්වත් පෙනෙන මානයකවත් නැත. දිවයිනේ බොහෝ පළාත්වලට මෙතෙක් දැඩිව බලපෑ නියඟය අම්පාර ප්‍රදේශයට තවමත් පුංචි සහනයක්වත් ලබා දී නොමැත. අම්පාරේ දුෂ්කරම පාසල් තුනක වගතුග සොයා ගිය අපිට දහවල ගිනි මද්දහන අව්වෙන් බැට කන අම්පාර ජන ජීවිතය කොතරම් කටුක දැයි සිතුණි.

“ලෝකයක් දැක්කේ නැති බොන්නවත් වතුර නැතිව ඉගෙන ගන්න පාසල් දරුවෝ ඉන්න පාසල් තුනකට තමයි අපි යන්නේ....” අපිට එහෙම කිව්වේ ලියනගේ සර්ය. එල්. ආර්. තිලක් ලියනගේ අම්පාරේ දුෂ්කරම පාසල වන අම්පාර ලාතුගල පාසලේ විදුහල්පතිවරයා ය.

“මේ පළාතට තාමත් වැහි පොදක්වත් නැහැ. අද වහියි හෙට වහියි කිය කියා බලා ඉන්නවා. ඒත් වහින පාටක් නැහැ. අපේ දරුවෝ ඉස්කෝලෙට එන්නේ නෑවිත් බැරි නිසා. පාසලේ ඒ දරුවන්ට බොන්න වතුර පොදක්වත් නැහැ. වැස්ස කාලෙට විතරක් නොවේ පායන කාලයටත් මේ ජීවිත ඔහොමමයි......” විදුහල්පතිවරයා පවසයි

ඉමක් නොපෙනෙන මහ වනාන්තරයෙන් ගැවසී ගත් නගරයක් පවා දක්නට නොමැති අම්පාර ලාතුගල ගමේ දරුවන් අකුරු කරන්නේ බොන්නට දිය පොදක් නැති වියළි කතරක සිටය.

නැති බැරිකම් මේ දරුවන්ට හුරුපුරුදුය. ඇති දේ නැති දේ නොහඳුනන මේ දරුවන්ගේ ජීවිත වෙලා ගෙන ඇත්තේ දුෂ්කර බව මිස අන් කිසිවක් නොවේ.

“මේ ලාතුගල ඉස්කෝලෙ තමයි අම්පාරේ තියෙන් අති දුෂ්කරම පාසල. ඇති දේට වඩා මේ දරුවන්ට නැති දේ වැඩියි. මේ දරුවෝ බාහිර ලෝකය හඳුනන්නේ නැහැ. ලාතුගලින් එහා ලෝකයක් තියෙනවා කියල දන්නෙවත් නැහැ. බාහිර දැනුමක් ඇත්තේ නැහැ. මේ දෙමවුපියන්ගේ ලෝකය හේන් ගොවිතැන විතරයි. දරුවන් උනන්දු කරන්න ඒ අයට හැකියාවක් තියා දැනුමක්වත් නැහැ. මේ දරුවන්ට රට තොට ගැන කිසිම අවබෝධයක් නැති නිසා පාසල් පෙළ පොත් උගන්වන්න හරිම අමාරුයි. දරුවන්ගේ පාසල් පැමිණීම හොඳටම අඩුයි. දෙමවුපියනුත් පාසල එක්ක තියෙන සම්බන්ධය අඩුයි. පාසල පවා දරුවන්ට සුද්ද කරලා දෙන්නේ උගන්වන ගුරුවරු දෙතුන් දෙනයි. ඒත් අපිට පන්ති පිරිසුදු කරන්න පාසලේ වතුර නැහැ. දරුවෝ බොන්නේ නල ළිදෙන් එන වතුර ටික විතරයි........” මල්ලිකා පතිරගේ මේ දුෂ්කර පාසලේ දරුවන්ට අකුරු කරන එකම ගුරුතුමියි.

මේ පාසල් තුනම වැසෙන්නට නොගොස් රැක ගන්නට සිදුවූයේද ඒ දරුවන්ටමය.

“ඉස්කෝලේ වහන්නනම් එපා. අපේ දරුවන්ට උගන්වන්න කෙනෙක් නැත්නම් නිකම් ඇවිත් පාසලේ හිටපුදෙන්. පාසල වැහුවොත් අපේ දරුවෝ හේනේ අව්වටම කරවෙනවා.” පාසල්වල විදුහල්පතිවරුන්ගෙන් දෙමවුපියෝ ඉල්ලීම් කළහ.

අම්පාරේ ලාතුගල පාසලේ මෙන්ම වැරන්කැටගොඩ කොත්මලේ පාසලේ සහ අම්පාර කහටගස්යාය පාසලේ දරුවන්ද ගෙවන්නේ මෙවන් දුක්ඛිත ජීවිතය.

“මේ පාසල් පවත්වා ගෙන යන්න අපි ගොඩාක් මහන්සි වෙනවා. ඝන කැලෑවේ තියෙන මේ පාසල්වලට උගන්වන්න එන්න ගුරුවරුන් කැමැති නැහැ. අද එන ගුරුවරයා හෙට නැහැ. ඒ මේ පාසල්වල අවම පහසුකමක්වත් නැති නිසයි. මේ දරුවෝ ලෝකය දැකලා නැහැ. රටේ තොටේ තියෙන වෙනස්කම් හඳුනාගන්න පුළුවන් බුද්ධි මට්ටමක් නැහැ. මේ දරුවන්ට රටතොට පෙන්වන්න චාරිකාවක් පවා සංවිධානය කරන්න අපිට පුළුවන් කමක් නැහැ. එහෙම සංවිධානය කළොත් ඒකට වියදම් දරන්න දෙමවුපියන්ට හැකියාවක් නැහැ. ...” ඒ අම්පාර කොත්මලේ වැරැන්කැටගොඩ විදුහලේ විදුහල්පති එම්.ආර් රවීන්ද්‍ර පැවසීය.

මේ දරුවන්ද පහසුකම් මැද අකුරු කරන්නට කැමැති ය. නමුත් ඩෙස් පුටු හැර වෙනත් කිසිවක් මේ දරුවන්ට උරුම නැත. අබලං වූ බස් රථයේ තැනූ පුස්තකාලයක පොත පත කිහිපයක් හැරෙන්නට මේ දරුවන්ට ලොව ජයගන්නට දැනුම ලබන්නට වෙනයම් ක්‍රමයක් නැත. ගිනි මද්දහනේ වූ බස් පුස්තකාලයේ දහඩිය පෙරමින් පොතපත කියවන මේ පුංචි පැටවුන්ට රටේ තොටේ දැනුම ගන්නට ඇවැසි පොතපත මේ බස් පුස්තකාලයේ දකින්නට නැත.

අපිට ලොකු ඉස්කොලෙකට යන්න ආසයි. ඒ ඉස්කෝල වල ගොඩාක් පොත් තියෙනවා. පන්ති කාමර හරි ලස්සනයි. අපි කවමදාවත් කොළඹ දැකලා නැහැ. කොහොම හරි හොඳට ඉගෙන ගෙන කොළඹ යනවා ලොකු ඉස්කෝලෙකට....” අපට පාසලකදී හමුවූ සිතුම් තීක්ෂණ දරුවා පැවසීය.

මේ ගම්මානවල දරුවන්ට මෙන්ම උගන්වන ගුරුවරුන්ටද පාසල් යන්නට ප්‍රවාහන පහසුකම් නැත. බසයත් යතොත් යන්නේ කලාතුරකිනි. ඒ බසයේ ගියොත් දරුවන්ට උගන්වන්නට කාලය මදි ය.

“මේ ගුරුවරු කරන්නේ දුෂ්කර ඉගැන්වීමක්. ගුරු නිවාස නැහැ. වතුර නැහැ. ඒ නිසා මේ ගුරුවරියන් දවස ගානේ හැතැප්ම 40-50 උදේ හවස එනවා. හැම ගුරුවරියක්ම එන්නේ ඒ අයගේ මෝටර් බයිසිකල්වල. උදේ හවස කිලෝ මීටර් සීයයක් විතර යන්න එන්න ගියහම මේ අයට හරිම වෙහෙසයි. වැස්ස කාලෙට බයිසිකල්වලවත් මේ ගුරුවරුන්ට එන්න බැහැ. අතර මඟ හම්බවෙන දිය කඳුර උතුරලා යනවා. එතකොට ගමේ අම්මලා තාත්තලා එකතු වෙලා බයිසිකලය වතුරින් එගොඩ කරලා දෙනවා. ගුරුවරුත් වතුරේ බැහැලා ඇඳුමුත් තෙමාගෙන තමයි ඉස්කෝලෙ එන්නේ.....” නාමල්ඔය කහටගස්යාය පාසලේ විදුහල්පති ආර්.එම් ආරියවංශ මහතා පැවසීය.

මේ ගුරුභවතුන්ගේ මුළු දිවියම කැප වෙන්නේ අහිංසක දරුවන් වෙනුවෙනි. සිය දිවියේ බොහෝ කැප කිරීම් කරමින් ඔවුන් වෙහෙසෙන්නේ මේ දරු පැටවුන්ට අනාගතයක් තනන්නටය. අඩුපාඩු රැසක් තිබුණත් ඒ සියල්ල පිරිමසා ගනිමින් හෝ දරුවනට සිප් සතර ලබා දෙන්නට මොවුන් දක්ෂ ය. “ මම මේ පාසලේ නැටුම් ටීචර්. කිලෝ මීටර් සීයක් දවස ගානේ බයිසිකලේ පැදගෙන එන්නේ දරුවන් වෙනුවෙන්. ඒත් දරුවන්ට නැටුම් පුරුදු කරන්න කිසිම භාණ්ඩයක් නැහැ. ගැටබෙර, දවුල්, තම්මැට්ටම් කිසිම දෙයක් නැහැ. මේ දරුවෝ ආසයි ජාතික මට්ටමේ තරග වලට යන්න. ඒත් කවුද මේ වගේ පාසල් වලට උදවු දෙන්නේ....“ කහටගස්යාය විදුහලේ නැටුම් ගුරුවරිය වන මායා දමයන්ති මහත්මිය පවසයි.

ලෝකය මේ යැයි නොහඳුනන දරුවන්ට හෙටක් උරුම කරන්නට මේ ගුරු දෙවිවරුන් වෙහෙසෙන්නේ බොහෝ දුක්ගැහැට මැදය. බොහෝ විට දිව කට පමණක් තෙමාගෙන උගුර වියළී යනතෙක් කෑ මොර දෙන්නේ හෙටක් දකින්නටය. ඒ ගමනේ සාර්ථක බව අත්දකින්නට මේ ගුරුවරු ද කැමැති ය. පුංචි දරු පැටවුන්ට ලොව මේ යැයි කියා පාන්නට ඒ අත්දැකීම් සමීප කරන්නට ඔවුහු කැමැති ය. එළඹෙන හෙට දින මේ දරුවන්ට අනාගතයක් කැන්දන්නට යමෙකුට හැකි නම් එය රටේ අනාගතයට මහත් සේවයක් වනු ඇත.

silumina.lk


More News »