නියං සායෙන් බැට කන ගොවි බිම්වල වැලපිල්ල

2016-10-03 11:33:00       583
feature-top
“අනේ මහත්තයෝ... වැහි කඳුළක් අපට කවදා ලැබේවිදෝ කියල මේ ඇඟිලි ගැන ගැන මඟ බලා ඉන්නෙ... මෙහෙමම තව ටික දොහක් ගියොත් අපට මොනවා වේවිද කියල නම් හිතාගන්ඩ බැහැ. බවුසර්වලින් ඇවිල්ල අපට බොන්න වතුර නම් බෙදලා යනවා. ඒත් අපි ජීවිතේ ගැටගහගත්තු අපේ ගොවිතැන් - වගාවන් පිච්චිලා ගිහිල්ලා. මෙහෙව් කොට ඉදිරියේදී අපේ දරුවන්ට කන්ඩ ටික දෙන්නත් බැරිව යාවි.”

ඓතිහාසික රාජ්‍ය තන්ත්‍රයට වික්මැති රජුන් බිහි කළ එදා පුලතිසිපුර හෙවත් මෙදා රාජ්‍ය නායකයාණන්ටම ජන්ම ලාභය සැලසූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මාස ගණනාවක් පුරා නියං රකුසාගේ ග්‍රහණයට නතුව සිටින මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කවුඩුල්ල වැව ව්‍යාපාරයේ සභාපති ඒ. එම්. ධම්මික ප්‍රියන්ත ගොවි මහතා තමන් ඇතුළු ගොවි ජනතාව අත්විඳින දුක්ගැහැට හෙළි කර සිටියේ එලෙසිනි.

මේ වන විට දිවයින පුරා කාලගුණික නියං සායට ගොදුරු වී ඇති දිස්ත්‍රික්ක පහක් වේ. ඉන් පවුල් පනස් දහසකට අධික පිරිසක් පීඩාවට පත්වී සිටිති. මේ අතරින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවත්නා නියඟය වඩාත් කතාබහට ලක්වී තිබේ.

වර්තමානයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නියඟය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසන පරිදි පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ නියං සායෙන් පවුල් 22536ක පුද්ගලයන් 82084ක් දුෂ්කරතාවනට මැදි වී පසු වෙති. පාසල් සිසු දරු දැරියෝ 18,362ක මීට අයත්ය. මේ වන විට පාසල් 54ක් වසා දැමීමට සිදුවී තිබේ. ආපදා කළමනාකරණය ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා දිනකට බවුසර් 37ක් යොදවමින් ඔවුනට පානීය ජලය බෙදා දෙති. පෙර පරිද්දෙන් නොව බෙදා දෙනු ලබන මේ පානීය ජලය ඉතා අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන හැටියට ද උපදෙස් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීම මත වාරිමාර්ග දෙපාර්තමේන්තු ජල කළමනාකරණ ව්‍යාපෘතිය මඟින් දින 10කට වරක් වැවුවල දියවර ඇළ මාර්ගයනට යොමු කරවමින් ජනතා අපහසුතා දුරු කරවීමේ වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක කෙරේ. මෙමඟින් පහළ බැස ගොස් ඇති භූගත ළිං ජල මූලාශ්‍රයන් යළි සක්‍රීය තත්ත්වයට පැමිණීම අපේක්ෂා කරන බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අධ්‍යක්ෂ ආර්. එම්. පී. කරුණාරත්න මහතා පවසා සිටියේය.

මේ වන විට ජල ධාරිතාවන් ප්‍රතිශතයක් හැටියට පරාක්‍රම සමුද්‍රයේ 40% කි. මින්නේරිය හා කවුඩුල්ල වැව පිළිබඳව 30%ක් හා 31%කි. ගිරිතලේ 30%කි.

මේ අතර මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ එම කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 12ක පිරිසකට දුෂ්කරතා මතු වී තිබෙන බවයි. එහි ගම්මානවල ජනතාවටත් වතුර බවුසර් මඟින් බෙදනු ලබන අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලීමක් අනුව මින්නේරිය හා කවුඩුල්ල වාරි ජලය මුදාහැර සහන සලසා තිබේ.

මෙහිදී 504, බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති පී. ගාමිණී ජයරත්න මහතා ද නියං සමයේ දුෂ්කරතා පිළිබඳව අදහස් දැක්වීය:

“මෙහෙ ගොවිතැන - වගාව ආදායම් මාර්ග බවට පත්කරගෙන ජීවත්වන අයයි ඉන්නේ. වාරි ජලය නොලැබී යාමෙන් වගා කටයුතු මෙවර කරගන්ඩ බැරි වුණු අයත් ඉන්නවා. නමුත් මේ පොහොර වගාවන් නැහැ කියා පොහොර දෙන්නෙ නැහැ. ඒක බලවත් අසාධාරණයක්. වතුර ප්‍රශ්නෙ නිසයි ඒ මිනිස්සු වගා නොකළේ, නැතිනම් වගාව කරනවා. අපේ බලධාරීන් මේ ගැන සොයා බලා පොහොර ටික ලබා දෙනවා නම් ලොකු දෙයක්.”

බවුසර් මඟින් පානීය ජලය බෙදා දීමේ වැඩපිළිවෙළේ දී ජනතාවට තවත් පැනයක් මතු වී තිබේ. ඒ ලබා දෙන ජලය එක්රැස් කොට තබා ගැනීමේ ටැංකි නොමැතිකමයි.

වනයේ වන සතුනට ද බලපෑම් ඇති තද නියඟය හේතුවෙන් වන සතුන් ගම්මැද්දට පැමිණීමේ අවදානමක් ද මතු වී තිබේ. එය ද එහි ජනතාවගේ දෛනික කටයුතු කරගැනීමේ දුෂ්කරතාවනට මුහුණ පෑමකි.

“මේ පිළිබඳව අදහස් දැක්වූ වනජීවි දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු පැවසුවේ මෙබන්දකි:

“වන සතුන්ට මේ නියඟයෙන් වතුර නැති වන තත්ත්වයක් ඇතිවීම නිසා අප ඒ පිළිබඳවත් කටයුතු කරමින් ඉන්නෙ. මෙහි ජාතික උද්‍යාන තුනයි තිබෙන්නේ. අප බවුසර් මඟින් වනයේ වළවල්වලට වතුර පුරවමින් වනසතුනට පහසුකම සපයා දෙනවා. උද්‍යානවලට වතුර සපයා දෙනවා. ඒ වගේම වතුර සොයා හෝ තද පෑවිල්ල නිසා හෝ කැලයෙන් එළියට එන සතාට අනතුරක් අත් නොවීමට අප කණ්ඩායමක් නිරන්තරවම රාජකාරි සංචාරයේ යෙදෙනවා”

කෙසේ නමුදු නියඟය බලපා ඇති පොලොන්නරුවේ හා අම්ප‍ාරේ ගංගා ඇළ දොළ ආශ්‍රිතව යම් තරමකට බලපෑමක් ඇති වී ඇතත් නියං කාලගුණික තත්ත්වය හේතුකොට ගෙන ජනජීවිතයට එතරම් බලපෑමක් එල්ල වී නැතැයි පවසන වාරිමාර්ග දෙපාර්තමේන්තු ජල කළමනාකරණ අධ්‍යක්ෂ මොහාන් රාජ් මහතා ඔක්තෝබර් මාසයේ ආරම්භ කැරෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා දැනට පවත්නා වැව් ජලය ප්‍රමාණවත් බව ද පැවැසීය.

පොලොන්නරුව ගොවිජන සේවා සංවර්ධන සහකාර කොමසාරිස් බී. එම්. සී. එච්. කුමාරිහාමි මහත්මිය ද සිළුමිණට අදහස් දැක්වූයේ මෙලෙසිනි:

“ඇත්තෙන්ම තද පෑවිල්ලක්... වැස්සක සලකුණක්වත් දකින්නට නැහැ. ක්‍රමයෙන් උග්‍ර ජල හිඟයකට මුහුණ දෙමින් දැන් පවතින්නේ. හැබැයි නියං තත්ත්වය මත ගොවිතැනට බාධා මතු වී නැහැ. යල කන්නයේදීත් මහා වාරි ව්‍යාපාරවල වතුර වගාවට ලබා දුන්නා. සුළු වාරි යටතේත් එහෙමයි. මේ වෙද්දි නම් සුළු වාරිවල වතුර සිඳී ගොස් තිබෙන්නේ. 80%ක් විතර. සුළු වාරි ප්‍රමාණය තුන්සීයක් පමණ වෙනවා. ඒත් දැන් සිඳී ගිහින්, කොහොමත් ඉදිරි වැස්ස එක්කමයි, ඉදිරි කන්නය ගැන හිතන්න වෙන්නෙ” යැයි කීවාය.

මැදිරිගිරියේ ගොවි මහතකු ද අදහස් දැක්වූයේ නියං සායටත් එහා ගිය ශෝචනීය කතාවකි.

“මහත්තයෝ අපේ රටේ වකුගඩු රෝගයෙන් වැඩිපුරම බැට කන මිනිස්සු ඉන්නෙ මේ අපේ මැදිරිගිරියේ. උඩින් එන මහවැලි ජලය අපේ ගමට එනකොට ලවණ වර්ගයෙන් ජරාජීර්ණ වී හමාරයි. සමහර අයට මේ ජලය පිරිසුදුව ලබාගන්න ෆිල්ටර් ලබා දුන්නා. ඒත් ඒක හැම කෙනාටම ලැබුණේ නැහැ. අපේ වකුගඩු රෝගීන් බහුලයි. ඒ ලෙඩුන්ට දවස ගානේ ලේ අලුත් කරවනවා. මේ විපත බලන්න අපට කෙනෙක් නැහැ.”

මේ වන විට පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළට අනුව හම්බන්තොට, සූරියවැව කටුවන, අගුණකොළපැලැස්ස, ලුණුගම්වෙහෙර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බවුසර් මඟින් ලබාදෙන ජලය ප්‍රමාණවත් නොවී නියඟය තවත් උග්‍ර අතට හැරේනම් අතිරේක බවුසර් යොදවා බීමට ජලය ලබා දෙන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ප්‍රාදේශීය ලේකම්වරුනට උපදෙස් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අතරමැදි තුන්වැනි කන්නයක් ලෙසට 50% සහනාධාරය මත බීජ මුං නිකුත් කර ඇතත් නියඟයෙන් මුං වගාව ද විනාශයට ලක්වී තිබේ. වීරවිල සත්ත්ව ගොවිපළේ ලුණු ලේවායේ අක්කර 25 ක පොල් වගාව ද, කෙසෙල් වගාව ද නියං සායෙන් හානි වී තිබේ.

කිරම ඔය සිඳී යෑමෙන් තංගල්ල බෙලිඅත්ත ජල සැපයුම ද අඩාළ වී තිබේ. ගොවි මහතකු වන ක්‍රිෂාන්ත හේමචන්ද්‍ර මහතා කීවේ, තම කෙසෙල් වගාව බේරා ගැනීමට ළිං හාරා ජලය පොම්ප කළ ද සුළු වේලාවකින් ළි‍ඳේ ජලය සිඳී යන බවයි.

වැසි නොලැබීම හේතුවෙන් කාලීන ජලාශ සිඳී යාම නිසා වැව් මසුන් මැරී යෑමෙන් ලක්ෂ ගණනක පාඩුවක් ලබන්නට සිදුවූ බව ද ජල ජීවී වගා සංවර්ධන හම්බන්තොට ව්‍යාප්ති නිලධාරී ජේ. ආර්. ඩී. සම්පත් මහතා කීය.

මේ අතර වීරවිල, බඳගිරිය, මහගල්වැව, රන්මුදුවැව යන වැව් ජලය ඉතා ශීඝ්‍රයෙන් පහළ බැස ඇති අතර රැකව, මලල, මාවැල්ල යන කළපුවල ජලය ද අඩු වෙමින් මෙහි කළපුවල ඉස්සන් වගාවනට ද දැඩි නියඟය හේතුවෙන් අයහපත් තත්ත්වයක් බලපා තිබේ.

නියං සායෙන් හෙම්බත් වෙමින් වැසි පොදක් අපේක්ෂාවෙන් නෙත් - සිත් අයාගත් වනම අහස දෙසම බලා හූල්ලා පසු වූ ගම්වැසියන්ගේ මීළඟ විශ්වසනීය අපේක්ෂාව බවට පත්වූයේ වැසි ඉල්ලා දෙවියනට කන්නලව් කිරීමය. මේ සත්්කාර්යයට කවුඩුල්ල වැව ගොවි සංවිධාන 25කින් සමන්විත ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව ද ව්‍යාපාරික කළමනාකරණ ආයතනය ද වාරිමාර්ග නිලදරුවන් ද එකමුතුව නියං සාය දුරු වේවා! වැසි පැමිණේවා! යි ප්‍රාර්ථනාවෙන් යුතුව කවුඩුල්ල වැව් ඉස්මත්තේ ගම්වාසීන් ද එක්ව මහා දේව කන්නලව්වක් ද ඉකුත් දා පවත්වනු ලැබිණි.


Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »