වනාන්තර ගිනි තබන අයට නීතියෙන් ගැලවීමක් නැහැ

2016-10-18 12:41:00       661
feature-top
වන සම්පත සමස්ත ලෝක ප්‍රජාවගේම පැවැත්ම සඳහා සුරැකිය යුත්තක් බව අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. ඒ මන්ද යත් පරිසරය සුරක්ෂිත කිරීමේ කාර්යය භාරයෙහි විසල් මෙහෙයක් වන සංරක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම තුළින් මුදුන් පමුණුවා ගත හැකි වීමය. වන සංරක්ෂණ ක්‍රියාවලියේදී වනාන්තර ආරක්ෂා කිරීම, කළමනාකරණය කිරීම සහ ඒවා තිරසරව භාවිත කිරීම අදහස් කරන අතර රටෙහි සියලුම පුරවැසියන් එම ක්‍රියාවලියට සහාය දක්වන්නේ නම් එය සාක්ෂාත් කර ගැනීම විශාල ගැටලුවක් ද නොවනු ඇත.

ශ්‍රී ලංකාවේ වනාන්තර සම්බන්ධ ඉතිහාසය බලන කල විජය රජු සමයේද සමාජ රුක් රෝපණ වැඩ සටහන් ක්‍රියාත්මකව තිබූ බව සඳහන් වේ. වන ඝනත්වය ඉහළ මට්ටමක පවත්වා ගෙන යෑම සඳහා සිංහල රජ දවස විශාල උනන්දුවක් දක්වා ඇති බව රොබට් නොක්ස් විසින් පළාත් මායිම් වෙන් කිරීමට ස්වාභාවික වන වගාවන් ඇති කර තිබූ බව සහ උඩරට රාජධානිය විශාල වන වගාවලින් සමන්විතව තිබූ බව සඳහන් කිරීමෙන් පැහැදිලි වෙයි. ඒ අනුව වනය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම ශ්‍රී ලාංකිකයන්ට නව අත්දැකීමක් නොවන බව පෙනී යයි.

වන සංරක්ෂණය සඳහා වූ නීති විකාශනය සම්බන්ධ ඉතිහාසය මෙසේ දිගු කාලීනව සලකා බැලිය හැකි වුවද මෙම ලිපිය තුළින් වර්තමානයේ බලාත්මකව පවතින 1907 අංක 16 දරන ‍වන සංරක්ෂණ ආඥා පනත (451 වන අධිකාරිය) සහ ඉන් පසුව එකී ආඥා පනතට සිදුකර ඇති සංශෝධන මඟින් වන සම්පත තිරසාරව සංරක්ෂණය කර ගැනීමට අදාළ නීති සම්බන්ධයෙන් සැකෙවින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

2009 අංක 65 දරන සංශෝධනය ද සහිතව මෙම මුල් පනත අවස්ථා 14කදී සංශෝධනයට ලක්වී ඇත. වර්තමානයේදී මෙකී සංශෝධන පනත් අදාළ කර ගනිමින් වන සම්පත ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලියට 1995 වස‍රේදී ඉදිරිපත් කරන ලද ජාතික වන ක්ෂේත්‍ර ප්‍රතිපත්තියද අදාළ කර ගෙන ඇත. මෙම ප්‍රතිපත්තිය මඟින් ජෛව විවිධත්වය, පස, ජලය, ඓතිහාසික, සංස්කෘතික, ආගමික සහ සෞන්දර්යාත්මක වටිනාකම් කෙරෙහි අවධානයක් යොමු කරමින් අනාගත පරපුර වෙනුවෙන් වනාන්තර සංරක්ෂණය කිරීම, වනජ නිෂ්පාදන සහ සේවාවන් සඳහා වත්මන් සහ අනාගත පරම්පරාවන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා වන ඝනත්වය වැඩි කිරීම, ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සමසේ බෙදීයාම කෙරෙහි අවධානය යොමු කර ග්‍රාමීය ජනතාවගේ සුභ සාධනයට වන ක්ෂේත්‍රයන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම අපේක්ෂිතය.

රටෙහි උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ vi වන පරිච්ඡේදයේ 27 2((14) ව්‍යවස්ථාවේ ජනතාවගේ යහපත සඳහා රජය විසින් පරිසරය ආරක්ෂා කොට වැඩි දියුණු කළ යුතු බව දක්වා ඇති අතර 28 (ඊ) ව්‍යවස්ථාවේ ස්වාභාවික සම්පත් රැක ගැනීම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ යුතුකමක් බවත් දක්වා ඇත. වර්තමානයේ සිදුවන වන විනාශ, ස්වාභාවික වනාන්තර වලට ගිනි තැබීම් ආදිය සලකා බල විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ස්වාභාවික සම්පත් රැක ගැනීමේ යුතුකම ඉටු නොකර පිරිසක් අප සමඟ ගැවසෙන බව නොරහසකි. එවැනි නීති විරෝධි කටයුතුවල යෙදෙන්නන් නීතිය හමුවට රැගෙන ඒමට අවශ්‍ය සහයෝගය ලබාදීම ද අනාගත පරපුර ගැන සිතන නීති ගරුක පුරවැසියන්ගේ යුතුකමක් වන්නේය. ඒ අයට නීතියෙන් ගැලවීමක් නැති බවද කිව යුතුය.

මා ඉහතින් සඳහන් කළ වන සංරක්ෂණ ආඥා පනත සහ ඒ යටතේ පනවා ඇති න‍ියෝග අතුරින් දෛනික කටයුතු වලදී ඔබ දැනුවත් විය යුතු කරුණු කීපයක් සම්බන්ධව මීළඟට සාකච්ඡා කරමි. විශේෂයෙන් දැව ප්‍රවාහනය සම්බන්ධව ඔබ විසින් දැනගත යුතු මූලික කරුණු කීපයක් ලෙස, ඔබ යම් දැව තොගයක් ප්‍රවාහනය කිරීමට අපේක්ෂා කරයි නම් එම දැව තොගය ලබා ගත්තේ පුද්ගලික ඉඩමකින් හෝ නිත්‍යානුකූල ප්‍රභවයකින් බව තහවුරු කිරීමට වගබලා ගත යුතුවෙයි. එසේම ප්‍රවාහනයට බලපත්‍ර ඉල්ලුම් කරන්නා හට අදාළ දැවවල හිමිකමක් හෝ ප්‍රවාහනය කිරීමට අයිතිකරු විසින් බලය ලබාදී තිබේද, ප්‍රවාහනය සඳහා දැවවල ආකාරය අනුව බලපත්‍ර ලබාගත යුතුද යන්න තහවුරු කරගත යුතුවේ. බලයලත් නිලධාරියෙකුගෙන් ලබාගත් බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනය නොකළ යුතු දැව වර්ග සම්බන්ධ විධි විධාන 2008.05.09 දිනැති අංක 1548/29 සහ 2012.06.11 දිනැති අංක 1762/1 දරන ගැසට් නිවේදනවල දක්වා ඇත. එසේම දිවයින පුරා බලපත්‍රයක් රහිතව ප්‍රවාහනය කළ හැකි දැව මොනවාද යන්නද එහි වෙනම දක්වා ඇත.

දැව භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දැනගත යුතු කරුණු කීපයක් ද මෙහිලා දක්වනු කැමැත්තෙමි. ගෘහ භාණ්ඩ අලෙවිසල්වලින් නිකුත් කරන කුවිතාන්සි මත දැවමය ගෘහ භාණ්ඩ ප්‍රවාහනය කිරීම නීති විරෝධී වන අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දැව ගබඩාවකින් නිකුත් කළ ඉරූ දැව, දැව භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා අදාළ ප්‍රදේශයේ අඩවි වන කාර්යාලයකින් බලපත්‍රයක් ඉල්ලුම් කළ හැකිය. මෙකී නෛතික විධිවිධාන අනුගමනය නොකර කටයුතු කිරීමෙන් වන සංරක්ෂණ ආඥා පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදකට වරදකරු වන්නේය. උළුවහු, ජනේල වැනි නිෂ්පාදන සඳහා ඒවා නිෂ්පාදනය කර ඇති දැව වර්ගය අනුව බලපත්‍ර ලබාගත යුතුවෙයි.

දැව සහ වනජ ද්‍රව්‍ය (වනයෙන් උකහා ගන්නා ද්‍රව්‍ය) අපනයනය කිරීමද වර්තමානයේ අවශ්‍යතාවයක්ව පවතින්නකි. මේ සම්බන්ධව පවතින නීති රීති අනුව දැව, කැලෑවෙන් පවතින ගස්වර්ග, බීජ සහ වෙනත් වනජ ද්‍රව්‍යයක් අපනයනය කිරීමට වන සංරක්ෂක ජනරාල්වරයාගෙන් ලබාගත් බලපත්‍රයක් අවශ්‍ය බව මතක තබා ගත යුතුය. මෙවැනි අවස්ථාවක ඒවා ලබා ගන්නා මූලාශ්‍රය අනිවාර්යෙන්ම තහවුරු කළ යුතුවෙයි.

පෞද්ගලික ඉඩමක ගස් කැපීම සම්බන්ධව වන සංරක්ෂණ ආඥා පනතින් තහනම් කිරීමක් සිදු කර නොමැති අතර ගස් හෙළීම පාලන කිරීමේ පනත, ජාතික පාරිසරික පනත යටතේ විධි විධාන සලසා ඇති අතර රජය විසින් ලබා දී ඇති ප්‍රදාන පත්‍රයන්හිදී ප්‍ර‍ාදේශීය ලේකම් වරයාගෙන් ද එවැනි කාර්යයකට අනුමැතිය ලබා ගත යුතුය.

යම් පුද්ගලයෙකු දැව ආශ්‍රිත කර්මාන්තයක් කරගෙන යෑමට බලාපොරොත්තු වන්නේ නම් එය වන සංරක්ෂණ ආඥා පනතට අනුව ලියාපදිංචි කළ යුතු‍ වෙයි.

වනාන්තර වලින් මිනිසාට ලබාගත හැකි ආර්ථිකමය වටිනාකම් පවතින බොහෝ දේ තිබුණද ඒවා කිසිදු ආකාරයකට නීතියෙන් පරිබාහිර ආකාරයට ප්‍රයෝජනයට ගැනීම මෙම පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. වනාන්තරවල පවතින වැලි, බොරළු සහ ඛනිජ වර්ගයද මෙවැනි ආර්ථික වටිනාකම් වලින් හෙබි ද්‍රව්‍යයන් වන්නේය. මෙවැනි ද්‍රව්‍ය ලබාගැනීම සඳහා රජයට යම් ගාස්තුවක් ගෙවිය යුතු අතර අඩවි වන නිලධාරියාට ඉදිරිපත් කරන අයදුම්පතක් මඟින් මෙවැනි බලපත්‍රයක් ලබාගැනීමේ කාර්යය ආරම්භ කළ හැකිය.

ඔබ විසින් තවදුරටත් දැනගත යුතු කරුණක් ලෙස මෙම වන සංරක්ෂණ ආඥා පනත යටතේ සඳහන් කර ඇති මෙරට පවතින වනාන්තර සම්බන්ධවද යම් කරුණක් පැවසිය යුතුය. ඒ අනුව විෂයභාර ඇමතිවරයා විසින් යම් වනයක් රක්ෂිත වනයක් ලෙසට ප්‍රකාශයට පත්කළ හැකිය. එසේ පත් කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුවේ. එසේම අනන්‍ය පරිසර පද්ධතීන් සහ ජාන විද්‍යාත්මක සම්පත් ඇති, වඳවීයෑමේ තර්ජනයට ලක්ව ඇති සත්ව සහ ශාඛ කොටස් වලින් සමන්විත පරිසරයක් විද්‍යාත්මක තුලනයක් ඇති කර ගැනීම සඳහා ආරක්ෂා කර ගත යුතු වනාන්තරයක් සංරක්ෂිත වනයක් ලෙසද විෂය භාර ඇමතිවරයාට ප්‍රකාශයට පත්කළ හැකිය. එවැනි වනාන්තරවල තහනම් ක්‍රියා මොනවාද යන්නද පනතෙහි දක්වා ඇත. එසේම යම් ගමක ප්‍රජාවගේ ප්‍රයෝජනය සඳහා යම් වනයක් ගම්බද වනයක් ලෙස ප්‍රකාශයට පත් කළ හැකිය. මෙවැනි වනයකද තහනම් ක්‍රියා පනතෙහි දක්වා ඇත.

මෙම වර්ග තුනට අයත් නොවන වෙනත් වනාන්තර “රජයේ වෙනත් කැලෑ” ලෙස පනතේ ප්‍රකාශයට පත්කර ඇති අතර (අවශේෂ කැලෑ) එවැනි වනයකද තහනම් ක්‍රියාවන් පනතෙහි දක්වා ඇත.

silumina.lk


More News »