පොකිරිස්සන් හා මාළුන් අ‍තරේ දිය වෙන ළමා ලෝකය

2016-10-06 10:50:00       584
feature-top
මේ දරුවන්ට කලපුවෙන් එහා ලෝකයක්

“මේ දූපතේ අයට වැඩක් පලක් තියෙන්නේ දවල්ට විතරයි. ඔවුන් දකින්න ලැබෙන්නෙත් දවල්ට විතරයි. හවසට මේ අයට කරන්න දෙයක් නැහැ මේ දූපතේ. මේ නිසා ගොඩාක් දරුවන් ඉක්මනින්ම අම්මලා වෙනවා. එහෙම අඩු වයසින් අම්මලා වුණු දරුවන් මේ දූපතේ ඕනැ තරම්. ගැහැනු ළමයකුයි පිරිමි ළමයකුයි කතා කරකර හිටියොත් ගමේ අය මේ දෙන්නව ඉක්මනට බන්දනවා. එහෙම බන්දන එක මේ අයට වාසියි. සමහර වෙලාවට මෙහෙම කසාද බැඳපු ගැහැනු ළමයින්ට දරුවන් ලැබෙන්න ඉන්නකොටම වගේ ඒ අයගේ මවුවරුන්ටත් දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒ තරම් අඩු වයසෙන් තමයි මේ දූපතේ විවාහ කටයුතු සිදු වෙන්නේ”

පුංචි එවුන්ට ලෝකයක් තනන්නට නොව දිනයක් තනන්නට වැර දරන්නන්ට සිතන්නට බොහෝ දේ ඇත. ළමයින්ගේ ලොව ළමයින්ටයි බොහෝ දෙනා හඬ ගා පැවසුවද නොදකින ළමා වියක් ගැන සිහින මවන්නෝ බොහෝ ය. ළදරු වියෙන්ම ළමා විය තුරන් වන මේ පුංචි එවුන් වැඩිහිටියන් වීමට පෙර සිටම වැඩිහිටි අත්දැකීම් සමීප කරගන්නේ නොපෙනෙන අනාගතයකට අභියෝග කරමිණි‍.

ළමාවිය සොරාගත් බොහෝ ජීවිත අදටත් ළමා දිනයක් නොදැනීම ගෙවී යයි. ඔවුනට දෙනෙත් පිනවන්නට ඇවැසි දේ හිමිවෙන්නේ නැත. ගත සරසන්නට අපූරු වස්ත්‍ර ලැබෙන්නේ ද නැත. දිව පිනවන්නට රස මසවුළු ලැබෙන්නේ ද නැත. අකුරක් කරන්නට පාසලකට යන්නට පවා මේ ජීවිත වලට සිත් නොදෙන්නේ සැමදා ඔවුනට වෙලා ගත් නැතිබැරි කමය. මේ ජීවිත නිරතුරුවම සැරසෙන්නේ ළමා ලොවට නුහුරු නුපුරුදු මහා කටුක අත්දැකීම් ගොන්නක් පමණි.

මහ සයුරේ බිහිසුණු බව පරයමින් තෙරක් නොපෙනෙන ඉමක් සොයන්නට නොව තවත් ළමා දිනයකදී ඔවුන් මේ වෙහෙසෙන්නේ සිය සරල ජීවිතයේ ජීවන බරට උර දෙන්නටය. සුදු ගවුම් කඩමල්ල ඉවත දා, නිල් කලිසම් කොටය පසෙක ලා මහ සයුරටම ඔබින සුපුරුදු කඩමලු හැඳි මේ පුංචි එවුන් මහ සයුරේ බෝට්ටුවට ගොඩ වෙන්නේ සුන්දර ළමා දිවියට ආයුබෝවන් කියමිනි.

ළමා දිනයට නුහුරු අසුන්දර මේ අත්දැකීම ගොනුකර ගන්නට මහ සයුරින් වටවූ කලපු දියෙන් අපත් ඔවුනුත් වෙන්කළ ඒ දූපත කරා අපි පියමං කළේ යමක් සොයන්නට විනා ඒ ජීවිත හෑල්ලුවට ලක් කිරීමට නොවේ. කල්පිටිය නැංගුරම් ලා ඩිංගි බෝට්ටුවකට ගොඩ වූයේ මොහොත්තුවාරම් දූපතට පියමං කරන අටියෙනි. පුංචි පාසල් දෙකක් හැරුණු කොට මේ මොහොත්තුවාරමේ දරුවන්ට ඇතැයි සිතන්නට බොහෝ දේ නැත. මුහුදු රස්සාව හෝ කලපු රස්සාව හරහා දියඹට යන මේ අපේම මිනිසුන් රටක් ලෙස දකින්නේ ඈතින් පෙනෙන කල්පිටි වැලිතලය පමණි. අධ්‍යාපන බලධාරින් රජයේ දරුවන්ට අනිවාර්ය අධ්‍යාපන අයිතීන් ඇති කළත් මේ දූපතේ දරුවන්ට එය අයිති නැත්තා සේය. වයස අවුරුදු පහත් දහයත් අතර දරුවන් පාසල් ගත කළ යුතුයැයි අධ්‍යාපන බලධාරීන් පුන පුනා කීවද මේ දූපතේ දරුවන්ගේ බොහෝ ජීවිතවලට සිහිනයක්ම වූ ළමා කාලය හා ළමා කාලයේ සොඳුරු අත්දැකීම් ඔවුනගෙන් පලවා හැරෙන්නේ ඔවුනටත් නොදැනීම ය.

“මේ දූපතේ ගොඩාත් දරුවන්ගේ ජීවිත ගෙවෙන්නේ මේ කටුක බවත් එක්ක”

“ඒ කොහොමද?”තොරතුරු දුන් ඔවුන්ගෙන්ම මම පැනයක් මතු කළෙමි.

“ඒක අපිටත් හිතා ගන්න බැහැ. අපි හරියට උත්සහ කරනවා මේ දරුවන් ඉස්කෝලෙට යවන්න. ඒත් අවුරුද්දයි දෙකයි මේ අය ඉස්කෝලෙ එන්නේ. ඒකත් යලට මහට වගේ. ඊට පස්සේ කරන්නේ බෝට්ටුවක් අරගෙන කලපුවට බහිනවා මාළු අල්ලන්න”

අපි ඒ බොහෝ දේ සියැසින් දැකගත්තේ දෙනෙතට නොව හදවතට කදුළු බිඳු එක්කර ගනිමිනි. සිංහල බසක් නොහඳුනන ඔවුනට අපගේ පැමිණීම ආගන්තුක නොවීය. අප ඔවුනට තවත් සංචාරක පිරිසක් පමණක්ම විය. ඔවුනට අවශ්‍ය වූයේ අප බෝට්ටුවලට නංවා ගෙන මුහුදට ගෙන ගොස් පැරෂුට් පෙන්වා අතට කීයක් හෝ මිට මොළවා ගැනීමටය. සවසට මුහුදු යන මේ දරුවන්ගේ දහවල් කාලය ගත වෙන්නේ මේ දූපත්වලට පැමිණෙන සංචාරකයින් ඇවැසි දේ ඉටුකර දෙන්නටය.

“ඕගොල්ලො ආවේ පැරිෂුට් බලන්න යන්නද? භූමිතෙල් බෝතල් පහක් ගහන්න සල්ලි දෙන්න. අපි එක්ක යන්නම්.” අපට පැවසුවේ එතැනදී හමුවූ අයියා මලෝ දෙදෙනෙකි. ඔවුන් අධ්‍යාපනය ලබා තිබුණේ හත වසර දක්වා පමණි. මේ සහෝදරයින් දෙදෙනා හත වසරින්ම මේ දූපතේ පාසලට ආයූබෝවන් කීවේ බෝට්ටුවක් අරගෙන දියඹට යන්නටය. පාසල් ගොස් අකුරක් කරනවාට වඩා දියඹට ගොස් මාළු කිලෝවක් රැගෙන ඒම මේ දරුවන්ට වාසි දායකය. මුහුදු යන්නට මසුන් මරන්නට හුරුවූ මේ අය තවමත් කටේ කිරි සුවඳ පහව නොගිය වයස අවුරුදු දොළහක් දහතුනක් අතර පසුවූවන් ය.

“අයියයි මායි එකතු වෙලා තමයි රෑට මුහුදු යන්නේ. අපි දෙන්නා මුහුදු යන්නේ අවුරුදු හතේ අටේ ඉඳලා. බෝට්ටුව අරගෙන හවසට මුහුදු ගියාම පහුවෙනිදා උදේට එන වෙලාවලුත් තියෙනවා. එහෙම නැත්නම් දවස් ගණන් අපි දූපතකට වෙලා ඉන්නවා. බෝට්ටුව කොහේ හරි ගැටගහලා මොනවා හරි කාලා දවස් කීපයකට පස්සේ තමයි අපේ දූපතට එන්නේ. මේ දැනුත් එන්නේ එහෙම දවස් ගාණක් දූපතේ ඉඳලයි.” ඔවුන්ගේ දුක්ඛිත ජිවිතය අප ඉදිරි‍යේ දිග හැරුණා නොව අප දිග හැර ගත්තේ දුෂ්කර වෙහෙසක් ගනිමිනි. එහෙත් ඔවුනට එය දුෂ්කර ජීවිතයක් නොවන සැටියකි. ළමා වියේ මිහිරි සුවය විඳමින් පාසල් යෑමක් ගැන ඔවුනට වගේ වගක් නැත.

“එතකොට අම්මලා තාත්තලා බය නැද්ද, ඔයගොල්ලෝ මුහුදු යවන්න.” අපි ඔවුන් විමසීමු.

“ඒගොල්ලො බය නැහැ. අපිට මේවා හොඳට හුරුයි.” ඒ ඔවුන් දුන් කෙටි පිළිතුරු ය.

“ඉස්කෝලෙ යන්න ආස නැද්ද? ” මම විමසුවෙමි.

“අපෝ නැහැ. අපි විතරක් නෙමේ මෙහෙම මුහුදු යන්නේ. අපේ වයසේ ගොඩක් අය මෙහෙම මුහුදු යනවා. මුහුදු ගියෙ නැත්නම් කොහොමද කීයක් හරි හොයා ගන්නේ.” ඒ වෙද්දිත් මුහුදු වතුරින් තෙත්ව සිටි ඔවුන් ඇඳි කඩමලු අකලට පැහුණු ඒ පීඩිත ජීවිතවල සැබෑ ප්‍රතිරූපය ගෙන හැර පායි. සැබැවින්ම දරුවන් සිටින අපට ඒ දුටු දේ බොහෝ වේදනාකාරීය. මේ සියලු දේ ඇත්ත ඇති සැටියෙන්ම කියා පෑවද ඒ දරුවන්ගේ සැබෑ නම් ඉදිරිපත් නොකරන්නේ තව දුරටත් ඉදිරි අනාගතයක් ගැන හිතන්නට ඔවුනට කාලය ඉතිරි කරමිනි.

අපට හමුවූ තවත් දරුවකු තවමත් ගත කරන්නේ ළමා වයසේ ය. වයස අවුරුදු දාහතරක් වන ඔහුට ගමේ පෙම්වතියකද සිටින්නේ වයසට වඩා හැඟීම්වලින් මුහුකුරා ගිය නිසා ය. ඒ දැරියද මේ මාළු රස්සාවටම දායක වූ අතරමඟ පාසල් හැර ගිය තැනැත්තියකි.

“අපි මුහුදු ගිහින් ඇවිත් අල්ලන මාළු දූපතේ වාඩියට දෙනවා. කකුළුවෝ කිලෝ එකක් රුපියල් සීයකට දෙනවා. ඉස්සෝ කිලෝ එකක් රුපියල් දෙසිය පනහකට දෙනවා. දවසට මෙහෙම මාළු අල්ලලා රුපියල් දෙදාහක් විතර හම්බු කරනවා. ඉස්කෝලෙ ගියොත් මේ සල්ලිත් නැහැ. එහෙම වුණොත් ගෙදර වියදමට කීයක් හරි දෙන්නේ කොහොමද?” තවත් දරුවෙක් අප හා පැවසීය. මේ පාසල් යන වයසේ දරුවන් උපයන මුදලින් කොටසක් වෙන්වන්නේ ඔවුනගේ බියකරු විනෝදය සඳහාය. ළමා සිත් නොහඳුනන බියකරු මත්ද්‍රව්‍ය මේ දරුවන්ගේ විනෝදාස්වාදය සඳහා වෙන්ව ඇත්තේ දෙමවුපියන්ට හොරා නොවේ. මුහුදු අව්වෙන් කරකුට්ටම් වූ ඒ ජීවිතවලින් ළමා පෙනුම වියැකී ඇත්තේ මේ මත්ද්‍රව්‍ය පානයටද ඇතැම් දරුවන් ඇබ්බැහි වී ඇති නිසා ය.

දූපතින් එහා ලොවක් දකින්නට මේ දරු පැටවුන්ට නොහැකිය. ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නටද මේ මවුපියන්ට ඇවැසි නැත. පහ වසර දක්වාවූ සිංහල පාසලේත් මුස්ලිම් පාසලෙනුත් බැහැර වෙන මේ දූපතේ ගැහැනු දරුවන් අනතුරුව යොමුවන්නේ අඩු වයසින් දරු මල්ලන් තනන්නටය. පහ වසරින් පසු මේ දරුවන් ඉහළ පාසලකට යායුත්තේ කලපුවෙන් එතෙර වු කල්පිටියේ පාසල්වලටය. අද මෙහොත්තුවාරමේ සිටින්නේ එසේ ඉහළ පාසලකට ගිය දරුවන් කිහිප දෙනෙක් පමණි. බොහෝ ගැහැනු දරුවන් ළමා වයසේදීම පාසලට ආයූබෝවන් කියන්නේ පවුලක් පන්සලක් වෙන්නටය.

“මේ දූපතේ අයට වැඩක් පලක් තියෙන්නේ දවල්ට විතරයි. ඔවුන් දකින්න ලැබෙන්නෙත් දවල්ට විතරයි. හවසට මේ අයට කරන්න දෙයක් නැහැ මේ දූපතේ. මේ නිසා ගොඩාක් දරුවන් ඉක්මනින්ම අම්මලා වෙනවා. එහෙම අඩු වයසින් අම්මලා වුණු දරුවන් මේ දූපතේ ඕනැ තරම්. ගැහැනු ළමයකුයි පිරිමි ළමයකුයි කතා කරකර හිටියොත් ගමේ අය මේ දෙන්නව ඉක්මනට බන්දනවා. එහෙම බන්දන එක මේ අයට වාසියි. සමහර වෙලාවට මෙහෙම කසාද බැඳපු ගැහැනු ළමයින්ට දරුවන් ලැබෙන්න ඉන්නකොටම වගේ ඒ අයගේ මවුවරුන්ටත් දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒ තරම් අඩු වයසෙන් තමයි මේ දූපතේ විවාහ කටයුතු සිදු වෙන්නේ” මොහොත්තුවාරමේ ගැහැනු දරුවන්ගේ තවත් ඛේදවාචකයක් අප හා පැවසුවේ නම කීමට අකමැති වූ ගම් වැසියෙකි.

මේ අපට හමුවූ තවත දැරියකි. ඇය පාසල් ගියේ පහ වසර දක්වා පමණි. පහ වසරින් පසු කල්පිටිය මුහුදින් එතෙර වූ කන්දකුඩා පාසලට ගියද ඒ දින කිහිපයකි. මෙසේ දූපතින් බැහැර වූ අධ්‍යාපනයක් මේ දරුවන්ට ආගන්තුක නිසාදෝ මේ දැරිය වැඩිවිය පැමිණ දවස් විස්සක් ගිය තැන තවත් එවැනිම වූ පාසල් දරුවකු හා විවාහ වූයේ කිසිවකුගේ බලපෑමකින් තොරවය. අවසානයේ ඇය තවත් කුඩා දරුවෙකුගේ මවක වූයේ වයස අවුරුදු දොළහේදීය.

දියණිය කුළුඳුල් දරුවා ප්‍රසූත කර මාස දෙකක් ගත වෙද්දී දැරියගේ මව ද සිය සිවු වැනි දරුවා බිහි කළාය. මෙවැනි කතා මේ ගමේ බොහෝ ය.

දරුවන් දස දෙනකු සිටින මවක ද අපට එහිදී මුණ ගැසින.

“මගේ දරුවන් දහදෙනාගෙන් දරුවෝ දෙන්නයි හොඳට ඉගෙන ගත්තේ. ඒ ළමයි ඉගෙන ගත්තෙත් කලපුවෙන් පිට ඇරලා උගන්නපු නිසයි. අනිත් දරුවෝ උස්මහත් වුණාම එක එක දේ කරන්න ගත්තා. ඉගෙන ගත්ත දරුවෝ දෙන්නත් අද ගෙදර. අපි කොහොමද මේ ගැහැනු දරුවෝ කලපුවෙන් එපිට රස්සාවකට යවන්නේ. එකම විසඳුම කසාද බන්දලා දෙන එක. මේ දූපතේ ගොඩාක් ගැහැනු දරුවෝ අඩු වයසින් කසාද බැන්දේ. ඒක හරිම ඛේදවාචකයක් තමයි. ඒත් මොනවා කරන්නද. ටික දවසක් ඉස්කෝලෙ යවනවා. සමහරු මඟදිම හැලෙනවා. තවත් අය පහේ පන්තියෙන් පස්සේ ලොකු ඉස්කෝලෙකට යන්න බැරි නිසා ගෙදරම නවතිනවා. ගෙදර නවතිනවා කියන්නේ ඉතින් පවුල් කන එක තමයි. මේවා මේ දූපතට අලුත් දේවල් නෙවේ. මේ දූපත ඇතුළේ තමයි මේ හැම දේම වෙන්නේ. මේකෙන් පිට ලෝකයක් ගැන හිතන්න නම් අපේ දරුවන්ට අනාගතයක් දෙන්න නම් අපි මේ දූපත අතහැරලා කලපුවෙන් එපිටට යන්න ඕන. අද එහෙම ගිය අයත් මේ කලපුවේ ඉන්නවා.” ඇය පැවසුවාය.

මේ ජීවිත ගත වන්නේ කවුරුන් වෙනුවෙන්ද යන්න දන්නේ අතොරක් නැතිව වැල්ල සිඹ ගන්නා මහ මුහුද පමණි. මේ ජීවිතවලට අඩවු තබන්නට හැකියාව ඇත්තේද මහ සයුරට පමණි. මහ සයුර ඔවුන්ගේ එකම ගැලවුම් කරුවාය. එසේම විටක මහ සයුරම මේ ළමා දිවියන්හි හතුරෙකු වන්නටද බැරි නැත.

“මේ දරුවෝ ගැන කිසි නෛක් හොයලා බලන්නේ නැහැ. ඉස්කෝලේ ගුරුවරු මේ දරුවන් ගැන හොයන්න වෙන මහන්සියවත් මේ අයගේ දෙමවුපියන්ට නැහැ. ඒ නිසා මේ දරුවෝ හරිම අනාරක්ෂිතයි. වචනෙකින්වත් කීකරු ඉස්කෝලෙ ලොකු සර්ට විතරයි. මේ කල්පිටියත් මොහොත්තුවාරමත් අතර කලපුවේ සමහර තැන් තියෙනවා අඩි විසි හයක් විසි හතරක් ගැඹුරු තැන්. සමහර තැන් තියෙනවා පයින් ඇවිදගෙන යන්නත් පුළුවන් තැන්.. මේ දරුවෝ නාන්නේ අඩි විසි ගාණක් ගැඹුරු තැනින්. අපේ ඇස් උඩ යනවා ඒ ගැඹුරට පනින පැනිල්ල දැක්කහම. මේ අය පාසල් යන වයසේ දරුවෝ. මේ අයගේ ජීවිතය හරිම අවදානම්. ඒත් කාට කියන්නද. ” අප හා එසේ පැවසුවේ ඒ පාසලේ ගුරුවරයෙකි.

මහ මුහුද මේ දරුවන්ට ආගන්තුක නොවන්නේ මහ සයුරින් එහා ලොවක් ඔවුනට දකින්නට නැති නිසා ය. එහෙත් දරුවන් කියන්නේ දරුවන්ටය. දරුවන්ට දිනයක් නොව දිනන්නට ලෝකයක් ඔවුනට ඇත්තේ ය. මේ වන විට පළාත් අධ්‍යාපන බලධාරීන් මේ ප්‍රදේශයට පැමිණ මේ දරුවන් පාසල් ගත කරන්නට වෙහෙසක් ගන්නේ ඔවුනට ලොවක් තනන්නටය. මේ සඳහා බොහෝ වෙහෙස මහන්සි වීමටද සිදුවනු ඇත. පැහැදිලි අනාගතයක් පෙනෙනතෙක් මානයක නැතත් ලොවක් දකින්නට මේ දරුවන්ට තවමත් ඕනෑතරම් කාලය තිබේ. පුංචි එවුන්ගේ ලෝකය පුංචි එවුන්ටම විවර කරන්නට හැකිනම් මෙරට තවත් සුන්දර රටක් කළ නොහැක්කේ කාටද?


Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »