කුරහන් පැහෙනා තුරු වසරින් අඩක් හේනේ පැලේ ගෙවන ජීවිත

2016-10-25 11:51:00       661
feature-top
රටේ බොහෝ පළාත් ගිලගත් දැඩි ගිනියම අම්පාරටත් නොඅඩුව දකින්නට ලැබුණා. වැහි පොදක් නැති කර්කශ පොළොව සතුටු කරමින්දෝ කළු වලාපොදක් ඉහළ අහසේ පෑයුවේ අපේ පැමිණීමට ආශිර්වාද කරමින්දෝයි සිතුණු වාර අනන්තය. ගත වෙළාගත් දැඩි ගිනියමෙන් මිදෙන්නට හිනිදුරා වැවෙන් දිය නාගත් අප අහම්බෙන් කඩා වැටුණු වැස්සට නොතෙමී ලාතුගල ගමට යන්නට පය ඉක්මන් කළේ ගොම්මන් ජාමේ කළඑළි බසින සද්දන්තයින් මුලිච්චි නොවන්නට පෙර ගමට යෑමේ අටියෙන්.

අද හවසට ඔයගොල්ලන්ට හොඳ අත්දැකීමක් දෙන්න හිතුවා. අද අපි රෑට නවතින්නේ හේනේ” අම්පාර ලාතුගල ප්‍රාථමිකයට ගිය අපට එහෙම කිව්වේ ලාතුගල ප්‍රාථමිකයේ විදුහල්පති ලියනගේ මහතාය. ලාතුගල ප්‍රාථමිකය වගේම ලාතුගල ගමත් අම්පාර දිස්ත්‍රීක්කයේ තියෙන දුෂ්කරම ගමක්. මේ ගමේ ඇත්තන්ගේ ජීවිතය ගෙවෙන්නේ වල් අලි ගහන හේනේ පැලේ. ඒ නිසා මේ ගමේ ඇත්තන්ට ඕන වුණේ ඒ හැම දේකටම වඩා ඔවුන්ගේ දුක රටට කියා ගන්නට. ලාතුගල ප්‍රාථමිකය අසලින් වැටී ඇති දෙවටින් අපි මහ ඝන කැලයට සේන්දු වූණේ නුපුරුදු හේනේ අත්දැකීම් ජීවිතයට සේන්දු කර ගැනීමේ අටියෙන්. මහා රෑක්ෂ ගස් පමණක් තවමත් පණ රැකගෙන සිටිතත් කුඩා ගස් කොළං වලට අත්වූ ඉරණම දැකිය නොහැක්කා සේ පොළවටම පස් වී හමාර ය.

තැනින් තැන ගිනිගත් මහ පොළොව දුක්බර කටුක කතාන්දරයක් දිග හරියි.

“ඉස්කෝලේ ගාව ඉඳලා කිලෝ මීටර දෙකක් මහ කැලේ අතුළට යන්න ඕනෑ හේනට යන්න. පයින්ම යතොත් මිසක් මේ ගමනට යන්න මේ පළාතෙවත් වාහනයක් නැහැ.” අප හා එක්වුණු ගමේ අයෙක් ගමනේ දුෂ්කර බව එහෙම කිව්වත් කංචන සතරසිංහ මහතාගේ ඩිෆෙන්ඩරය නොවන්නට මේ ගමනත් අපිට පයින්ම යන්න තිබුණා.

කැලේට සේන්දු වෙද්දි වාලිම්බඩ කඳු යායෙන් සැන්දෑ කළුවර හේනට සේන්දු වෙමින් තිබුණා. මුරුත්හෙළ ගල මෙන්ම කොහොම්බාන කඳුයාය ඝන අදුරින් වැසි යන්නට ඔන්න මෙන්න. “ හේනට කළුවර වැටුණොත් යන්න ලේසි නැහැ. අපි දැනටමත් පරක්කුයි. මම කවමදාවත් මේ වෙලාවට හේනට යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අලියෙක් නැත්නම් දෙන්නෙක් යන පාරේ ගැවසෙනවාමයි.” අවදානම පසෙක ලා අලි බැලීමේ ආසාවක් අපිටත් ඇතිවුණා. “ මේ වාහනේ එළියට අලියා පාරට එන්නැහැ. ඒත් මේ හරියේ අලියෙක් නම් අනිවාර්යයෙන් ඉන්නවා....” ගමේ ඇත්තෙක් එහෙම කියද්දි හීන් චකිතයක් අපේ සිතටත් ඇතිවුණා.

“ කොහොමද එහෙම කියන්නේ?”

“වල් අලියෙක් ළඟ පාතක ඉන්නවා නම් ඌගේ සුවඳ ගොඩාක් දුරකට දැනෙනවා. අපිට ඒක හොඳට හුරුයි.”

කැලෑ හේනට යන අතර මඟ අපිටත් ඒ සුවඳ දැනෙන්න ගත්තා. පාරක් නැති මහා කැලෑවේ හේනට යන පාර හොයා ගන්නට ගම්මු අපිට උදවු කළා. වල් අලියෙකු හමු නොවුණත් ඇස් මායිමට නොපෙනෙන දුරින් මේ සද්දන්තයෝ ගැවසෙන බව ගම්මුන් හඳුනා ගත්තේ ඉවෙන්. ඝන අදුර පරයන මහා මූසල බවක් හේන පුරාවටම රැදී තිබුණා. වියළි ගිය ගස් කොළංවලින් පෝෂිත නොවූ මේ මහ පොළොවට ආශිර්වාදයක් ගෙන දෙන්නටදෝ අමුතු වැහි බීරිමක් අහස පුරාවටම පැතිරි ගියා. තැනින් තැන කුරක්කකන් වගා රැක ගන්නට ඇටවූ හේන් හැරෙන්නට පෙනෙන ඉසව්වක නිවෙසක් පෙනෙනන්නට නැහැ.

මේ මිනිසුන්ගේ ගෙවල් තියෙන්නේ ගොඩාක් ඈත. ඒත් කුරක්කන් වගා කෙරුවහම මේ අය ගෙවල් වලට යන්නේ නැහැ. රෑට හැමදාම වල් අලි ඇවිත් ඒවා වනසනවා. වල් ඌරෝ ඇවිත් විනාශ කරලා යනවා. ඒ නිසා අස්වැන්න කපා ගන්නකම් මේ මිනිස්සු ගෙවල්වලට යන්නේ නැහැ. දරු මල්ලෝත් එක්ක මේ පැලේම තමයි ජීවත් වෙන්නේ. කුරක්කන් වගා කෙරුවහම අස්වැන්න ගන්න මාස හයක් විතර යනවා. ඒ මාස හයේම මේ මිනිස්සු වගාව රැක ගන්න වල් අලිත් එක්ක පුදුම සටනක් කරලා...........” විදුහල්පතිවරයා අප හා එසේ පැවසුවා.

අපේ පැමිණීම හුදෙකලාවේ දිවි ගෙවන ඔවුනට සතුටකි. හේනේ ලී දඬු හතරකින් අටවා පිදුරු හෙල්ලූ මේ පැල සුළං රැල්ලකට පවා ඔරොත්තු නොදෙන්නකි. පවුල් දෙක තුනක් ඔවුන්ගේ පුංචි පැටවුන් සමඟ මේ එක මඩුවක දිවි ගෙවීම අපට අරුමයකි.

අපේ දරු පැටවු එක්ක අපි මෙහෙම තමයි ජීවත් වෙන්නේ..” කඩමලු වූ පැදුරක හිඳිමින් තේ කහට උගුරක් සප්පායම් වෙමින් අපි කුසුමාත් සමඟ කතාවට හවුල් වුණා.

මේක හරිම දුෂ්කර ජීවිතයක්. මේ පැලේ පවුල් දෙක තුනක් ඉන්නවා. දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. දරුවන් ඉස්කෝලෙට යවන්නේ මේ පැලේ ඉඳලා. කුරහන් තලප ටිකක් හරි බතකුයි සම්බෝලයකුයි හරි කවලා දරුවෝ පයින්ම අලි ඉන්න කැලෑවෙන් ඉස්කෝලෙට යවනවා. ඊට පස්සේ අපි ගිනි අව්වේ හේනේ වැඩ කරලා මේකෙම උයලා දරුවොත් එක්ක ජීවත් වෙනවා. පැලේ අඳින්න තියෙන්නේ දිරච්ච ඇදුම් දෙක තුනක් විතරයි. රෑට අපේ පැල ගාවටම වල් අලි එනවා. පැල ගාවට එන්න බැරි වෙන්න ගිනි මැලයක් පත්තු කර ගන්නවා. ඒත් මේ මායිමටම වල් අලි ඇවිත් වගාව විනාශ කරනවා. පිරිමි කට්ටිය රතිඤ්ඤා පත්තු කරලා එළවනවා. ඒත් අලි ආවොත් අපි දරුවොත් එක්ක මේ පැලේ ඉන්නේ නැහැ. දරුවොත් උස්සගෙනම පැල ගාව තියෙන ගලට ගොඩ වෙනවා. එළි වෙනකම් ගලෙන් බිමට බහින්නේ නැහැ. අලියා එයි කියලා බයට. ..” හිතන තරම් පහසු නැති මේ ජීවිත ගෙවෙන හැම තත්පරයක් පාසාම අවිනිශ්චිතය. බියකරුය.

රැයක් දවාලක් නැති මේ හේන් ජීවිතය දෝලනය වෙන්නේ වන සතුන් සමඟය. වැහි බීරිම ටිකෙන් ටික ළා වැස්සකට පෙරැළෙයි.

අපි නම් හවස හය වෙනකොට කාලා බීලා දරුවන්ටත් කවලා ඉන්නවා. නැත්නම් රෑට අලියා ආවොත් මේ ඔක්කොම දාලා දුවන්න වෙනවා...” ඒ සීලවතීය. පුංචි එවුන් පැදුරු කඩමල්ලේ හිඳ කුරහන් තලපත් වැව් මාළු හොද්දත් අනුභව කරන්නේ ගොම්මන් වීමට පෙරය. අද ඔවුන්ට එය රසවත් ආහාරයකි. අනතුරුව ඔවුන් නින්දට යන්නේ පැලේ ඇති අතු මැස්සේය.

වැස්සට කලින් කමු. වැස්සොත් ඉන්න තැනක් නැහැ. අපි නෝනලටමයි මේවා හැදුවේ......” කෑමේ පිරියක් නැතත් වැස්ස තද වූවොත් කුමක් කරන්නද? ගම්මු පවසන විදියට හිටි හැටියේ සද්දන්තයෙකු ආවොත් කුමක් කරන්නද? සැක සංකා මා සිත විඩාවට පත්කරවයි. වැසි පොඳ අභිබවමින් දෙනෙතට නැගෙන කදුළු කැට වළකා ගන්නට මම උත්සාහ කළෙමි. පුංචි බියක් මා සිත් තුළ හොල්මන් කරයි. රාත්‍රී මූසල ඝන අදුරත් වැහි බීරිමත් බොහෝ දේ සඟවන්නට උත්සහ කරයි.

වැස්සොත් මොකද කරන්නේ?... සිතේ තෙරපෙන බිය සඟවා ගනිමින් මම පැනයක් මතු කළෙමි.

ඔයාලා බයවෙලා. මේවා අපිට හොඳට හුරුයි. වැස්සොත් මෙතැන ඉන්න බැහැ. වැස්ස කියලා අපි අපේ වගාව රැක ගන්න ඕනෑ. අපි ගල උඩට වෙලා කුඩයක් ඉහළගෙන දරුවොත් වඩාගෙන එළිවෙනකල් ඉන්නවා. ඔයගොල්ලේ බය වෙන්න එපා . අපි ඔයාලට කරදරයක් වෙන්න දෙන්නැහැ..” එසේ පවසන්නනේ සෝමපාලය. ඔවුන්ගේ පැලට අප ගෙන්වූයේ උපරිම ආරක්ෂාව ලබා දෙන පොරොන්දුවයි. එහෙත් ඒ සියලු දේට වැස්ස හරස් වෙලාය. ඔවුන්ට ආශිර්වාදයක් වූ වැස්ස අපේ අත්දැකීම්වලට නම් බාධාවකි.

මේ ළඟදි මේ හරියේ වල් අලියෙක් ඇවිත් තාත්තෙකුයි පුංචි දුවෙකුයි ගහලා මැරුවා. තාත්තා දන්නෙම නැහැ. අලියා ළඟට එනකම්. අලියා තාත්තාට ගහලා මරන හැටි දැකලා දුව කෑගැහුවා. අලියා අනිත් පැත්ත හැරිලා හොඬවැලෙන් දුව අල්ලා ගත්තා. අරගෙන කැලේට දිව්වා. දරුවා හොයාගෙන ගමේ අය අලියා ගිය පස්සෙන් දිව්වා. දරුවා හිටියේ නැහැ. අන්තිමේදි ගස් දෙබොලක ගහලා හිටිය දරුවගේ මිනිය හොයා ගත්තා. මේ වගේ දේවල් මාසෙකට සැරයක් දෙකක් අහන්න ලැබෙනවා. රෑට පැලේ අපි කවුරුත් නිදියන්නේ නැහැ. කට්ටියක් නිදියනකොට කට්ටියක් ඇහැරගෙන ඉන්නවා..” චන්ද්‍රලතාද අතොරක් නැතිව කියැවූ දෑ මගේ මතකයට එයි. චන්ද්‍රලතා කුඩා නිවුන් දරුවන් තිදෙනෙකුගේ මවකි. මල් වැනි මේ පැටවුන්ට අනාගතයක් දෙන්නට මේ මවුපියෝ වෙහෙසෙති. එහෙත් මේ පුංචි එවුන්ට අනාගතයක් කැන්දන්නේ ඔවුන්ගේ ජිවිතද අඩයට තබමිනි. මෙය කොතෙක් සාධාරණද? මම මගෙන්ම විමසුවෙමි. මේ ජීවිතවලට මීට වඩා කළ එළියක් දෙන්නට වෙනත් ක්‍රමයක් නැත්තේද? හැම දේටම නැති බැරිකම හරස් වි ඇත්තේය. අම්මලා තාත්තලා වගේම මේ පුංචි ජීවිතද අනාරක්ෂිතය. ඔවුන්ට දකින්නට හේනේ සිවු කෙනෙන් එහා ලෝකයක් නැත.

(ස්තුතිය කාංචන සතරසිංහ මහතාට) අම්පාර සංචාරයකින් පසු

silumina.lk


More News »