අපි ඉන්නේ සෝදිසියෙන් මේ රාජකාරිය පින් කෙතක්

2016-10-27 11:52:00       581
feature-top
මහ සයුර කාටත් සතුට උපදවන්නකි. සිත්කලු - නෙත්කලු දසුන් ‍මවනා මහ සයුරට කවුරුත් එක සේ ප්‍රිය කරති. පිම්මේ වෙරළ කරා දිව එන රළ පෙළ - ආපසු දියඹ කරා ඇදී යන සන්සුන් ලතාව කවි සිතක සිත්තම් මවයි. එහෙත් මහ සයුර හා බැඳි බිහිසුණු බව අපට අමතක ව යන්නේ ද මහ සයුර හා විඳගන්නා අසිරිය නිසාමය. ඒ බිහිසුණු බව ද නොතකා ඇතැම්හු තම වටිනා ජීවිත අවදානමේ තබා විනෝදයේ පසුවෙති. එලෙස විනෝදමත් වන ජීවිත යම් ලෙසකින් මහ සයුරේ අනතුරක වැටුණේ ද ඒ ජීවිත රැකගැන්මේ උදාර පරමාර්ථයෙන් තම ජීවිතය පරදුවට තබන්නට තරම් එඩිතර වූ අතළොස්සක් ද වෙති. ඔවුහු සැබැවින් ම අනුන්ගේ විපතේ දී තම ජීවිත ආශාව මොහොතකට අමතක කර කටයුතු කරන්නෝ වෙති. ඔවුහු පොලිස් මුහුදු ආරක්ෂක ඒකකයේ් නිලධාරීහුය. ත්‍රිකුණාමලයේ පොලිස් කොට්ඨාසයට අයත් උප්පුවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදෙන්නෝය..

“මහමුහුදේ නාන්න ඇවිත් නොදන්නකමට හෝ නොසැලකිලිමත්කමට හෝ ජීවිත අනතුරේ වැටුණු අවස්ථා අපට ඕනෑ තරම් හමුවෙලා තියෙනවා. අප දුටු එහෙම ජීවිතයක් කවදාවත් බේරාගන්න බැරිවෙලා නැහැ.” පොලිස් මුහුදු ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අජිත් ගමගේ මහතා අපට කී කතාවකි ඒ.

මහමුහුදේ ගිලී මියැදෙන්නට තත්පරයක් හෝ තිබියදී ඒ ජීවිතය ආරක්ෂිතව බේරාගත් කල එවැන්නකුගේ මුවින් කියැවෙන්නේ කුමක්දැයි කෙලෙසකදැයි හරිහැටි සිතාගත නොහේ.

“අනේ ඒ ටිකනම් කියන්න බැරිතරම් දුක්බරයි. සමහර අයට කෘතවේදීත්වය කියාගන්න වචන ගළපා ගන්න බැරිව අසරණ විදිහට බලාගෙන ඉන්නවා. සමහර අය දෙවියන් බුදුන් වන්දනා කරනව වගේ පින් දෙනවා. අපේ ඇස් දෙකටත් කඳුළු උනපු වාර අනන්තයි. අප්‍රමාණයි. මනුස්ස ජීවිතයක් කෙතරම් වටිනව ද? මහමුහුදෙ නාද්දි තමන්ගෙ ආරක්ෂාවක් සලසා ගනිමින් විනෝද වෙනවානම් අනතුරු වෙන්නේ නැහැ. සමහර දෙනා බීමත්ව නානවා. අන්තිමේදී තමන්ගේ වටිනා ජීවිත මහමුහුදටම බිලි දෙනවා. දුරදිග හිතන්නෙ නැහැ.” අජිත් ගමගේ පවසයි. ඔහු විවාහකයෙකි. පදිංචිය කුරුණෑගලය. දෙදරු පියෙකි. රැකියාව බිහිසුණුය.

“ඇත්තටම අපිත් අපේ ජීවිතවලට ආදරෙයිනෙ. ගෙදර බිරිය දරුවො හැම තිස්සෙම පපුවෙ ජීවත් වෙනවා. ඒත් මේ රැකියාවෙන් මං හරිම තෘප්තියක් විඳිනවා. අකාලයේ වැනසෙන්න යන ජීවිතයක් අපේ අත්දෙකින් බේරාගන්ඩ ලැබීම කෙතරම් පිනක් ද? බේරා දුන් ජීවිතය වෙනුවෙන් ඒ අයගෙ පවුල්වල ඈයෝ මොන තරමක් පින් දෙනව ද? ඇත්තට ම අපේ රාජකාරියම පින් කෙතක් කියලයි මට හිතෙන්නෙ.”

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් කුමාර හා උප්පුවේලි පොලීසියේ ස්ථානාධිපති ජයන්ත ජයරත්න යන මහත්වරු ඔවුනට නිතර ගුරුහරුකම් දෙති.

මුහුදු ආරක්ෂක පොලිස් මුරපළේ ස්ථානාධිපතිවරයා අප හා බොහෝ දේ කීවේය.

“අපි රාජකාරි කරන්නෙ මහමුහුද අද්දර ත්‍රිකුණාමලේ පුල්මුඩේ දක්වා මුහුදු තීරයේ. කිලෝමීටර 35ක් තියෙනවා. නිලාවේලි වෙරළ, පරෙවි දූපත, ත්‍රිකුණාමලය නගරාසන්න මූදු තීරය, ඇලන් ගාර්ඩ්න් මූදු තීරය දෙස් - විදෙස් සංචාරකයන් වැඩිම ප්‍රදේශයක්. මේ වෙරළ තීරයේ ජීවිත ආරක්ෂක පොලිස් මුරපොළවල් දිගට ම තිබෙනවා. හැම විටම සෝදිසියෙන් අප පසුවන්නෙ.”

මුහුදු ආරක්ෂක පොලිස් ඒකකයට අනුයුක්ත නිලධාරීන් සංඛ්‍යාව 29 කි. ඉවක් බවක් ද නැතිව ඇතැම් අය මහමුහුදේ සීමා මායිම් නොතකා හැසිරෙද්දී ඒ ජීවිත අනතුරක වැටේදෝයි අයා ගත් දෑසින් හා දැඩි සෝදිසියකින් යුතුව නිලධාරීහු බලා සිටිති. කොතැනකදී හෝ යම් ජීවිතයක් අනතුරක වැටුණේ ද එසැණින් නිලධාරීහු දෙවරක් නොසිතා ක්‍රියාත්මක වෙති. ඒ සඳහා ඇවැසි පහසුකම් ඔවුන් සතුව ඇත.

පොලිස් කොස්තාපල් ප්‍රසන්න (38935) ත්‍රිකුණාමලේ පදිංචිකරුවෙකි. ඔහු ද දෙදරු පියෙකි. මෙතෙක් වැඩිම ජීවිත ගණනක් බේරාගන්නට සමත් වූ නිලධාරියා ඔහුය. එලෙස ඔහු බේරාගත් ජීවිත ගණන 36 කි. හෙතෙම සිය විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් සම්මානයෙන් ද පිදුම් ලබා ඇත්තේය.

ප්‍රසන්න මෑතක දී ලද අත්දැකීමක් විස්තර කළේ මෙසේ ය.

“දැනට සති තුනකට පමණ පෙර කොත්මලේ ප්‍රදේශයේ තරුණයන් තුන්දෙනෙක් නිලාවේලි වෙරළේ නාන්න ආවා. ඔවුන් මහමුහුදේ නාමින් විනෝද වෙන්න අරන් ටික වේලාවක් යද්දී දියඹට ඇදෙන්න වුණා. ඒ දියවැලකට අහුවෙලා. මේගොල්ලො දන්නා දහිරිය දැම්මත් මුහුදටම ඇදුණා. ඒ එක්කම ඔවුන් ළතෝනි දුන්නා.”

මරුවා හා තියුණු සටනක යෙදෙන තරුණයෝ තිදෙනා ඒ වෙද්දී ද මීටර් 50කට වැඩි දුරක් දියඹට ඇදීගොස් සිටියහ.

“අර තුන්දෙනෙක්... අර දියවැල අරන් යනවා” ප්‍රසන්න කෑගැසුවේය. එවිට ම (57455) රූපසිංහ, (75490) රසික යන නිලධාරීහු වහා ක්‍රියාත්මක වූහ.

එතැන් සිට සිද්ධිය සිනමා පටයක දසුන් පෙළක් වැන්න. නිලධාරින්ගේ එකම වෑයම ජීවිත තුන බේරා ගැනීමය. නාවික හමුදා නිලධාරිහු දෙදෙනෙක් ද ඔවුන්ගේ සහායට පැමිණියහ. දියවැල ඇදගෙන යෑමට වැර දැරූ ඒ ජීවිත බේරාගත් නිලධාරීහු ඔවුන්ට අවශ්‍ය ප්‍රථමාධාර ද වහා ලබා දුන්හ. නිලධාරීන් සැමගේ මුහුණුවලින් පළ වූයේ දැඩි වැරවෑයමකින් පසු ලද සැනසුමක සේයාවකි.

“අනේ... පින්සිද්ධ වෙන්න ඕනැ. සර්ල අපේ ජීවිත බේරා දුන්නා. අපි හිතුවෙ අපි ඉවරමයි කියලා.” දියවැලට අසුවූ තිදෙනා නිලධාරීන්ගේ දෙපා අල්ලා වැද වැටුණහ. මුහුදේ දියනෑම සතුටක් නමුත් පළමුව තම ජිවිතය ගැන වග බලාගන්නැයි ස්ථානාධිපතිවරයා තිදෙනාටම උපදෙස් දුන්නේය.

පොලිස් කොස්තාපල් රූපසිංහ මේ වසරේ දී පමණක් මුදා ගත් ජීවිත ගණන 20 කි. පොලිස් කොස්තාපල් රසික සිවුදෙනකුගේ ජිවිත බේරාගෙන ඇත්තේය. ප්‍රසන්න බේරාගත් වැඩිම ජීවිත ගණන 36 කි.

“අපේ ජීවිත නිදහස් නැහැ. අපටත් අඹුදරුවන් ඉන්නවා. ඒත් මේ රස්සාව හැම අතින්ම තෘප්තිමත්. අපි හැමෝටම අත්දැකීම්, පළපුරුද්ද හොඳට තියෙනවා. දක්ෂ ඉහළ නිලධාරීන් හැම විටම අධීක්ෂණයේ ඉන්නවා. සේවයෙන් විශ්‍රාම ගිය දවසින් පස්සේ අපේ දරුවන්ගේ දරුවන්ටත් අපට ආඩම්බරයෙන් තියන්න පුළුවන් මනුස්ස ජීවිත බේරාගත්ත හැටි. අපේ ටීම් එකේ සෑම නිලධාරියෙක්ම එක වගේ දක්ෂයි. ඒකයි මහමුහුද උදුරල ගන්න හදන වටිනා ජීවිත අපට බේරාගන්ඩ පුළුවන්කම ලැබී තිබෙන්නෙ.” යනුවෙන් ඒ නිලධාරීහු පවසති.

silumina.lk



More News »