රුපියලෙන් රුපියලේ එකතුවෙන් ගොඩනැඟුණු 'සෙනෙහසේ තොටුපළ'

2016-11-04 10:28:00       658
feature-top
තිස් වසරක බිහිසුණු යුද්ධයේ ගිනිදැල් මැද කැඩී-බිඳීගිය දුම්රිය නැවතුම පමණක් නොව, උතුරු-දකුණු දෙසිත්ද යා කරමින්, සහෝදරත්වයේ දොරගුළු විවර කරමින්, පුංචි එවුන්ගේ කෑම පංගුවෙන් කැටයට එකතු වූ මුදලින් තැනූ අලිමංකඩ දුම්රිය නැවතුම්පොළ පසුගියදා රටට දායාද වූයේ පාසල් සිසුන්ගේම සුරතිනි. උතුර නියෝජනය කරමින් උතුරේ පාසල් සිසුන් රැගත් දුම්රියක් හා දකුණ නියෝජනය කරමින් අනුරාධපුරයෙන් පාසල් සිසුන් රැගත් දුම්රියක් මේ 'සෙනෙහසේ තොටුපළට' සමීප වූයේ පසුගිය 28 වැනි දා ය. ඒ, 'සෙනෙහසේ තොටුපළ' ජාතියට විවර කරන්නටය.

එදා 'සිළුමිණ' පුවත්පත ඔස්සේ මේ සත්කාර්යය රටට විවර කරන්නට අපට හැකි විය. රුපියලෙන් රුපියල එකතු කරමින් පාසල් තුළ ගෙන ගිය මේ සත්කාර්යය එදා එමඟින් අපි රටට කීවෙමු; එහි මානුෂීය බව, හැඟීම්බර බව රටට කීවෙමු; රටට දැනෙන්නට හැරියෙමු.

ඒ 2009 වසරයි. එනම්: මීට වසර 7කට පෙර පාසල් පද්ධතියෙන් ආරම්භ වූ මේ සත්කාරයයට පාසල් සිසුහු යුහුසුලුව දායක වූ ආකාරය සැමටම ගෙන දුන්නේ ආදර්ශයකි. යුද්ධයේ බිහිසුණු විපත් අතරට අලිමංකඩ නැවතුම්පොළද එකතු වූයේ නැවතත් නොනැඟිටින ආකාරයට විනාශයට පත් වෙමිනි... කාලය වේගයෙන් දිව ගියේය... යුද්ධය නිමාවක් දැකිය හැකි විය; බිහිසුණු ගිනිදැල් නීවි යන්නට විය; උතුර-දකුණු යා කරමින් නැවතුණු යාල්දේවියට පණ එන්නට විය. යුහුසුලුව මේ දුම්රිය ගමනට සූදානම් වෙමින් උතුරු-දකුණු දුම්රිය ස්ථාන පෙර තිබූ පරිදිම සකස් වන්නට විය. දිවයිනේ සෑම පාසලක්ම නියෝජනය වෙමින් අලිමංකඩ දුම්රිය නැවතුම සඳහා මුදල් රැස් කරන්නට පාසල් සිසුහු මුල් වූහ.

දින සති මාස ගණන් ඉකුත් විය. පාසල් දරුවන්ට දෙමවුපියන් එදිනෙදා දෙන වියදම්වලින් සුළු මුදලක් මේ සත්කාර්ය උදෙසා කැටයකට එකතු වන්නට විය. පාසල් සිසුන් රුපියල් දෙකකින් දායක වූ අතර, ගුරුවරු රුපියල් 10 කින් දායක වූහ. 'සෙනෙහසේ තොටුපළ' වෙනුවෙන් එදා එකතු වූ මේ මුදල මිලියන 22කට අධික මුදලක් විය. අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් හා ආශීර්වාදයෙන් ඇරඹි මේ ගමනෙහි මදිපාඩුව සම්පූර්ණ කළේද අධ්‍යාපන අමාත්‍යාංශයයි. පාසල් සිසුන්ගේ සුරතින්ම මුල්ගල් තැබුණු අලිමංකඩ නැවතුම ටිකෙන් ටික ඉදි වන්නට වූයේ පාසල් සිසුන්ට අභිමානයක් කැන්දවමිනි. 'සෙනෙහසේ තොටුපළ' අද උතුරට අභිමානයක් එක් කරන්නට සමත් විය. අලංකාර ගෘහ නිර්මාණ ශෛලියකට අනුව නිම වූ මේ නිර්මාණය විස්මිතය!

පාසල් දරුවන්ගේ සුරතින් හා කැප වීමෙන් මහ පොළොවෙහි වැළලී යන්නට ඉඩ තිබූ අලිමංකඩ දුම්රිය නැවතුම්පොළ මෙතැන් පටන් මහා කාර්යභාරයක් ඉටු කරනු ඇති. එය හෙට දිනයේ උතුරු-දකුණු බිම් යා කරමින් යන ගමනට ශක්තියක්ම වනු ඇත. තිස් අවුරුදු යුද්ධයෙන් වැළලී ගිය අතීතය ගොඩඟන්නට ශක්තියක්ම වනු ඇත.

සේයාරූ - අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙනි

silumina.lk


More News »