හොරෙන් අලි අල්ලන
මහා ජාවාරමේ ඇතුලු පැත්ත මෙන්න...

2016-11-01 03:57:00       662
feature-top
එතැන හිටිය එක්‌කෙනෙක්‌ රටම දන්න මහත්තයෙක්‌...
එතැන වනජීවී නිධාරීන් දෙදෙනෙකුත් හිටියා...
අපිට කන්න දුන්නෙ තොණ්‌ඩුව කපපු කෙසෙල් ගෙඩි...

අලි ගැටලු ඉවරයක්‌ නැත. කාලයක්‌ තිස්‌සේ සිට කරගෙන ගිය අලි හොරකම් සියල්ල දැන් හෙළිවෙමින් තිබෙන්නෙය. අලි ජාවාරම්වලට සම්බන්ධ ගිහි, පැවිදි දෙපාර්ශ්වයටම එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක වෙමින් තිබේ. පන්සල්, අසපු, දේවාල සහ පුද්ගලික නිවාසවල සිටින නීති විරෝධී අලි, ඇතුන් වනජීවී භාරයට ගන්නා අයුරු දැන් සමාජයට විශ්මය දනවන්නක්‌ නොවන තරම්ය.

කතරගම දේවාලයේ සිටි 'භානු' අලි පැටියා ද උසාවි නියෝගයකට යටත්ව වනජීවී නිලධාරීන් විසින් පසුගිය දිනක පින්නවල අලි අනාථාගාරයට ගෙන ගිය සිද්ධිය ද සමාජයේ කටගැස්‌මක්‌ නොවිණි. මාධ්‍ය සංදර්ශනයක්‌ බවට පත්ව ඇති දේශපාලන සහ අලි හොරු ගැන දැන් සමාජයට විහිළුවකි. ඒ කොමඩි සීන්වලින් මුළු රටම කුල්මත් වී සිටින වටපිටාවක යාල කැලේ හොරෙන් අලි අල්ලනවා දෑසින් දුටු පුද්ගලයන් දෙදෙනකු අපට හමු විය. ඒ පසුගිය දිනක බුත්තල, කතරගම ප්‍රදේශයන්හි කළ සංචාරයක්‌ අතරතුරදීය. ඔවුහු අපට හොරෙන් අලි අල්ලන හැටි විස්‌තර කළහ. ඔවුන් කියන කතාවට අනුව අලි ජාවාරමට සම්බන්ධ මහ එවුන් තවමත් නිදැල්ලේය. එහෙයින් මේ කතාවෙන් මහ අලි හොරු ගැන යම් හෝ ඉඟියක්‌ පළ වුණොත් මේ අසරණ ගැමියන්ට විසුමක්‌ නැත. සද්ධන්තයන්ට පත්තු කරන ගිනි බට මේ අසරණයන්ගේ ඔලු ගෙඩි කුඩු පට්‌ටම් කරගෙන පත්තුවීමට ද ඉඩ තිබේ. දින ගණන් මහ කැලේ කරක්‌ ගසමින් බිං කොහොඹ එකතු කර ජීවිත ගැට ගසාගෙන සිටින මේ අසරණයන්ගේ ජීවිතවලට හානියක්‌ වුවොත් එය අපට ද සාපයකි. එහෙයින් අසරණ මිනිසුන්ගේ නම්, ගම් සඳහන් නොකර කතාව පමණක්‌ සටහන් කර තැබීම ඔවුන්ගේ සහ අපගේ ද කැමැත්තය. මෙතැන් සිට පෙළගැසෙන්නේ අලි හොරකමේ තිත්ත ඇත්තය.

''අපි මේ කැලේ කරක්‌ නොගහපු තැනක්‌ නෑ. පුංචි කාලේ හොරා පොලිස්‌ කළෙත් මේ මහා කැලේ තමයි. දැන් රස්‌සාවට කරන්නෙත් කැලේ ගිහින් බිංකොහොඹ එකතු කරන එක. අපේ බඩවියත රැකිලා තියෙන්නෙත් මේ කැලේට පිංසිද්ධ වෙන්න. ඒ නිසා අපි මේ කැලේට පණ ඇරලා. මේ කැලේ විනාශ කරනවා අපිට බලාගෙන ඉන්න බෑ. පහුගිය කාලේ බැකෝ දාගෙන එක, එක කණ්‌ඩායම් නිධන් හෑරුවා. ඒ පැත්ත පළාතකට කාටවත් යන්න දුන්නෙ නෑ. ඒ නිධන් හොයපු උන්ම තමයි අලි පැටව්න්වත් කුදලගෙන යන්නෙ. අලි කොල්ලය නම් මහ පොළොව නූහුලන අපරාධයක්‌ මහත්තයෝ... සමහර වෙලාවට පැටිය ගන්න ඇතින්න මරනවා. කැලේ කරක්‌ ගහන කොට කිහිප වතාවක්‌ම ඔය පව්කාර වැඩේ ඇහැ ගැහිලා තියෙනවා. ගහකට මුවා වෙලා හොරෙන් බලාගෙන ඉන්නවා ඇරෙන්න කාට කියන්නද...

දවසක්‌ අපි බිං කොහොඹ ගලවන්න ගිහින් වැවක්‌ කිට්‌ටුව වාඩියක්‌ ගහගෙන හිටියා. යන්තම් කළුවර වැටෙනකොට අලි රංචුවකුත් වතුර බොන්න වැවට බැස්‌සා. රංචුවේ තුන්පත් රැනකුත් හිටියා. (මහත්තෙලාට කිව්වට වැවේ නම පත්තරේට දාන්න එපා. එහෙම වුණොත් අපිව මාට්‌ටු වෙනවා...) ඒ එක්‌කම වාහන පේළියක්‌ ආවා. සේරම ඩිපෙන්ඩර් වර්ගයේ සුපිරි වාහන. හතරදෙදෙනෙක්‌ වාහනවලින් එළියට බැස්‌සා. තුන්දෙනකුගේ අතේ තුවක්‌කු තිබුණා. අපි දන්න කියන වනජීවී නිලධාරීන් දෙදෙනෙකුත් ඒ අතර හිටියා. ඒ එක්‌කෙනෙකුගේ අතේ අලින්ට සිහිය නැති කරන්න බෙහෙත් විදින තුවක්‌කුවක්‌ තිබුණා. වෙන්න යන්නෙ මොකක්‌ද කියලා අපි හොඳට ඇහැ ගහගෙන හිටියා. වාහන නතර කරලා ලයිට්‌ නිවලා ටික වෙලාවක්‌ යනකොට අලි ටික විසිරුණා. තුන්පත් රෑනේ හිටපු අලි පැටියා වතුරේ සෙල්ලම් කර, කර හිටිය නිසා ලොකු උන් දෙන්නත් ඒ කිට්‌ටුවෙන් කරකැවුණා. වාහනවල ආපු අයත් වැව් කණ්‌ඩියේ ඉඳගෙන තුවක්‌කු මානගෙන කුරුමානම් අල්ලනවා. ඊට ටික වෙලාවකින් ඇතින්නට වෙඩිල්ලක්‌ පත්තු කළා. වැදුන ගමන් ඇතින්න එහේට, මෙහේට දුවලා දඩස්‌ ගාලා වැටුණා. මරන්න නෙමෙයි, වෙඩි තිබ්බේ සිහිය නැති කරන්න.

සිහිය නැතිව වැටිලා ඉන්න ඇතින්නවත් දම්වැලක්‌ දාලා ගහකට අල්ලලා බැන්දා. අලි පැටියා වැවේ හිටිද්දීම දම්වැල් දාලා ගහකට තියලා බැන්දා. සත්තු දෙන්නව බැන්දට පස්‌සෙ වාහනවල හිටපු අනිත් අයත් බැස්‌ස. කිරි අප්පේ... එතැන හිටපු එක්‌කෙනෙක්‌ මුළු රටම දන්න උත්තමයෙක්‌. ඒ මහත්තයාව දැක්‌කා විතරයි අපේ හිතේ තිබුණු බයත් නැති වෙලා ගියා. අපිත් ගුලි වෙලා හිටපු තැන්වලින් නැඟිටලා ගිහිල්ලා ඒ උත්තමයත් එක්‌ක කතා කළා...

'බිං කොහොඹ ටිකක්‌ එකතු කරගෙන යන්න ආවා සර්...'

'හොඳයි... හොඳයි... රෑට ගෙවල්වලට යන්නෙ නැද්ද...'

නෑ සර්. හෙටත් ඉඳලා ටිකක්‌ වැඩියෙන් එකතු කරගෙන යනවා...'

ඒ උත්තමයා අපිත් එක්‌ක බිං කොහොඹවල ගුණ අගුණ, කැලේ විත්ති ටිකක්‌ කතා කර, කර හිටියා. ඒ අතරේ වාහනවල ආපු අනිත් අය කඩිමුඩියේ අඩිපුඩිවලට සෙට්‌ වෙනවා.

'ආ... ඔයාලත් මොනවහරි කරනවද...'

නෑ මහත්තයො අපි රොන් ටිකක්‌ උරලා ඉන්නෙ...'

'අපි ළඟ නම් මල් නෑ. ඔයලා ළඟ තියෙනවා නම් අපිටත් දෙන්න මෙතැනත් මීමැස්‌සො ටිකක්‌ ඉන්නවා...'

පස්‌සෙ අපි ළඟ තිබුණු මල්වලින් ටිකක්‌ ඒ මහත්තයගේ අතට දුන්නා. බල කරපු නිසාම අපි දෙන්නත් ෂොට්‌ තුන හතරක්‌ දා ගත්තා.

'මොකද සර් මේ අලින්ව බැඳලා තියෙන්නෙ...'

මේ වනජීවී කට්‌ටිය මේ සතුන්ට බෙහෙත් කරන්න ආවා. අපිත් ආතල් එකට අලි මෙල්ල කරන හැටි බලන්න ආවා...'

හොඳයි සර්... තව ටික වෙලාවක්‌ යනකොට වැව් පිටිය පිරෙන්න සත්තු බහිනවා... හරි ලස්‌සනයි...'

'ඇත්තද... අපි එච්චර වෙලා ඉන්නෙ නෑ. දැන් පිටත් වෙනවා. සත්තු දෙන්නට බෙහෙත් කරන්න වනජීවී මහත්වරු උදේ පාන්දර එයි...' ඔයාලා රෑටත් ඉන්නවානේ මේ පළතුරු ටිකකුත් ගන්න කියලා අපේ අතට පළතුරු ගොන්නක්‌ දුන්නා.

අපි ඒ පළතුරු ටිකත් අරගෙන වාඩියට ගියා. වාහන සේරම යන්න ගියා. ඒ ගිහින් ටිකකට පස්‌සෙ මහ වැස්‌සක්‌ කඩා පාත් වුණා. අඩු කළේම නෑ. එකම විදිහට වැස්‌සා. පැය දෙක, තුනක්‌ යනකොට අපේ වාඩියටත් වතුර දැම්මා. පස්‌සේ මහ වැස්‌සෙම ගහක්‌ යටට ගිහිල්ලා ඉටිකොළ කෑලි දෙකක්‌ අටවගෙන හිටියා. වැස්‌සෙ තෙමිලා වෙරිත් හිඳුණා. ඒත් වැස්‌ස අඩු කරන පාටක්‌වත් නෑ. අපි දෙන්නටම තද බඩගින්නක්‌ ආවා. අර මහත්තයා දීලා ගිය පළතුරු ටික කන්න ගත්තා. පළතුරුවලින් තින්නෝරු සුවඳක්‌ ආවා. මම කෙසෙල් ගෙඩියක්‌ අතට ගත්තා. බලනකොට මහත්තයො මුස්‌ලිම් ආගමේ වගේ තොණ්‌ඩුව කපපු කෙසෙල් ගෙඩි. ඒ වාහනවලින් ආපු එය දේවාලවලට තියන පූජා වට්‌ටිවල පළතුරු තමයි අරගෙන ඇවිත් තිබුණේ.

වැස්‌ස පායලා, එළිය වැටිලා වැව් පිටිය දිහාට යනකොට මගෙ පපුව හෝස්‌ ගාලා පත්තු වෙලා ගියා මහත්තයො... වැවට වතුර පිරිලා අලි පැටියා වතුරෙ ගිලිලා මැරිලා. වැටිලා හිටිය ඇතින්නගෙත් බාගයක්‌ වතුරෙන් යට වෙලා. ඌත් මැරිලා. මේ ඇත්තමයි කියන්නෙ මහත්තයො අපිට ඇඬුණා. අපි දෙන්නා පැයක්‌ විතර අලි පැටියව අත ගගා හිටියා. ඌට පණ දෙන්න ක්‍රමයක්‌ තිබුණා නම් මගේ හුස්‌ම ටික දෙනවා. අපිට කරන්න කිසිම දෙයක්‌ තිබුණේ නෑ. බිං කොහොඹ එකතු කරන එකත් පැත්තකට දාලා ගෙවල්වලට ආවා. ඒ ඇවිල්ලත් ටික දවසක්‌ යනකම් ඒ සත්තු දෙන්න මැරිලා හිටිය හැටි මතක්‌ වුණා. මාසයක්‌ විතර යනකම් අපි කෑලේට ගියෙත් නෑ. ඒත් අපි ඒ දැකපු සිද්ධිය ගැන කෙළපිඬක්‌ හැලුවේ නෑ.

අර මහත්තයා කිව්වේ අලි පැටියට වෙදකම් කරන්නයි දම්වැල් දැම්මේ කියලා. මගෙ අම්මපා මහත්තයො... ඒ සතාට ඉහෙන් බහින රෝගයක්‌ තිබුණේ නෑ. වැව් පිටියට ආපු වෙලාවේ ඉඳලා එහේ, මෙහේ දුව පැනලා සෙල්ලම් කළා. කඩියා වගෙ හරිම දඟයි. ඒ වගේම අලි රංචුවේ හිටිය හුරතලා. ඒ අලි පැටියව දැක්‌ක ඕන කෙනෙකුට ආසා හිතෙනවා. වාහන ටික ගියෙත් අලි පැටියා ගෙනියන්න උදේ එන්න තමයි. ඒත් වැහැපු වැස්‌සට පාරවල් යට වෙලා. වාහන යන්න බෑ. ඒකෙන් උන්ට එන්න බැරි වුණා. අලින්ට හිරිවැටෙන්න බෙහෙත් විද්දාම සිහිය ගන්නත් බෙහෙතක්‌ විඳින්න ඕනා...

හැමෝටම අලින්ව මෙල්ල කරන්නත් බෑ මහත්තයො... ඒකට අලි සාස්‌තරය දන්න අය වෙන්න ඕනා. ඒ නිසා අලි දඩයම හැමෝම කළේ නෑ. ඔය මහ කැලෑවල අලි ටික ඇල්ලුවේ එකම කණ්‌ඩායමක්‌. අලි හොරකමට ප්‍රසිද්ධ ඔය කොළඹ ඉන්න උන් ටික තමයි මේ කැලේ අලි ටික විනාශ කළේ. එදා අර ඇතින්නයි, පැටියයි මරලා දාපු තැනත් දැන් ඔය අලි හොරකම්වලට සම්බන්ධයි කියලා නම් දරා සිටින පුද්ගලයොත් හිටියා. දැන් ටීවීවලින් ඒ මුහුණු පෙන්නකොට එදා අඩි පුඩි ගහපු හැටි අපිට මැවිලා පේනවා.

තව දවසක්‌ කැලේ ඇවිදගෙන එනකොට පස්‌ හය දෙනෙක්‌ පුංචි අලි පැටියෙක්‌ උස්‌සලා ලොරියකට දානවා අපි දැක්‌කා. ලොරිය ළඟට ගිහින් මේ සතාට මොකද වෙලා තියෙන්නෙ කියලා අපි ඒ අයගෙන් ඇහුවා...

'මෙයාගේ අම්මා මැරිලා. මෙයාට බෙහෙත් කරන්න ඕන...' කියලා ඒ අය අලි පැටියවත් පටවගෙන යන්න ගියා. වනජීවී එකෙත් සමහර නිලධාරියො අලි හොරුන්ට සපෝට්‌ කළා. එක පාර සල්ලි කුට්‌ටි හම්බ වෙනකොට උන් සත්තු ගැන හිතුවේ නෑ. ඉස්‌සර අලින්ට බෙහෙත් කරනවා කියලා මහ කැලේ දවස්‌ ගණන් වාඩි ගහගෙන අලි දඩයම් කළා. ඒ කාලේ හඳපානාගල පැත්තෙ අලි, ඇත්තු රංචු පිටින් හිටියා. ඒ සේරම නැති කළේ ඔය අලි හොරු ටික. දඩයමේ යන කිසිම කෙනෙක්‌ අනවශ්‍ය විදිහට සතෙකුට පත්තු කරන්නෙ නෑ. කුරුමානම් අල්ලලා මෝරපු සතෙකුට තමයි දඩයම්කාරයො පත්තු කරන්නෙ. අලි හොරුන් එහෙම තේරීමක්‌ කළේ නෑ. උන්ගේ ඔලුවේ තියෙන්නෙ පැටියා ඩැහැගන්න හැටි විතරයි. අම්මා, අප්පා මුළු වරිගෙම මරලා හරි උන් පැටිය අරගෙන යනවා. දළ ගන්න මහා ඇත්තු මැරුවා. ඉස්‌සර කැලේ යනකොට වෙඩි වැදිලා මැරිලා ඉන්න අලි අපි කොච්චර නම් දැකලා තියෙනවද... ඒවා ගැන කිසිම කෙනෙක්‌ හෙව්වේ නෑ. කතා කරන්නත් බය වුණා. බඩ තියෙන මහත්තුරු පෙරටු කරගෙන සුපිරි වාහනවලින් යනකොට පොලිසියේ අයත් සැලියුට්‌ ගැහුවා. මහ දවල් අලි පටවගෙන ගියා. මොන බාධකයක්‌වත් නෑ. එහෙම ගෙනිච්ච අලි තමයි දේවාල, අසපුවල හිටියේ.

පෙරහැරවලට අලි නෑ කියලා පුදුම වෙන්න ඕන නෑ. ඒ කාලේ අලි, ඇත්තු මරපු හැටියට මෙහෙමහරි ඉන්න එක ගැන අපි සතුටු වෙන්න ඕන. ඉස්‌සර පන්සල්, දේවාලවලට අලි, ඇතුන් දුන්නෙ රජය මැදිහත් වෙලා අලියගේ උස, නම, ගම සේරම ඇතුළත් කරලා සන්නසකින් පරිත්‍යාග කරන්නෙ. ඊට පස්‌සෙත් වනජීවී නිලධාරීන් ඇවිත් පරිත්‍යාග කරපු සතාගේ සුවදුක්‌ සොයා බලනවා. ඒ විදිහට තමයි ඉස්‌සර වෙහෙර විහාරවලට, දේවාලවලට අලි ගත්තෙ. එහෙම නැතිව අම්මව මරලා පැටියා අරගෙන ගිහින් දේවාලෙට පූජා කළේ නෑ. අදටත් ඒ විදිහට රජය ඉදිරිපත් වෙලා නීත්‍යනුකූලව අලි, ඇතුන් පන්සල්, දේවාලවලට දුන්නට ගැටලුවක්‌ නෑ. මොකද අනාථ කඳවුරුවල ඉන්න අලි, ඇතුන් එක පාරටම පෙරහැරකට ගෙනත් දාන්න බෑ. එහෙම වුණොත් වෙන්නෙ මහ විනාශයක්‌. මුලින්ම ඒ සතාව පුහුණු කරන්න ඕනෑ. අලියෙක්‌ව පුහුණු කරනවා කියන්නෙ ලේසි පහසු රාජකාරියක්‌ නෙමෙයි. අලි සාස්‌තරය හොඳට දන්න නිසා තමයි මම එහෙම කිව්වේ...

''දැන් නම් මහත්තයො අලි මරණ පව්කාර වැඩ කෙරෙන්නෙ නෑ. ඒත් දැන් ඉස්‌සර වගේ නෙමෙයි යාල කැලේ අලි, ඇත්තු අඩුයි...'' නම්, ගම් හෙළිදරව් කිරීමට අකමැති ඒ ගැමියන්ගේ කතාව අවසානය.

අලි හොරකමේ ලොකු උන් ක්‍රියාත්මක වූ හැටි තේරෙන භාෂාවෙන් ගැමියන් දෙදෙනා අපට විස්‌තර කළහ. ඒ කතාව ඔවුන්ගේ භාෂාවෙන්ම අපි ඔබට කීවෙමු. මේ කියන කතාව යාල අවට මායිම් ගම්මානවල මිනිසුන්ට නම් අමුතු කතාවක්‌ නොවේ. අලි හොරකමේ යෙදුණු මහ එවුන් ගැන ඒ මිනිස්‌සු හොඳින් දැන සිටින්නාහ. එහෙත් තවමත් අලි ජාවාරම සම්බන්ධයෙන් නීතිය ඉදිරියට දක්‌කන්නේ හාල් කෑලිය. මහ එවුන්ගේ නමක්‌ හෝ කියෑවෙන තැනක්‌ නැත. රට්‌ටුන් කේන්ති ගස්‌සන්නේ යහපත් පාලනයක්‌ තුළත් නීතිය වටේ යන විටය.

divaina.com


More News »