වගුරු බිමක අකුරු කරනා මේ මල් කැකුළුවල ඉරණම කොයිබටද?

2016-10-24 02:21:00       658
feature-top
‘‘ඔය ඉස්කෝලෙ තියෙන්නෙ ලුණු කවලම් වෙච්ච පසක්. අව්ව සැර වැඩි වුණාම නිකම්ම ඉස්කෝලෙ වටේට ලුණු පිපෙනවා. ඒ වගේ පරිසරයක ඉද්දි ළමයින් නිතරම ලෙඩ වෙනවා. ඇඟ කසනවා. හැම වෙලේම ඔළුවෙ කැක්කුම, කකුල් තුවාල වෙනවා. හමේ තුවාල දානවා’’

‘‘අපි මේ ස්ථානයට අපේ ළමයිව කැමැත්තෙන් ගෙනාපු ගමනක් නෙමෙයි. එහෙම කියන්න හේතුව මේකයි. 2013 වසර අන්තිමේදී නිර්මල මාතා විදුහලේ විදුහල්පති තුමා අපිට රැස්වීමක් තියලා කිව්වා 2014 වසරේ ඉදලා අපේ ළමයි පාසලට බාර ගන්නේ නැහැ කියලා. ඔයාලට සුදුසු ස්ථානයක ඔයාලා පාසලක් හදා ගන්න කීවා’’.

‘‘අපේ දරුවො ඉගෙන ගන්නෙ ගොඩක් දුෂ්කරතා මැද. අනෙක තමා මේ පාසල පිහටලා තියෙන්නෙ කලපුවක් ආශ්‍රීතව. මේ පාසල වැහි කාලයට සම්පූර්ණයෙන්ම යටවෙනවා. ඒ වෙද්දි ළමයින්ට යන්න එන්න අමාරුයි’’.

මෙසේ පසුගිය දිනක සිය දරුවන්ට අත්ව ඇති ඉරණම පිළිබද අප හා කතා බහට එක්වූයේ කල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් සින්දාත්‍රිමාතා ප්‍රාථමික විදුහලේ දරුවන්ගේ දෙමවුපියෝය.

පුංචි දරුවන් මල් වැනිය. එහෙත් එවැනි මල් කැකුළුවලට මේ අත්ව ඇති ඉරණම ඇසූ කාගේත් හදවත් කම්පා කරනු නොඅනුමානය. දැයට ආලෝකයක් දී පිපෙන්නට වැර දරන මේ මල් කැකුළු පිළිබඳ අද අප කතා බහට ලක් කරන්නේ නොමිනිස් ක්‍රියාකාරකමක අතුරු ඵලයකින් ලෙසින් මඩ වගුරක මුකුළිත වීමට ඉඩ සකසන නූතන ගුත්තිල මූසිල පරපුරක් පිළිබඳ අපට ඇසුණු කතා ඔස්සේය.

දරුවන්ගේ මානසික, ශාරීරික හා සමාජයීය අයිතිවාසිකම් උල්ලංගඝනය වන අයුරින් ඔවුන්ගේ නිදහසට වැට කොටු බඳිමින් සීමා මායිම් පනවා ගොහොරු මඩක ඉදි කර ඇති පාසලක හෙම්බත් වෙමින් අකුරු කරන මේ පුංචි මල් කැකුළු වෙලා පවත්නා අඳුරු අප්‍රසන්න වලා පටලය පහව ගොස් හෙට ලෝකයේ අරුණලු දකින්නේ ඔවුනට වාසනාව ලැබෙන්නේ කෙදිනකදැයි මව්පියෝ දෑස් අයා බලා සිටිති.

ඒ දරුවන්ගේ ඉරණම වටා ගෙතුණු ශෝචනීය කතා පුවත අපට වාර්තා වන්නේ කල්පිටිය ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කල්පිටිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සින්න කුඩි ඉරිප්පුව පිහිටි සින්දාත්‍රිමාතා ප්‍රාථමික පාසලෙනි.

පසුගිය රජයේ පාසල් සංකල්පයක් පෙරදැරි කරගනිමින් ආරම්භ කෙරුණු පෝෂිත පාසල් දහස යටතේ කල්පිටිය නිර්මල මාතා පාසලද එකී පාසල් දහස අතරට තෝරා ගෙන ඇත්තේ 2014 වර්ෂයේදීය. ඒ නිසා මෙම පාසල්වල තිබූ ප්‍රාථමික අංශය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සිදුකළ යුත්තක්ව තිබුණි. මේ ආකාරයට නිර්මල මාතා විද්‍යලයේ පිහිටා තිබූ ප්‍රාථමික අංශයද ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු එම වසරේ මුල් කාර්තුවේ සිදු කෙරුණේ නිලධාරින්ගේ හදිසියට මිස දරුවන්ගේ හෝ දෙමවුපියන්ගේ උවමනාවකට නොවන බව කිව යුතුව තිබේ.

කබලෙන් ළිපට වැටුණාසේ යන එන මං නොමැතිව පාසලේ තාප්පය අසල මේ පුංචි දරුවන් අව්වෙන් දැවෙද්දි වැස්සට තෙමෙද්දි ඇසක් යොමා බැලුවේ කවුරුන්දැයි කිවහොත් ඒ දරුවන්ගේ දෙමවුපියන් මිස කිසිදු ගුරුවරයකු හෝ අධ්‍යාපන බලධාරියකු හෝ නොවේ. ඒ සියලු දෙනා එහි වග කීම බාර ගැනීමට පසුබට වීමද මෙහි කනගාටුවට කරුණකි. දින සති ගණන් කාලය එසේ ගෙවී යමින් මේ දරු පැටවුන්ගේ අධ්‍යාපනයට දිනෙන් දින කණකොකා හැඬෙන්නට පටන් ගනිද්දි කුඩම්මාගේ සැලකිලි ලත් මේ දරුවෝ සිතට දැනෙන දුක කාට කියමුදැයි නොදැන දුක හදවතේ සඟවාගෙන බලා සිටියහ.

පාසල්වල සුපිරි පහසුකම් යටතේ සමහර දරුවන් අධ්‍යාපනය හදාරද්දි ග්‍රාමිය මට්ටමෙන් දහසකුත් දුක්විඳිමින් ඉගෙනුම ලබන දුප්පත් දරුවන්ද මෙරට සිටින බව එවකට සිටි නිලධාරින් මොහොතකටවත් නොසිතුවා වැනිය. අවසානයේ ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුම වූයේ කල්පිටිය සින්දාත්‍රිමාතා ප්‍රාථමික පාසලය. මේ ප්‍රදේශයේ ජනතාවගෙන් බහුතරයකගේ ජීවනාලිය වන්නේ ධීවර රැකියාවයි. මේ පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් වැඩිදෙනකු ධීවර ජනතාවගේ දරුවෝය.

සින්දාත්‍රිමාතා ප්‍රාථමික පාසලේ ප්‍රධානම අඩු පාඩුව ලෙස සැලකෙන්නේ පාසල සඳහා නිසි ගොඩනැගිලි නොමැතිකමය. පොල් අතු, තල් අතු සෙවිලි කළ කූඩාරම් වැනි ගොඩනැගිලි තුළ මිරීකී ගුළි වී විවිධ බාධා මධ්‍යයේ අකුරු කරන මේ දරුවන් ගැන මේ වනතුරු කිසිදු අධ්‍යාපන බලධාරියකුගේ දෑස් යොමු නොවී තිබිම ශෝචනීයය. පසුගිය දිනයන්හිදී පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට නොකඩවා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ අධික ගංවතුර ගැලීම් වැනි ආපදා සියල්ලම මේ පුංචි දරුවන්ගේ කරමතින් පහව යෑමද කනගාටුදායකය. දණහිස් මට්ටමට වතුර දෙගොඩ තළා යද්දි දරුවන් පාසල් ගියේ පාවහන් අතින් රැගෙනය.

‘‘මේ පාසල මේ තරමට හරි හැදුවේ අපි. දෙමවුපියන් මැදිහත් වෙලා. අපිත් එදා වේල හොයාගෙන ජීවත් වෙන උදවිය. ඒත් දරුවන් මෙතන ඉගෙන ගන්න හැටි දැක්කම අපට බලා ඉන්න බැහැ’’ පාසලේ අකුරු කරනා දරුවකුගේ පියෙක් අප හා පැවසීය.

ඔවුන් අකුරු කරනා ඒ ගොඩනැගිලි ද දෙමවුපියන්ගේ මුදල් පසුම්බියේ පිළිසරණින් ඉදිකර දී තිබෙනවා මිස බලධාරීන් විසින් මේ වන තෙක් කිසිදු ඉදිකිරීමක් සිදු නොකළ බව ඔවුහූ පවසති.

සුදු ගවුමට ටයි පටියක්, සුදු කමිසෙට නිල ලාංඡනයක් නොමැති පාසලක් ලෙස සැලකෙන මෙකී පාසලේ ශිල්ප කරන දරුවෝ දැනට වසර තුනකට ආසන්න කාලයක සිට නොයෙකුත් අකරතැබ්බයනට නිරන්තරයෙන් ගොදුරු වෙති. මේ පාසල 2014 ජනවාරි මස 19 වැනි දින ඉදිකර ඇත්තේ තම්මන ඕඩය නමැති අනතුරු සහිත වූ ප්‍රදේශයකය. ජල පෝෂක ප්‍රදේශ තුනකින් කොටු වී මඩ සහිත ලවණ අධික වගුරු බිමක ඉදිවී ඇති මෙම පාසල් ගොඩනැගිල්ල සෑම වසරක්ම පාසා ඇතිවන ගංවතුර ආපදාවලින් පීඩාවට පත්වේ. පාසල ආසන්නයේ ඉතා ගැඹුරට සකසන ලද දිය අගල් දරුවන්ගේ ජීවිත පවා අවදානමකට ලක් කර ඇතැයි දෙමවුපියෝ චෝදනා කරති.

මේ වෙද්දී පාසලේ ළමයි 300කට ආසන්න ප්‍රමාණයක් අකුරු කරති.

‘‘සින්දාත්‍රිමාතා පාසලේ ගැටලු රාශියක් තියෙනවා. මෙතැන ළමයින්ට ඉගෙන ගැනීමට සුදුසු පරිසරයක් නෙමෙයි. අපේ ළමයි ඉන්නේ තද අව්ව මැද ඒ මදිවට ඔය ඉස්කෝලෙ තියෙන්නෙ ලුණු කවලම් වෙච්ච පසක්. අව්ව සැර වැඩි වුණාම නිකම්ම ඉස්කෝලෙ වටේට ලුණු පිපෙනවා. ඒ වගේ පරිසරයක ඉද්දි ළමයින් නිතරම ලෙඩ වෙනවා. ඇඟ කසනවා. ඔළුවෙ කැක්කුම, කකුල් තුවාල වෙනවා. හමේ තුවාල දානවා. ඒ විතරක් නෙමෙයි තෙල කියලා විෂ ගස් වර්ගයත් තියෙනවා මේ පාසල වටේම. ඒ ගහේ කොළයක් පොඩි වෙලා කිරි වැදුණොත් ඇස් සම්පූර්ණයෙන්ම අන්ධ වෙනවා.

ඉතිං ළමයි ඉස්කෝලේ ගිහින් ගෙදර එනකම් ඇගේ ලේ වතුර වෙලා ඉන්නේ. මේ ගැන අපි බලධාරින්ට දැනුම් දුන්නත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. මේ පාසල තියෙන තැන සුදුසු නැහැ කියලා ළමා ආරක්ෂණ අධිකාරිය, මහජන සොඛ්‍ය පරික්ෂක කාර්යාලය පවා දන්වලා තියෙනවා. අපි කියන්නෙ අපේ ළමයි හිටියා වගේම ආපසු නිර්මල මාතා විද්‍යාලයටම දාලා දෙන්න කියලයි.’’ මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පාසල් දරුවකුගේ පියකු වන කල්පිටියේ පදිංචි ආර්.ඒ.සරත් චන්ද්‍රරත්න මහතා අප හා පැවසීය.

එම්.නෙවිල් දෙව්සිරි ප්‍රනාන්දු මහතාගේ දරුවන් ද පිය නගනුයේ මේ පාසලටය. ඔවුන්ගේ පදිංචියද පාසල ආසන්නයේය.

‘‘ අපි මේ ස්ථානයට අපේ ළමයින් කැමැත්තෙන් ගෙනාවෙ නැහැ. එහෙම කියන්න හේතුව 2013 වසර අන්තිමේදී නිර්මල මාතා විදුහලේ විදුහල්පතිතුමා අපිට රැස්වීමක් තියලා කිව්වා 2014 වසරේ සිට අපේ දරුවන් පාසලට බාර ගන්නේ නැහැ කියලා. ඔයාලට සුදුසු ස්ථානයක ඔයාලා පාසලක් හදා ගන්න කීවා. ඊට පස්සෙ අපිට කර කියා ගන්න දෙයක් ඉතිරි වෙලා තිබුණෙ නැහැ. ඒ නිසා අපිට දරුවන් මෙතැනට අකමැත්තෙන් හරි ගේන්න සිද්ධ වුණා. අපි අපේ වියදමෙන් තමා ගොඩනැගිල්ලක් හදලා ඉස්කෝලේ පටන් ගත්තෙ. ඒ කියන්නෙ 2014 ඉඳලා 2016 දක්වා ළමයින්ගෙ දෙමවුපියො සල්ලි දාලා තමයි මේ ඉස්කෝලේ හදලා තියෙන්නෙ. අපේ පැත්තෙම තවත් මුස්ලිම් පාසලක් මේ විදියට වෙන් කරලා තිබුණා. හැබැයි ඒකට දැන් ළමයි අාපසු බාර ගන්නවා. නමුත් අපේ පාසලට විතරක් ඒ නීතිය තවමත් නැති එක ලොකු ප්‍රශ්නයක්’’ ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ පාසල පිළිබඳ තොරතුරු සොයා යද්දී පාසලේ සිසු දරුවකුගේ මවක වන වී.ආර්. නිලූෂා ප්‍රියදර්ශනී තෙන්නකොන් මහත්මිය ද අප හා කතාබහට එක් වූවාය. ඇය පැවසූයේ මෙවැන්නකි.

‘‘අපේ දරුවො ඉගෙන ගන්නෙ ගොඩක් දුෂ්කරතා මැද. අනෙක තමා මේ පාසල පිහිටා තියෙන්නෙ කලපුවක් මැද. මේ පාසල වැහි කාලයට සම්පූර්ණයෙන්ම යටවෙනවා. ඒ වෙද්දි ළමයින්ට යන්න එන්න අමාරුයි. හරි හමන් පාරක් නැහැ. මේ ගැන අපි අධ්‍යාපන ඇමැතිතුමාගේ ඉඳලා ජනධිපතිතුමා දක්වා දැනුම් දීලා තියෙනවා. ඒත් කිසිම කෙනෙක් මේ පුංචි දුරුවො දිහා බල්නනෙ නැහැ. ඒ විතරක් නෙමෙයි සපත්තු දෙකක් නැහැ නිල ඇඳුමක් නැහැ. ටයි එකක් නැහැ. බැජ් එකක් නැහැ. මේ වෙද්දි වෙන් කරපු පාසල් නැවත එක්කාසු කරලා තියෙන්නේ. අපේ පාසල විතරක් තාමත් ඔය විදියට තියෙන්නෙ ඇයි කියන එකත් ලොකු ගැටලුවක්. එක්කො ඒකාබද්ධ කරන්න ඕනෑ නැත්නම් ප්‍රතිසංස්කරණය කරන්න ඕනෑ. මේ දෙකම සිද්ධ වෙන්නෙ නැහැ. වැහි කාලේට යට වෙනවා පායන කාලෙට වේළෙනවා. ඒ කියන්නෙ තනිකර 'තරවක්' (අධික ලවණ සහිත ශුෂ්ක පරිසරය) තියෙන්නෙ. මේ ලුණු මිශ්‍ර සුළග නිතර ළමයින්ගෙ ඇඟේ වැදීම නිසා දැන් ළමයින් බොහොමයක් ලෙඩ වෙලා ඉන්නෙ.’’

කඩොලාන සහිත මේ පරිසරය සැබැවින්ම සුදුසු වන්නේ කලපු ආශ්‍රිත ජිවීන් අභිජනනය සඳහාය යන්න අප කළ විමසුමකදී හෙළි විය.

දෙමවුපියන්ගේ චෝදනා සම්බන්ධයෙන් අපි සින්දාත්‍රිමාතා ප්‍රාථමික පාසලේ විදුහල්පතිනී ජෙසිලා එළිසෙබෙත් මෙනවිය විමසීමු.

‘‘ඉස්කෝලයක් තවත් ඉස්කෝලයක් එක්ක එකතු කරන්න විදුහල්පතිට බැහැනෙ . ඒක ඉහළින් එන්න ඕන තීරණයක් නේද? ඔය චෝදනා කරන දෙමවුපියන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? මේ පාසල පවත්වන ස්ථානය සුදුසු නැහැ කියලා කවුද ලියුම් දීලා තියෙන්නෙ. මට නම් කිසිම ආයතනයකින් මේ වෙනකම් කිසිම ලියුමක් දීලා නැහැ. කිසිම කෙනෙක් මට කිසිම ලියුමක් දීලා නැහැ ඔය පාසල ඔය ස්ථානයට සුදුසු නැහැ කියලා. මිනිස්සු කියන තරම් ඔතන කළු නැහැ. අනෙක මේ ගම ධීවර ගමක් නම් මේ මහ පොළොව කොහොමද ධිවරයාට නුසුදුසු වෙන්නෙ. එහෙමනම් දැන් ධීවරයින්ගෙ ළමයින් කොළඹට යවන්න ඕනෑ ඉගෙන ගන්න. ඒ ළමයින්ට මුලිච්චි වෙන්නෙ කලපුව නම්, ඒ දරුවා රැල්ල පාගනවානම්, තාත්තාගේ දහදිය සුවඳත් ධීවර සුවඳ නම් මෙතැන ඉගෙන ගත්තාම මොකද දෙවියනේ වෙන්නෙ.’’යැයි විදුහල්පතිනිය පැවසුවාය.මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමේදී වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

‘‘මේකයි ඉතිං ඔය ගැටලුවට චෝදනා කරලා වැඩක් නැහැ. දෙමවුපියො දෙමවුපියන්ටම චෝදනා කර ගන්න ඕනෑ. මොකද අපි ඔතන හදන්න ගිය ඉස්කෝලයක් නෙමෙයි දෙමවුපියො එකතු වෙලා තමයි ඔය ඉස්කෝලේ පටන් ගත්තෙ බලහත්කාරයෙන්. ඒ කාලේ මම නෙමෙයි හිටියෙ. අපේ හිටපු මහ ඇමැතිතුමාටත් කරන්න දෙයක් නැතුව ඕක නිත්‍යනුකූල කෙරුවා. ඊට පස්සෙ අපි දැන් මුදල් වෙන් කරලා තියෙනවා තාප්පයක් ඉදිකරලා පස් දාලා බිම සකස් කරන්න. ඒකෙ වැඩ හෙට අනිද්දා ආරම්භ කරයි. තව චෝදනාවක් තියෙනවා කලපුවෙන් ඉවත් කරන රොන් මඩ මෙතැනට දානවා කියලා. ඒත් අපට එහෙම නොකර වෙනත් දෙයක් කරන්න ආමාරුයි. මොකද මෙතැන පස් පිරවීමට විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි එහෙනම් දාන්න ඕනෙ බොරලු. බොරලු ආණමඩුවෙන් ගේන්න වෙන්නෙ. ඒකටත් ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. මේ ගැන අපිට කිසිම ආකාරයකින් චෝදනා කරන්න බැහැ. ඒ චෝදනා බාර ගන්න ඕනෑ දෙමවුපියන්මයි. මොකද මෙය ඒ ගොල්ලො හදා ගත්තු ප්‍රශ්නයක් මිස අපි හදපු ප්‍රශ්නයක් නෙමෙයි. මේකට අපි චෝදනා කරන්න ඕනෙ දෙමවුපියන්ටයි. නුසුදුසු තැනක පාසලක් හදන්න උත්සාහ කෙරුවට ඔතන ළමයින්ට කිසිසේත්ම සුදුසු නැහැ ’’යැයි වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

silumina.lk


More News »