ළමයින්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ළමා රෝහ‍ලේ වෙනසක් කරන්න මට හැකි වුණා – රිජ්වේ ආර්යා රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ හිටපු ප්‍රධානී ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රී ලාල් ද සිල්වා

2016-11-02 01:05:00       586
feature-top
අම්බලන්ගොඩ ඉපිද ධර්මාශෝක මහා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය නිමා කළ ශ්‍රී ලාල් ද සිල්වා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලැබුවේ 1981 වසරේය. අනතුරුව බදුල්ල මහ රෝහ‍ලේ සීමාවාසික පුහුණුව ලබා පළමු පත්වීම ලැබුවේ වලස්මුල්ල රෝහ‍ලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ලෙසිනි.

එතැන් පටන් මහනුවර මහ රෝහ‍ලේ, රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ, කරාපිටිය රෝහ‍ලේ රාජකාරි කළ වෛද්‍ය ශ්‍රී ලාල් ද සිල්වා මහතා එංගලන්තයේ බර්මින්හැම් රෝහලින් සහ බ්‍රයිට්න් ටවුන් රෝහලෙන් ළමා රෝග විශේෂඥ උපාධියද සම්පූර්ණ කළේය.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස අම්පාර මහ රෝහ‍ලේද, මොනරාගල රෝහ‍ලේ, කළුබෝවිල ශික්ෂණ රෝහ‍ලේද සේවය කළ ඔහු 2001 වසරේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට පත්වුණේය. එහි වසර 15ක් එකදිගට සේවය කළ වෛද්‍ය ශ්‍රී ලාල් ද සිල්වා මහතා 2016 සැප්තැම්බර් 20 වැනිදා විශ්‍රාම ගන්නා විට රෝගීන්ට මෙන්ම ළමා රෝහලටද විශාල කාර්යභාරයක් සිදුකර තිබුණි.

මෙවර ‘රුව ගුණ වරුණේ’ පළවන්නේ මුල් කාලයේ පටන් වසර 20කට ආසන්න කාලයක් ළමා රෝහ‍ලේ සේවය කළ ළමා රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ හිටපු ප්‍රධාන නිලධාරී ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රී ලාල් ද සිල්වා මහතාගේ ජීවන තොරතුරු වේ.

* උප්පැන්න සහතිකයෙන් ඔබට ලැබුණු නම?
ජුවන්වඩු රංජිත් ශ්‍රී ලාල් ද සිල්වා.

* අද ඔබව කවුරුත් හඳුනන්නේ?
ශ්‍රී ලාල් ද සිල්වා

* උපන්න ගම් පළාත?
අම්බලන්ගොඩ

* උපන් දිනය කවදාද?
1956 සැප්තැම්බර් 20

* පවු‍ලේ කීවැනියා විදිහටද ඉපදුණේ?
වැඩිමලා. මට මල්ලිලා තුන්දෙනෙක් සහ නංගිලා තුන්දෙනෙක් ඉන්නවා.

* අම්මා, තාත්තා කවුද කියමුද?
බෙනට් ද සිල්වා තාත්තා. ගර්ටි වීරසූරිය අම්මා. අද තාත්තා ජීවතුන් අතර නෑ.

* ඒ කා‍ලේ ඔවුන්ගේ රැකියා වුණේ?
තාත්තා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරියෙක්. අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. අම්මා විශ්‍රාම ගියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන්.

* කොහොමද ළමා කා‍ලේ?
නිදහස්, සුන්දර ළමාවියක් අපි වින්දා. අවුරුදු පහක් වෙනකල් මමයි, නංගියි හිටියේ අහංගම, දේනුවල ආච්චිලාගේ ගෙදර.

* ආච්චිගේ නීතිරීති තිබ්බේ නෑ?
ආච්චි තමයි අපිව බලාගත්තේ. ඒත් එහෙමට නීතිරීති තිබ්බේ නෑ.

* එහෙනම්?
ආච්චිලාගේ ගෙදර මැද මිදුලක් සහිත ලොකු වත්තක් තිබුණා මුහුද ළඟට යනකල්. අපි ඔය වත්තේ ඇති වෙනකල් සෙල්ලම් කළා. ඒ වගේම ආච්චිගෙන් ‍පොඩි ‍පොඩි දේවලුත් ඉගෙන ගත්තා.

 * ‍පොඩි ‍පොඩි දේවල් කිව්වේ?
පන්සල් යන්න, මල් පූජා කරන්න, බුදුන් වඳින්න, ‍පොඩි කා‍ලේ ඉඳලා අපට හුරුපුරුදු කළේ ආච්චි.

* ඔබ පාසල් යන්නේ?
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට. මම අවුරුදු හතරෙන් මුලින්ම අම්මත් එක්ක ඉස්කෝ‍ලේ ගියේ. අවුරුදු පහ වුණාම ආයේ 1 වැනි පන්තියට ඇතුළත් කෙරුණා.

* කොහොමද ඉතින් ඔය කා‍ලේ?
ඉගෙන ගත්තා. සෙල්ලම් කළා. රේඩියෝ සංගමයටත් එකතු වුණා. ඒ වගේම ගමේ ක්‍රීඩා සමාජවලටත් සම්බන්ධ වුණා.

* මොනවද ක්‍රීඩා කළේ?
පාසල් මට්ටමින් ක්‍රිකට්, බැඩ්මින්ටන් සෙල්ලම් කළා.

* එතකොට ක්‍රීඩා සමාජවල?
ක්‍රිකට් සෙල්ලම් කළේ. මම ක්‍රිකට්වලට තමයි හුඟක්ම කැමැති වුණේ.

* එතකොට ඉගෙනීම?
ඉගෙනගන්න දක්ෂකමක් තිබ්බා. සාමාන්‍යයෙන් මම පළමුවැනි ස්ථානයත්, දහවැනි ස්ථානයත් අතරේ හිටියා.

* වැඩිපුර කැමැති වුණේ?
ගණිතය විෂයට. සාමාන්‍යයෙන් ගණිතයට මට හැමදාම 90ට කිට්ටුව ලකුණු තිබුණා.

* ඉගෙනීමට ගෙදරින් නීතිරීති තිබුණද?
එහෙම බලපෑම් තිබුණේ නෑ. අම්මා දැනගෙන හිටියා මගේ ඉගෙනීම ගැන. දුර්වල විෂයන් තිබුණා නම් උනන්දු කළා.

* ඔබ මහන්සි වෙලා පාඩම් කළා?
ඉගෙන ගන්න කියලා ලොකුවට මහන්සි වුණෙත් නෑ. එච්චරම පාඩම් කළෙත් නෑ.

* ඒ කියන්නේ අම්මා ගුරුවරියක් වුණේ ඉස්කෝලෙට විතරයි?
ඉස්කෝලෙට විතරක් නෙවේ, මගේ ජීවිතේ ගුරුවරියත් මගේ අම්මා. උදේට හැමදාම අම්මා එක්ක ඉස්කෝ‍ලේ ගියේ. ඒ ගමනෙනුත් ඉගෙනගත්ත දේ බොහෝමයි.

* එහෙම කිව්වේ?
ගෙදර ඉඳලා ඉස්කෝ‍ලේ ළඟට කිලෝමීටර් එකහමාරක විතර දුරක් තිබුණා. කිලෝමීටර් එකහමාරක දුර අම්මයි, අපියි ඉස්කෝ‍ලේ ගියේ පයින්. ඒ යන අතරෙත් අම්මා අපිට නොයෙක් දේවල් කියලා දුන්නා, පෙන්නා දුන්නා.

* අම්මා පාස‍ලේම ගුරුවරියක් වුණු නිසා ඔබටත් විශේෂත්වයක් තිබුණාද?
එහෙම නෑ. මමත් සාමාන්‍ය ළමයෙක් විදිහට ඉගෙන ගත්තා. මට එක මතකයක් තියෙනවා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ අම්මා මට උගන්වලා තියෙනවා.

* ඔය අවධියේ ඉගෙන ගන්න අරමුණක් තිබ්බද?
ඉගෙන ගන්න කා‍ලේ කිසිම රැකියාවක් ගැන අරමුණක් තිබුණේ නෑ. ඒත් හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යා‍ලේ යන්න ඕනෑ කියලා නම් හිතේ තිබුණා.

* ඒ වගේ අරමුණක් හිතේ ඇතිවුණේ?
අම්මා හුඟක් වෙලාවට කිව්වා විශ්වවිද්‍යා‍ලේ යන්න හොඳට ඉගෙන ගන්න කියලා. ඒක හිතේ තදට තිබුණා.

* ඒ වුණාට ලොකුවට ඉගෙනීමට මහන්සි වුණේ නෑ කිව්වනේ?
ඉස්කෝ‍ලේ ඇරිලා ඇවිත් ‍පොත් ටික පැත්තකට දාලා සෙල්ලම් කළා තමයි. ඒත් ඉස්කෝ‍ලේ වැඩ ටික හරියට කළා.

* ඒ නිසා තමයි අම්මගේ බලපෑමත් අඩුවුණේ?
ඇත්තටම. ඒ කා‍ලේ රෑ දහය එකොළහ වෙනකල් පාඩම් වැඩ කළේ නෑ. අපි රෑ 9ට නිදාගත්තා. නැත්නම් රේඩියෝවේ මුවන්පැලැස්ස වගේ නාට්‍ය ඇහුවා.

* එවැනි අතීතයකුත් තිබුණා නේද?
අපේ අම්මා, තාත්තා ඇතුළු අපි හැමෝම ඒ කා‍ලේ එකට රේඩියෝවේ නාට්‍ය ඇහුවා. රේඩියෝ නාට්‍යවලින් අපි හොඳ රසවින්දනයක් ලැබුවා. හිතේ චිත්ත රූප මවාගත්තා.

* ඔබ උසස් පෙළ කරන්නේ?
විද්‍යා අංශයෙන්. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් සුදුසුකම් තිබුණ නිසා මිසක් ඒ වෙනකොටත් විද්‍යාව තෝරාගත්තේ මේ දේට කියලා අරමුණක් තිබ්බේ නෑ.

* උසස් පෙළ සමත් වෙන්නේ?
1975 අවුරුද්දේ. මම උසස් පෙළ පාස්වුණේ ලංකාවෙන් 19 වැනියා විදිහට.

* විභාගේ පාස්වුණාට පස්සේ?
වෛද්‍ය පීඨයට තේරෙනවා කියන එක පැහැදිලිව දැනුණා. ඒ වෙලාවේ හිතට ආවා වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් කියන සිතුවිල්ල.

* ඔබ සුදුසුකම් ලබන්නේ?
කොළඹ විශ්වවිද්‍යා‍ලේ වෛද්‍ය පීඨයට. 1976 අවුරුද්දේ තමයි විශ්වවිද්‍යාලෙට යන්නේ.

* කොහොමද විශ්වවිද්‍යාල ගමන?
මට නේවාසිකාගාර පහසුකම් ලැබුණේ නෑ. ඒ නිසා මුල් අවුරුදු දෙක නුගේගොඩ අපේ සීයා කෙනකුගේ ගෙදර නැවතුණා.

* පටන්ගත්ත විශ්වවිද්‍යාල ජීවිතේ?
පළමුවැනි සුමානෙම රැග් එකට අහුවුණා. එක අතකට ඒක විනෝදජනකයි. ඒකෙන් ‍‍‍ජ්‍යෙෂ්ඨ සිසුන් හඳුනාගන්නත් ලැබුණා.

* ඊට පස්සේ?
පළමුවැනි අවුරුද්ද දේශන, රසායනාගාර වැඩ තිබුණේ. ටික දවසක් යනකොට ඒ වැඩ නිසා මට ඉගෙන ගන්න හරි ආසාවක් ඇතිවුණා.

* එහෙම වුණාම?
ආසාවක් ඇතිවුණාම ඉගෙන ගන්න ඕනකමකුත් ඇතිවෙනවා. එතකොට උනන්දුවෙන් වැඩ කරන්නේ. අනිත් යාළුවොත් එක්ක එකතුවෙලා අවුරුද්ද අවසානේ විභාගෙට පාඩම් කළා.

* කොහොමද ඒ විභාගේ?
මුල් අවධියේ අපිට ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් දෙකෙන්ම දේශන තිබ්බට විභාගේ තිබුණේ ඉංග්‍රීසියෙන්. මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ.

* ඇයි ඒ?
අපේ ගමේ ඉස්කෝ‍ලේ ඉගෙන ගත්තාට මට ඉංග්‍රීසි භාෂාව ගැන හැකියාවක් තිබ්බා. විශේෂයෙන් මගේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක් වීම නිසා.

* ඒ කියන්නේ අම්මා විශේෂයෙන් ඔබට ඉංග්‍රීසි ඉගැන්නුවා?
අපි ‍පොඩි කා‍ලේ ළමයින්ට අම්මා ඉංග්‍රීසි පන්ති කළා. අපිත් ඒ පන්තිවල ඉඳගෙන ඉගෙන ගත්තා. ඒ වගේම අම්මා ඉංග්‍රීසි විෂයෙදි උදව් කළා.

* ඔහොම කා‍ලේ ගවෛද්දී?
දෙවැනි අවුරුද්දත් ඉගෙනීම්, දේශන, පාඩම් මැදින් සාමාන්‍ය විදිහට ගෙවිලා ගියා. තුන්වැනි අවුරුද්දේ සායනික පුහුණුව ඇරඹුණා.

* කොහොමද ඒ කා‍ලේ?
මම සායනික පුහුණුව ලැබුවේ ජාතික රෝහ‍ලේ සහ ළමා රෝහ‍ලේ. ජාතික රෝහ‍ලේ කායික අංශය භාරව සිටියේ මහාචාර්ය ධර්මදාස මහතා. ළමා රෝහ‍ලේ හිටියේ මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මිය.

* ඉතින් සායනික පුහුණුව ලබන්න ගත්තාට පස්සේ?
මෙච්චර කල් දැනගෙන හිටපු ‍පොතේ දැනුම කොහොමද රෝග සඳහා රෝගීන්ව යොදවන්නේ කියලා බලන්න පුළුවන් වුණා.

* විශ්වවිද්‍යාලෙදි බාහිර වැඩ කළේ නෑ?
ක්‍රිකට් සෙල්ලම් කළා, භක්ති ගීත කිව්වා. බාහිර වැඩවලට යොදවන්න තරම් ලොකු කාලයක් වෛද්‍ය සිසුන්ට නෑ. ‍පොත්පත් කියවීම්, සායනික පුහුණුව පටන් ගැනීම වගේම පාඩම් කිරීමට කාලය අවශ්‍ය වුණ නිසා.

* ඔබ වෛද්‍ය උපාධිය ලැබුවේ?
1981දී.

 * ඊට පස්සේ?
සායනික පුහුණුව පටන් ගන්නකල් ස්වේච්ඡා සංවිධානයකට සම්බන්ධ වෙලා වැඩ කළා.

* ඒ කිව්වේ?
ස්වේච්ඡා සංවිධානයකින් අක්ෂි සායනයක් කරන්න කියලා ආරාධනයක් ලැබුණා. ඒ අනුව අපි බදුලු, බණ්ඩාරවෙල, බළන්ගොඩ වගේ ලංකාවේ කඳුකර ප්‍රදේශයේ සායන පැවැත්වූවා.

* අක්ෂි සායනයක් පවත්වන්න ඔබට දැනුම?
අපට ඒ ස්වේච්ඡා සංවිධානය මගින් විශේෂ පුහුණුවක් දුන්නා ජංගම සායන පැවැත්වීම පිළිබඳව. අනික එතැන ඇස්වලට ප්‍රතිකාර කළේ නෑ.

* එහෙනම් මොකද කළේ?
ඇස්වල දුර්වලතා හඳුනා ගැනීම සහ කණ්ණාඩි අවශ්‍ය අයට කණ්ණාඩි දීමට, රෝගී තත්ත්ව හඳුනාගත්තා නම් රෝහල්වලට යොමුකළා.

* තව කවුද මේ වැඩේට එකතු වුණේ?
ඩේමියන් ප්‍රනාන්දු කියලා මගේම අවුරුද්දේ පිටවුණ මිතුරෙක්. අපි මාස දෙකක් තුනක් කඳුකරයේ අක්ෂි සායන පැවැත්වූවා.

* ඒකත් අත්දැකීමක් වෙන්න ඇති?
ඒකෙනුත් ලොකු දෙයක් ඉගෙන ගත්තා. පළමු වතාවට රෝගීන් පරීක්ෂා කරලා තීරණ ගැනීමේ හැකියාව ආවේ ඒකෙන්.

* ඊට පස්සේ මොකද වුණේ?
81 දෙසැම්බර් මාසේ සීමාවාසික පුහුණුව පටන්ගත්තා.

* ඔබ පුහුණුව ලැබුවේ?
මමත්, ඩේමියනුත් දෙන්නාම සීමාවාසික පුහුණුව ලැබුවේ බදුල්ල මහ රෝහලෙනුයි.

* ඒ තරම් දුර රෝහලක් තෝරාගත්තේ?
ඒ වෙනකොට අපි දෙන්නා ඔය පළාතේ සෑහෙන්න ඇවිද්දා. දැනුම එකතු කරගත්තා. ඒ අතරෙදි තමයි තීරණය කළේ සීමාවාසික පුහුණුව බදුල්ලෙන් අරඹමු කියලා.

* ඒකමද හේතුව වුණේ?
වෛද්‍ය පීඨයේ අපට වඩා ඉහළ වසරේ හිටපු ජයන්ත බලවර්ධනගේ ගමත් බදුල්ල. එහේ ගෙවල් දොරවල් තිබුණා.

* එහෙම වුණාම?
ඉතින් අපි ඔය කාරණා හින්දා බදුල්ල වගේ කොළඹින් පිට රෝහලක් තෝරාගත්තා.

* ඊට පස්සේ?
මේ කා‍ලේ වාට්ටුවට සීමාවාසික වෛද්‍යවරු දෙන්නයි හිටියේ. ඒ හින්දා අපට දිගටම ගොඩක් වැඩ කරන්න සිද්ධ වුණා. ඒ වගේම හුඟක් දේවලුත් ඉගෙන ගත්තා.

* ඔබ පුහුණුව ලැබුවේ?
විශේෂඥ වෛද්‍ය ටී.ඒ.ඩී. ද සිල්වාගෙන් කායික පුහුණුවත්, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වී.එන්. ලියනගේගෙන් ප්‍රසව හා නාරිවේද පුහුණුවත් ලැබුවා.

* සීමාවාසික පුහුණුව අවසානයේ?
වලස්මුල්ල රෝහ‍ලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ලෙස පත්වුණා. මගේ පළමු පත්වීමත් මට අභියෝගයක් වුණා. පළමු වතාවට මට රෝහලකම වගකීම දරන්න සිද්ධ වුණා.

* ඒක ඔබේ ජීවිතයට බලපෑවේ?
නරකක් වුණේ නෑ. රෝගීන් එක්ක වගේම සමාජය එක්කත් වැඩ කරන්න සිද්ධ වුණා. ඒ වගේම මටත් සහකාර දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී එච්.ඒ. මහින්දටත් හරිම කාර්යබහුල කාලයක් වුණා.

* එහෙම වැඩ කරද්දී?
අවුරුදු දෙකකින් මහනුවර මහ රෝහ‍ලේ  ළමා වාට්ටුවේ වෛද්‍යවරයෙක් ලෙස පත්වුණා. මට ළමා රෝග අංශයට කැමැත්තක් ආවේ මහනුවර ළමා වාට්ටුවේ වැඩකරද්දියි.

* ඊට පස්සේ මොකද කළේ?
විශේෂඥ උපාධියට ළමා රෝග පිළිබඳව කරන්න ඕනෑ කියලා හිතුවා. ඒ සඳහා ඇතුළත් වීමේ විභාගය පාස්කරගන්න තනියම ‍පොත්පත් කියවමින් පාඩම් කළා.

* පාඩම් කරලා?
1990දී ඇතුළත් වීමේ විභාගය සමත්වුණා. ඒ අනුව ළමා රෝග විශේෂඥ උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් හදාරන්න පටන්ගත්තා. ඒ නිසා 90දී මම කොළඹට ආවා. ළමා රෝහ‍ලේ වාට්ටුව භාර වෛද්‍යවරයා හැටියට ආවා.

* ඒ ඇවිත්?
ඒ එන්නේ පශ්චාත් උපාධියේ පුහුණු වෙන කාලය සඳහා. ළමා රෝග විශේෂඥ වෛද්‍ය මැක්සි ප්‍රනාන්දුපුල්‍ලේගෙන් පුහුණුව ලබන්නයි.

* ඒ කා‍ලේ කොහොමද?
අවුරුදු හතරක් ළමා රෝහ‍ලේ හිටියා. එයින් අවුරුදු දෙකක්ම දැඩි සත්කාර ඒකකයෙයි හිටියේ. දැඩි සත්කාර ඒකකයේ වැඩ කිරීම ගැන ආසාවක් ඇතිවෙන්නේ මේ කා‍ලේ.

* ඒක විශේෂ රාජකාරියක්නේ?
ඒ කා‍ලේ එතැන ප්‍රධානියා වුණේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සුනිල් විජේසූරිය. ඔහු තමයි මාව ඒ අංශයට උනන්දු කළේ, ආසාවක් ඇතිකළේ.

* ඊට පස්සේ?
ගාල්ල කරාපිටිය රෝහ‍ලේ වැඩ කළා. මේ කා‍ලේ මගේ පශ්චාත් උපාධියේ විභාග දෙකකින් සමත් වුණා. ලංකාවේ පශ්චාත් උපාධියේ පියවරවල් මං අවසාන කළා.

* ඊළඟට කරන්න තිබුණේ?
විදෙස් කොටස. ඒ නිසා ඒත් එක්කම එංගලන්තයේ බර්මින්හැම් රෝහලට ගියා.

* කොහොමද එහේ වැඩ කරපු කා‍ලේ?
බර්මින්හැම් රෝහලෙත් බ්‍රයිට්න් ටවුන් රෝහලෙත් අවුරුදු දෙකක් පුහුණු වුණා.

* ළමා රෝග සම්බන්ධවමයි?
ළමා රෝග පිළිබඳවත්, නොමේරූ ළදරු ඒකකවල වැඩ කිරීමත් ඉගෙන ගත්තා. ඒ සම්බන්ධව විශේෂ දැනුමක් ලබාගත්තා.

* ඔහොම කාලය ගවෛද්දී?
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට මම ලංකාවට ආවා.

* ඒ ඇවිත්?
මට තාවකාලික පත්වීමක් ලැබුණා අම්පාර රෝහලට. මාස තුනක් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා විදිහට අම්පාර රෝහ‍ලේ වැඩ කළා.

* ඒක තාවකාලික පත්වීමක් වුණේ?
ඔය විදිහට ආවාම මුලින්ම විශේෂඥ වෛද්‍යවරු අඩු තැන්වලට තමයි තාවකාලිකව දාන්නේ. ඊට පස්සේ මං මොනරාගල රෝහ‍ලේ මාස 6ක් හිටියා.

* දුෂ්කර රෝහල්වලින් ඉගෙන ගත්තේ?
අඩු පහසුකම්වලින් වැඩ කරන හැටි දුෂ්කර රෝහල්වලින් ඉගෙන ගත්තා.

* කොළඹට එන්නේ?
කළුබෝවිල ශික්ෂණ රෝහලට. ඒකත් තාවකාලික පත්වීමක්. මාස 9ක කාලයක් එහි හිටියා. 15 වාට්ටුවේ එක කොටසක් මට භාරවුණා. ඒ කා‍ලේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අමතරව තව වැඩක් කළා.

* ඒ මොකක්ද?
කනිෂ්ඨ වෛද්‍යවරුන්ට සීමාවාසික පුහුණුවත්, වෛද්‍ය පශ්චාත් උපාධිය හදාරන වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුවත් දුන්නා.

* ඔය විදිහට වැඩ කරද්දී?
2001 මුලදී ළමා රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකය භාරව පත්වුණා. නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සුනිල් විජේසූරියගෙන් පස්සේ ගත්තේ. මම තමයි ළමා රෝහ‍ලේ දැඩි සත්කාර ඒකක ප්‍රධානීකමට පත්වුණු පළමුවැනි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා.

* කොහොමද එතැන?
මම භාරගන්න කොට දැඩි සත්කාර ඒකකයට තිබුණේ ඇඳන් 6යි.

* ඒ තරම් අඩු ප්‍රමාණයක්?
ඒකෙන් අසාධ්‍ය ලෙඩ්ඩු සීමිත ගාණකට තමයි අවස්ථාව තිබුණේ. ලෙඩ්ඩු ගත්තේ ඇඳන් ගාණටනේ. ඇඳන් සීමාවීමෙන් ලෙඩ්ඩුන්ට තව අවාසියක් වුණා.

* ඒ මොකක්ද?
දැඩි සත්කාර ඒකකයට එන බොහෝමයක් ලෙඩ්ඩුන්ගේ තත්ත්වය අන්තිම අසාධ්‍ය වුණා. හේතුව පුළුවන් තරම් අමාරු වෙනකල් ඉඳලා එවන නිසා. එහෙම වෙන්නේ ඇඳන්වල ඉඩ නැති නිසයි.

* ඔබ ඒකට ප්‍රතිකර්මයක් කළාද?
ඒකට ප්‍රතිකර්මය වුණේ ඇඳන් ගණන වැඩි කරන එක. මම ඇවිත් අවුරුදු දෙක තුනක් යනකොට ඇඳන් එකොළහකට වැඩි කරගත්තා.

* ඒ කොහොමද?
රෝහ‍ලේ අධ්‍යක්ෂතුමා හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන්. ඒ වගේම ඒ ඇඳන් සඳහා කාර්ය මණ්ඩලයත් ලැබුණා.

* ඔබ හොඳ සේවයක් කරලා තියෙන්නේ?
ඒ වගේම පිටරටවල්වල තියෙන හදිසි ප්‍රතිකාරවලට උදව් වෙන වැඩ පුහුණුව, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ටත්, කාර්ය මණ්ඩලයටත් ලබාදුන්නා.

* ඒකේ ප්‍රයෝජනය?
ලෙඩෙක්ගේ අසාධ්‍ය තත්ත්වය කෙළින්ම අඳුනාගන්න පුළුවන් වීම. එවැනි පාඨමාලා කීපයක් හඳුන්වා දුන්නා.

* මොනවද ඒවා?
ඉපදුණු විගසම දරුවෙක් ප්‍රකෘතිමත් කරන්නේ කොහොමද කියන පාඨමාලාව එංගලන්තයත් එක්ක එකතුවෙලා පටන්ගත්තා 2006දී. ඒ පාඨමාලාව හඳුන්වා දුන්නේ වෛද්‍යවරුන්ට. යුනිසෙෆ් ආයතනයේ සහ ශ්‍රී ලංකා ළමා රෝග සංගමයේ සහයෝගය ලැබුණා.

* අදටත් මේ පුහුණුව ලබාදෙනවාද?
එදා ඉඳන් දිගටම අද දක්වා කෙරෙනවා අවුරුදු 10ක් පුරා. මාසෙකට වැඩමුළු තුනක් හතරක් කෙරෙනවා. දැන් වෛද්‍යවරුන්ට විතරක් නෙවේ හෙදියන්ට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ටත් ඒ පුහුණුව ලබාදෙනවා.

* එහෙම වෙද්දී?
තව පාඨමාලාවක් මම හඳුන්වලා දුන්නා ඔස්ට්‍රේලියාවත් එක්ක එකතුවෙලා ළමයි ප්‍රකෘතිමත් කරන්නේ කොහොමද කියලා.

* ඒ පාඨමාලාවත් සාර්ථකයි?
2010 ඉඳලා දිගටම කරගෙන යනවා. ඒ අතරට ඔස්ට්‍රේලියාවෙනුත් අවුරුද්දකට දෙවරක් එනවා මේ පුහුණුව ලබාදෙන්න.

* ඔබ රෝගීන් සහ රෝහල ගැන ගොඩක් උනන්දු වෙලා?
කාලෙන් කාලෙට දැඩි සත්කාර ඒකකයේ උපකරණත් වෙනස් කරලා පිටරටවල තියෙන පහසුකම්ම ලංකාවටත් ලබලා දෙන්න මහන්සි ගත්තා. ඒ වගේම මම බාහිර රෝගී අංශයේ ප්‍රාථමික ප්‍රතිකාර අංශයත් දියුණු කළා.

* ඒ කොහොමද?
බාහිර රෝගී අංශයේ ප්‍රාථමික ප්‍රතිකාර අංශයේ තිබුණේ ඇඳන් දෙකක් සහිත ‍පොඩි කාමරයක්. එතැන තමා රෝගීන් බැලුවෙත්, අසාධ්‍ය වෙන රෝගියෙක් මුලින්ම තිබ්බෙත්.

* එහෙම වුණාම?
මම රෝහල් අධ්‍යක්ෂතුමා එක්ක එකතුවෙලා ඒක ඇඳන් 10ක් සහිත අංශයක් කළා 2015 ජනවාරිවල. ඒ එක්කම 2016දී ඒ අංශයට විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනකුත් ලැබුණා.

* මේ අංශයේ වාසිදායකත්වය?
ඕනෑම රෝගියෙක් පිටින් ගෙනෙද්දී විශේෂඥ වෛද්‍යවරයෙක් මුලින්ම බලනවා. අසාධ්‍ය තත්ත්වයේ රෝගියෙක් ගෙනාවොත් මේ අංශයෙන් ප්‍රතිකාර කරලයි වාට්ටුවට දාන්නේ.

* රෝගියාගේ පැත්තෙන් හොඳ ආරක්ෂාවක් ඒක?
අනතුරුදායක තත්ත්වය අවම වෙනවා ඒකෙන්. ඒ එක්කම අවශ්‍යම රෝගීන් පමණක් ඇතුළත් කෙරෙනවා, අනවශ්‍ය විදිහට ඇඳන් පිරෙන එකත් වැළකුණා.

* ඔබට මේ දේවල් කරන්න ප්‍රතිපාදන?
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වගේම දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු සහයෝගයෙන්.

* ළමයින්ට ප්‍රතිකාර කිරීම තුළ වෙනසක් දැනුණාද?
රෝගීන් කවුරුත් එකයි. අපි හැමවිටම උත්සාහ කරන්නේ ඔවුන් රෝගී තත්ත්වයෙන් මුදවලා ඉක්මනින් සුවපත් කරන්න.

* ඒ කියන්නේ දරුවන් තුළ ඔබට විශේෂත්වයක් දැනුණේ නෑ?
එහෙම කියන්න බෑ. හොඳට හිටපු පුංචි දරුවෝ අසාධ්‍ය වෙලා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළාම සමහර ළමයි නැතිවුණා. එතකොට මගේ හිතත් කම්පා වුණා, විශේෂයෙන් ඩෙංගු රෝගීන්.

* ඔබ විවාහ වෙන්නේ?
1994 ජනවාරි 27

* ඇය කවුද?
ඡායා ද සිල්වා. වෛද්‍යවරියක්, කළුබෝවිල දියවැඩියා සායනයේ.

* දූ දරුවන්?
දෙන්නයි. චාරු ද සිල්වා පුතා. රචිතා ද සිල්වා දුව.

* ඒ අයගේ තොරතුරු?
පුතා මෙල්බර්න් නුවර ලැට්රොපෙස් විශ්වවිද්‍යාලයේ වාණිජ උපාධියක් හදාරනවා. දුව මෙවර උසස් පෙළ විභාගය ලියලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා.

* ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වීම ගැන හිතෙන්නේ?
මම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වීම ගැන සතුටුයි. ඒ නිසා මට මේ රටේ දරුවන්ට විශාල සේවයක් කරන්න පුළුවන් වුණා.

* ඔබ ළමා රෝහ‍ලේම දීර්ඝ කාලයක් හිටියා?
මම අවුරුදු 20කට ආසන්න කාලයක් ළමා රෝහ‍ලේ ඉඳලා තියෙනවා. 2016 සැප්තැම්බර් 20 තමයි මම විශ්‍රාම ගත්තේ.

* විශ්‍රාම ගත්තාට පස්සේ?
මම පටන්ගත්ත පාඨමාලාවන්ට උදව් කරනවා මාසෙකට දවස් 6ක් 7ක් වගේ. පශ්චාත් වෛද්‍ය අධ්‍යාපන ආයතනයේ පාඨමාලා පුහුණු කරන කමිටු දෙකක ඉන්නවා. මම ලංකාවට හඳුන්වා දුන් පාඨමාලා ඔස්ට්‍රේලියාව හා එක්ව මාලදිවයිනෙත් කරනවා.

* ගෙවා නිම කළ කාලය ගැන හිතෙන්නේ?
සතුටුයි. ළමයින්ගේ සුබසිද්ධිය වෙනුවෙන් මට ළමා රෝහ‍ලේ වෙනසක් කරන්න පුළුවන් වුණා.

.rivira.lk


More News »